Saturday, October 27, 2012

මොකද්ද මේ කරුමේ කියන්නේ ? (විවිධ මතිමතාන්තර...)

Heven
මනුෂයෙකුගේ (සත්වයෙකුගේ) ජිවිතේ සැම දෙයක්ම තීරණය කරන්නේ උප්පත්ති කර්මයද ?

නැහැ , වගේම ඔවු. හේතුව මේකයි. මනුෂ්‍ය ආත්ම භාවයක් කියන්නේ අතිශයින් ලබා ගැනීමට දුර්ලභ දෙයක්. සුළු සුළු කුසල් නොවෙයි මහා පුණ්‍ය කුසලයකින්මයි මනු ලොව ආත්ම භාවයක් ලබන්නේ. එනම් මනුෂ්‍යයෙකුගේ ජනක කර්මය අතිශයින්ම බලවත්. මේ හේතුව නිසා මිනිසෙකුගේ ජිවිතයේ ප්‍රධාන සංදිස්ථාන තීරණය කිරීමේ බලවත් හැකියාවක් ඔහුගේ ජනක කර්මයට තිබෙනවා.

එහෙමයි කියල ඒක මගින් මනුෂයෙකුගේ ජිවිතයේ සැම දෙයක්ම තීරණය කරන්නේ නැහැ. උදාහරණයක් විදියට , හිරු එලිය ජනක කර්මය විදියට ගන්න , කාමරේකට හිරු එලිය වැටෙන වෙලාවකට කාමරේ ලයිට් එකත් දාන්න... ඒ කියන්නේ පොඩි පුණ්‍ය කර්මයක විපාක දීමක් ... පොඩි වෙනස දැනේවි. ලයිට් එක නිවන්න .. ඒ කියන්නේ පොඩි අකුසල කර්මයක විපක් දීමක් ... පොඩි අඳුරක් දැනේවි. නමුත් කාමරේ දීප්තිමත් භාවයට දැඩි බලපෑමක් කරන්න ඒ විදුලි ආලෝකයට බැහැ. කාමරේ ආලෝකයට තීරණාත්මක බලපෑමක් කරන්නේ හිරු එලියමයි. ඒ කියන්නේ ජනක කර්මයමයි.

මනුෂ්‍යයෙකුව ඉපදීමේදී අනිත් අමනුශ්‍යන්ට ලබා ගන්නට නොහැකි මහා බලයක් , හැකියාවක් එම පින්වත් සත්වයාට ලැබෙනවා. එනම් තමන්ගේ අභිමතාර්ථය පරිදි තමන්ගේ මනුෂ්‍ය ආත්ම භාවය සහ ඉදිරි භව පැවැත්ම සකසා ගැනීමේ හැකියාව සහ බලය. මෙය මනුෂ්‍ය භාවයෙන් පහල සත්ව උප්පති ස්ථාන වල සත්වයන්ට කිසිසේත්ම ලබාගන්නට අසීරු , මනුෂ්‍ය භාවයෙන් ඉහල සත්ව උප්පති ස්ථාන වල දෙවියන් , බ්‍රහ්මයන් වැනි සත්වයන්ට ලබාගැනීමට අසීරු හෝ නොහැකි දෙයක්.

මනුෂ්‍ය භාවයෙන් පහල සත්ව උප්පති ස්ථාන වල සත්වයන්ට බොහෝ කොට ඇත්තේ දුක පමණයි. ඥාන විප්‍රයුක්ත සිත් වලින් උපදිනා නිසා හරි වැරැද්ද තෝරා ගැනීමේ හැකියාවක් නොමැති ඔවුන්ට තම ආත්ම භාවය ධර්ම මාර්ගයේ යෙදවිය නොහැකියි. ඔවුන් දුකින් දුකටම යනවා. මේගැන විවාදයක් නැහැ නේ .. නමුත් දෙවෙනියට මං කියුව කරුණ මඳක් විවාදාත්මකයි. නුවණින්ම විමසිය යුතුයි. කිරිබත්ගොඩ ස්වාමින් වහන්සේගෙන් පමණක් ධර්මය ශ්‍රවනය කල ඇත්තෝ අමනාප වෙන්නත් බැරි නැහැ. දිව්‍ය භව වල සත්වයන්ට පින් කල නොහැකිද ? අනිවාර්යෙන්ම කල හැකියි. දිව්‍ය තල වල සත්වයන්ට ධර්මයේ හැසිර ධ්‍යාන මාර්ග ඵල ලබා ගත නොහැකිද ? අනිවාර්යෙන්ම ලබා ගත හැකියි.

එහෙනම් මොනවද ඕයි මේ කියන්නේ ?

කියන්නේ මෙන්න මේකයි... ඇතැම් කාලයන්හිදී මනුෂ්‍ය ලෝකය ආයුෂ , වර්ණ, සැප, බල, ප්‍රඥා යන කරුණින් දිව්‍ය භවයන්හි ඒ කරුණු ඉක්මවා යනවා. දෙවියන් වසර ලක්ෂ ගනං පමණක් ජිවත් වෙද්දී , මනුෂ්‍යන් අසංකය වර්ෂ ආයු වලදනවා. , සාමනේර භික්ෂු පදවිය , උපසම්පදා භික්ෂුත්වය , පසේ බුදු, ලොවුතුරා බුද්ධත්වය මනුෂයෙකු විසින් පමණක් ලබනා උත්තරීතර පදවි. කොච්චර බලසම්පන්න ආත්ම භාවයන් තිබ්බත් දිව්‍ය බ්‍රහ්ම, නාගයෙකුට ඒ උත්ත්තරිතර පදවියනට පත් විය නොහැකියි. කොටින්ම කියනවා නම් සාමනේර භික්ෂුවක් වත් විය නොහැකියි. ලොවෙහි සැම කල්හිම අතිශයින්ම දුර්ලභ දෙයක් නම් උතුම් වූ සම්මා සම්බුද්ධ ශාසනයක පැවිද්ද හා උපසම්පදාවයි. මනුෂ්‍යයන්ට පමණක් ඒ පදවියනට දොර විවුර්තයි.

දෙවනුව පහල ආත්ම භාවයන්ගේ ඇත්තේ දුක පමණයි. ඉහල ආත්ම භාවයන්ගේ ඇත්තේ බොහෝ කොට සැපයි. මිනිස් ලොව සම සමව සැප දුක් පවතිනවා. ඥානවත් පුද්ගලයෙකුට ජීවිතය කියන්නේ මොකක්දැයි හඳුනා ගන්න මෙය ඉතාම වැදගත් දෙයක්. දුකින් පෙලී ක්‍රෝධ චිතයෙන් ජිවත් වීමේත් , සැපයෙන් අගතියට ගොස් ධර්ම මාර්ගය අමතක වීමේත් සම්භාවිතාව මිනිස් ලොව අඩුයි.... (නැත්තෙමත් නැහැ..) එමෙන්ම එසේ නිවැරදිව හරි වැරැද්ද (ධර්ම මාර්ගය ) හඳුනා ගැනීමෙන් පසුව ඥානවත්ව එය ප්‍රගුණ කිරීමට අවස්ථාව , හැකියාව , නුවන කලන මිතුරැ ඇසුර , බොහෝ ඔලාරිකව මනු ලොව සැම තැනම දකින්නට තිබෙන ත්‍රිලක්ෂණය විදර්ශනාවට නැගීමේ අපමණ පහසුව මනුෂ්‍ය ආත්ම භාවයක් ලබුවෙකුට තිබෙනවා.

හරි හැටි ධර්මයේ සිත පිහිටුවා නොගතහොත් , එය ජිවිතයේ මුලික අංගයක් කර නොගතහොත් , කුසල් කර දිව්‍ය ආත්ම භාවයක් ලැබුවද ඒ ආත්මභාවයේ ඇති විසිතුර , සැපත නිසා සිත ඒ වෙත ඇදී ගොස් ප්‍රමාදයෙන් කල් ගෙවීමෙන් , මතුවට සිත දියුණුකර ගැනීමට ඇති අවස්ථාව බොහෝ දෙවියන් අහිමි කර ගන්නවා. දිවය ලෝක වල කාලය බොහෝ අධික උනත් ඒ කාලය ගෙවී යන්නේ කාටත් නොදැනීමයි. අන්තිමේදී කුසල් ගෙවී ගොස් චුති ලක්ෂණ පහල වෙන විට කෝච්චිය ගොස් හමාරයි බොහෝ දෙවියනට.

සාදාරනයි නේ ! මේ නවද්වාරයකින් අසුචි වැහෙන දුර්ගන්ධවත් පුති කායකට වැදගෙන අතිශයින් ඕලාරික අශුද්ධ ආහාර පාන, සත්ව මළකුණු එයට කවමින් , ඒ කුණු රසයෙන් සතුටු වෙමින් , ගොමස්කඩ වැනි දළ ඇඳුම් පැළඳුමින් ඒ පුතීකය පෙරවාගෙන , හරක් මඩු වැනි දුර්ගන්ධ හමන වාසස්ථාන වල ගෙවන මේ මනුෂ්‍ය ජීවිතය ලබාගෙනත් , 99% මිනිසුන්, දිවය සැපත හා සමාන කරන කල අතිශයින් තුච්ච වූ ඒ සැපතෙහි සිත අල්වාගෙන ප්‍රමාදීව හෙටක් නැතුවා වගේ කල් ගෙවන කල දෙවියන් ගැන කුමන කතාද ?

