Saturday, December 15, 2012

මොකද්ද ඔයාගේ දුරකථන අංකෙ ?

දැන් කාලේ ගොඩක් වැඩ කෙරෙන්නේ ඊ මේල් හරහා. වසර කීපයකට කලින් ආයතන තුල සහ අතර සන්නිවේදනය සඳහා දුරකථන භාවිතා උනත් දැන් එකත් වැඩිහරියක් කෙරෙන්නේ ඊ මේල් හරහා. ඊ මේල් වල ජනප්‍රිය තාවය වැඩි වෙන්න තව හේතුවක් වෙන්න ඕනේ අයි ෆෝන් සහ වෙනත් ඒ වර්ගයේ ෆෝන් වල භාවිතය මිනිසුන් අතර වැඩි වීම. ඊ මේල් එකක් ආපු හැටියේම SMS එකක් අවා වගේම බීප් ශබ්දයක් සමගින් තිරය මත එය දර්ශනය වීම ලොකු පහසුවක්.

මා සියලුම සන්නිවේදන කටයුතු ඊ මේල් වලට බාර දීල දැන් වසර ගානක් වෙනවා. ගෙදරදී නම් එහා කාමරේ උන්දැට බලන පිච්චර් එකේ සද්දේ අඩු කරන්න කියල යවන්නෙත් ඊ මේල් එකක්. ටුස් ගාල සද්දේ අඩු වෙනවා.. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි... මගේ දුරකථන අංකය දන්නේ අතලොස්සක් දෙනෙක් පමණයි. ඒකත් පස් හය දෙනෙකුට වැඩිය දැනගත්තට පසුව වෙනස් කරනවා අලුත් නොම්මරයකට. එය දැනගැනීමට අවශ්‍යයි කියල මට හිතෙන්නේ දෙමවුපියනුත් සහ ළගම මිතුරෙකුත් පමණයි යනු මගේ නම් හැඟීම. අනිත් අයට එකේ ප්‍රයෝජනයක් නැහැ නේ..... සම්බන්ධ වෙන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඊ මේල් එකක් එවන්න....

ආ එතකොට හදිස්සියකට උඹව කොන්ටැක් කරගනෙන් කොහොමද ?
හදිස්සියට මාව කොන්ටැක් කරන්න මං පොලිසියවත් , ඇම්බියුලන්ස් සේවයවත් ගිනි නිවන හමුදාවෙවත් නෙමේ නෙව. එහෙම හදිස්සියක් තියෙනවා නම් 000 ගහන එකයි ඇත්තේ. වෙන වැඩක් තියෙනවා නම් ඊ මේල් එකක් එවන එකයි ඇත්තේ. මං මට පහසු වෙලාවක , ඉල්ලන දෙයි , කියන දෙයි ප්‍රමුක තාවය අනුව ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නම්. කවුරුවත් ගෙදර කෙනෙක් මැරුනොත් මට සම්බන්ධ වෙන්න බැරිනම් කාටද කතාකළ යුතු කියල ගෙදර අය දන්නවා. ඔච්චර නේ තියෙන හදිස්සි. ඔයිට අඩු සැම දෙයක්ම ඊ මේල් හරහා පමණයි.
No machan , I dont give it to anyone!

අපෝ මේක නම් මහා ඇන්ටි ශෝෂල් පොරක් නේ !!!
නැහැ. ඇන්ටි ශෝෂල් යන්නේ අදහස සමාජයට ද්වේශ කරන්නා යනුයි. මිනිසුන් සමග කතා කිරීමට ගනුදෙනු කිරීමට අසමත් ද්වේශය නිසා හෝ මානය නිසා හෝ සමාජය මගහරින පුද්ගලයාට නම් ඇන්ටි ශෝෂල් යන්න ගැලපෙනවා. මං භද්‍ර ඒකරත්ත හෙවත් සොඳුරු හුදකලාවේ ඇලුණු කෙනෙක්. සිත සනසන , තැන්පත් කරන හුදකලාව මට ප්‍රියයි. කෙවුල් තොටුපොළවල් මෙන් මිනිසුන් කෑ කොස්සන් ගසමින් සිස් කතාවෙන් ගෙවන ස්ථාන මට අප්‍රියයි. පාටි බාටි , බමන යකුන් , බයිලා නැටුන් අප්‍රසන්නයි. ෆෝන් වලින් පැය ගණන් කාලය කා දමමින් යන මල් කැඩීම් මට ප්‍රිය නැහැ. මා යම්කිසි කෙනෙකු සමග කතාකිරීමට කැමති මූඩ් එකේ නැතිවෙලාවට අවේලාවේ එන කෝල් ගැනීමට මා කැමති නැහැ. විවේකයෙන් , හුදකලාව සතුටින් ඉන්න වෙලාවට අරය මෙයා දෙන කෝල් වලින් සිත චංචල වෙනවා සාමය , සමාධිය කැඩෙනවා.

සියලු ආකාර බැඳීම් මා අසහනයට පත් කරනවා. ඉස්සර කාලයක් තිබ්බා ෆෝන් එක අතේම තියන් ඉන්න. කාගේ හරි කෝල් එකක් මිස් වෙයි කියල. මිස් උනොත් ඉක්මනට කෝල් බැක් කලයුතුයි කියල හැඟීමක් තිබුනා. කවුරුහරි මට කෝල් කරලා මට මිස් උනොත් පස්සේ කතා කරලා අහනවා , "ඇයි ඔයා මට කෝල් බැක් කරේ නැත්තේ ? දැක්කේ නැද්ද මිස් කෝල් එක ? " ... කෙතරම් බන්ධනයක් ද ? දැන් ඒ මුකුත් නැහැ. කාටවත් උත්තර බඳින්න ඕනෙත් නැහැ දැන් ඇයි  කෝල් බැක් කරේ නැත්තේ , මොකද ආන්සර් කරේ නැත්තේ අරකද මේකද කියල . එය කෙතරම් චිත්ත නිදහසක් ද කියල කියන්නත් බැරි තරම්.

ඇත්තම කියනවා නම් ෆෝන් එක මනුෂ්‍ය සම්බන්ධතා දියුණු කරනවට වඩා එය විනාශ කිරීමට හේතුවෙන බවයි මට නම් පෙන්නේ. ෆෝන් එකත් කනේ ගහගෙන මෙලෝ සංසාරයක් සිහියක් නැතිව වාහනේ ඉස්සරහින් පාර පනින ගැනු දකිනකොට අනේ මුන්දව යටකරගෙන යන්න ලොරියක් වත් එන්නේ නැහැනේ කියල හිතෙන වෙලාවලුත් නැතුවා නෙමේ....

දෙන්නෙක් යම්කිසි දෙයක් ගැන කතා කර කර ඉන්නකොට එක අයෙකුට කෝල් එකක් එනවා. මා නම් දකින්නේ හැම කෙනාම තමන් කතාකරමින් සිටි කෙනා මොහොතින් අමතක කොට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිගෙන් උපන්දින කෝල් එකක් ආව වගේ ටුස් ගා ඒකට ආන්සර් කිරීමයි. මතක තබා ගන්න ... ඔබ ඉදිරිපිට කතාබස් කරමින් ඉන්න කෙනා තමයි වැදගත්ම කෙනා. ඔහුට ඒ ගෞරවය දෙන්න. කිසි විටක ඉමජෙන්සි කෝල් එකක් හැරෙන්න වෙන දෙකට ෆෝන් එක අල්ලන්නවත් එපා. එය ඔබ කතා කරමින් සිටින කෙනාට කරන ගෞරවයක්. ඔබ ඒ ගෞරවය ඔහුට දුන් විට ඔහු ගේ සිතේ ඔබ ගැන ඉතාමත් පැහැදීමක් ඇති වේවි.

ඔබ බොස් කෙනෙක් නම් සහ කතා කරමින් සිටියේ ඔබගේ සේවකයෙකු සමග නම් , ඇතැම් බොස්ල තමන්ගේ මහන්තත්වේ පෙන්නන්න සේවකයා ඉදිරිපිට තියාගෙන කෝල් ගන්නවා. සේවකයා බලන් සිටිය යුතුයි එක ඉවර වෙනකම්. බොස් කෙනෙක් එහෙම නොකර එන කෝල් වලටත් ආන්සර් නොකොට සිටියොත් සේවකයාගේ සිතේ තම බොස් ගැන ඇතිවන ගෞරවය ඉමහත්. අනේ මේ කෙනා වෙච්චර වැදගත් වැඩ තිබියදීත් මට ප්‍රමුකත්වය දීල මාත් සමග කතා කරා නේ යන ගෞරවය ඔහුගේ සිත තුල ඇතිවෙනවා. මා නම් කිසි දවසක වෙන කෙනෙක් සමග කතා කරමින් සිටින විට බොස් තියා රැජින කතා කලත් ෆෝන් එක නම් ගන්නේ නැහැ. එහෙම ගැනීම , මා කතා කරමින් සිටින කෙනාට කරන අගෞරවයක් සහ තමන්ගේ අශිලාචාර කම පෙන්නන දෙයක්. මාත් සමග කතා කරන කෙනෙක් එසේ අශිලාචාර විදියට හැසිරුනොත් එයාගේ ලකුණු 50% එතෙන්දීම කැපෙන වග සිහි තබා ගත යුතුයි.

