Wednesday, November 18, 2015

මෙම්බශිප් කාඩ් එක

පිටකොටුවට පොඩි බඩු වගයක් ගන්න ගිය  වෙලේ වැස්ස වැටෙන්න පටං ගත්ත නිසා ගුණසේන පොත් සාප්පුවට රිංගුවා. 

එහෙං මෙහෙං බලනකොට හොඳ පොත් කීපයක්ම දැක්ක නිසා පොත් 4ක් 5 ක්  මිලදී ගන්න අතේ තියාගෙන ඉන්නකොට   පනාව දාගෙන හොඳ පෙනුම තියෙන කාන්තාවක්  අහසින් පාත් උනා වගේ සම්ප්‍රාප්ත උනා.


කාන්තාව :  සර් ට අපේ කාඩ් එක තියෙනවද ?

මම :  (බෑග් එක කවුන්ටරේ තැබීමෙන් පසු ලැබුන කාඩ් පත පෙන්වමින් .. ගොනා පාර්ට් රඟපාමින්  ) මේකද ? 

කාන්තාව : අයියෝ නෑ සර් අපේ මෙම්බ ෂිප් කාඩ් එක. ඒකෙන් ගන්න හැම පොතකටම 2% ක් ම ඩිස්කවුන්ට් ඇඩ් වෙනවා. 

මම : ආ ඇත්තද !

කාන්තාව : සර් අපේ ෂොප් එකට නිතර එනවද ?

මම :  නෑ අනේ. කලාතුරකින් තමයි එන්නේ. (පිටත වැස්ස දෙස බලමින් ) වෙන යන්න තැනක් නැත්නම්  

කාන්තාව :  එහෙනං සර් අපි මෙම්බ ෂිප් කාඩ් එකකට ඇප්ලයි කරමුද ?

මම : ආ .. ඔහොම ඉන්නකෝ බලන්න.... සියට දෙකයි නේද කිව්වේ ? එතකොට දාහකට  රුපියල් 20. ලක්ෂෙකට  රුපියල් 2000.  මට ලක්ෂෙක පොත් ගන්න තව අවුරුදු 10 වත් යාවි. එතකොට රුපියල් 2000 ක වාසියක් ලබන්න මට අවුරුදු 10 ක් සහ රුපියල් ලක්ෂයක් මෙතනට කැප කරන්න වෙනවා .... 

කාන්තාව :  හි හි 

මම : අනිත් අතට , මම සාමාන්‍යයෙන් පොත් ගන්න යන මරදානේ තැන්වල 20% - 30% ඩිස්කවුන්ට් මට හැමදාම ලැබෙනවා.

කාන්තාව :   ඒ කොහෙද ඒ ?

මම : දයාවංශ ජයකොඩි , ගොඩගේ , ආරිය වගේ තැන් 

කාන්තාව :  ඒ පොත් ගොඩක් ගත්තොත් නේ !

මම :  නැහැ .. එක පොතක් ගත්තත් එහෙමයි. සාමාන්‍යයෙන් ප්‍රකාශකයෙක් 30% ක ඩිස්කවුන්ට් එකකට තමයි කඩ වලට පොත් දාන්නේ. ඉතින් කස්ටමර් කෙනෙක් ප්‍රකාෂකයගෙන්ම ඇවිල්ල ගන්නකොට ඒ ඩිස්කවුන්ට් එක ඒ විදියටම නොවුනත් 20% වත් කස්ටමර් ට දෙන එක නේද සදාචාරය.  

දැන් බලන්න මෙතන ඔයගොල්ලෝ ප්‍රකාශ කරන පොත් 100 ක් ගත්තත් සත පහක ඩිස්කවුන්ට් එකක් නෑ නේ. එහෙම පාරිභෝගිකයෝ ගසා කන ගමං , ඒ අයව රවට්ටන්න හිතාගෙන  2% කේ  සිනි බෝල  දෙන්න හදන වැඩේ නං කුජීතයි. 