පැහැදිලියි නේ... හරි ආයි මාතෘකාවට එමු. එනම් තමන්ගේ අභිමතාර්ථය පරිදි තමන්ගේ මනුෂ්‍ය ආත්ම භාවය සහ ඉදිරි භව පැවැත්ම සකසා ගැනීමේ හැකියාව සහ බලය. වෙනස් විදියකින් කියනවනම් කර්මය නමැති විශ්ව බලය , මනුෂ්‍ය සිත නමැති එයිටත් වඩා විශාල මහා බලය යොදා තමන්ට අවශ්‍ය පරිදි වැඩිදියුණු කිරීමේ , වෙනස් කිරීමේ බලය. බරපතල නොවන අකුසල කර්මයන් ගෙන් බේරී සිටීමටත් , කුඩා පුණ්‍යකර්මයන් මහා බලවත් පුණ්‍ය බලයන් බවට පත් කර ගන්නත් බුද්ධිය යොදවා කටයුතු කිරීමෙන් පුළුවන්.

මොනවද මෙසේ කර්මය වෙනස් කල හැකි විධි.

දුක්පත්ව සිටීමට කර්ම ලබා උපන් මිනිසෙකුට තම , බුද්ධිය හා නොපසුබස්නා අධිශ්ටානය භාවිතා කරගෙන ජිවිතයේ උසස්ම තත්වයකට ධනයෙන් හා බලයෙන් නැගී සිටින්න පවතින වටපිටාව තුල භාදාවක් නැහැ. එය ප්‍රයෝග සම්පත්තිය මගින් අකුසල කර්ම බලයන් වලකා දැමීමට උදාහරණයක්.

දීර්ඝ ජිවිතයකට උරුම කම් ලබා උපදින තැනැත්තෙක් පාප මිත්‍ර සේවනයට වැටී මත් පැන් පානයට , ටැබා ගැසීමට , කැහි පැණි බිමට ,ඇරසොල් ඉරීමට පටන්ගතහොත් අවාසනාවන්තයෙක් ලෙස අකාලයේ මිය යාමට සිදුවෙනවා අනිවාර්යයි. මෙය වැරදි ලෙස කය පරිහරණය කිරීම මගින් කුසල විපාකයන් වලක්වා ගැනීමක්.

තමන්ගේ කර්මයන් අනුන්ට දෙන්න , අනුන්ගේ කර්මයන් තමන් පිට ගෙන ඒවා ගෙවා දමන්න පුලුවන්ද ?

ඇත්තටම කියනවා නම් පුළුවන් .... පස්සේ බලමු ඒ කොහොමද කියල ...

Sunday, October 21, 2012

අරුනාචලයේ ශ්‍රී රමණ මහ ඍෂි (2 කොටස)

Sundaram Iyer (1845-1892)
කලින් ලිපියේ කියුව විදියට ශ්‍රී රමණ ඍෂි ගේ  ජිවිත කතාව කොටස් වශයෙන් පල කරන්නේ. අද බලමු ඔහුගේ උපත හා කුඩා කාලය පිළිබඳව.

ශ්‍රී රමණ ඍෂි ගේ කුඩා කල නම වෙන්කතරාමන් අයියර්. ද්‍රවිඩ හින්දු බ්‍රාහ්මණ පවුලක ඉපදුනේ. දරුවන් හතර දෙනෙකුන්ගෙන් යුතු පවුලක දෙවැන්නා.  උපන් ගම වෙන්නේ තමිල් නාඩුවේ මදුරායි වල තිරුචුරි නම් ගම.  1879 දෙසැම්බර් මස තිස්වෙනිදා රාත්‍රියේ උපත ලද වෙන්කතරාමන් පියා සුන්දරාම් අයියර් වන අතර මව වන්නේ අසිගම්මාල්.

1879 දෙසැම්බර් මස තිස්වෙනිදා ද්‍රවිඩ හින්දුන්ට වැදගත් දවසක්. එදින තමයි ඔවුන්ගේ එම වර්ෂයේ අරුද්‍ර දර්ශන දිනය යෙදිලා තිබුනේ.  ද්‍රවිඩ මාස ක්‍රමය අනුව දෙසැම්බර්- ජනවාරි මස දෙක අතර වැටෙන පුර්ණ චන්ද්‍ර දිනය තමයි අරුද්‍ර දර්ශන දිනය. එම චන්ද්‍ර මාසය මර්ගාසි නම් වෙනවා.  ශිව දෙවියන්ගේ විශ්ව නර්තනය සිහිපත් කිරීමට අරුද්‍ර දර්ශන දිනයේදී ශිව දේව  පිළිම කෝවිල් වලින් එලියට වඩම්මා මිනිසුන් විසින් අදින කරත්ත හෝ වේදිකාවල නංවා  විදි සංචාරය කරවනවා.  

Birth Place of Ramana Rishi
සුන්දරාම් අයියර් කාගේත් ගෞරවයට ලක් වෙච්චි හොඳ හිත ඇති මනුෂ්‍යයෙක්. උසාවියට  නීති කටයුතු සඳහා අවශ්‍යවන ලිපිලේඛන සකස් කිරීමෙන් නීතිඥ වුර්තියට සමාන ආකාරයේ රැකියාවක් කල ඔහුගේ   ඔහුගේ නිවස පිහිටා  තිබුනේ දකුණු ඉන්දියාවෙහි ඇති පැරණිම හා පුජනීයම  ශිව  කෝවිලක්  අසලමයි. එම නිසා බොහෝ අවස්ථාවල එම කෝවිලට දුරබහැරින්  පැමිණෙන වන්දනාකරුවන්ට ආහාර , නවාතැන් ලැබුන ඔහුගේ නිවසේ. නිවස කොටස් දෙකකට සකසා ඉදිරි පස කොටස වන්දනාකරුවන්ට නවාතැන ලෙස සකසා තිබුනා. 

කුඩා කල වෙන්කතරාමන් අනිකුත් දරවන් වගේම සෙල්ලමින් , නිවස  අසල ඇති කෞන්දීනි ගඟෙහි  අනෙක් ගම් දරුවන් සමග  පීනමින් කෙළිදෙලෙන් කල් ගත කරනවා. ඉගෙනීමට කිසි උනන්දුවක් නොදැක්වුවත් ඔහුගේ තිබුණු මතකතබා ගැනීමේ හැකියාවත් සහජ බුද්ධියත් නිසා පාසලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වෙනවා. ක්‍රීඩාවටත් දක්ෂ කම් තිබුනා ඔහුගේ. විශේෂයකට කියා තිබී ඇත්තේ ඔහුගේ නින්දයි. නින්දට ගිය විට ඉතා දැඩි නින්දකට පත්වන ඔහු ඇහැරවීම කිසිසේත් නොකර හැකි දෙයක් බවට පත්ව තිබුනා. මේ බව දැනගත් ඔහුගේ පාසලේ ඔහු සමග ක්‍රීඩා කර පරාජය වූ   ඇතැම් ළමුන් රාත්‍රී කාලයේදී ඔහු නින්දට ගිය විට ඔහු හට හොඳින් පහර දී තිබුණු දිනයනුත් තිබුනා.  උදෑසන ඇහැරුණු කල ඔහු ශරීරයේ තැලුණු ගෙඩි ගැසුණු තැන අතගාමින් කුමක් වුයේදැයි කල්පනා කළේලු. 

වයස 11 දී වෙන්කතරාමන් යවනවා තිරුචුරි වල සිට කිලෝමීටර් 70 ක් පමණ ඈතින් පිහිටි දින්දිගුල් වල සිටින ඔහුගේ මාමා කෙනෙක් වන සුබයියර්  වෙත. තිරුචි හි පිහිටි පාඨශාලාවේ උගන්වන්නේ ද්‍රවිඩ භාෂාවෙන් පමණක් වන නිසා ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම පිණිසයි වෙන්කතරාමන් ව දින්දිගුල් වල පිහිටි බ්‍රිතාන්‍ය පාසල වෙත ඇතුල් කරන්නේ. 1891 දී  සුබයියර් පවුල මදුරායි වල වාසයට යන විට වෙන්කතරාමන් ද ඔහුගේ වැඩිමල් සොයුරා වන නාගස්සවාමී ද  ඔවුන් සමගම මදුරායි යනවා.

මදුරායි  හි දී ප්‍රථමයෙන් ස්කොට් ප්‍රථමික විද්‍යාලයේද දෙවනුව ඇමරිකානු මිෂනාරි විද්‍යාලයේද වෙන්කතරාමන් අද්‍යාපනය ලබනවා. මදුරායි  පැමිණ වසරකින් පමණ පසු 1992 දී හදිසියේ අසනීප වන සුන්දරාම් අයියර් ටික දිනකින්ම වයස 42 දී මිය යනවා. මෙසේ පියාගේ අකල් අභාවය හේතු කරගෙන වෙන්කතරාමන් ගේ පවුලේ සියලු දෙනා වෙන් වෙන් වශයෙන් ඔවුන්ගේ නෑදෑයන්  අතර බෙදී වාසයට යනවා.