තව සමහර බුතයෝ කෝල් කරලා හලෝ මචන් කොහොමද , අරමද කියල කතාව පටන් ගන්නවා. මට ෆුල් කොයිල් මන් මේ මොකා එක්කද කතා කරනෙන් කියල. කතාවේ පළවෙනි වචන කිපෙ තුලදී තමන් කවුද කියල හඳුන්වල දුන්නොත් එක කෙතරම් අගේ ඇති දෙයක්ද. ඔබ ඔබාමා නෙමෙයි නේ ඔබේ කට හඬින් ඔබ කවුද කියල අනිත් සියලු දෙනාම ඔබව හඳුනා ගන්න. නැගල ඉන්න මම ස්පෙෂල් කියන අතු වලින් බිමට බැහැල තමන් කවුද කියල හඳුන්වල දීල කතාව පටන්ගත්තොත් ඒක කාටත් පහසුවක්.

පොදු ස්ථාන වල ෆෝන් එකට බෙරිහන් දෙන උන්දලා ගැන වැඩිය මුකුත් කියන්න යන්නේ නැත්තේ හැමෝම එකේ පිළිකුල් සහගත ස්වභාවය ගැන දන්නා හින්ද. ඒක මග ඇරලා ලාංකිකයෝ බොහොමයක් දෙනෙක් කරන තවත් පල් ම පල් දහදුරා වැඩක් ගැනත් කියන්නම්. ජාතින් කීපයක , භාෂා කීපයක් කතා කරන අය රැස් වෙලා ඉන්න තැනක ඉන්න ලාංකිකයෙකුට කෝල් එකක් එනවා. උජාරුවෙන් තමන්ගේ අලුත්ම අයි ෆෝන් එක ඇදල ගන්න මුන්ද (පලවෙනි වැරැද්ද ) හලෝ කොහොමද බන් , අරකද මේකද කියල අමු සිංහලෙන් කතාව. (දෙවෙනි වැරැද්ද ). වටේ ඉන්න හැමෝම මු මේ මොනවාද කතාකරන්නේ කියල කට ඇරගෙන බලන් ඉන්නවා. ඒ ගොල්ලන්ට තේරෙන්නේ නැහැ නේ....

අපේ උන්ද කතාව ඉවර කරලත් උජාරුවෙන් කියන්නේ , "ඒ මගේ යාළුවෙක්. මන් කතා කලේ සිංහල භාෂාවෙන්. දන්නවද ? ඒක අපේ ජාතික භාෂාව නේ....."   ඉතින් සිංහල නුඹේ ජාතික භාෂාව කියල අනිත් උන්ට වෙසක් ද ?

අනේ ගවරෝ ... සිංහල නම් නුඹේ භාෂාව වෙන්න බැහැ. උම්බෑ වගේ එකක් නම් නුඹගේ භාෂාව වෙන්න තිබ්බ. ෆෝන් එක සුපිරි , වැඩ නම් අපිරි. තමන්ගේ භාෂාවට ගෞරව කිරීම , හැකි සැමවිටම එය භාවිතා කිරීම ඉතාමත් අගය කල යුතු දෙයක්. නමුත් ජාතින් කීපයක භාෂා ගණනාවක් කතා කරන පිරිසක් මැද්දේ ඔවුනට නොතේරෙන භාෂාවකින් කතා කිරීම නම් හරිම පිළිකුල් සහගතයි. එය ඔවුන්ට කරන බරපතල අගෞරවයක් වගේම නිග්‍රහයක්. එහා පැත්තෙන් කතා කරන කෙනාට ඉංග්‍රීසි වගේ ජාත්‍යන්තර භාෂාවක් තේරුම් ගැනීමට නොහැකි නම් කල යුත්තේ , මට සමාවෙන්න කියා කට්ටියෙන් අවසර ගෙන මදක් ඈතට ගොස් තම කතාබහ හමාර කොට පැමිණීමයි.

අහ් .. අන්තිමට මේකත් ලියලම නවත්වන්නම් කෝ ... ලංකාවට ගුවන් යානයේ එන සෑම දාම අත්දකින දෙයක්. ගුවන් යානය ගුවන්ගත වෙන්න කලින් කීපසැරයක් කියන දෙයක් තමා යකුනේ ෆෝන් ඔෆ් කරපල්ලා කියන එක. නැත්නම් මේ මගුල හරිහැටියට නැවිගේට් කරගන්න බැරුව තුත්තුකුඩියට යයි. නැත්නම් මහ මුහුදට කඩං වැටෙයි කියල කීප සැරයක් කියනවා නෙව. අනේ ලංකාවට ගොඩබහින්න කලින්ම පොල්ගස් ගාවින් ගොඩබහින්න යනකොටම සමහර ගවරුන්ගේ ෆෝන් වලට ටීන් ටීන් ගගා මැසේජ් එනවා. රින්ග් වෙනවා. මුන්ට ඉංග්‍රීසි තේරෙන්නෙත් නැහැ. සිංහල තේරෙන්නෙත් නැහැ. ඔලුවකුත් නැහැ. මොලෙකුත් නැහැ. පිටරට හිටියකියල , පිටින් පොෂ් පාටට පෙනුන කියල නැහැදිච්ච කමේ අබ ඇටෙක වත් අඩුවක් වෙලත් නැහැ. 

නීතියට උඩින් යාම පොර වැඩක් කියල හිතන ගවරෝ ඉන්න රටට ඔන්න මන් ආයිත් ආවනේ කියල හිත හදාගෙන හිනාවෙවී මාත් ගුවන්යානෙන් බැහැල යනවා ......

Saturday, December 8, 2012

Praise, show fault or show fault and then Praise?


This is a question I was pondering over some time. In effective communication, when you want to show a fault in a person or to ask him to improve on something he is lacking, the golden rule is to provide ample praise to go with your criticism. That is the basics. 

But the problem that I was pondering was where to put the praise and where to put the criticism. 

Initially, I thought, first criticise, show the fault and then mentioned the good points in a person.  If one praise the person first I thought, then he will shut all receptors to the faults I m going to show after words and my efforts will be futile. Basically he will be flying so high after my initial praise, he will ignore all criticism and suggestions for improvements that come afterwards.

Secondly, when praised at the end, I thought, the person's mood will get all right and he will leave the encounter less burdened and feeling less bad. Because after-all, what he received at the end was praise.... Right?  Shouldn’t that make his mood all right after my initial criticism? 
  
Second approach is to praise at the beginning and show faults later. Apparently this is what works the best.  Praising initially is sort of like a mattress you put first before throwing the person in to ground to make the landing soft and easy. Criticism doesn’t seem to be offensive as it sound to be when it comes after a well thought and sincere praise.  The person is then in a pleasant mood after the initial praise and he will be more accepting to his faults and more open to the criticism. 

And as I have found out , when criticised initially no amount of praises can make the mood better of a person afterwords. He will always think and get a feeling that im making efforts to patch up with him after my blunderous  criticism and will oppose any effort to console him.

Well, now that is sorted.

Yet another thing I was pondering over was how to link the praise with criticism   should we use HOW EVER or BUT?

If we use HOW EVER or BUT, the initial praise seems to get shallow.  To the receiver it seems as though we praised because we wanted to console him and make him ready for the criticism that comes next. It seems unreal and it doesn’t seem to come from the heart. The correct way to link praise and criticism is by using the word AND.

HOW EVER and BUT are negating words that turn the discussion 180 degrees to the opposite direction. You are contrasting what you said earlier.  But AND is a continuation word. It doesn’t negate what comes before. It only extends the discussion. And when managed carefully, you can makes a seamless transition from a praise to criticism by using AND.

An Example?
Adam, we are really pleased with your term exam results this year. You have done really well in English, Art and Social Science. Look at the drawing you have made, it is a wonderful work of art and I’m really proud of your capabilities. The letter you wrote in English is well thought and I have no doubt even i wouldn’t have been capable of writing one like that in such a short time .... AND your score card would have been even nicer to look at if you would have also scored this well in Mathematics and Science subjects. I know they are not easy subjects to master.  With diligent   study capabilities you have, and seeing how well you have done in other subjects I have full faith in you that you will do much better in them in next year. 

