Sunday, October 21, 2012

අඝෝරින්....

Aghori ascetic
ශිව දෙවියන් හා සම්භන්ද දේවල් ම ගොඩක් "වෙන්ඩ" ලිපි වලින් ඉදිරියේදී කතා කරන්න ඉන්න හින්ද රමණ ඍෂිට සම්බන්ධයක් නැතත් විශේෂ ගනයේ ශිව භක්තිකයන් පිරිසක් ගැනත් මොනවා හරි කිව්වොත් හොඳයි කියල හිතුන. මේ තමයි අඝෝරින්. හින්දු සමාජය බිය මුසු ගෞරවයක් දක්වන තාන්ත්‍රික සාධකයින් කොටසක්. 14 වන ශත වර්ෂයේදී ශිව භක්තික කාපාලිකයින්ගෙන් වෙන්වී වෙන මගක් ගත් සාධකයින් කොටසක්.

තමන් අඝෝරින් කියා කියා ගන්න බොහොමයක් පිරිස් සිටියත් නියම අඝෝරි වෘත සමාදන් වන සාධු වරුන් පෙරකාලයේ වගේම දැනුත් ඉතාමත් දුර්ලභයි.මොවුන්ගේ සාධන ක්‍රම සාමාන්‍ය හින්දු සමාජයේ සමාජ මිනුම් , විශ්වාසයන් සහ ක්‍රියාකාරකම් වලට අතිශයින් වෙනස් පිළිකුල් අශුද්ධ ආකාරයක් ගන්න නිසා බොහෝ හින්දුන් මොවුන් හින්දුන් ලෙස පිලි ගැනීමට , හින්දු සමාජයට වැද්ද ගැනීමට අකමැති උනත් ,අඝෝරින් ශිව භක්තිකයන් නිසා ඔවුන් හින්දු සමාජයේ විශේෂ කොටසක් ලෙස පිළිගැනීමට අකමැත්තෙන් වුවත් සිදු වී තිබෙනවා.

හින්දුන් තම ජිවිතයේ සම්මුක වෙන දේ කොටස් දෙකකට බෙදනවා. සාත්වික හා තාම්සික වශයෙන්. ආහාර , ගති පැවතුම් , සාධන විධි ආදී මේ කි නොකී සියලු දෙය සාත්වික , තාම්සික වශයෙන් බෙදන්න පුළුවන්. සත්විකත්වය නිරුපනය කරන්නේ පාරිශුද්ධ භාවය , උතුම් ගති ගුණ , පිරිසිදු බව , ජිවෙන්ද්‍රිය , පිරිසිදු අවබෝධය. තාම්සිකත්වය නිරුපනය කරන්නේ භය , අපරිශුද්ධ බව , මරණය , මෝහය හා විනාශය. එකම කාසියේ දෙපැත්ත.

උදාහරණ විදියට ශාක ආහාර , කිරි , ගිතෙල් සාත්වික ආහාර වෙනවා. ඒවා දේව පුජාවට , දෙවියන්ට පිදීමට සුදුසුයි , සත්ව මාංශ , මත් පැන් , පිළුණු ආහාර, සත්ව මල ආදිය තාම්සික ගණයට වැටෙනවා. දෙවියන්ට පිදීම කෙසේවතත් සාමාන්‍ය (mainstream) භක්තිමත් හින්දුන් ඒවා ඇල්ලීමට වත් කැමති නැහැ. නමුත් තාමිසික දෙය ප්‍රිය කරන කාලි , සම්ශාන් තාරා (සොහොන් තාරා) වැනි දෙවියන්ට (යක්ෂනියන්ට? ) එවැනිආහාර , මිනි අලුයෙන් කරන පුජා , මනුෂ්‍ය මාංශ ආදී තාම්සික ගුණ දක්වන ආහාර පුජා විධි ප්‍රියයි.