දහ  දාහක්ම පොත් මෙතනින් ගත්තොත් මට ඩිස්කවුන්ට් ලැබෙන්නේ රුපියල් 200. රුපියල් දෙසිය කියන්නේ මොකද්ද !! මම ඊයේ ටොයිලට් පේපර් රෝල් දෙකක් ගත්තා රුපියල් දෙසිය විස්සකට.  බලං ගියාම  ඔයගොල්ලොන්ගේ කාඩ්   එකෙන් එහෙමවත් ප්‍රයෝජනයක් නෑ නේ 

කාන්තාව :   අන්තරස්දාන විය 

Sunday, August 16, 2015

දේශපාලන ලොල් කතා


අම්මපල්ල අතිං දැම්මෙත් නෑ අඩු කරෙත් නෑ. පෞද්ගලික වල් පල් ටිකක් විතරක් අයින් කරා

අපේ අයිය ඉන්නවනේ.. මිනිහ තද යහපාලන කාරයෙක්. ඇහුවොත් කටේ තියෙන්නේ යහපාලනය , මහින්ද හොරා , අරය හොරා , මූ හොරා ... මහින්ද බලය අයුතු විදියට පාවිච්චි කරා , මහින්ද උසාවියට , පොලිසියට බලපෑම් කළා , ප්‍රජාතන්ත්‍ර වාදය බල්ලට ගිහිල්ල etc ... ඒවගේම පිළිගත් , සිවිල් බලපෑම් කල හැකි වෘතියක් කරන කෙනෙක්. තාත්තා විශ්‍රාමිකයි. තවත් තද යහපාලන කාරයෙක් වගේම අර මන්තර ටිකම ජප කරන කෙනෙක්.

තාත්තා : බලන්නකෝ තමුසෙගෙ අයිය ඊයේ රෑ **** හංදියේ සිග්නල් දාන්නේ නැතුව හරවලා මෝට බයිසිකල් කාරයෙක් හප්පලා නේ. මිනිහට හොඳටම අමාරුයි. ඉස්පිරිතාලේ.
මම : හැබෑටම. ඉතිං මොකද උනේ ?
තාත්තා : පොලිසි ගියා. අයිය හොඳට පොලිසිය අඳුරනවා නේ. එයාගේ වැරැද්ද උනත් ඒගොල්ල ශේප් කරලා දාල.
මම : ඉතිං අර හැපුන මිනිහ පවු නේ. හොඳටම තුවාලත් ඇති. කියක් වත් අඩු ගානේ දුන්නේ නැද්ද ?
තාත්තා : ඒ මොකටද. මිනිහනේ ඇවිල්ල හැප්පුනේ. මිනිහට මොකටද සල්ලි දෙන්නේ
මම : රෑ ඩ්‍රයිව් කරලා සිග්නල් නොදා මිනිහෙක්ව හප්පලා , ඒ මිනිහට සතයක් වත් නොදී , පොලිසියේ තමන්ගේ සිවිල් බලය පාවිච්චි කරලා සිද්දිය යට ගහන එක එයා විශ්වාස කරන යහපාලන මුලධර්ම අනුව වැරදියි නේද ?
තාත්තා : කොහොමද දැන් ඔහෙට වහිනවද ?
.
.
.
.
මම : කොහොමද දැන් දේශපාලනය .. හොඳටම උණුසුම් ඇති නේද ?
තාත්තා : ආ ඔව් ඔව්. දන්නවා ඇතිනේ සන්ධානේ ලේකම් දෙන්නල දොට්ට දැම්මනේ. උං ට දැන් යන එන මං නැහැ.
මම : ඔව් ඔව් ඉතිං.
තාත්තා : වැඩේ කරේ ආයි ගොඩ එන්න බැරි වෙන්න. හෙහ් හෙහ් . සිකුරාදා උසාවිය වාහන වෙලාවටම නියෝගයට අත්සන් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ සෙනසුරාද , ඉරිදා නිවාඩුයි. සඳුදා අඟහරුවාදාත් නිවාඩුයි. උන්ට කිසි දෙයක් කරන්න බැරි වෙන්න , විරෝධතාවයක් වත් උසාවියට ගේන්න බැරි වෙන්නම තද කරලා දැම්ම.
මම : හෑ.!!! මිනී මරුවෙක්ට උනත් විරුද්ධව කරුණු දක්වන්න අවස්තාවක් තියෙනවා නේද ? මුලික විරෝධතාවයක් වත් ගෙන එන්න බැරි වෙන විදියට එහෙම කරන එක යහපාලනයට එකඟනෑ නේද ?
තාත්තා : ඒ වගේ වෙලාවට යහපාලනය , ප්‍රජාතන්ත්‍ර වාදය බල බල ඉන්න බෑ. ගහලම දාන්න ඕන.