Give a person a fine reputation to live up to ... and he will do his best not to  disappoint you.

Sunday, December 2, 2012

චාල්ස් ශ්වබ්ස් නොහොත් යකඩ රජු

ඇමරිකානු ඉතිහාසයේ ප්‍රථම වරට ව්‍යාපාර අධ්‍යක්ෂක වරයෙකු ලෙස ඩොලර් මිලියනයකට වඩා වාර්ෂික වැටුපක් ලැබුයේ චාල්ස් ශ්වබ්ස් ය. මේ ඇමරිකාවේ පුද්ගල අදායම් බදු එකතුකිරීමට පෙර කාලයයි. මාසයකට ඩොලර් 200 ක වැටුප විශාල ආදායමක් වූ කාලයයි. 

ඇන්ඩ්රු කානගී විසින් ඔහු යුනයිටඩ් ස්ටීල් කොපෙරේෂන් හි අධිපති කරන ලෙස පත් කරන ලද්දේ 1901 දී ය. පසුව යුනයිටඩ් ස්ටීල් හැර කඩාවැටෙමින් තිබු බෙත්ලෙහෙම් ස්ටීල් වෙත ගිය ඔහු එයද ලාභ ලබන ඇමරිකාවේ සාර්ථකම ව්‍යාපාරයක් බවට සුළු කලකදී පත්කරන ලදී.

ඇන්ඩ්රු කානගී විසින් චාල්ස් ශ්වබ්ස් ව එතරම් විශාල වැටුපකට එනම් ඩොලර් 3000 ක් වැනි දයිනික වැටුපක් ගෙවා එසේ පත්කරේ මන්ද ?

චාල්ස් ශ්වබ්ස් සුපිරි මීටරයක් නිසාද ? නැහ් ...
ඔහු ලෝහ නිෂ්පාදනය ගැන අන් සියල්ලන්ටම වඩා හොඳින් දැන සිටි නිසාද ? ඔලුගෙඩිය !!

චාල්ස් ශ්වබ්ස් ම කියූ පරිදි ඔහු යටතේ වැඩ කල බොහෝදෙනෙක් පාහේ ලෝහ නිෂ්පාදනය ගැන ඔහුට වඩා දැනුමක් ඇති තැනැත්තන් වුහ... ඔහු පැවසූ පරිදි, ඔහු මෙතරම් විශාල වැටුපක් ගෙවා පත්කිරීමට මුලික හේතුව මිනිසුන් සමග කටයුතු කිරීමේ දී ඔහු දැක්වූ දක්ෂතාවයයි . එහෙනම් මෙන්න ඔහුගේ එම සාර්ථකත්වයේ රහස. ඔහුගේම වචන වලින්.....

මේ වචන ස්වල්පය පිත්තල තහඩුන්හි කොටා සියලු නිවෙස්හි , පාසල් වල , රැකියා ස්ථානයන්හි හා මිනිසුන් ගැවසෙන අන් සියලු ස්ථානයන්හි ගසා තැබීමට සුදුසු වන්නේය. බ්‍රසීලයේ වාර්ෂික වර්ෂාපතන අගයන් , එංගලන්තයේ ජනගහනය හෝ ලංකාවේ වැසිවනාන්තර වල කුරුල්ලන්ගේ නම් වට්ටෝරු කටපාඩම් කරමින් කාලය නාස්ති කරනවාට වඩා දහස්ගුනයක යහපතක් මේ වචන ස්වල්පය පාසල් සිසුන්ට කටපාඩම් කිරීමට දීමෙන් ලබාගතහැකි වන්නේය. එලෙස ජීවිතය සහ මනස සම්පුර්ණ පරිවර්තනයකට ලක් කල හැකි වචන ස්වල්පයකි මේ....

❝ මා අවට වෙසෙන මිනිසුන්ගේ උනන්දුව උද්දීපනය කිරීමට හැකි වීම , මා වෙත ඇති ප්‍රධානම හැකියාව ලෙස මා සලකමි. මිනිසෙකු සතු හැකියාවන් වර්ධනය කර ඔහුගෙන් උපරිමය ලබාගැනීමට හැකි එකම ක්‍රමය ඔහු අගය කිරීමත් උත්සාහවත් කිරීමත්ය. කටුක විවේචනය තරම් පුද්ගලයෙකුගේ දියුණුවට ඇති ආශාව නසන වෙනත් යමක් නොමැත.
මා කිසිවිට කිසිවෙකු විවේචනය නොකරමි. කෙනෙකු කල කාර්යයට සරිලන වටිනා ගෙවීමක් කලයුතු බව මාගේ පිළිගැනීමයි. එහෙයින් මා ප්‍රසංශා කිරීමට නොපැකිල ඉදිරිපත්වන මුත් විවේචනයේ පසුබසිමි. කිසිවක් මා සිත් ගත්තේ නම් හදවතින්ම එය අගයකරන අතර උසස්ම ආකාරයෙන් සුබපතන්නෙමි.

එච්චරයි ශ්වබ්ස් කලේ. දැන් බලමු සාමාන්‍ය මිනිසුන් කුමක් කරයි ද කියා. සම්පුර්ණයෙන් එහි අනිත් පැත්ත. පරණ කියමනකුත් තියෙන්නේ.....
වරදක් කලෙමි එක්දින
අසමි ඒ ගැන සැමදින
දෙවරක් හොඳ කලෙමි
කිසිදින නෑසීමි ඒ ගැන
තව හොඳ උපදෙස් ටිකක් මෙතන තියෙනවා. එත් ඩෙල් කානගි ගේ  How to win Friends and Influence People පොත බලනවානම් ඔක්කොටම වැඩිය අගෙයි. අද මේක ලියුවේ මා සමග වැඩකළ අයෙකු ගිය සිකුරාදා සේවයන් පහත් කොට ඉවත්ව යාමට මැන්ජ්මන්ට් එකෙන් නියෝග කල නිසා. ඒවගේ තැනක හැමෝගෙම ආදරය දිනාගෙන දෙන වැඩටික කරගෙන ඉන්න මට හැකි වෙලා තියෙන්නේ මේ පොතට පින්සිද්ද වෙන්නයි. ඔබටත් වරදක් වෙන්නේ නැති වෙයි ඒකෙන් .

Monday, November 26, 2012

ධ්‍යාන හා කුන්ඩලිනි - ප්‍රශ්න හා උත්තර


ප්‍රශ්න:

ඔබ කියන කතාව සාධාරණයි... ඒත් මම මෙහෙම කිවුවොත් බුදුන් කවදාවත් කියල නෑ... සමථය වඩන්න එපා කියල... මොකද සමථය නැතිව විදර්ශනාව කියන්නේ හීනයක් නිසා... සමථයෙන් යන්න පුලුවන් උපරිමය මේ කුන්ඩලිණි ශක්තිය අවධි කිරීමෙන් පහසුවෙන් ලඟා වෙන්න පුලුවන්...එවිට අතිශය පහසුවෙන් විදර්ශනාව කරන්න පුලුවන්..මන්ද බුද්ධ දර්ශනයේ ඇති කසිණ භාවනා වශී කර වඩා අභිඤා ලැබීම අතිශය දුෂ්කර ක්‍රියාවක් වන නිසා...

ඉහත ප්‍රශ්න , අරුනාචලයේ ශ්‍රී රමණ මහ ඍෂි (1 කොටස) ලිපිය හා බැඳේ


උත්තර:

1. මහා කාරුණික බුදුරජානන් වහන්සේ , සමථයත් , විදර්ශනාවත් දෙකම අගය කළහ. විදර්ශනාව වඩාත් අගය කළහ. මක්නිසාද සංසාරයෙන් මිදෙන මග එය වන බැවිනි.

2. සමථ පුර්වාන්ගම විදර්ශනාව , විදර්ශනා පුර්වාන්ගම සමථය යයි ක්‍රම දෙකකි. විදර්ශනා වැඩීමට සමථය වඩා ධ්‍යාන ලබා තිබීම අවශ්‍ය නොවේ. බුසුන් කල සසුනේ සිටි බොහෝ මාර්ගඵල ලාභී රහත්හු ධ්‍යාන නොමැති ශුෂ්ක විදර්ශිකයෝය. ඔවුන්ගේ මාර්ගපල ලැබීමට ධ්‍යාන ලබා නොතිබීම භාදාවක් නොවිය. සමථය වඩා ධ්‍යාන ලබා එය විදර්ශනාවට හරවන කල , සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණය වඩාත් හොඳින් , පැහැදිලිව තියුණු ලෙස ඒකාග්‍ර කරන ලද මනසට වැටහේ. නමුත් එය මාර්ගඵල ලැබීමට ප්‍රමාණවත් නොවේ. නුවණැසින් ඒ සංස්කාරයන් වසා සිටින , සිත මුලා කරන ඝනයන් බිඳ ඒවායේ යථාස්වභාවය ප්‍රත්‍යක්ෂ කල කල්හිම මාර්ඝ පල ලැබුවා වන්නේය. ධ්‍යාන ලබා තිබීම මාර්ගයට රුකුලක් පමණි. පයින් පැය දෙකකින් ගොස් හමාර කරන ගමන , මෝටර් රථයෙන් විනාඩි 15 න් ගොස් හමාර කරනවා වැන්න.