1895 හේ නොවැම්බර් මස එක දිනයකදී වයසක නෑදෑයෙක් හමුවෙන වෙන්කතරාමන් දැන ගන්නවා ඔහු පැමිණ ඇත්තේ අරුනාචල සිට කියා. වෙන්කතරාමන් අරුනාචල හා එහි පුජනීයත්වය  ගැන කලින් අසා තිබුනත්  , එහි සැබවින්ම යා හැකිය කියා ඔහු හට තේරුමක් තිබුයේ නැහැ. වැඩිමල් නෑදෑයගේ විස්තරයෙන් පසු   අරුනාචල කන්ද වෙත ඔහුගේ සිත නැමෙනවා. 

ඊට ටික දිනකට පසු වෙන්කතරාමන් ට හමුවෙනවා ඔහුගේ මාමා කියවීමට ගෙනවිත් තිබු පොතක්. ඒ තමයි පෙරිය පුරානම් නමැති පොත.  හදිසියේ ඇහැ ගැටුණු ඒ පොත කියවාගෙන යාමේදී එහි විස්තර වෙන සාධු චරිතයන්හි ඇති අලංකාරත්වයට , සරලත්වයට , පුජනීයත්වයට , නෙක්ඛම්ම අදයාශයට ඔහුගේ සිතෙහි ඉමහත් භක්ති  පුර්වක ගෞරවයක් පැන නගිනවා. මනුෂ්‍යයනට   එවැනි කැපවීමක් , නිස්සරනද්‍යාශයක් , භක්තියක් ඇතිවිය හැකිදැයි ඔහුගේ සිතෙහි අතිමහත් විමතියක් ඇති  වෙනවා.  එහි ඇති විවිධ සාධු චර්යා  ඔහුගේ සිතෙහි නොමැකෙන ලෙස නිදන්ගත වෙනවා.

දැන් පොඩ්ඩක් බලමු පෙරිය පුරානම් කෘතිය ගැන.....

පෙරිය පුරානම් කෘතිය ශිව භක්තික සධුවරුන් 63 දෙනෙකු ගේ ජිවන ප්‍රවුර්ති අරභයා ලියවුනු ආගමික භක්ති කාව්‍ය සංග්‍රහයක්. 12 ස් වන ශතවර්ෂයේදී දෙවන කුලතුංග චෝල අධිරාජ සමයේ මෙය රචනා කර තියෙන්නේ සෙක්කිසර් නමැති අයෙක්. ඔහු කවියෙක් වගේම රජුගේ ප්‍රධාන  ඇමතිවරයා. ජයින ආගම ගැන පැහැදීමෙන් සිටි  රජු ශිව සමය වෙත පහදා  හරවා ගැනීමට  තමයි  මෙය ඔහු අතින් ලියවුනේ.

එය ලිවීමේදී දක්වා ඇති  භාෂාව හැසිරවීමේ හා  කාව්‍ය විලාශයේ විශිෂ්ටත්වය නිසාම එය  ලියවුනු සමය  චෝල  සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සලකනවා. එමෙන්ම එය ඒ  සමයේ ලියවුනු විශිෂ්ටතම ග්‍රන්ථයක් ලෙස පැසසුම් ලබනවා වගේම පස්වන වේද ග්‍රන්ථය ලෙසත් විශිෂ්ටතම ද්‍රවිඩ සාහිත්‍ය කෘතියක් ලෙසත්   පැසසුම් ලබනවා.

මෙහි දැක්වෙන  සධුවරුන් 63 දෙනා මනංකල්පිත  චරිත නොව සැබවින්ම දක්ෂිණ භාරතයේ පුරාණයේ  විවිධ කාල වල ජිවත් වූ විවිධ ගෝත්‍ර වලට අයත්  , විවිධ රැකියා කල අය.

අදට මේ ඇති.... පස්සේ තව ටිකක් දාන්නම්...  

Thursday, October 18, 2012

අරුනාචලයේ ශ්‍රී රමණ මහ ඍෂි (1 කොටස)

අද සිට කොටස් වශයෙන් ලියන්න බලාපොරොත්තු වන්නේ මා ඉතාමත් ප්‍රිය කරන චරිතයක් ගැන. මේ තැනැත්තා ගැන ලියන්න කියා 2008 සිට සිතාගෙන හිටියත් වෙලාවක් ලැබුනේ නැහැ.

පුවත් පත් ලේකඛයෙකුව සිට සත්‍ය ගවේශකයෙකු බවට පත්ව ඉන්දියාව පුරා ගුරුවරයෙක් සොයමින් (ගුරු ජි ) සැරිසැරූ පෝල් බ්‍රන්ටන් අන්තිමේදී නතරවූයේත් මෙතුමන් ළඟ. ඔහු 1934 දී ලියු In Search of Sacred India කෘතියේ ශ්‍රී රමණ මහ ඍෂි ගැන සාමාන්‍ය තරමේ විස්තරයක් ඇතුලත් වෙනවා. නමුත් එය පිටු කිහිපයක් පමණයි. මෙය තිලක කුඩා හෙට්ටි මහත්මයා විසින් කාණ්ඩ දෙකක් වශයෙන් පරිවර්තනය කර භාරත යෝගීන් හා ඉසිවරයන් සමග යන නමින් දයාවංශ ජයකොඩි සමාගම මගින් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු විසින් පරිවර්තනය කරන ලද තවත් පොතක් තිබෙනවා භාරත මහ ඍෂි රාමණා නමින්. නමුත් කියවූ බව මතක නැහැ.

ඔහුට මා මෙතරම් කැමති ඇයි දැයි ඇතැම් අය අහනවා. ඇයි බුද්ධාගමේ නැද්ද මිට වඩා උසස් අය ? දැන් ඉන්න සමහර භික්ෂුන්ටත් ධ්‍යාන තියෙනවා නේ. සප්ත අභිඥා , අෂ්ට සමාපත්ති ලාභී මහ රහතන් වහන්සේලාගෙන් පිරි තිබු බුද්ධ ශාසනයේ සිටි තෙර වරුන් මෙයාට වැඩිය හොඳ නැද්ද ? ඇයි ඉතින් ධ්‍යාන ලබා ගත් පමණින් මේ හින්දු තාපසතුමා ගැන පැහැදීමක් ඇති උනේ ?

ප්‍රභල හේතුවක් දැක්විය නොහැකි උනත් කරුණු කිහිපයක් තිබෙනවා එතුමන් අන් යෝගීන් ගෙන් වෙනස් වන. ප්‍රථම එක තමා රමණ මහ ඍෂි ජිවත් වුයේ දශක කිහිපයකට කලින් මෑත අතීතයේ වීම. වසර 2500 කට කලින් ජිවත් වූ ඉර්ධි ලාභීන්ට වඩා ඔහු අපට සමීපයි. එමෙන්ම එතුමන් භාරතයේ ඍෂි පරම්පරාවේ අවසාන පුරුක යයි කිව හැකියි. එතුමන් ට පසුව වැඩ දාගෙන, කැටයම් දාගෙන, සද්දේ දාගෙන බොහෝ අය ආවත් ඔවුන් කිසිවෙක් පෞරානික භාරතීය ඍෂි , තපස්වී , නෙක්ඛම්මිය ලක්ෂණ තම අභ්‍යන්තර හෝ බාහිර ජිවිතයෙන් පෙන්නුම් කල අය නෙමෙයි. ඒ අය ඩුප්ලිකේට් , එහෙම නැත්නම් කොමෂල් ඍෂිල.

ශ්‍රී රමණ මහා ඍෂි දැඩි ආගමික භක්තියක් මුල් කොටගෙන ඒ හේතුව නිසා තපස්වී බවට පත්වූවෙක් එනම් භක්ති යෝගියෙක් නෙමේ. විවිධ යෝග ආසන ක්‍රියාකර කම් මගින් ශරීරය දැඩි කරගෙන, සකස් කරගෙන එමගින් සමාධිය උපදවා ගැනීමට තැත් කරමින් දුෂ්කර දීර්ඝ මාර්ගයක් ගත් හථ යෝගියෙකුත් නෙමෙයි. පොත පතින් නුවණ ගෙන පොතේ ගුරු වෙච්චි ඥාන යෝගියෙකුත් නෙමෙයි.

කුඩා අවදියේදීම සියල්ලටම වඩා අමාරු මාර්ගය ගෙන කිසිදු ගුරුවරයෙකුගේ ඉගැන්වීමක් , සහයක් නොමැතිව වසර ගණනක දැඩි උත්සාහයකින් , කැපවීමකින් , අධිෂ්ටානයකින් පසුව ධ්‍යාන ලබා මහා බ්‍රහ්මයා සමග එකාත්මිය වුනු හෙවත් සුද්ද සිංහලෙන් කියනවා නම් ධ්‍යාන ලබා බ්‍රහ්ම තලයේ පැවැත්වීමට සිත සකස් කර ගත් තැනැත්තෙක්. එනම් පැරණි පාතාංජලී යෝග ක්‍රමය අනුව සියල්ලන්ම උසස්ම යෝග මාර්ගය ලෙස පිළිගන්නා රාජ යෝග මාර්ගයෙන් ඍෂි බවට පත් වුවෙක්.