Sunday, July 12, 2015

ගැස්ට්‍රයිටිස් සහ තේ

මා මේ සති අන්තයේ කැසිල්ල හින්ද ගැස්ට්‍රයිටිස් ගැන ලිපියක් ලියමින් හිටියේ. ඒ ලියන අතරේ  අතුරු කොටසක් ලෙස තේ ගැන ලියන්න ගියාම තමයි තේ-රුනේ , තේ ගැන කොච්චර ලියන්න දේවල් තියෙනවද කියල. ඒක හින්ද  ගැස්ට්‍රයිටිස් ගැන ලියන එක පසුවට දාල තේ ගැන ලියපු කොටහ මුලින් දාන්න ඕනේ කියල හිතුන.  

මගේ මවට ආතතිය නිසා ගැස්ට්‍රයිටිස් සැදී තිබෙනවා. පියාට ඇස්ප්‍රින් භාවිතය නිසා ලඟදි ගැස්ට්‍රයිටිස් හැදුනා. ඒ අවස්ථා දෙකේදීම ඔවුන්ට වෛද්‍යවරයන් විසින් තේ පානය සම්පුර්ණයෙන් තහනම් කරනු ලැබුනා. මට ඒ තහනමේ පදනම තේරුම් ගත හැකි උනේ ටික කාලයකට පසුවයි. අනිවාර්යයෙන්ම ඔවුන් නිවැරදියි. ලංකාවේ විකිනීමට ඇති තේ පානය   අනිවාර්යයෙන්ම ගැස්ට්‍රයිටිස් සෑදීමට සහ සෑදී ඇති ගැස්ට්‍රයිටිස් තත්ත්වය   උත්සන්න වීමට හේතු වෙනවා 

ම්ලේ*නා , ඩෙ*මා , වට*ල වැනි තේ වර්ග වල සහ විශේෂයෙන් සාමාන්‍ය කඩ වල විකිනීමට ඇති තේ කුඩු වල උදරයට අහිතකර  රසායනික සහ වර්ණ කාරක අඩංගුයි.ලංකාවේ ඩයි නොදැමූ තේ කුඩු නං සාමාන්‍ය වෙළඳපොලෙන් ගන්නට බැරි තරම්. සෑම තැනම විකිනීමට ඇත්තේ ඩයි දමා තැම්බූ කසල තේ පමණයි.    ම්ලේ*නා සහ  ඩෙ*මා සමාගම් මේ කසල තේ පිටරටවලටත් තොග පිටින් අපනයන කිරීමේ නිරත වෙනවා. පිට රටවල ජිවත් වන ලාංකිකයන් "හොඳ කහට" කියමින් මේ ඩයි මිශ්‍රිත කසල තේ පානය කිරීමට ඇබ්බැහි වී සිටිනු දැක ගත හැකියි.
   
ඩයි දැමු කසල තේ හඳුනා ගැනීමට හරිම ලේසියි. තේ කුඩු හරි තේ බෑග්  එක හරි නටන උණු වතුරට දමා නිශ්චලව තබා තත්පර 5ක් ඇතුලත ඒ තේ පාට ගැන්වෙනවා නං ඒ තේ වලට ඩයි මිශ්‍රයි.  ම්ලේ*නා සහ  ඩෙ*මා තේ බෑග් එකක් කෝප්පයකට දැමු විගසම   ප්‍රවාහයන් ආකාරයෙන් ඩයි පිටතට ගලා එනවා දකින්න පුළුවන්. ඩයි නොදැමූ හොඳ තේ කෝප්පයකට දැමු විට එහෙම පාට ගැන්වීම සඳහා අඩු වශයෙන් මිනිත්තු 2 ක්  වත්  යනවා.  