අඝෝරින් මේ අනුව නිරුපනයකරන්නේ හින්දු ඇදහිලි ක්‍රමයේ තාම්සික පැත්ත. ඔවුන්ගේ කෝවිල හා වාසස්ථානය තමා අමු සොහොන හෝ මිනී දවන ස්ථානය. ඔවුන්ගේ අල්තාරය තමා කුණුවී යන මල කුණ. උග්‍ර ලෙස අඝෝරි වත පුරන්නන් ඇඳුම් නොහැදියත් සාමාන්‍ය අඝෝරින් මිනී දැවටු රෙදි ඇඳීම පිණිස ගන්නවා. ඔවුන්ගේ ආහාර බඳුන් සකස් වී තිබෙන්නේ මිනී හිස් කබලින්. මිනී ඇට වලින් කල පළඳනා පළඳිනු ලබනවා. මත් පැන් පානය , ගංජා ඉරීම ඔවුන්ගේ තවුස් වතේ කොටසක්. ආහාරය සම්බන්ධයෙන් කිසිදු වෙනස්කමක් නොකිරීම ඔවුන්ගේ තවුස් වතෙහි අංගයක්. වෘතයක් විදියට , ශිව දෙවියන්ට , තම භක්තියේ සාධනයේ අවංකත්වය පෙන්වන අංගයක් විදියට මිනී මස් ආහාරයට ගැනීම වරින් වර සිදු කරනු ලබනවා. තාම්සික ගුණ ඇති සම්ප්‍රදායික හින්දුන් පිළිකුල් කරන මස් , පිළුණු ආහාර , සත්ව හා මිනිස් අසුචි වැනි කිසිදු ආහාරයක් ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.

සෑම දෙයකම ඇති ද්විත්ව ස්වභාවය පරමාර්ථ වශයෙන් ගත් කල්හි මිත්‍යාවක් (illusory) බවයිඅඝෝරින් විශ්වාස කරන්නේ . සාත්වික හා තාම්සික දෙයහි පරමාර්ථ වශයෙන් ගත් විට කිසිදු වෙනසක් නොමැති බවත් සමාජ සම්මත පිළිකුල් කටයුතු තාම්සික දෙය වැළඳ ගැනීමෙන් හා සධානා කිරීම මගින් සියල්ලෙහි මේ ද්විත්ව ස්වභාව වශයෙන් ඇති මිත්‍යා පටලය බිඳ සත්‍යය දැකීමට හැකි වෙන බවයි අඝෝරින් ගේ විශ්වාසය.

Samshaan Tara
සොහොන් අශ්‍රිතව ජිවත් වන නිසා සොහොනට අධිගෘහිත සම්ශාන් තාරා දෙවඟන සමග අඝෝරින් එකතුයි. දැඩි ලෙස වෘත සමාදන් වෙන අඝෝරින් වෙත ඇය පැමිණ, පෙනී සිට විවිධ වර ලබා දීමද සිදු කරනු ලබනවා. එසේ වර ලබා ගත් අඝෝරින් හට විවිධ ලෙඩ සුව කිරීමේ හැකියාවක් ඇති බව සාමාන්‍ය හින්දු සමාජයේ පිළිගැනීමයි. එමෙන්ම අඝෝරින් විවිධ අමනුෂ්‍යන් සමග මිත්‍ර ව මෙන් ම ඔවුන් තම වසඟයට ගෙන මන්ත්‍ර විද්‍යාවේ අෂ්ට කර්මයට අයත් විද්වේෂණය , උච්චාවටනය , මාරණකර්ම සිදු කරනු ලබන බවට ඇති පිළිගැනීම නිසා අවශේෂ හින්දුන් අඝෝරින්ගේ ක්‍රියා පිළිවෙත් පිළිකුල් කරතත් ඔවුනට බිය මුසු ගෞරවයක් ද දක්වනු ලබනවා.

සම්ශාන් තාරා හා කාලි දෙවඟන අතර බොහෝ සමාන කම් තිබුනත් ඔවුන් දෙවඟනන් දෙදෙනක් බව තමා සාමාන්‍ය පිළිගැනීම. කාලි දෙවඟන කළු පැහැති අතරසම්ශාන් තාරාදෙවඟන නිල් පැහැතියි. කාලි කැපූ මිනිස් අත් වලින් යුත් මාලයක් පැළඳ සිටින විට තාරා කොටි සමකින් විලි වසා සිටිනවා. අනිත් වැඩ වලින් නම් දෙදෙනාම සමාන බවයි කියවෙන්නේ.

සම්ශාන් තාරා හා අඝෝරින් සම්බන්ධයෙන් විවිධ රස මුසු කතා පුවත් පවතිනවා. හපොයි ඒත් අදට මේ ඇති....

අඝෝරින් ගැන සිංහලෙන් අන්තර්ජාලයේ තිබෙන එකම අනිත් ලිපිය මෙතනින් බලන්න ...

2 comments:

  1. ලිපියට කමෙන්ට්ස් දාන්නේ ලිපි මාලාව තව ටිකක් දුර ගියාට පස්සේ. මොකද සමහර තැන් මට වැටහෙන්නේ නෑ :P


    පුළුල් පරාසයක විහිදුණු දැනුම නම් අපූරුයි !! :)

    ReplyDelete