පාරිශුද්ධ විදර්ශනාව වඩනා කල්හිද සිතේ සන්සිඳීමක් ඇති වේ. එය ධ්‍යාන ලබන තත්වයට වර්ධනය වීමක් නම් බොහෝකොට සිදු නොවන බව මගේ නම් පෞද්ගලික අදහසයි. සංස්කාරයන්ගේ ස්වභාවය නොකඩවා නැවත නැවතත් චේදනය කරමින් විමසුමට ලක්කරන විතක්ක විචාර සහිත ඒ විදර්ශනා චිත්තය අතිශයින් මිහිරිය. සැම අතින්ම උසස්ය. පාර ලෞකිකය.

3. සමථයෙන් යා හැකි උපර්ම දුර නම් ලෝක ථුපිකා නම් වූ භාවග්‍රයයි. අතිශයින් සියුම් වූ නේවසඥා නාසඥ චිත්තය වඩා එහි යාම කුන්ඩලිනි ශක්තිය වැඩීමෙන් නම් කිසි ලෙසකින් වත් කල නොහැකිය. කලිනුත් සඳහන් කල පරිදි කුන්ඩලිනිය වැඩිම යනු විශ්ව ශක්තිය තමන්ට අවශ්‍ය පරිදි හැසිරවීමේ බලය ලබාගැනීමයි. එය සිතේ අධිපති භාවයක් නොව ශක්තියේ අධිපති භාවයකි.

විශාල දොඹකරයක් හසුරුවා වැඩ කරගැනීමට පුහුණු වීමට මනුෂ්‍යයෙකුට හැකිය. එය හැසිරවීමට පුහුණු වූ කල සාමාන්‍ය මනුෂ්‍ය ශරීරයකට කල නොහැකි විශ්මිත දේ පහසුවෙන් කිරීමට ඔහුට හැකිය. එනමුත් එයින් ඔහු දොඹකරයේ , අධිපති භාවය/වශය භාවය ලබා ගත්තා නොවේ. එය හැසිරවීමට හැකියාව ලැබුවා පමණි. මේ උදාහරණය ආශ්‍රයෙන් කල්පනා කොට වෙනස වටහා ගන්න.

4. බුදුදහමේ ඒකායන මාර්ගය මාර්ග ඵල හා නිවනයි. කසිණ භාවනා වශී කර වඩා අභිඤා ලැබීම යමෙකුට අවශ්‍ය නම් කල හැකිය. එනමුත් ඒ ධ්‍යාන , අභිඤා බුදුදහමේ ඒකායන මාර්ගය නම් නොවේ.

මේ මල්ලිගේ ප්‍රශ්න වලට උත්තර ලියාගෙන යනකොට මේ ලිපිය දැක්කා. ඔහුගේ සිතිවිලි වලත් මේ ෆෝන් මිලදී ගන්නා මිනිසුන්ගේ සිතිවිලි වලත් ඇති සමානත්වය කෙතරම් ද?

නියම දුරකතනයක මිල රු ලක්ෂයකි. ඩුප්ලිකේට් ෆෝනයක මිල රු පහළොස් දහසකි. එතරම් ලාභයට හොඳ දෙයක් ගැනීමට බැරි බව දැන දැනම මිනිසුන් පොර කකා ලාභ ෆෝන් ගනිති. මාස දෙකක් ගොස් එය කැඩී ගිය කල දොස් කියන්නේ තමන්ගේ මෝඩ කමට නොව ෆෝන් අලෙවි කල තැනැත්තාටය.

PHD එකක් ලබා ආචාර්ය කෙනෙක් වීම වසර ගණනාවක් ගතවන දුෂ්කර කාර්යයකි. එසේ හරි විදියට එය ගැනීමට හැකියාවක් නැත්තෝ , මුදල් ගෙවා හෝ ඇඳුනුම් කම මත ආචාර්ය උපාධියක් මිලට ගනිති. එය තම නමට අමුණා උජාරුවට පළඳිති. එනමුත් ඒ දෙකෙහි වෙනස අහසට පොලව මෙනි.

මිනිසුන් කෙතරම් පිට ඔපයට හා බොරු පොරොන්දු වලට , අනුකරණයට රවටෙත් ද? මිනිසුන් බොහොවකට අවශ්‍ය විශිෂ්ටත්වය නොවේ. විශිෂ්ටත්වය අනුකරණය කිරීමයි. ලංකාවේ මිනිසුන්ට වැරදී ඇත්තෙත් මේ හේතුව නිසාය.

දිලිසෙන සියල්ල රන් නොවේ. මර්ක් එකක් පැද විත් බැසි පමණින් ඔහු එහි අයිතිකරු ලෙස ගත නොහැකිය. ඔහු එහි රියදුරු විය හැක. ලාභ බඩුවේ හිලක් ඇත. ඉක්මනින් පහසුවෙන් ලැබෙන දේවල් වල කොලිටිය ප්‍රශ්නකාරිය. හැම තැනටම වඩා ලාබෙට ආර්ථිකෙන් ගත්ත තලගුලිවල පනුවන්ය. හර්දයාංගම ලෙස අස්වාභාවික ලෙස මිත්‍රශීලිව සිනි තවරා කතාකරන මිනිසුන්ගේ හදේ ඇත්තේ විෂය......

යලිත් මාතෘකාවට එමු. සමථය වඩා කසිණ භාවනා වශී කර වඩා අභිඤා ලැබීම අතිශය දුෂ්කර ක්‍රියාවක් විය හැකිය. විශිෂ්ටත්වයට කෙටි මං නොමැත. නියම මග ගොස් හරි විදියට PHD එකක් ලැබුවා වැන්න. කුන්ඩලිණි වඩා විශ්ව ශක්තිය තම වශයට ගෙන අභිඤා ලැබුවන් අනුකරණය කිරීමටද හැකිය. විවිධ ප්‍රතිභාර්ය පැමටද හැකිය. අභිඤා ලැබුවෙකු ලෙස පෙනී සිටිය හැකිය. නමුත් එය නියම චිත්ත දියුණුවක් නොවේ. මුදල් ගෙවා PHD එකක් ලබා ගෙන පැළඳ ගත්තා වැන්න. තමා , තමාවම රවටා ගැනීමකි .....

Saturday, November 24, 2012

ලාංකිකයෙක් ඈතදීම හඳුනා ගන්නේ කෙසේද ?

ඊයේ සුමුතුත් එක්ක පොඩ්ඩක් ඇවිදින්න ගියා පාක් එකට. ගේ ගාව තියෙන්නේ. ලස්සන කැලයක්. ටික දුරක් යනකොට කිලෝමීටර් බාගයක් විතර ඈතින් දෙන්නෙක් එනවා. දැක්ක හැටියේ මං කිව්වා ඔන්න ලංකාවේ දෙන්නෙක් කියල !

සුමුතු අහනවා මෙච්චර ඈත ඉඳන් කියන්න පුලුවන්ද ?
කොහොමින් කොහොම හරි ලඟට ආවම දෙන්නගේ පාට දැකල සුමුතු කියනවා මේ දෙන්න නම් ලංකාවේ නෙමෙයි ... ඉන්දියාවේ....
මන් කොච්චර කිව්වත් පිළිගන්නේ නැහැ.
ඉඳපන්කෝ , අන්තිම ටැස් එකත් කරන්නම් කියල දෙන්න ලඟින් යනකොට මගේ සුපුරුදු ටැස් එකත් දෙන්නට කරා...
දෙන්නම උඩින්ම පාස්.... ආයි දෙකක් නැහැ මේ දෙන්න ලංකාවේ බව උන්දෙන්න දන්නේ නැති උනත් මට නම් සියට දෙසීයක් ෂුවර්!!!

කොහොමද මෙහෙම ඈතදීම අඳුන ගන්නේ ?