මේ කසල තේ සම්බන්ධයෙන්  දිනකට කීප වරක් තේ බොන මට අත්දැකීම් රාශියක් තිබෙනවා. දෙකක් දක්වන්නම්.

1. සිය රට දේ සිරි සැප දේ කියල මෝඩ කම ඔළුවට ගහල ඩෙ*මා බීපු කාලයේ මාස 2 කට සැරයක් දත් දරුණු ලෙස දුර්වර්ණ වීම නිසා දන්ත වෛද්‍යවරයන්  මුණගැසි දත් පිරිසිදු කරගැනීමට සිදුවීම පලවෙනි සිදුවීම.  ඒ කාලයේ  මේ දත් දුර්වර්ණ වීම සහ තේ වල ඇති ඩයි අතර කිසිම සම්බන්ධතාවයක් ගොඩ නැගීමට මා අපොහොසත් උනා. නමුත් වෛද්‍යවරයාගේ  උපදෙස් අනුව ඩෙ*මා බිම අතහැරීමෙන් පසු දත් දුර්වර්ණ වීම නැතිව ගියා.

2. ලංකාවේ නිවාඩුවකට ගොස් ගතකල කාලයේදී වරක් හිතවත් ඇන්ටි කෙනෙකුගේ ගෙදර ගොස් තේ එකක් බිමට සිදු උනා. මා සාමාන්‍යයෙන් පිට තැන්වලින් තේ  බොන්නේ නැහැ. එක හේතුවක් කසල තේ. දෙක  දිව තල්ලේ ඇලී උගුර , ගලනාලය පුළුස්සාගෙන යන තරමට සීනි මගින් තේ එක සාන්ද්‍රණය කර තිබීම සහ  තුන්වනුව පිටි කිරි භාවිතය.    ඉන්නම බැරුව කරදර කරනවානම් උණුවතුර එකක් ඉල්ලං බොනවා.  ලොකු කමකට නෙවෙයි. හේතුව පැහැදිලි වෙයි ඉදිරියේදී. එම කාන්තාව එදින "මේ ගොල්ලෝ නං අපේ ගෙදර ආවම තේ එකක් වත් බොන්නේ නැහැ නේ" යනුවෙන් නැගු සියුම් අවලාදය නිසාම එදින එතනින් තේ එකක් බිමට සිදු වුනා. 

එම තේ එකෙන් බාගයක් පමණ බිව් පසුව උදරයේ විශාල දැවිල්ලක් පැන  නැග්ගා. උදරය පිපිම , දැවිල්ල සහ උගුරට එම නිසා ඉතාමත් අපහසුවෙන් සුළු වෙලාවක් සිට වහාම නිවසට පැමිණි පසු වමනය කර එය පිට කර හැරි පසුවයි ශරීරයට  නැවතත් සහනයක් දැනුනේ. පිරිසිදු තේ පානයෙන් ශරීරයට විශාල ප්‍රබෝධයක් , සැහැල්ලුවක්  සහ තෘප්තිමත් බවක් දැනෙනවා. ඩයි මිශ්‍ර කසල තේ පානයෙන්  ශරීරයට අපහසුවක් හැරුණු කොට  ඒ වැනි  හැඟීම් දැනෙන්නේ නැහැ.

ආමාශයට අහිතකර මේ තේ දීර්ඝ කාලයක් පානය කිරීම ආමාශයේ ප්‍රදාහ තත්ත්ව හෝ පිළිකා සෑදීමට හේතු වෙයි කියා මා විශ්වාස කරනවා

ඉතිං මොන තේද එහෙනං රෙකමන් කරන්න තියෙන්නේ ?

මෙහේ වාසය කරන ලාංකික අයට නම් මගේ පළමු තේරීම වෙන්නේ  ට්විනින්ග්ස් තේ. එයිනුත් ලඟකදී නිකුත් වුන Assam Bold හෝ Ceylon Orange Pekoe   තේ වල ලාංකිකයන්ට සුපුරුදු විශිෂ්ට තේ රසය යම් පමණකින් තියෙනවා.  යම් පමණකින් තියෙනවා කිව්වේ හොඳටම හොඳ නැති නිසා. තේ කොළ පරණවිමේදී සහ ඇසුරුම් කිරීමේ අඩුපාඩු නිසා එහි ලාක්ෂණික රස ගෙනදෙන සුවඳ පිටතට විසිරි ගොස් වියැකී යනවා. මේ තේ වර්ග කර්මාන්ත ශාලාවෙන් පිටවී මාස ගණනක් ගෙවී ගොස් ඇති නිසා එහි රසයේ සහ සුවඳේ කැපී පෙනෙන අඩුවක් තිබෙනවා. 

