Wednesday, November 18, 2015

මෙම්බශිප් කාඩ් එක

පිටකොටුවට පොඩි බඩු වගයක් ගන්න ගිය  වෙලේ වැස්ස වැටෙන්න පටං ගත්ත නිසා ගුණසේන පොත් සාප්පුවට රිංගුවා. 

එහෙං මෙහෙං බලනකොට හොඳ පොත් කීපයක්ම දැක්ක නිසා පොත් 4ක් 5 ක්  මිලදී ගන්න අතේ තියාගෙන ඉන්නකොට   පනාව දාගෙන හොඳ පෙනුම තියෙන කාන්තාවක්  අහසින් පාත් උනා වගේ සම්ප්‍රාප්ත උනා.


කාන්තාව :  සර් ට අපේ කාඩ් එක තියෙනවද ?

මම :  (බෑග් එක කවුන්ටරේ තැබීමෙන් පසු ලැබුන කාඩ් පත පෙන්වමින් .. ගොනා පාර්ට් රඟපාමින්  ) මේකද ? 

කාන්තාව : අයියෝ නෑ සර් අපේ මෙම්බ ෂිප් කාඩ් එක. ඒකෙන් ගන්න හැම පොතකටම 2% ක් ම ඩිස්කවුන්ට් ඇඩ් වෙනවා. 

මම : ආ ඇත්තද !

කාන්තාව : සර් අපේ ෂොප් එකට නිතර එනවද ?

මම :  නෑ අනේ. කලාතුරකින් තමයි එන්නේ. (පිටත වැස්ස දෙස බලමින් ) වෙන යන්න තැනක් නැත්නම්  

කාන්තාව :  එහෙනං සර් අපි මෙම්බ ෂිප් කාඩ් එකකට ඇප්ලයි කරමුද ?

මම : ආ .. ඔහොම ඉන්නකෝ බලන්න.... සියට දෙකයි නේද කිව්වේ ? එතකොට දාහකට  රුපියල් 20. ලක්ෂෙකට  රුපියල් 2000.  මට ලක්ෂෙක පොත් ගන්න තව අවුරුදු 10 වත් යාවි. එතකොට රුපියල් 2000 ක වාසියක් ලබන්න මට අවුරුදු 10 ක් සහ රුපියල් ලක්ෂයක් මෙතනට කැප කරන්න වෙනවා .... 

කාන්තාව :  හි හි 

මම : අනිත් අතට , මම සාමාන්‍යයෙන් පොත් ගන්න යන මරදානේ තැන්වල 20% - 30% ඩිස්කවුන්ට් මට හැමදාම ලැබෙනවා.

කාන්තාව :   ඒ කොහෙද ඒ ?

මම : දයාවංශ ජයකොඩි , ගොඩගේ , ආරිය වගේ තැන් 

කාන්තාව :  ඒ පොත් ගොඩක් ගත්තොත් නේ !

මම :  නැහැ .. එක පොතක් ගත්තත් එහෙමයි. සාමාන්‍යයෙන් ප්‍රකාශකයෙක් 30% ක ඩිස්කවුන්ට් එකකට තමයි කඩ වලට පොත් දාන්නේ. ඉතින් කස්ටමර් කෙනෙක් ප්‍රකාෂකයගෙන්ම ඇවිල්ල ගන්නකොට ඒ ඩිස්කවුන්ට් එක ඒ විදියටම නොවුනත් 20% වත් කස්ටමර් ට දෙන එක නේද සදාචාරය.  

දැන් බලන්න මෙතන ඔයගොල්ලෝ ප්‍රකාශ කරන පොත් 100 ක් ගත්තත් සත පහක ඩිස්කවුන්ට් එකක් නෑ නේ. එහෙම පාරිභෝගිකයෝ ගසා කන ගමං , ඒ අයව රවට්ටන්න හිතාගෙන  2% කේ  සිනි බෝල  දෙන්න හදන වැඩේ නං කුජීතයි. 

දහ  දාහක්ම පොත් මෙතනින් ගත්තොත් මට ඩිස්කවුන්ට් ලැබෙන්නේ රුපියල් 200. රුපියල් දෙසිය කියන්නේ මොකද්ද !! මම ඊයේ ටොයිලට් පේපර් රෝල් දෙකක් ගත්තා රුපියල් දෙසිය විස්සකට.  බලං ගියාම  ඔයගොල්ලොන්ගේ කාඩ්   එකෙන් එහෙමවත් ප්‍රයෝජනයක් නෑ නේ 

කාන්තාව :   අන්තරස්දාන විය