1. කවුරුත් දන්නවනේ කාලගෝලය ... රවුම් disproposhanete ශරීරය , බොහෝ කොට දැලි කළු පැහැති , රවුම් මුහුණ.... , නෙරා ආ උදරය , ඔරවගත්ත බකුසු ඇස් ... , සැකෙන් පිරි පුළුටු මුහුණ .. කැරලි ගැසුණු බොහෝකොට නොපීරු හිසකෙස්

කාලගොලයට හිටියේ බාරියාව විදියට දික්තලා. සුන්දර කාන්තාවක්. කතාව ඉන්දියාවෙනේ.... එක හින්ද ඒ වගේ දික්තලාල ලංකාවේ නැහැ. ලංකාවේ කාලගොලයන්ට ඉන්නේ ඒ වගේම ශරීර ඇති බාරියාවන්. ශරීර විස්තර ඉහත දැක්වුව හින්ද ආයි දානේ නැහැ. ශරීරයට සාපේක්ෂව හිස මදක් කුඩායි.

2. ඇඳුම්.... හ්ම්ම්ම් .. පුරුෂයන් නම් කොලර් එක ඇති අඳුරු වර්ණයන්ගෙන් යුතු පොලෝ වගේ ශර්ට්ස්. ශරීරයට නොගැලපෙන කොට කලිසමක්. බොහෝ කොට රබර් සෙරෙප්පු නැත්නම් කලාතුරකින් සපත්තු. කාන්තාවන් අඳින්නේ ඇඟට හිර ඇති ඉනේ ටයර් හොඳට පේන ඇඳුම්. කලිසමක්. ලාභ සපත්තු දෙකක්. මෙහෙමයි... කාන්තාව කඩේට ගිහිල්ල අවුරුදු පහකට කලින් තමන් ගේ ශරීරය තිබිච්ච විදිය ගැන කල්පනා කරලා ඇඳුම් ගන්නවා. ඒක තමයි ලංකාවේ කාන්තාවන් අඳින විදිය. හුඩි එකක් නම් හැම විටම ඒක ඔලුව වැහෙන්න දාගන ඉන්නේ.

3. ඈතදීම අඳුර ගන්න පුළුවන් හොඳම විදිය තමයි ලංකාවේ කාන්තාවන්ගේ ශරීර වල මේද පැතිරීම අද්යයනය කිරීම. කොකේසියානු කාන්තාවන්ගේ උරහිස් පටුයි. උදරය සහ උකුල් අශ්‍රිතව මේදය එකතු වෙනවා. ඔවුන්ගේ ශරීර උඩට තුඩ හරවන ලද ත්‍රිකෝණයක ආකාරය ගනී.(4 වෙනි රූපය) ලංකාවේ කාන්තාවන් ගේ මේදය එකතු වන්නේ උරහිස් සහ පපුව අශ්‍රිතව. ඔවුන්ගේ ශරීර තුඩ බිමට හරවන ලද ත්‍රිකෝණයක ආකාරය ගන්නවා. (2 වෙනි රූපය)ලංකාවේ ස්ත්‍රීන් කසාද බැඳ වසර දෙක තුනකින් මි ගවයන් මෙන් තෙලෙන් ආරන නිසා මේ ටැස් එක ඕන ලාංකේය කාන්තාවකට , වැරදෙයි කියල කිසි බයක් නැතිව කරන්න පුළුවන්.

4. නමුත් ලාංකිකයෙක් හඳුර ගැනීමේ මගේ හොඳම ටැස් එක මේවා නෙමේ. හොඳට ලඟට එනකම් ඉඳල කට පුරා සුන්දරව සිනහ වීම තම මගේ නොවරදින ටැස් එක. ලංකික පුරුෂයෙක් නම් ඔහු එවිට හෙණ ගහපු උලමෙක් , උනේ මොකද්ද කියල කල්පනා කරනවා වගේ මගේ මුහුණ දිහා බලන් ඉන්නවා. ප්‍රති සිනහ වීමක් නැත. බකුසු මුහුණ වෙනස් නොවී පවතී. මේකට මිස් අනන්තා පාවිච්චි කරන වචනය තමයි staring guys කියන එක. ලංකික කාන්තාවක් දිහා බලල එහෙම හිනා වුනහම ටක් ගාල අහක බලා ගන්නවා. හරියට දෘශ්‍ය මාර්ගික ස්ත්‍රී දුෂණයක් කරන්න හැදුව වගේ.

ලංකාවේ මිනිසුන් සැම විටම සිනහවෙන් ඉන්න සුන්දර මිනිසුන් පිරිසක් කියල කුඩා කාලේ ඉඳන් මගේ ඔළුවට කාවද්දල තිබ්බට පසු කාලයකදී ඔවුන්ගේ හැසිරීම් අද්යයනය කරනකොට එහෙම නොවෙයි කියල පැහැදිලිවම පෙනුනා. ඔවුන් සැම විටම සැක පිරි මුහුණෙන් අනුන් දිහා බලන්නේ. කෙනෙක් දිහා බලල සිනහ වුනහම ඔවුන් බොහෝ දෙනෙක් හිතන්නේ එක්කෝ මු මට දැන් අරින්න එනවා , එහෙම නැත්නම් මු අලි මෝඩයෙක්. ඕක හිත හිත ඉන්න හින්ද ඔවුන්ට ප්‍රති සිනහ වීමට අමතක වෙනවා කියන එකයි මගේ නම් විශ්වාසය.

අන්තිමට කියන්න ඕනේ මේක සමාජ අද්‍යයනයක් මාර්ගයෙන් මං ලබාගත්ත දැනුමක් මිස අපහාසයක් නොවෙන බව....
^_^

වන අරණට සැමදා බැඳි පෙම ...


මා සොබාදහමට දැඩි ලෙස ආදරය කරමි. එහි සීමාවක් නොමැති බව මා හට හැඟී යයි. කිසියම් ආකාරයක මානසික ව්‍යාධියක ආකාරය ගන්නා තරමට මා  උමතුවෙන් මෙන් මා තුරු ලතාවනට , රූස්ස ගසින් සැදී පරිසරයේ චමත්කාරයට , එය පිස එන සිහිල් මාරුතයට  ඇලුම් කරමි. විල්ලුද පලසකට වඩා දිගු තණ වැඩි තෙත  බිම මා හට ප්‍රිය වේ. දිනක් වුවත් තුරු ගොමුවක් දෙස එක ලෙස බලා සිටීමෙන් මා විඩාවට පත් නොවෙමි. වනයක ඇති අසිරිය , මන  මෝහනය  කරනා  ගුප්තමය චමත්කාරය කෙසේ නම් වචනෙන් විස්තර කරම්ද?

 පෙර දින වුවක් සිහියට නැගේ. මොරටුව වේල්ස් කුමාර විදුහලේ අට ශ්‍රේණියේ සිටියදී පාසල පිටිපස කලපු තිරයේ පිහිටි කුඩා වන රොදක් විය. දිවා කාලයේ වුවද දැඩි සිහිලකින් යුතු කලපුවට බරවූ රූස්ස ගස් වලින් හෙබි එම කුඩා වන තිරයට මා දැඩි ලෙස ඇලුම් කලෙමි.  වසර කීපයකට පෙර පාසල පුරා විසිර පැවති තුරු ගොමු තෙත් බිම් සියල්ල විනාශ කර දමා ගොඩ නැංවූ  දිවා කල සුර්ය තාපයෙන් දැවෙනා කර්කශ , දුහුවිලි පිරි  බොරළු පිට්ටනි වෙත මාගේ ඇල්මක් කිසි කලකත් නොවිය. ඉතිරිව තිබු එකම තුරුගොමුව වූ එය වෙත   විවේක කාලයේදී හැකි සැමවිටම යන්නේ වීමි. කලපුවට බරවූ අලංකාරවත් වූ ගසකට පැතිර   ගොස් ලතා මණ්ඩප සෑදු ඉතා පැරණි දැවැන්ත වැලක් ද එහි විය. ගස දවටාගෙන මැනවින් රිකිලි විහිදී තිබු එම වැලෙන්  සුවපහස් දනවන වැල් ආසන ආකාරයේ ස්ථාන කීපයක් ද සකස්  වී  තිබිණ  . ගසට නැග එවන් තැනක හිඳ කලපුවෙන් එන සිහිල් මාරුතය විඳිමින් මා ගතකල කාලය බෙහෙවි. 

දියට සමාන්තරව පිහිනා යමින් මසුන් ඩෑ ගන්නා පිළිහුඩුවන් , කලපුව මැද එසවී ඇති තුරු ශේෂයන් මත තනි පයින් බවුන් වඩනා කොකුන් , රිද්මියව සෙමින් හබල් ගසමින් කලපුව තරණය කරනා ඔරු කරුවන් , නැහැයෙන් දියමත ඉරි හැඳිමින් ඔබ මොබ පිහිනා යන කබරයන් , හමන මද සුළඟට සෙමින් සෙලවෙන තුරු ලතා ... ජීවිතය සැබවින්ම සුන්දරය.  දැනටත්  එය සිහි වන විට චමත්කාරාත්මක සිහිල්  අනන්දයකින් සිත පිරි යයි. 