මා  සාමාන්‍ය මෙහේ වෙළඳසල් වල විකිනීමට ඇති සියලුම තේ වර්ගයන් පාහේ පරික්ෂා කර බලා තිබෙනවා. ලිප්*න් වැනි තේ වර්ග නම් උගුරක් රස බලා තේ පෙට්ටියම කුණු බාල්දියට දැමීම තමයි කලේ. එහෙම ටැස් කරලා තමයි ට්විනින්ග්ස් තේ තෝරා ගැනීම කලේ. 

හොඳට ම හොඳ තේ අත්දැකීමකට නම් ලංකාවේ තේ වත්තක් අනුබද්ධව ඇති කර්මාන්ත ශාලාවකින් හෝ සිලෝන් ටි බෝර්ඩ් එකේ ඇති BOP තේ ලබාගෙන ඒ අත්දැකීම රස විඳිය යුතු වෙනවා.


සිලෝන් ටි බෝර්ඩ් එක ගැන කිව්ව පාර තව එකක් මතක් උනා. වසර කීපයකට ඉස්සර   ටී  බෝර්ඩ් එකේ මේ සිංහයා ලකුණ  ගහල තියෙන තේ වර්ග වැඩිපුර තිබුනේ නැහැ. ඒ කාලයේ උසස්ම තේ වර්ග වල පිටිපස පමණයි මේ ලකුණ ගහල තිබුනේ. ඒ කාලයේ නං මම කිව්වේ "හොඳ තේ" ඕන නම් ඔය ලකුණ තියෙනවද බලල ගන්න කියලා. නමුත් අවාසනාවකට දැන් සියලුම මහාපරිමාණ කසල තේ ව්‍යාපාරිකයන් තම නිෂ්පාදන වලටත් මේ ලකුණ යෙදීමට පටන් අරගෙන තිබෙනවා. එම නිසා එම ලකුණෙන් පමණක් විශිෂ්ට තේ වර්ගයක් සොයාගැනීමට දැන් බැහැ.සිලෝන් ටි බෝර්ඩ් එකේ රාක්ක  වලත් දැන් පුරෝලා හින්නේ ඒ ඩයි දැමු කසල තේ. එම නිසා   ටෙස් කරලා බලල මිසක් තත්වය ගැන සහතිකයක් දීමට නොහැකිව තිබෙනවා. FAMILY PACK BOP Pure Ceylon Tea නමින් ඇති තේ වර්ගය පමණක් වර්තමානයේ උසස් තත්වයෙන් ඇතිබව කිව හැකියි. බීලම වෙනස අත්විඳ බලන්න.  

ටී  බෝර්ඩ් එක තියෙන්නේ 574, ගාලු පාර කොළඹ 3 යන ලිපිනයේ. ඩර්ඩන්ස් ඉස්පිරිතාලය ගාවම වගේ .


තේ බෑග් වර්ග දෙකක තේ කුඩු වල ප්‍රමාණය සහ විශාලත්වය සංසන්දනය කිරීම 

Saturday, March 14, 2015

පුජ්‍යපාද රාජගිරියේ අරියඤාණ තෙරුන් වහන්සේගේ ධර්ම දේශනා


කලින් දවසක පොරොන්දු වූ ලෙස පුජ්‍යපාද   රාජගිරියේ අරියඤාණ  තෙරුන් වහන්සේගේ ධර්ම දේශනා රැසක් අද ඔබ වෙත ගෙන එනවා. මේවා බොහොමයක් මා හට සංයුක්ත තැටියකින් ලැබුණු ඒවා. ඒ කාර්යයට දායක වූ සොයුරු සොයුරියන්ට බොහෝ පිං.