ඍෂි වරයෙක් නම් මේ වගේ යයි කිව හැකි ලක්ෂණ සියල්ල එතුමන් ළඟ අඩුවක් නැතිව තිබුනා. විමුක්තිය උදෙසා ගිහි ගෙය හැරයන්නෙකු යා යුත්තේ මෙසේ යයි ලැජ්ජාවක් නැතිව ඇඟිල්ල දිගු කොට ඔහු ගිය ආකාරය පෙන්විය හැකියි. එනම් කිසිවක , තම ජීවිතය කෙරේ පවා කුණු කෙල පිඩක තරම් වත් බැඳීමක් , ආලයක් නොමැතිව නික්ම යාම. විමුක්තිය උදෙසා අතීතයේ හෝ අනාගතයේ යමෙකු දිවියේ ආලය හැර වෙර වැඩියා නම් (බුදු රාජාණන වහන්සේ ඇතුලත් නොවේ ) ඒ වෙර වැඩියේ මෙසේ යයි කිසිදු පැකිලීමක් නැතිව ඇඟිල්ල දිගු කොට ඔහු පෙන්විය හැකියි. කොටින්ම කියනවානම් හුඟක් ඈත අතීතයේ නොව මෑත කාලයේ අප අතර ජීවත්වූ ඔහුගේ චරිතය මෑත කාලයේ විමුක්තිය සොයා යන්නෙකුට පරමාදර්ශී ( rowmodel) චරිතයක්.

ඔන්න ඔය වගේ කරුණු කීපයක් නිසා තම ඔහු මට ප්‍රිය. හරි ඇඩ් එක ඉවරයි. දැන් බලමු ශ්‍රී රාමනා මහා ඍෂි ගැන. ලිපිය දිග වැඩි නිසා කොටස් වලට කඩල දාන්න වෙනවා පරිච්චේද වශයෙන්. පරිච්චේද බෙදමු මෙහෙම.

  • කුඩා කාලය
  • නික්ම යාම
  • නික්ම යන ගමනේදී
  • යෝගියෙකු ලෙස
  • භගවාන් ශ්‍රී රමණ මහා ඍෂි ලෙසින්
  • මරණය

Tuesday, October 16, 2012

දේවදුත සුත්‍රයෙන්....

දේවදුත සුත්‍රය මා ඉතාමත් ප්‍රිය කරන , නිතර දෙවේලේ සිහිපත් වෙන සුත්‍ර දේශනා කීපයෙන් එකක්. (දේවදුතයෝ හැම තැනම පේන්න ඉන්නවා නෙව අඩුවක් නැතිව ). එය ඇත්තේ මජ්ජිම නිකායෙහි , උපරි පන්නාසකයෙහි තුන්වන වර්ගයේ දස වන සුත්‍රය වශයෙනි. 

ලෝ පහල වී වදාරන සියලු සර්වඥයන් වහන්සේලා විසින්ම දේශනා කරනු ලබන අවිජහිත  දීර්ඝ සවිස්තර දේශනාවක් වන මෙය මෙතැන සම්පුර්ණයෙන් තියා සංක්ෂිප්ත වශයෙන් වත් ලියන්න නම් බැහැ. සම්පුර්ණයෙන් ලියන්න බැහැ දිග වැඩි නිසා. සංක්ෂිප්ත කොට ලියුවොත් එයින් ලැබෙන නියම ධර්ම රසය ලැබෙන්නේ නැහැ.... ඒකයි... මුළු සිංහල ත්‍රිපිටකය ම දැන් නොමිලයේ ම ලබා ගත හැකිව තිබෙන නිසා , උනන්දුවක් ඇති කෙනෙකුට එය ලබාගෙන කියවීමටත් කිසිම බාධාවක් නැහැ. මේ සුත්‍රයේ තැනක සඳහන් වෙනවා මෙන්න මෙහෙම ...

ජිවිත කාලයම ප්‍රමාද විහරණයෙන් සෙල්ලමින් වාසය කල අවාසනාවන්ත තැනැත්තා කයබිඳී මරණින් පසු මහා නරකයකට නොවැටී ඔසුපත් නරකයක ඕපපාතිකව උපත ලබනවා. එවිට යමපල්ලන් විසින් අල්වාගෙන ඔහු ගෙනයනවා එම ඔසුපත් නරකයට අධිගෘහිත යම රජු වෙත. එහිදී යමරජු මේ තැනැත්තා වෙත ඇති කරුණාවෙන් ඔහුට සිහිපත් කරවන්න උත්සහ කරනවා ඔහුගේ දිවියේදී කරන ලද ස්වල්ප වූ හෝ කුසලයක්. යම රජු එම පුරුෂයාගෙන් මෙසේ ප්‍රශ්න කරනවා...

එම්බා පුරුෂය , මනුෂ්‍ය ලෝකයේ සිටියදී නුඹ දුටුවේ නැද්ද මිනිසුන් අතර පහලවූ පළවෙන දේව දුතයා ?
නැත ස්වාමිනි මා දුටුවේ නැහැ ...
මොනවා , නුඹ දුටුවේ නැද්ද ඒ දවසෙම ඉපදී , මළ මුත්‍ර ගොඩේ අසරණව දඟලමින් මුනින් අත වැටී සිටින කුඩා දරුවන් ?
අහෝ ! ස්වාමිනි දැක්කා ....
ඉදින් නුඹ සිතුවේ නැද්ද , මාත් මේ ආකාරයේ ස්වභාවයෙන් යුතුව තමයි ඉපදුනේ. මා සිටියේ යලි යලිත් ඉපදෙන ස්වභාවයෙන් මයි නේ... යලි යලිත් මා හට මෙලෙසින්ම ඉපදෙන්නට සිදු වනවා නොවේද ? යලි යලිත් මෙලෙසින් මළ මුත්‍ර ගොඩේ අසරණව දඟලමින් මුනින් අත වැටී සිටින්නට සිදු වෙනවා නේද ? ඉදින් මෙලෙසින් යලි යලි ඉපදෙන ස්වභාවය උරුම කරගෙන සිටින මා අප්‍රමාදව ධර්මයේ හැසිරිය යුතුයි , කුසල් වැඩිය යුතුයි කියා තොප හට සිතුනේ නැද්ද ?
අනේ සවාමීනි මට බැරුව ගියා ... මම ප්‍රමාද උනා.....

එසේ නම් පුරුෂය , මනුෂ්‍ය ලෝකයේ සිටියදී නුඹ දුටුවේ නැද්ද මිනිසුන් අතර පහලවූ දෙවන දේව දුතයා ?
නැත ස්වාමිනි මා දුටුවේ නැහැ ...
මොනවා , නුඹ දුටුවේ නැද්ද අසු අනු වයස් ගතවූ , සම රැලි වැටී , කෙස් පැසි , දත් සියල්ල සැලී , තල කැලලින් පිරි සිරුරු ඇතිව සැරමිටි වාරුවෙන් , කුදුව වකුටුව ජරාවෙන් ජිර්ණව ගමන් ගන්නා මහල්ලන් මහැලියන් ?
අහෝ ! ස්වාමිනි දැක්කා ....
ඉදින් නුඹ සිතුවේ නැද්ද , මාත් මේ ආකාරයේ ස්වභාවයකට පත් වන බව ? මාත් මේ ආකාරයෙන් වයසට ගොස් ජරාවෙන් ජිර්ණව යන බව ? මා ජරාව නොයික්මවා ඇති බව ? මා හටද මේ ආකාරයෙන් සම රැලි වැටී , කෙස් පැසි , දත් සියල්ල සැලී , සැරමිටි වාරුවෙන් , කුදුව වකුටුව යන්නට සිදුවන බව ? ඉදින් මෙලෙසින් දුර්වලව ජරා ජිර්ණව යාමට ප්‍රථමයෙන් මා අප්‍රමාදව ධර්මයේ හැසිරිය යුතුයි , කුසල් වැඩිය යුතුයි කියා තොප හට සිතුනේ නැද්ද ?
අනේ ස්වාමිනි මට බැරුව ගියා ... මම ප්‍රමාද උනා.....


එසේ නම් පුරුෂය , මනුෂ්‍ය ලෝකයේ සිටියදී නුඹ දුටුවේ නැද්ද මිනිසුන් අතර පහලවූ තුන්වන දේව දුතයා ?
නැත ස්වාමිනි මා දුටුවේ නැහැ ...
මොනවා , නුඹ දුටුවේ නැද්ද රෝගී වූ පුරුෂයන්, ස්ත්‍රීන් ? නොයෙක් ආකාර වූ වණ , පිළිකා , ආදී නානාප්‍රකාර රෝග වැළඳී , මළ මුත්‍ර ගොඩෙහි වැටී අනුන් විසින් නැගිට්ටවිය යුතු , හාන්සි කරවිය යුතු , කැවිය පෙවිය යුතු අප්‍රමාන දුක් විඳින්නා වූ රෝගීන් ?
අහෝ ! ස්වාමිනි දැක්කා ....
ඉදින් නුඹ එවිට සිතුවේ නැද්ද , මාත් මේ ආකාරයේ ස්වභාවයකට පත් වන බව ? මාද ලෙඩ වන ස්වභාවය උරුම කරගෙන, ලෙඩවන ස්වභාවය ඇති කයක් පරිහරණය කරමින් ජිවත් වන කෙනෙක් බව ? මා හටද වණ , පිළිකා , ආදී නානාප්‍රකාර රෝග වැළඳී , මළ මුත්‍ර ගොඩෙහි වැටී අනුන් විසින් නැගිට්ටවිය යුතුව , හාන්සි කරවිය යුතුව , කැවිය පෙවිය යුතුව අප්‍රමාන දුක් විඳින්න සිදුවන බව ? ඉදින් මෙලෙසින් බියකරු ලෙඩ රෝග වැළඳී දුර්වලව යාමට ප්‍රථමයෙන් මා අප්‍රමාදව ධර්මයේ හැසිරිය යුතුයි , කුසල් වැඩිය යුතුයි කියා තොප හට සිතුනේ නැද්ද ?
අනේ ස්වාමිනි මට බැරුව ගියා ... මම ප්‍රමාද උනා.....