මෙසේ කල් ගත කාලයේ කිපදිනක් ම ගොට්ට අල්ලන ශිෂ්‍ය නායකයන්ගේ ග්‍රහණයට නතුවී ස්වභාව සෞන්දර්යය විඳීමට සිත් සකස් නොවූ , එය හැඳිනගැනීමට අසමත් වූ විනයබාර ඔල මොළ ගුරුවරුන්ගේ හිංසාවට ලක්වීමට ද සිදු වුයේ මා එහි ගොස් කරන්නේ යම් කිසි අපචාරාත්මක වැඩකියි ඔවුන් සිතු හෙයිනි. කෙතරම් පැහැදිලි කලත් පලක් නොවිය. නමුත් මා ගේ ගමන නැවැත්වීමට ඔවුන් කිසිවකුද සමත් නොවී. උසස් පෙළ කරන කාලයේ බලෙන් ඇඟේ ගැසීමට හැදු ශිෂ්‍ය නායක පට්ටම ප්‍රතික්ෂේප කොට ම සිතෙහි ඇති අප්‍රසාදය පසුකලක  සමනය කර ගත්තෙමි. පාදමක් නොමැති පුස් සමාජ අගය කිරීම් වලට (baseless social values) මාගේ ගරුත්වයක් හෝ අනුගත වීමක් කිසි කලකත් නැත. 

එම වසරේ ලෝක පරිසර දිනය ලඟා විනි. විවිධ ආකෘති , දැන්වීම් , අධ්‍යාපන ප්‍රදර්ශන වලින් යුතුව පාසලේද එය සංවිධානය විය. එදින ප්‍රධාන ප්‍රදර්ශන කුටියට ඇතුල්වූ මගේ ඇස එක්වනම කුටිය මැද සකස් කට තිබු සැරසිල්ලක් මත නැවතිණි. "වැසි වනාන්තර වල චමත්කාරත්වය" හෝ එවන් සමාන අරුතක් දෙන පුවරුවක් පසුබිමෙන් වුයේ මා හොඳින් දන්නා හඳුනන මා හට ස්වභාව සෞන්දර්යය වින්දනයට උපකාර කල , සැපවත් ආසනයක් තනා දී පිහිට වූ , හිරුරැසින් මා හිස ආවරණය වන සේ ලතා මණ්ඩපයක් තනා දුන්නා වූ කල්‍යාන මිත්‍රයාය . "ලෝක පරිසර දිනය" සමරනු වස් මුල ලඟින් ම සිත් පිත් රහිත සේ කඩ කඩ කොට කපාගෙන විත් එහි තබා තිබු දශක ගණනාවක් පැරණි දැවැන්ත වැල දුටු විටම හඳුනගන්නනට මා හට හැකි විය. එක්වනම හදවත හඬා වැටිණි. දැඩි ශෝකයකින් දැවෙන හදවතින් යුතුව එයින් එලියට ගිය මා කිසිවෙකු නැති තැනකට ගොස් බොහෝ සේ හැඬුයෙමි. මියගිය හර්දයාංගම සොයුරිය උදෙසා හෝ මා මෙතක් කල් හඬා නැත. ප්‍රදර්ශනයෙන් පසු ඉවත දමන ලද ඒ වැල් කැබලි කසල ගොඩක දිරා යමින් බොහෝ කල් තිබුණා මතකය. 

පරිසරයේ නාමයෙන් පැවැත්වූ , පරිසරය ආරක්ෂකිරීමේ චේතනාවෙන් පැවැත්වූ එවන් සංදර්ශනයක දී තුට්ටු දෙකේ තාවකාලික කැත  සැරසිල්ලක් වෙනුවෙන් ඒ කරන ලද කෘර පරිසර ඝාතනය මතක් වෙන මොහොතක් පාසා මා හද නැවත නැවත පෙළයි. ඉන් පසු කිසි දිනක ඒ වන තිරය වෙත මා නොගියෙමි. කෘර හස්තයන්ගෙන් කැබලි කොට විනාශ කර දමන ලද මා දැඩි ලෙස ආදරය කල ඒ ස්ථානය වෙත නැවත නෙත් හෙලීමට තරම් මා නිර්භය නොවූයෙමි. 

මෙලෙසින් වන ගොමු  සමග සැමදාම පෙමින් බැඳෙන මා හට , අරණකට පෙම් බැඳ කෘතිය හර්දයාංගම වීම අරුමයක් නොවේමය. නමුත් එය අවසන් වන තෙක් කියවීමට මා සිත් නොදේ. නවත්වා ගැනීමට හැකියාවක් නොමැතිව මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා කෙමෙන් විනාශ වී යන ලොබ්ටූලියාවේ ස්වභාව සෞන්ධර්යයේ විනාශය අවසන් වන තෙක් කියවීම කිසිසේත් මා හට හැකි නොවන්නා සේය. පිටුවෙන් පිටුව හදෙහි වේදනාව වැඩි වෙමින් පවතී. කුමක් කරම්ද ?

Sunday, November 11, 2012

මටමයි වෙන්නේ !!!

පහුගිය කාලේ මට භාෂාව භාවිතෙන් වෙච්චි ඇබැද්දි තමා මෙව්වා ... වනේ වන හතුරෙක්ටවත් වෙන්න එපා දෙයියනේ ...

මගේ බොසී ගේ කෙටි නම ජෝ. චැට් එකේ ත් ලියන්නේ එහෙම තමා. උදේ පාන්දර උන්ද එවපු එහෙකට මං පිළිතුරු ලිව්වේ ... "හායි හෝ" කියල.... ජේ , එච් අකුරු දෙක එක ලඟ නෙව.. 

නෑ නෑ .. තාම රස්සාව තියෙනවා...

 තව දවසක් ඔෆිස් එකේ පොරක් ඇවිල්ල කතාව ඔපරේටින් සිස්ටම්ස් ගැන. ඒ අතරේ වෙන කෙනෙක් ගැන කතාකරනකොට මට කියවුනා "ඒනි වේ ... අයි තින්ක් හි ලයික්ස් එනි ෆ්ලෙවර් ඔෆ් යුනක්" කියල .. කියන්න ඕනේ උනේ යුනික්ස් කියල නෙව .... වචන පොඩියක් පැටලුනා. අහං හිටපු පොර ෆුල් අන්දුන් කුන්දුන් .....

 ඇත්තටටට ????!!!!!

ගිය සුමානේ .... අක්ක කෙනෙක් ඇවිල්ල උන්දැගෙ මැක් එක හදාගන්න. ඉ මේල් , ස්කයිප් , ඩ්‍රොප් බොක්ස් ඔක්කොම දාල වැඩකරන හරි පෙන්නලා දෙන ගමන් මුන්ද තොරචෝන්චියක් නැතිව මගේ පිටිපස්සේ ඉඳන් මං ස්ක්‍රීන් එක කරන දේ බලාගෙන කතාව. ටිං ගාල කතාව නැවතුනා එක පාරට. මං බැලුව මොකෑ කියල ඉස්ක්‍රින් එක දිහා... කැම් (කැමරාව) කියන ඒකට මං ටයිප් කරලා තියෙන්නේ කම් (අකුරු තුනේ එක ) කියල..... අයියෝ සල්ලි....

Saturday, October 27, 2012

මොකද්ද මේ කරුමේ කියන්නේ ? (විවිධ මතිමතාන්තර...)

Heven
මනුෂයෙකුගේ (සත්වයෙකුගේ) ජිවිතේ සැම දෙයක්ම තීරණය කරන්නේ උප්පත්ති කර්මයද ?

නැහැ , වගේම ඔවු. හේතුව මේකයි. මනුෂ්‍ය ආත්ම භාවයක් කියන්නේ අතිශයින් ලබා ගැනීමට දුර්ලභ දෙයක්. සුළු සුළු කුසල් නොවෙයි මහා පුණ්‍ය කුසලයකින්මයි මනු ලොව ආත්ම භාවයක් ලබන්නේ. එනම් මනුෂ්‍යයෙකුගේ ජනක කර්මය අතිශයින්ම බලවත්. මේ හේතුව නිසා මිනිසෙකුගේ ජිවිතයේ ප්‍රධාන සංදිස්ථාන තීරණය කිරීමේ බලවත් හැකියාවක් ඔහුගේ ජනක කර්මයට තිබෙනවා.