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ නමින් දිවයින පුවත්පත ඔස්සේ ඉන්ද්‍රජිත් සුබසිංහ   මහතා සංස්කරණය කර ඉදිරිපත් කරන ලිපිපෙළ ලියුවා යයි සැලකෙන මේ හිමියන් ගේ ගිහි කාලය  සහ පැවිදි ජීවිතය ගැන වැඩි තොරතුරක් දැනගැනීමට නැහැ. උන්වහන්සේ ට වයස අවුරුදු 24 දී පමණ සිට පැවිදි වීමට  කැමැත්තෙන් පසු වූ බවකුත් අවුරුදු 44 දී පමණ කතරගම දී මාසයක් දස සිල් ලබා සිට  පැවිදි දිවියට ඇතුල් වූ  බවත් සඳහන්.

පැවිදි වී මාස  දෙක  හමාරකින්  පමණ පසු ගුරු හිමියන්ගෙන් වෙන්වී යන උන්වහන්සේ ඉන්පසු භාවනාව වැඩිම සඳහා විවිධ වනාන්තරවල සහ ආරණ්‍ය වල කල් ගත කල බව පැවසෙනවා.

උන්වහන්සේ රහතන් වහන්සේ නමක් යයි උපකල්පනය කර , උන්වහන්සේ දේශනා කරන සියල්ල සුපිරිසිදු සත්‍යය යයි මුඪ ශ්‍රද්ධාවෙන් පිලි නොගෙන , උන්වහන්සේ දේශනාකරන දෙය ශ්‍රවනය කර,  සතියෙන් යුතුව ධර්මය/ විනය හා සසඳා බලා තම බුද්ධියට ගෝචර වෙන යමක් ඇත්නම් , හංසයා දියෙන් කිර වෙන්කර ගන්නා සේ එය උකහා ගෙන තම භව ගමනට  යහපතක් කර ගැනීමට   ධර්ම කාමීහු සමත් වෙත්වා.

සියලු දෙනාටම තෙරුවන් සරණයි   

Usual specifics:
Author: Venerable Rajagiriye Ariyagnana Thero
Genre: Buddhist Dharma Sermons
Language: Sinhala/Pali
Uploaded By: Tiraj Adikari
Copyright:   If applicable is held by Venerable Rajagiriye Ariyagnana Thero

Download/playback Information: 
  • To download individual files right click and select save as from the menu.
  • To download the whole list of files choose VBR ZIP from the left hand Play / Download options menu.
  • To listen online, select the file and click on play icon in the audio player located in the top right hand corner. 
Download Link : Click Here

Saturday, February 14, 2015

රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ- Mixed Feelings

© maharahathunwadimagaosse.org
මහ රහතුන් වැඩි මග ඔස්සේ ලිපි පෙළ ලියු (වා යැයි කියන )  රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ ගේ ධර්ම දේශනා 20 ක් පමණ ඇතුලත් CD පටයක් කීප දිනකට පෙර මට ලැබුනා. ඉදිරි මාසය තුලදී එය අන්තර්ජාලයට එක කොට ඔබ වෙත ලබා දෙන්නම්.  

එහෙම ෂුවර් නැති විදියට සඳහන් කරේ පසුගිය කාලයේ ඒ ලිපි පෙලට අයිතිවාසිකම් කියාගෙන චීවර ධාරීන් කීප දෙනෙක් ම ධර්ම දේශනා කිරීම් සහ සම්මාදම් එකතු කිරීම් කලබව පැතිර ගිය නිසා. එක චීවරධාරියෙක් අල්ල ගත්ත හැටි ගැන  ඉන්ද්‍රජිත් සුබසිංහ මහත්මයා  ලියු ලිපිය මෙතනින්. 

දිවයින පුවත්පතේ පලවූ මහ රහතුන් වැඩි මග ඔස්සේ ලිපි  පෙළ හරහා  ලොකු රැල්ලක් පසුගිය වසර කීපය තුලදී නිර්මාණයවී ගිය බව පෙනී ගිය දෙයක්. ඒ ලිපිපෙළ එකතු කර පලකල පොත් පෙළත් උණු කැවුම් වගේ විකිණිලා ගිය නිසා ප්‍රකාශකයන්ට එය බොහෝ වාරයක් නැවත මුද්‍රණය කිරිමටත් සිදුවුනා. මම හිතන්නේ ඒ රැල්ලේ කුටප්‍රාප්ති ය සිදු උනේ   මහින්ද රාජපක්ෂ  මැතිඳුන් රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ අරලියගහ මැදුරේ පොහෝදින ධර්ම දෙශනාවට වැඩමවීමත් සමගින්. 