එසේ නම් පුරුෂය , මනුෂ්‍ය ලෝකයේ සිටියදී නුඹ දුටුවේ නැද්ද මිනිසුන් අතර පහලවූ හතරවන දේව දුතයා ?
නැත ස්වාමිනි මා දුටුවේ නැහැ ...
මොනවා , නුඹ දුටුවේ නැද්ද දඬුවමට හසුවී දුක් විඳින්නා වූ සත්වයින්? කස පහර ලැබ , වේවැලින් දඬු මුගුරෙන් තලනු ලැබ , අත් පා කන් නාසා කපා දමන ලදුව , හුල සිටුවා තිබෙන්නා වූ , අප්‍රමාන දුකට භාජනයවූ සත්වයන් ?
අහෝ ! ස්වාමිනි දැක්කා ....
ඉදින් නුඹ එවිට සිතුවේ නැද්ද , මාත් මේ ආකාරයේ ස්වභාවයකට පත් විය හැකි බව ? මාද මෙලෙසින් වධ බන්ධන වලට යටත් කරනු ලදුව අත පය කපා දමනු ලදුව අප්‍රමාන දුක් විඳින්නට සිදුවන බව ? හුල සිටුවා දින ගණනක් හුල මත සා පිපාසයෙන් මරණය එන තෙක් දුක් විඳිමින් බලා සිටිය යුතු බව ? මිනිස් ආත්මයේම වරදට දඬුවම් එසේ ලැබේ නම් .. නිරයට වැටුණු කල කෙසේ නම් වේද ? ඉදින් මෙලෙසින් බියකරු විවිධාකාර දඬුවමට යටත් වීමට ප්‍රථමයෙන් මා අප්‍රමාදව ධර්මයේ හැසිරිය යුතුයි , කුසල් වැඩිය යුතුයි කියා තොප හට සිතුනේ නැද්ද ?
අනේ ස්වාමිනි මට බැරුව ගියා ... මම ප්‍රමාද උනා.....

එසේ නම් පුරුෂය , මනුෂ්‍ය ලෝකයේ සිටියදී නුඹ දුටුවේ නැද්ද මිනිසුන් අතර පහලවූ පස්වන දේව දුතයා ?
නැත ස්වාමිනි මා දුටුවේ නැහැ ...
මොනවා , නුඹ දුටුවේ නැද්ද මිය ගොස් සිටින මිනිසුන් ? මළකුණු ? මිය ගොස් දිනය , දෙක තුන ගතවී ගොස් තිබෙන , ඉදිමි විකුර්ථිව දුගඳ හමනා මළකුණු ? තවත් දින කිහිපයක් ගොස් සොහොනේ දමනු ලදුව බලු , කැනහිලුන් , ගිජු ලිහිණින් විසින් ඇද කන්නා වූ ඕජාව වෑහෙන දුර්ගන්ධයෙන් පිරුණු මළ සිරුරු ?
අහෝ ! ස්වාමිනි දැක්කා ....
ඉදින් නුඹ එවිට සිතුවේ නැද්ද , මාත් මේ ආකාරයේ ස්වභාවයකට පත් වන බව ? මාද මිය යන්නා වූ ස්වභාවය උරුම කරගෙන උපන් කෙනෙකු බව? මෙලෙසින් බලු , කැනහිලුන් විසින් ඇද කන්නා වූ ඕජාව වැහෙන දුර්ගන්ධවත් ස්වභාවයකට පත්වන්න වූ පුති කයක් පරිහරණය කරන්නා වූ මා මිය යාමට ප්‍රථමයෙන් අප්‍රමාදව ධර්මයේ හැසිරිය යුතුයි , කුසල් වැඩිය යුතුයි කියා තොප හට සිතුනේ නැද්ද ?
අනේ ස්වාමිනි මට බැරුව ගියා ... මම ප්‍රමාද උනා.....

එම්බා පුරුෂය , නුඹට හොඳ කරන්නයි බැරුව ගියේ ... නුඹ ප්‍රමාද උනා... ඒ නිසා ප්‍රමාද වූ සත්වයන්ගේ වාසස්ථානය වූ නිරය වෙත පැමිණීමට නුඹට සිදු උනා...
නුඹ ඔය කල කර්ම නුඹගේ මව කලාත් නොවේ , නුඹගේ පියා කලාත් නොවේ , නුඹගේ නෑදෑයන් කලාත් නොවේ , නුඹගේ සහෝදරයෙක් සහෝදරියක් කලාත් නොවේ , නුඹගේ යහළුවෙක් මිත්‍රයෙක් කලාත් නොවේ , ඔය කර්මය කිසියම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් කලාත් නොවේ , දෙවි කෙනෙක් කලාත් නොවේ ... ඔය කර්මය නුඹ විසින්ම කර ගත් එකක් ...
ඉතින් එය තමන්ම විඳවන්න තමා තියෙන්නේ කියා පස් ආකාරයකින් කරුණු දැක්වූ ඒ පරම ධාර්මික යම රජු නිෂ්ශබ්ධව ශෝකයෙන් අහක බලා ගන්නවා.....

එවිට යමපල්ලන් විසින් ඒ අවාසනාවන්ත සත්වයා ඇදගෙන ගොස් විවිධ ආකාර දරුණු වධ බන්ධනයන්ට පාත්‍ර කරනු ලබනවා.


"යම් මිනිසෙක් , තමන් අවට ඇති දේවදුතයන් දැක දැකත් අප්‍රමාදව වාසය කරත් නම් හෙතෙමේ බියකරු නරකයට වැටී දීර්ඝ කාලයක් ශෝක කරත්මය."

"යම් මිනිසෙක් එලෙසින්ම දේවදුතයන් දැක හඳුනාගෙන ආර්ය ධර්මයේ අප්‍රමාදව හැසිරෙත්ද හෙතෙමේ ජාති මරණ දෙකට කාරණ වූ තෘෂ්ණා දෘෂ්ටි බිඳ සසර සියලු දුක් කෙළවර කරන්නාහ."

බුධධෝත්පාදය පරම දුර්ලභය , බලු බළල් තිරිසන් ආත්මභාවයක උපත නොලබා දුකසේම ලබාගෙන ඇත්තාවූ අඳ, කොර , බිහිරි , පිළු නොවූ පරමාර්ථ මනුෂ්‍ය ජිවිතයද පරම දුර්ලභය , ආර්යයන් වහන්සේලා දර්ශනයද සත්ධර්ම ශ්‍රවනයද පරම දුර්ලභය. මෙසේ ලැබුවා වූ මේ පරම දුර්ලභ ක්ෂණ සම්පත්තියෙන් , පරමාර්ථ මනුෂ්‍ය ජිවිතයෙන් නිසි ප්‍රොයෝජනයක් නොලබා තම දිවිය තිරිසන් සතුන්ද ලබන්නා වූ පංච කාම වින්දනයටම කැප කොට , ක්‍රිකට් මැච් බල බලා පුස්ස බින්දා සේ ඉක්ම යන්නට ඉඩ හැරීම කවර නම් අපරාධයක්ද .

හේතුන්ගෙන් හටගන්නා වූ සියලු ධර්මයන් වහා නැසී යන්නාහ... හිස ගිනි ගත්තෙක් එය නිවීමට වෙහෙසෙන්නා සේ බිහිසුණු භව ගිනි නිවීමට අප්‍රමාද විය යුත්තේය.

Thursday, October 11, 2012

චීනේ ගැන කතා...

මාර තත්වයක් තමා දැන් තියෙන්නේ. ඇමරිකාව ඩොලර් ට්‍රිලියන දෙකක් විතර චීනෙට ණයයි. ණය ගෙවන්න චීනෙට තිරිඟු අරිනවා. ඔය කඩල, මුං ඇට දීල චව්වෝ අල්ලන බැහැ. උන් දැන් කොන්ඩේ බඳින්නේ නැහැ නේ.

ලෝකයේ අඩුම කාලයකින් කරපු , කරගෙන යන කාර්මික විප්ලවය තියෙන්නේ චීනේ. යුරෝපේ කාර්මික විප්ලවය කරලා සංවර්ධනය වෙනකොට , ඒ රටවල ආර්ථික වර්ධනය සමතුලිතව තියාගන්න උන්දලා කරේ අමුද්‍රව්‍ය , සම්පත් සොයාගෙන පෙරදිගරටවල් ආක්‍රමණය කරපු එක. පෙරදිග රටවලින් ආයුධ බලෙන් සුර කාපු ධනය තමන්ගේ ආර්ථිකයට පොම්ප කරගෙන ඒ රටවල් සංවර්ධිත රටවල් බවට පත් උනා.