එහෙමයි කියල ඒක මගින් මනුෂයෙකුගේ ජිවිතයේ සැම දෙයක්ම තීරණය කරන්නේ නැහැ. උදාහරණයක් විදියට , හිරු එලිය ජනක කර්මය විදියට ගන්න , කාමරේකට හිරු එලිය වැටෙන වෙලාවකට කාමරේ ලයිට් එකත් දාන්න... ඒ කියන්නේ පොඩි පුණ්‍ය කර්මයක විපාක දීමක් ... පොඩි වෙනස දැනේවි. ලයිට් එක නිවන්න .. ඒ කියන්නේ පොඩි අකුසල කර්මයක විපක් දීමක් ... පොඩි අඳුරක් දැනේවි. නමුත් කාමරේ දීප්තිමත් භාවයට දැඩි බලපෑමක් කරන්න ඒ විදුලි ආලෝකයට බැහැ. කාමරේ ආලෝකයට තීරණාත්මක බලපෑමක් කරන්නේ හිරු එලියමයි. ඒ කියන්නේ ජනක කර්මයමයි.

මනුෂ්‍යයෙකුව ඉපදීමේදී අනිත් අමනුශ්‍යන්ට ලබා ගන්නට නොහැකි මහා බලයක් , හැකියාවක් එම පින්වත් සත්වයාට ලැබෙනවා. එනම් තමන්ගේ අභිමතාර්ථය පරිදි තමන්ගේ මනුෂ්‍ය ආත්ම භාවය සහ ඉදිරි භව පැවැත්ම සකසා ගැනීමේ හැකියාව සහ බලය. මෙය මනුෂ්‍ය භාවයෙන් පහල සත්ව උප්පති ස්ථාන වල සත්වයන්ට කිසිසේත්ම ලබාගන්නට අසීරු , මනුෂ්‍ය භාවයෙන් ඉහල සත්ව උප්පති ස්ථාන වල දෙවියන් , බ්‍රහ්මයන් වැනි සත්වයන්ට ලබාගැනීමට අසීරු හෝ නොහැකි දෙයක්.

මනුෂ්‍ය භාවයෙන් පහල සත්ව උප්පති ස්ථාන වල සත්වයන්ට බොහෝ කොට ඇත්තේ දුක පමණයි. ඥාන විප්‍රයුක්ත සිත් වලින් උපදිනා නිසා හරි වැරැද්ද තෝරා ගැනීමේ හැකියාවක් නොමැති ඔවුන්ට තම ආත්ම භාවය ධර්ම මාර්ගයේ යෙදවිය නොහැකියි. ඔවුන් දුකින් දුකටම යනවා. මේගැන විවාදයක් නැහැ නේ .. නමුත් දෙවෙනියට මං කියුව කරුණ මඳක් විවාදාත්මකයි. නුවණින්ම විමසිය යුතුයි. කිරිබත්ගොඩ ස්වාමින් වහන්සේගෙන් පමණක් ධර්මය ශ්‍රවනය කල ඇත්තෝ අමනාප වෙන්නත් බැරි නැහැ. දිව්‍ය භව වල සත්වයන්ට පින් කල නොහැකිද ? අනිවාර්යෙන්ම කල හැකියි. දිව්‍ය තල වල සත්වයන්ට ධර්මයේ හැසිර ධ්‍යාන මාර්ග ඵල ලබා ගත නොහැකිද ? අනිවාර්යෙන්ම ලබා ගත හැකියි.

එහෙනම් මොනවද ඕයි මේ කියන්නේ ?

කියන්නේ මෙන්න මේකයි... ඇතැම් කාලයන්හිදී මනුෂ්‍ය ලෝකය ආයුෂ , වර්ණ, සැප, බල, ප්‍රඥා යන කරුණින් දිව්‍ය භවයන්හි ඒ කරුණු ඉක්මවා යනවා. දෙවියන් වසර ලක්ෂ ගනං පමණක් ජිවත් වෙද්දී , මනුෂ්‍යන් අසංකය වර්ෂ ආයු වලදනවා. , සාමනේර භික්ෂු පදවිය , උපසම්පදා භික්ෂුත්වය , පසේ බුදු, ලොවුතුරා බුද්ධත්වය මනුෂයෙකු විසින් පමණක් ලබනා උත්තරීතර පදවි. කොච්චර බලසම්පන්න ආත්ම භාවයන් තිබ්බත් දිව්‍ය බ්‍රහ්ම, නාගයෙකුට ඒ උත්ත්තරිතර පදවියනට පත් විය නොහැකියි. කොටින්ම කියනවා නම් සාමනේර භික්ෂුවක් වත් විය නොහැකියි. ලොවෙහි සැම කල්හිම අතිශයින්ම දුර්ලභ දෙයක් නම් උතුම් වූ සම්මා සම්බුද්ධ ශාසනයක පැවිද්ද හා උපසම්පදාවයි. මනුෂ්‍යයන්ට පමණක් ඒ පදවියනට දොර විවුර්තයි.

දෙවනුව පහල ආත්ම භාවයන්ගේ ඇත්තේ දුක පමණයි. ඉහල ආත්ම භාවයන්ගේ ඇත්තේ බොහෝ කොට සැපයි. මිනිස් ලොව සම සමව සැප දුක් පවතිනවා. ඥානවත් පුද්ගලයෙකුට ජීවිතය කියන්නේ මොකක්දැයි හඳුනා ගන්න මෙය ඉතාම වැදගත් දෙයක්. දුකින් පෙලී ක්‍රෝධ චිතයෙන් ජිවත් වීමේත් , සැපයෙන් අගතියට ගොස් ධර්ම මාර්ගය අමතක වීමේත් සම්භාවිතාව මිනිස් ලොව අඩුයි.... (නැත්තෙමත් නැහැ..) එමෙන්ම එසේ නිවැරදිව හරි වැරැද්ද (ධර්ම මාර්ගය ) හඳුනා ගැනීමෙන් පසුව ඥානවත්ව එය ප්‍රගුණ කිරීමට අවස්ථාව , හැකියාව , නුවන කලන මිතුරැ ඇසුර , බොහෝ ඔලාරිකව මනු ලොව සැම තැනම දකින්නට තිබෙන ත්‍රිලක්ෂණය විදර්ශනාවට නැගීමේ අපමණ පහසුව මනුෂ්‍ය ආත්ම භාවයක් ලබුවෙකුට තිබෙනවා.

හරි හැටි ධර්මයේ සිත පිහිටුවා නොගතහොත් , එය ජිවිතයේ මුලික අංගයක් කර නොගතහොත් , කුසල් කර දිව්‍ය ආත්ම භාවයක් ලැබුවද ඒ ආත්මභාවයේ ඇති විසිතුර , සැපත නිසා සිත ඒ වෙත ඇදී ගොස් ප්‍රමාදයෙන් කල් ගෙවීමෙන් , මතුවට සිත දියුණුකර ගැනීමට ඇති අවස්ථාව බොහෝ දෙවියන් අහිමි කර ගන්නවා. දිවය ලෝක වල කාලය බොහෝ අධික උනත් ඒ කාලය ගෙවී යන්නේ කාටත් නොදැනීමයි. අන්තිමේදී කුසල් ගෙවී ගොස් චුති ලක්ෂණ පහල වෙන විට කෝච්චිය ගොස් හමාරයි බොහෝ දෙවියනට.

සාදාරනයි නේ ! මේ නවද්වාරයකින් අසුචි වැහෙන දුර්ගන්ධවත් පුති කායකට වැදගෙන අතිශයින් ඕලාරික අශුද්ධ ආහාර පාන, සත්ව මළකුණු එයට කවමින් , ඒ කුණු රසයෙන් සතුටු වෙමින් , ගොමස්කඩ වැනි දළ ඇඳුම් පැළඳුමින් ඒ පුතීකය පෙරවාගෙන , හරක් මඩු වැනි දුර්ගන්ධ හමන වාසස්ථාන වල ගෙවන මේ මනුෂ්‍ය ජීවිතය ලබාගෙනත් , 99% මිනිසුන්, දිවය සැපත හා සමාන කරන කල අතිශයින් තුච්ච වූ ඒ සැපතෙහි සිත අල්වාගෙන ප්‍රමාදීව හෙටක් නැතුවා වගේ කල් ගෙවන කල දෙවියන් ගැන කුමන කතාද ?