උන්වහන්සේගේ ධර්ම දේශනා අඩංගු වෙබ් අඩවි ගණනාවකුත් මේ වෙනකොට බිහි වී තිබෙනවා. ඉතා විශාල අනුගාමිකයන් පිරිසකුත් උන්වහන්සේ ගේ ධර්ම දේශනා , පුවත් පත් ලිපි සහ ප්‍රකාශිත පොත් හරහා බිහිවී තිබෙනවා.   හිතවතුන් සමග ධර්ම සාකච්චා කිරීමේදී උන්වහන්සේ ගැන මගෙනුත් විමසනවා. මාත් උන්වහන්සේ ගේ ධර්ම දේශනා ප්‍රිය කරනවාද අහනවා.  ඒ ගැන සාකච්චා  කර පැහැදුනවුන්ගේ සිත් බිඳ අකුසල් රැස්කර ගැනීමේ අකමැත්ත නිසා  නිහඬව සිටීමට සිදුවී තිබෙනවා. ඇත්තෙන්ම මම උන්වහන්සේගේ දේශනා සම්බන්ධයෙන් තියෙන්නේ මිශ්‍ර අදහස් . එයට හේතුව හොඳ ධර්ම කරුණු වගේම  , ධර්ම විකුර්ති කිරීම් කීප සංක්‍යාවකුත්  මම ඒවා තුලින් දුටුව නිසා.  මම රැල්ලට යන කෙනෙක් නෙමෙයි. කෙනෙක් කියන ඕනෑම දෙයක් , උන්වහන්සේලාගේ  ජනප්‍රියත්වය නොසලකා ධර්ම , විනය සමග සසඳා බලා ඒ සම්බන්ධයෙන් නිගමනයකට ඒම තමයි මගේ ක්‍රමය.         

මා ඇසු එක් ධර්ම දේශනාවකදී උන්වහන්සේ පුන පුනා ප්‍රකාශ කිරීමක යෙදුනා සත්වයෙක් ස්ත්‍රී වී උපදින්නේ ඒ තැනැත්තා කල අකුසල කර්මයක් නිසා කියා. එයින් ගම්‍ය වෙන්නේ ස්ත්‍රීන් සියල්ලන් පාපකාරින් බවද ? එසේ නම් මහමායා දේවිය ,  යශෝධරා දේවිය යන අයත් අකුසල කර්ම කොටම එම පාපී උත්පත්තිය ලැබිය යුතුව ඇත. පැහැදිලිව සඳහන් කරනවා නම් ඔවුන් සංසාරයේ අනාචාරයේ හැසිරීමේ පාපය නිසා ස්ත්‍රී ආත්ම ලබා ඇත. 

මා දන්නා තරමින් මහමායා දේවිය කල්ප ලක්ෂයක් එම පදවිය උදෙසා පෙරුම් පිරු අයෙකි. යශෝධරා දේවියගේ පෙරුම් දම් පිරිම සාරා අසන්ක්‍ය  කල්ප ලක්ෂයක් දක්වා දිව යයි.  ඔවුනුත්  මේ දීර්ඝ කාලය තුලදී අනාචාරයේ හැසිරෙමින් දිගටම ස්ත්‍රී ආත්ම ලබමින් පැමිණ බව හඟවමින් කතා කිරීමද  නොදන්නා කමින් කරන බලවත් අකුසලයක් බව පැවසිය යුතුමය.  