චීනේ ආර්ථික වර්ධනය මේ තත්වයේ දිගටම තියාගන්න නම් , වැඩිවන ජනගහනයට අවශ්‍ය රැකියා අවස්ථා ලබා දෙන්න නම් නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩි කරන්න ඕනේ. නමුත් අමුද්‍රව්‍ය කොහෙන්ද? යකඩ , තඹ , සින්ක් , පෙට්‍රෝලියම් මෙකි නොකී හැම උලව්වම ඉල්ලුමට අනුව රටට පොම්ප කලේ නැත්නම් කර්මාන්ත නිෂ්පාදනය අඩාල වෙනවා. නිෂ්පාදනය අඩාල උනහම රැකියා අවම වෙනවා. එතකොට මිලියන ගානක් ගොවි බිම් වලින් සංක්‍රමණය වෙලා ඉන්න සංක්‍රමණික කම්කරුවන් පාරට වැටෙනවා. ගොවියෝ ටික පාරේ කියන්නේ බිජිං ආණ්ඩුවත් ගෙදර තමා.

දැන් අපිට බණ කියන සුද්ද ඉස්සර කරා වගේ කෙලින්ම තුවක්කු අරං ගිහිල්ල රටවල් ආක්‍රමණය කරලා සම්පත් සුර කන්න මේ දවස් වල ටිකක් අමාරුයි නෙව. ඒක හින්ද තමා චීනේ රාජ්‍ය ව්‍යාපාරයන් ලඟදි ඉඳන් ලෝකේ වටේ තියෙන විවිධ ඛනිජ නිධි වලට පිස්සු වැටිලා වගේ ආයෝජනය කරන්නේ. ගන්න පුළුවන් නම් සල්ලි දීලම ලෝස් නැතිව ගන්නවා. අප්‍රිකාවෙන් තඹ , දියමන්ති නිධි , ඕස්ට්‍රේලියාවෙන් , කැනඩාවෙන් යපස් , රත්රන් නිධි වගේ. ලෝකේ දැනට වැඩියෙන්ම රත්රන් මිලදී ගන්නෙත් චීනේ දැන්. රත්රන් නිධි මිලට ගන්න එක ලාබයි විවුර්ත වෙළඳපොලෙන් වැඩි ගානට රත්රන් ගන්නවට වඩා.

ලෝකයේ බලශක්ති සැපයුම පාලනය කරන රට ලොව පාලනය කරයි කියන එක ඇමරිකාව තේරුම් ගත්තේ කාලෙකට ඉස්සර. ඉරානයට ඇමරිකාවේ ඇති හොස්ටිලිටි එකත් මැනිය යුත්තේ මේ කෝදුවෙන්. ඇමරිකාව ගහගෙන ගහගෙන යනවා. චීනේ , තැන්ක්යූ අයියා කියාගෙන හාරාගෙන හාරාගෙන යනවා. යවනවා චීනෙට ඔක්කොම හාරපුව. යවනවා නිෂ්පාදිත බඩු ඇමරිකාවට. සහයෝගෙන් වැඩේ දෙනවා. තොප්පි දාපු ඔටුවෝ ටික සී සී කඩ...

නව අධිරාජ්‍යවාදී සූරා කෑම. නව කිව්වට පරණ එකම තමා. අන්තිමට කියන්න තියෙන්නේ මාටින් ට්රුස් අයිය කියපු එක තමා ...

Teach your children Manderine… because 21st Century belongs to China...

Sunday, October 7, 2012

Chants and Devotional Music from various Buddhist Traditions around the World (MP3 Download)

Was working on this for some time and finally… It’s with great pleasure I'm presenting this large collection of Buddhist Chants and devotional Music from all around the world.... Yes, Yes I’m basically jumping up and down with joy. :)  

This collection includes Parittas and devotional chants from various Buddhist traditions including Theravada, Mahayana, Vajrayana and Zen.

I’m confident enough to say that this is by far the largest, most diverse, well-arranged, freely accessible and easily downloadable collection of Buddhist parittha and chanting collection in the whole world. Dont believe me ??  Just have a look around and come back...

Since my very first dharma upload in March 30, 2011, more than 25000 people have downloaded various dharma talks I have put in to the archieve.org.  That’s about 1300 downloads per month. I have never imagined that these will become so popular. Isn’t that wonderful? 

As Ms Anatta has mentioned more than once, this is more like digging a water well for public use. Yes digging is hard and back breaking... but once dug, you don’t have to do anything else. Just cross your hands, put your legs up and watch how people take water from there and be happy. Never ending fountain of merits just flows out  from there for you…

Regarding ownership.... I must say that no copyright breach was intended in any form. If you believe any of the items in the list are not meant to be in public domain please let me know. I will remove them immediately.

Finally, if you find these useful be nice and kind enough to leave few words of thanks in the comment section. It means a lot to me…. Really!

Usual specifics:
Authors: Various monasteries , Sangha and Individuals
Genre: Buddhist Chants and Devotional Music
Language: Thai/Pali/Sinhala/English/Japanese/Tibeto
Uploaded By: Tiraj Adikari
Copyright: Where applicable is held by various monesteris and Sangha. These are strictly for free distribution only. Not for Sale. 
  
Download/playback Information:
 To download individual files right click and select save as from the menu.

To download the whole list of files choose VBR ZIP from the left hand Play / Download options menu.

To listen online, select the file and click on play icon in the audio player located in the top right hand corner.

Download Link: Click Here

ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් (2012-2013)

සමහර අය ඉස්සර අහනවා , අනේ පුතේ ඔහේ තියෙන හොඳ යුනිවර්සිටිස් ටිකක් කියල එවන්නකො කොල්ල/කෙල්ලව යවන්න. මාත් ඉතින් පණ දාගෙන හොයල යවනවා. පස්සේ තමා තේරුනේ ලංකාවේ කට්ටිය මේ හොඳ යුනිවර්සිටි කියල කියන්නේ අඩුම මුදල් ප්‍රමාණයක් පෙන්නලා අඩුම වියදමකින් මේහෙට එන්න වීස ලැබෙන , ඇවිල්ල සුමානෙකට පැය පනහක් විතර වැඩ කරලා සම්පුර්ණ කෝස් ෆී එකයි , ජිවන වියදමයි හොයාගෙන , හොඳ රස්සාවක් කරනවා වගේ ලංකාවට මුදලුත් යවන්න පුළුවන් විදියේ යුනිවර්සිටි එකක් ... ඒ කියන්නේ සෙමෙස්ටර් එක පුරාවට යුනි එකට පය නොතියල විභාගේ වෙලාවට ඔහේ ඔළුවට එන දෙයක් ලියල පාස් වෙන්න පුළුවන් , පන්ති වලට පැමිණීම කිසි සේත් වැදගත් නොවන යුනියක්. යුනියක් කිව්වට බෝඩ් කෑල්ලක්.... වීස ගන්න විතරක් ...

අනේ එහෙම ඒවා නම් ඇති. මං නම් දන්නේ නැහැ. මං දන්නා ඒවාට ගියොත් නම් , හරියට ඉගෙනගන්නවා නම් , පේල් නොවී ඉන්න ඕනේ නම් පාර්ට් ටයිම් ජොබ් කරන්න , පිස්සු කෙලින්න නෙමේ නිදා ගන්න පැය දෙක තුනක වත් වත් වෙලාවක් ලැබෙන්නේ නැහැ. (මෙහෙම තියෙද්දිත් , ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නේ පිටරට ගිහිල්ල සල්ලි දුන්නහම නිකං උපාදියක් ලැබෙනවා කියල නෙව ) ඔය ලංකාවේ ඉන්න යුනිවර්සිටි පන්ගාර්තු කරලා දෙන කපුටෙකුට කිව්වහම කිසි ප්‍රශ්නයක් නැතුව ඔය වැඩේ කර ගන්න පුළුවන් නෙව.එක නෙමේ මේ කියන්න ගියේ.

2012-2013 සඳහා ලෝකයේ ටයිම්ස් විශ්වවිද්‍යාල වර්ගීකරණය පිටවෙලා කියන එක. මෙහෙ ටොප් එකේම ඉන්නේ මෙල්බන් යුනිය. ඒ ලොවේම 28 වෙනියා විදියට. මොනෑෂ් එක සැහෙන්න පහු වෙලා 99 වෙනියා. මේ දෙකේම ඉගැන්වීම , ගුරුවරු, රිසර්ච්, පහසුකම්... ඔය සියල්ලම සුපිරි. ඔන්න අත්දැකීමෙන්ම තමා කිව්වේ. නයෙක් නෙමේ.

ගේ ඉස්සරහ තියෙන ඩීකින් එක තියෙන්නේ 350-400 අතර රෑන්ක් එකේ . ඔන්න ඉගෙන ගන්න මෙහෙ එනවා නම් අතේ මිටේ සල්ලිත් හොඳට තියෙනවා නම් යන්න ඕන , ගිහිල්ල ගානට ලස්සනට වැඩේ කරගන්න පුළුවන් යුනි කීපය උඩින්ම තියෙන්නා මේ ලිස්ට් එකේ.

ගාන ? මෙල්බන් යුනි එකේ විද්‍යා විෂයන්ගෙන් උපාධියක් කරනවා නම් $94,424–$126,268 අතර ගානකුත් මෙඩිසින් කරනවා නම් $279,710 වගේ ගානකුත් යනවා කියල තමා කියන්නේ.

අනේ!!! කියන්න දුකයි පින්වතුනි. ලංකාවේ එක යුනියක් වත් පැත්ත පළාතේ වත් නැහැ නේ මේ කිසිම ශ්‍රේණිගත කිරීමක . බලමු 6% ලැබුනහම වත් ලිස්ට් එකේ පලවෙනි 1000 ට වත් එන්න ඇහැක් වේවිද කියල.....

මොකද්ද මේ කරුමේ කියන්නේ ? (කර්ම විපාක නොපිළිගැනීම)

පසුගිය දිනවල මා විසින් පලකල කර්මය ලිපි පෙළ බොහෝ බෞධයන්ගේ ප්‍රසාදයට නොව අප්‍රසාදයට හේතු වූ බව මා දනිමි. එසේ අප්‍රසාදයට පත් වන බව දන දැනම මා ඒවා ලියා පල කලේ සත්‍යය එයම වන බැවිනි. එම තිත්ත ඇත්ත පිළිගැනීමට අකමැති බොහෝවක් එය යටපත් කොට දමා වෙනත් කරුණු ගැන හැර දක්වා තමා හර්දය සාක්ෂියට පොඩි පහේ වංචාවක් කර ගැනීමට තැත් කිරීම මනුෂ්‍ය ගතියකි. එහෙයිනි යටපත් වී ඇති,  යටපත් කොට ඇති  එම තිත්ත ඇත්ත ගොඩගෙන දමා ගැසීමට මා හට සිත් වුයේ....

ලංකාවේ ඉතා ජනප්‍රිය ධර්ම ලිපි මාලාවක් බවට පත්ව ඇති, ඉන්ද්‍රජිත් සුබසිංහ පින්වත් මහතා දිවයින පුවත් පතට යොමුකරන මහ රහතුන් වැඩි මග ඔස්සේ - සතර අපායෙන් මිදෙමු ලිපි පෙලේ මේ සතියේ ලිපියෙන් දක්වා ඇත්තේද මා එසේ ලියා දැක්වූ දෙයම බව දැකීම මහත් සතුටකි. 

මනුෂ්‍ය වාසයෙන් ඉවත්ව එකලාව තමා විමුකිතිය පිණිස වැර වඩන එම ලිපි පෙළ ලියන භික්ෂුන් වහන්සේ , ලංකාවේ බෞද්ධ සමාජයේ මුල්බැස ගෙන ඇති විවිධ මිත්‍යා විශ්වාසයන් හා බෞද්ධ යයි සිතා පිළිපදින්නා වූ විවිධ සම්ප්‍රදායික ඇදහිලි හා ක්‍රියාකාරකම් නිර්දය ලෙස විවේචනය කර ඒවායේ ඇති නිස්සාරත්වය ධර්මානුකුලව ඉස්මතු කර දක්වන හිමි නමකි. රිදෙන තැන්වලට උන්වහන්සේ ගෙනහැර දක්වන කරුණු වලින් බොහෝ රිදේ. ලංකාවේ භික්ෂුන් වහන්සේලා බොහෝ දෙනෙක් දායකයන් අමනාප වෙතයි නොසිතා මෙලෙසින් සත්‍යය , සාරධර්ම හා ගුණධර්ම ඉස්මතුකර දැක්වීමට කැපවෙනවා නම් තුන් තිස් පැයේ බණ නොකීවාට අද දක්නට ඇති පිරිහී ගිය බෞද්ධ සමාජය ගොඩ ගැනීමට එයම ප්‍රමාණවත් වෙතැයි මා හට සිතේ. මිනිසුන් අමන්නප වෙතැයි සිතා උන් වහන්සේලා නොකරන්නේත් එයමය.

උදාහරණයක් ගන්න. මහා ලොකු දෙයක් අවශ්‍ය නැත. සරල දෙයක් ගන්න. දෙදහස් පන්සිය වසක් බුදුදහම පැවති රටක් , ආරක්ෂා කල රටක් ලෙස පාරම් බාන ලංකාවේ බෞධයන් කීයෙන් කීදෙනෙක් පන්සලකට හෝ ධර්ම ශාලාවකට ගොස් වාඩි වීමට ඉගෙන ගෙන තිබේද ? 99% දෙන කරනුයේ දහම් දෙසන තෙරණුවන් දෙසට හෝ බුදු රජාණන් වහන්සේ දෙසට දෙපතුල් පෙනෙන සේ කකුල් දික් කොට දමා ඒවා වනමින් වාඩි වී සිටීම නොවේද ? මව වාඩි වී සිටින දෙස බලා සිටින කුඩා දරුවන් ද එලෙසම හිඳීමට ඉගෙන ගනිති. ලොකු කක්කුට්ටෝ පොඩි කකුට්ටන්ට පාර කියති. මේ අනචාරශීලි , වනචර වාඩිවීම් රටාව දෙස බල බලාම භික්ෂුන් වහන්සේලාද දායකයන් අමනාප කිරීමට අකමැති කම නිසා නොදැක්ක ලෙසම කටයුතු කරගෙන යති . ඒ ආකාරයෙන් අනචාරශීලි පැවතුම් සාධාරණිකරණය වී , සමාජ ගතවී පරපුරෙන් පරපුරට ගමන් ගනිත්.

දැනට එක පන්සලක මේ වාඩි වීම් රටාව නොකළයුතු දෙයක් බව දක්වා දැන්ව්මක් ගසා තිබෙනු දිටිමි. එය තායි ආරාමයකි. එහෙත් තායි මිනිසුන් හා ගැහැනුන් ඉතාමත් සංවරශිලිව හිඳ ගැනීමට දනිති. එහෙනම්.... ? අහෝ!!!!  එම තායි පන්සලේ ඒ දැන්වීම ගසා ඇත්තේ තායි මිනිසුන් උදෙසා නොව , එතනට පැමිණෙන ලාංකිකයන් උදෙසාය . වරද දුටු විගස එය පෙන්වා දීමට හැකි කොන්දක් තිබීම ගැන එම තායි පන්සලේ භික්ෂුන් වහන්සේලාට ප්‍රණාමය හිමි විය යුතුය . ලැජ්ජාවක් ඇත්නම් එය කියවන ලාංකිකයන්ට පුක පොලවේ ගසාගෙන දිවි නසා ගැනීමට එයම ප්‍රමාණවත් නොවේද ?

කියන්න ගිය එකෙන් පිට පැන්නා....:)  ආයි මාතෘකාවට එමු. බෞධයන් මෙතරම් කර්මයට විරුද්ධ ඇයි? මෙතරම් එය සමග අමනාප ඇයි? එහි ප්‍රතිපල/විපාකයන් පිළිගැනීමට අකමැති ඇයි? කර්මයේ විපාක දීම් අන් කිසි සංසිද්ධියක් පිට දා අත පිස දා ගැනීමට මිනිසුන් මෙතරම් කැමති මන්ද ? බෞද්ධ යයි කියා ගත්තත් කර්මය හා එහි විපාකයන් නොපිළිගැනීම මගින් නියත මිත්‍යා දෘෂ්ටික ලබ්දි ගෙන ඇත්තේ ඇයි?

උදාහරණයක් ලෙස කළුව , කැතව දුර්වර්ණව ඉපදීම පෙර භවයේ අකුසල කර්ම විපාකයක් බව කියූ කල්හි සිංහල බෞධයන් කැස කවාගෙන එයට විරුද්ධව තර්ක කිරීමට පැන එන්නේ මන්ද? " හා එහෙම නැහැ. උතු , බීජ , ධර්ම වගේ අනිකුත් නියාම ධර්මයන්ගෙන් උන දෙයක් ඒක... " යි කියමින් , කර්ම විපාක බැහැර කරමින් තර්ක කරන්න එන්නේ මන්ද ?

මට හිතෙන විදියට මෙයට හේතුව චේතනාවෙන් යුක්තව තමන් කල , කී ක්‍රියාවන්හි ප්‍රතිවිපාක තේරුම් ගැනීමට , පිළිගැනීමට හා වගකීම බාර ගැනීමට අකමැති වීමයි.  මෙය තමන් කල, කී හා කරන, කියන සියලු දේ හරි යයි සිතා සිටින , තමා අතින් වැරැද්දක් වීමට අවස්ථාවක් නැති බව සිතා සිටින බොහෝ මනුෂ්‍යයන් තුල ඇති සහජ ස්වභාවය යයි සිතේ.

උදාහරණයක් ලෙස , "මචං උඹට මේ නිකං වගේ ඔක්කොම සැප සම්පත් ලැබෙන්නේ පෙර ආත්මයේ හරියට දන් දීපු නිසා. උඹ හොඳ මිනිහෙක් ව අනුන්ට උපකාර කරපු නිසා." කියල කිව්වොත් එය පිළිගැනීමට සියලු බෞධයන් කැමති වුවත් , "මචං උඹ මේ වගේ දුප්පත් තත්වයට වැටිලා කන්න බොන්නවත් නැතුව දුක් විඳින්නේ පෙර ආත්මයේ ලෝභ මසුරෙක් ව කිසි දෙයක් අනුනට නොදී තමන්ම භුක්ති වින්ද නිසා"... කියා කියුවොත් , එයට කෝප වී .. ආ එහෙම කොහොමද ? මට මෙහෙම වෙලා තියෙන්නේ ආණ්ඩුවේ වැරැද්ද නිසා ... ගුරුවරුන් හරියට ඉගැන්නුවා නම් මාත් මිනිහෙක් අද ... 6% තිබ්බනම් මාත් අද කැම්පස් තමා..... මගේ තිබ්බ සල්ලි අනුන් කඩා වඩා ගත්තා... යි නානාප්‍රකාර දේ කියමින් අනුන් පිට වරද දමමින් කර්ම විපාක හේතුව බැහැර කිරීමට ම බොහෝ දෙන පෙළඹී ඇත්තේ තමන් කල කී දෙය පිළිගෙන එහි වගකීම තමන් පිට ගැනීමට බොහෝ දෙනා දක්වන අකමැත්ත නිසාම නොවේද ?