සත්වයෙක් ස්ත්‍රී  බවට පත්වන්නේ අකුසල කර්ම බලයෙන් පමණක් බව පැවසීම මුසාවකි.  අකුසල කර්ම බලයෙන් වනවා නම් එයට අනාචාරයේ හැසිරීම හේතු පාදක වෙයි. නමුත් ප්‍රර්ථනා බලයෙන්ද සත්වයන්   ස්ත්‍රී වී  ඉපදීම සිදු වේ. මහමායා දේවිය ,  යශෝධරා දේවිය වැනි කාන්තාවන් සංසාරයේ දිගටම ස්ත්‍රී වී ඉපදුනේ ඔවුන්ගේ ප්‍රර්ථනා බලයෙනි.   එමෙන්ම ආචින්න කර්ම බලයෙන්ද ස්ත්‍රී වී ඉපදීම සිදුවිය හැක. තවත් හේතු තිබිය හැක ඔබ දන්නවා නම් පහත සඳහන් කරන්න.

Tuesday, February 10, 2015

සිරිලක දේ , මරු ගෙන දේ - No thanks AGAIN


මම ගිය අවුරුද්දේ සැරයක් ලිව්වා ලංකාවේ නෙලුම් අල නමැති විස ගුලි ගැන. සහල් ගැනත් අන්තිමට පොඩ්ඩක් මතක් කරා මේ අද්‍යයනය ගැන කලින් ආරංචි වෙලා තිබ්බ හින්ද. නමුත් රිෆ කරන්න තැනක් නොතිබුන නිසා වැඩි සඳහනක් කරේ නැහැ. ඔන්න දැන් ඇවිල්ල තියෙන හින්ද තමන්ටම ගිහිල්ල බලා ගන්න පුළුවන්.


ලංකාවේ ජිවත් වෙන මිනිස්සු ගැන නම් පැහැදිලිවම කනගාටුයි මොකද ඔවුන්ට විස හාල් නොකා කන්න වෙන දෙයක් නැති නිසා. ඔවුන් සැබවින්ම ඔප්ෂන් ලස්. නමුත් ලංකාවෙන්  පිට ඉන්න සිංහල ජහ මනතාවත්   හොයාගෙන ගිහිල්ලම , ලාබෙට මෙච්චර ඉන්දියන්, තායි බාස්මති වර්ග තියෙද්දී ලාංකේය විස ගුලි සම්බා ම මිලට අරං කන එක නං මට තේරුම් ගන්න අමාරු දෙයක්. ලාංකික සැකසු ආහාර විකුනන්න තිබෙන බොහෝ තැන්වලත් දෙන්නේ තම්බපු සම්බා හාලේ බත්. 

හැබැයි ඒකෙත් ඇති අරුමයක් නැහැ බලං ගියාම  , මෙච්චර පිරිසිදු එළකිරි තියෙන ඕස්ට්‍රේලියාවේ  සිංහල මිනිස්සු සුපර් මාකට් පීරලා රසකැවිලි හදන්න විකුන්නන්න තියෙන කිරි පිටි පැකට් බොන්න අරං එන හැටියට.

තවත් තැනක මෙහෙම සඳහන් වෙනවා 


Sri Lanka has the highest “consumption” of synthetic fertilizer for a less amount of land in South Asia and other rice-growing countries in Southeast Asia, points out this scientist, quoting the World Bank. The other countries studied were Bangladesh, Pakistan, India, Maldives, Bhutan, Nepal, Thailand, Myanmar, Vietnam and Cambodia.

Farmers get fertilizer more or less free. Due to the government subsidy, they pay only about Rs. 300 when the actual price would be Rs. 1,500-2,000. Therefore, they apply fertilizer excessively, Dr. De Silva has found during extensive field studies.

කොහොම උනත් ලංකාවේ වකුගඩු රෝගය හැදිලා මැරෙන ගොයියෝ ගැන මට නං  කිසිම දුකක් දැනෙන්නේ නැහැ. මේ වකුගඩු රෝගී තත්වය තව වසර 5-10 අතර කාලයකදී සහල් හරහා දීපව්‍යාප්තව දකින්න ලැබේවි. රටකටම විෂ කවන  ඔවුන්ට ඒ ලැබෙන්නේ දිට්ට ධම්ම වේදනීය කර්ම පඩිසන් දීමක්.  ඔවුන් තමං වැවු අස්වැන්නේ පල නෙලන්නේ අනිත් අහිංසක ජනතාවත් මරාගෙන.