බුදු දහමේ නම් දක්වා ඇත්තේ , වරද වරද ලෙස දැක , පිළිගෙන එයින් අත්මිදීමට උත්සාහ කිරීමෙන්ම කෙනෙකුගේ ලෞකික හා ලෝකෝත්තර දියුණුව සැලසෙන බවමය....

Monday, October 1, 2012

මුවින් මහනෙල් මල් සුවඳ හමන කුමාරවරු?? යනවා ඕයි යන්න ....

මුවින් මහනෙල් මල් සුවඳ හමන කුමාරවරු , පයේ රෝම ඇති සිටු පුත් වරු , ශරීරය නිල් මහනෙල් මල් කළඹක වර්ණය ඇති සිටු දියණි වරු , පංච කල්යානයෙන් යුක්ත එකසිය විසි වයස් ගියත් නව යව්වන පෙනුම ඇති අමිත භෝගී සිටු දියණි වරු ... අම්මට සිරි මේ කොහෙන් බැහැපු සෙට් එකක් ද? ඒලියන්ස් ල වගේ....

මිනිස්සු නම් වෙන්න බැහැ. බුද්ධාගම් පොත් වල තියෙන්නේ බොරු නේ ඔයි! මේ වගේ කට්ටිය ඒ කාලේ විතරද හිටියේ. ඇයි දැන් නැත්තේ මොකද? නිකන් පච ටෝක් දාන්න එපා ....

සාරාසංක්‍ය කල්ප ලක්ෂයකටම තථාගත සම්මා සම්බුදු බුදු වරුන් පහල වුයේ 28 නමක් පමණි. අසංඛ්‍ය යනු පුරාණ ක්‍රමය අනුව ගණන් කල හැකි උපරිම සංඛ්යාවය. එක ආචාර්ය මතයකට අනුව අසංඛ්‍ය පහත ලෙස විග්‍රහ කර ඇත. කල්පයක් යනු සතර ගවුවක් දිග පළල ඇති දිග , පළල , උස ඇති සතරැස් කොටුවකට අබැට පුරවා ශත වර්ෂයකට එක බැගින් ගෙන පිටතට දැමුවිට යම් කලෙක කොටුව සිස් වේද එයටත් වඩා දීර්ඝ කාලයය.

පුජාවලිය , 48 පිට 
මේ කාල මිනුමෙන් මැන සතර අසංඛ්‍ය කල්පයකුත් තවත් කල්ප ලක්ෂයකුත් යන අති දීර්ඝ වූ කාලය තුල මේ ලොව පහල වී වදාළේ ලොව පිරිසිඳ දැන වදාලාවූ තථාගත සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේලා 28 නමක් පමණි. එවන් වූ සම්බුදු උපතක් අතිශයින්ම දුර්ලභය. අතිශයින්ම ආශ්චර්යය සහගතය. ලොව්හි ඇති අශ්චර්යමත්ම දෙය නම් තථාගත සම්මා සම්බුදුන් වහන්සේ නමකගේ උපතයි. අන් කිසිවක් නොවේමය...

එවන් වූ ආශ්චර්යවත් සම්බුදු රජාණන් වහන්සේලා කාලය ද්වීපය , දේශය , කුලය , මව යන පංච මහා විලෝකනයන් කොට තනිව පශ්චිම ආත්ම භාවයේ නුපදිත්. තමන් සමග එක්ව පින් කල , එක්ව ගැවසීමට ප්‍රර්ථනා කලාවූ , සසරින් එතෙර වීමට උන්වහන්සේම ප්‍රාර්ථනා කොට උන්වහන්සේම පිහිට කොට සසර සැරිසැරුවා වූ අසන්කෙයිය අපරිමේය මහා පින් ඇති සත්වයන් විශ්වයේ අනන්ත අපරිමේය ලෝකවලින් පැමිණ මේ මගුල් සක්වල , දිව්‍ය මනුෂ්‍ය භවයන්හි පිළිසිඳ ගනිත්.

බුදු උපතට නිසි කාලය පැමිණි කල්හි මනු ලොව බුද්ධ කෝලාහලයෙන් ඇලලී යත්. මනුෂ්‍යන් සත්‍යය නම් කුමක්ද? , ජිවිතයේ අරමුණ නම් කිම? , සැප දුකින් අන්‍යවූ අනිකක් ඇත්තේද? දැයි පෙර නුවූ විරු ලෙස විමසීමට පෙළබෙත්. දෙවියන් බුදු මගුලට සැරසෙත්. සදෙව් ලොවම , සියලු බ්‍රහ්ම ලෝකයන් භවාග්‍රය දක්වා බුද්ධ කෝලාහලයෙන් ඇලලී යත්.

බුදු පිරිස වීමට ප්‍රර්ථනා කොට කුසල් වැඩු පින්වතුන් මනු ලොව තම තමන්ගේ කර්මානුරුපව නිසි මවු කුස් හි පිළිසිඳ ගනිත්. ඔවුන්ගේ උපතට ගැලපෙන සේ සමාජයද සැකසී පවතී . මහ පින් ඇත්තෝ පාපී , දුර්ජන මව්නට පුත්ව , දුහිත්‍රව නුපදිත්. වැසිකිලි වලහි බිඟුන් නුපදින ලෙසිනි. වසුරු පිඩ කරා බමරුන් ආසක්ත නොවන ලෙසිනි.

පියොවින් සිල්වත් වූ , මාන ද්වේශ , ඉර්ශ්‍යා ආදී ක්ලේශ ධර්මයන් තම සන්තානයෙන් මනා ලෙස යටපත් කොට දැමුවා වූ , දානයෙහි අලුනාවූ , ප්‍රතිපත්ති ගරුක උතුම් මව්නට, පියවරුන්ට දාවම මෙවන් දරුවන් උපදිති. පෙර භවයන්හි දානයේ ඇලීමේ අනුසසින් මහ ධන ඇති රජ, සිටු කුල ම නිවෙස් වෙත්.

ඒ පශ්චිම භවික බෝසතුන් පිළිසිඳ ගනුයේ මෙවන් වූ සමාජයකය. ආශ්චර්යවත් බෝසත් වරයෙකු ඇසුරු කොට තවත් එවන් වූ ආශ්චර්යවත් සත්වයන් ලොව පහල වෙති. එකලට ඉහත ආකාරයේ සුවඳ විහිදවන මුව ඇති , උපන් විට පංච වර්ණ මල් වැසි වසිනා විශ්මිත ස්වභාව අති මනුෂ්‍යන් බිහි වීම අරුමයක් හෝ දුලබ දෙයක් නොවේ.

දැන් නම් පින්වත් කුමරියන් , කුමරුන් සිටිනුයේ කේන්දර කොලේ පමණි. පින්වත් මනුෂ්‍යයන්ට මවු පිය වීමට පියොවින් සිල්වත් වූ , මාන ද්වේශ , ඉර්ශ්‍යා ආදී ක්ලේශ ධර්මයන් තම සන්තානයෙන් මනා ලෙස යටපත් කොට දැමුවා වූ , දානයෙහි අලුනාවූ , ප්‍රතිපත්ති ගරුක සත්පුරුෂ දෙමවුපියන් ලංකාවේ සිටීද ? විහිළුවට වත් නැත.
එහෙව් එකේ මේ කාලේ ලංකාවේ කොහෙද මුවින් මහනෙල් මල් සුවඳ හමන මිනිස්සු ?

ප්‍රේතයනට , නේරයික සත්වයනට , තිරිසනුන්ට මවු වීමට නම් තම කුස සකස් කර ගෙන සිටින්නා වූ මවුන් නම් ගණනින් නිමක් නැත ලංකාවේ....

එහෙත්, එවන් වූ පුද්ගලයන් අදටද අතිශයින් දුර්ලභ නමුදු මනු ලොව සිටිත්. පින්වත් මනුෂ්‍යයන්ට මවු පිය වීමට පිළිවන් ආශ්චර්යමත් ප්‍රතිපත්ති ගරුක දෙමවුපියන් ..... සැප විඳීමට අතට පයට මෙහෙකරුවන් ගෙන් යුතු පරිසරයක් ... දෙවියන් සමාන අභිරූමත් ආර්ය ශරීර ලක්ෂණ වලින් යුතු දෙමාපියන් (අප්‍රිකාව අතහරිමු නේද ?) , දිවි දෙවෙනි කොට විමුක්තිය පිණිස කැපවූ කෝටි ගණනක් මිනිසුන් .... මෙහෙම තැනක් කොහෙද තාමත් තියෙන්නේ ? ඉස්සර ඉඳං තිබ්බ තැනම තමා......