පැහැදිලියි නේ... හරි ආයි මාතෘකාවට එමු. එනම් තමන්ගේ අභිමතාර්ථය පරිදි තමන්ගේ මනුෂ්‍ය ආත්ම භාවය සහ ඉදිරි භව පැවැත්ම සකසා ගැනීමේ හැකියාව සහ බලය. වෙනස් විදියකින් කියනවනම් කර්මය නමැති විශ්ව බලය , මනුෂ්‍ය සිත නමැති එයිටත් වඩා විශාල මහා බලය යොදා තමන්ට අවශ්‍ය පරිදි වැඩිදියුණු කිරීමේ , වෙනස් කිරීමේ බලය. බරපතල නොවන අකුසල කර්මයන් ගෙන් බේරී සිටීමටත් , කුඩා පුණ්‍යකර්මයන් මහා බලවත් පුණ්‍ය බලයන් බවට පත් කර ගන්නත් බුද්ධිය යොදවා කටයුතු කිරීමෙන් පුළුවන්.

මොනවද මෙසේ කර්මය වෙනස් කල හැකි විධි.

දුක්පත්ව සිටීමට කර්ම ලබා උපන් මිනිසෙකුට තම , බුද්ධිය හා නොපසුබස්නා අධිශ්ටානය භාවිතා කරගෙන ජිවිතයේ උසස්ම තත්වයකට ධනයෙන් හා බලයෙන් නැගී සිටින්න පවතින වටපිටාව තුල භාදාවක් නැහැ. එය ප්‍රයෝග සම්පත්තිය මගින් අකුසල කර්ම බලයන් වලකා දැමීමට උදාහරණයක්.

දීර්ඝ ජිවිතයකට උරුම කම් ලබා උපදින තැනැත්තෙක් පාප මිත්‍ර සේවනයට වැටී මත් පැන් පානයට , ටැබා ගැසීමට , කැහි පැණි බිමට ,ඇරසොල් ඉරීමට පටන්ගතහොත් අවාසනාවන්තයෙක් ලෙස අකාලයේ මිය යාමට සිදුවෙනවා අනිවාර්යයි. මෙය වැරදි ලෙස කය පරිහරණය කිරීම මගින් කුසල විපාකයන් වලක්වා ගැනීමක්.

තමන්ගේ කර්මයන් අනුන්ට දෙන්න , අනුන්ගේ කර්මයන් තමන් පිට ගෙන ඒවා ගෙවා දමන්න පුලුවන්ද ?

ඇත්තටම කියනවා නම් පුළුවන් .... පස්සේ බලමු ඒ කොහොමද කියල ...

Sunday, October 21, 2012

අරුනාචලයේ ශ්‍රී රමණ මහ ඍෂි (2 කොටස)

Sundaram Iyer (1845-1892)
කලින් ලිපියේ කියුව විදියට ශ්‍රී රමණ ඍෂි ගේ  ජිවිත කතාව කොටස් වශයෙන් පල කරන්නේ. අද බලමු ඔහුගේ උපත හා කුඩා කාලය පිළිබඳව.

ශ්‍රී රමණ ඍෂි ගේ කුඩා කල නම වෙන්කතරාමන් අයියර්. ද්‍රවිඩ හින්දු බ්‍රාහ්මණ පවුලක ඉපදුනේ. දරුවන් හතර දෙනෙකුන්ගෙන් යුතු පවුලක දෙවැන්නා.  උපන් ගම වෙන්නේ තමිල් නාඩුවේ මදුරායි වල තිරුචුරි නම් ගම.  1879 දෙසැම්බර් මස තිස්වෙනිදා රාත්‍රියේ උපත ලද වෙන්කතරාමන් පියා සුන්දරාම් අයියර් වන අතර මව වන්නේ අසිගම්මාල්.

1879 දෙසැම්බර් මස තිස්වෙනිදා ද්‍රවිඩ හින්දුන්ට වැදගත් දවසක්. එදින තමයි ඔවුන්ගේ එම වර්ෂයේ අරුද්‍ර දර්ශන දිනය යෙදිලා තිබුනේ.  ද්‍රවිඩ මාස ක්‍රමය අනුව දෙසැම්බර්- ජනවාරි මස දෙක අතර වැටෙන පුර්ණ චන්ද්‍ර දිනය තමයි අරුද්‍ර දර්ශන දිනය. එම චන්ද්‍ර මාසය මර්ගාසි නම් වෙනවා.  ශිව දෙවියන්ගේ විශ්ව නර්තනය සිහිපත් කිරීමට අරුද්‍ර දර්ශන දිනයේදී ශිව දේව  පිළිම කෝවිල් වලින් එලියට වඩම්මා මිනිසුන් විසින් අදින කරත්ත හෝ වේදිකාවල නංවා  විදි සංචාරය කරවනවා.  

Birth Place of Ramana Rishi
සුන්දරාම් අයියර් කාගේත් ගෞරවයට ලක් වෙච්චි හොඳ හිත ඇති මනුෂ්‍යයෙක්. උසාවියට  නීති කටයුතු සඳහා අවශ්‍යවන ලිපිලේඛන සකස් කිරීමෙන් නීතිඥ වුර්තියට සමාන ආකාරයේ රැකියාවක් කල ඔහුගේ   ඔහුගේ නිවස පිහිටා  තිබුනේ දකුණු ඉන්දියාවෙහි ඇති පැරණිම හා පුජනීයම  ශිව  කෝවිලක්  අසලමයි. එම නිසා බොහෝ අවස්ථාවල එම කෝවිලට දුරබහැරින්  පැමිණෙන වන්දනාකරුවන්ට ආහාර , නවාතැන් ලැබුන ඔහුගේ නිවසේ. නිවස කොටස් දෙකකට සකසා ඉදිරි පස කොටස වන්දනාකරුවන්ට නවාතැන ලෙස සකසා තිබුනා. 

කුඩා කල වෙන්කතරාමන් අනිකුත් දරවන් වගේම සෙල්ලමින් , නිවස  අසල ඇති කෞන්දීනි ගඟෙහි  අනෙක් ගම් දරුවන් සමග  පීනමින් කෙළිදෙලෙන් කල් ගත කරනවා. ඉගෙනීමට කිසි උනන්දුවක් නොදැක්වුවත් ඔහුගේ තිබුණු මතකතබා ගැනීමේ හැකියාවත් සහජ බුද්ධියත් නිසා පාසලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වෙනවා. ක්‍රීඩාවටත් දක්ෂ කම් තිබුනා ඔහුගේ. විශේෂයකට කියා තිබී ඇත්තේ ඔහුගේ නින්දයි. නින්දට ගිය විට ඉතා දැඩි නින්දකට පත්වන ඔහු ඇහැරවීම කිසිසේත් නොකර හැකි දෙයක් බවට පත්ව තිබුනා. මේ බව දැනගත් ඔහුගේ පාසලේ ඔහු සමග ක්‍රීඩා කර පරාජය වූ   ඇතැම් ළමුන් රාත්‍රී කාලයේදී ඔහු නින්දට ගිය විට ඔහු හට හොඳින් පහර දී තිබුණු දිනයනුත් තිබුනා.  උදෑසන ඇහැරුණු කල ඔහු ශරීරයේ තැලුණු ගෙඩි ගැසුණු තැන අතගාමින් කුමක් වුයේදැයි කල්පනා කළේලු. 

වයස 11 දී වෙන්කතරාමන් යවනවා තිරුචුරි වල සිට කිලෝමීටර් 70 ක් පමණ ඈතින් පිහිටි දින්දිගුල් වල සිටින ඔහුගේ මාමා කෙනෙක් වන සුබයියර්  වෙත. තිරුචි හි පිහිටි පාඨශාලාවේ උගන්වන්නේ ද්‍රවිඩ භාෂාවෙන් පමණක් වන නිසා ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම පිණිසයි වෙන්කතරාමන් ව දින්දිගුල් වල පිහිටි බ්‍රිතාන්‍ය පාසල වෙත ඇතුල් කරන්නේ. 1891 දී  සුබයියර් පවුල මදුරායි වල වාසයට යන විට වෙන්කතරාමන් ද ඔහුගේ වැඩිමල් සොයුරා වන නාගස්සවාමී ද  ඔවුන් සමගම මදුරායි යනවා.

මදුරායි  හි දී ප්‍රථමයෙන් ස්කොට් ප්‍රථමික විද්‍යාලයේද දෙවනුව ඇමරිකානු මිෂනාරි විද්‍යාලයේද වෙන්කතරාමන් අද්‍යාපනය ලබනවා. මදුරායි  පැමිණ වසරකින් පමණ පසු 1992 දී හදිසියේ අසනීප වන සුන්දරාම් අයියර් ටික දිනකින්ම වයස 42 දී මිය යනවා. මෙසේ පියාගේ අකල් අභාවය හේතු කරගෙන වෙන්කතරාමන් ගේ පවුලේ සියලු දෙනා වෙන් වෙන් වශයෙන් ඔවුන්ගේ නෑදෑයන්  අතර බෙදී වාසයට යනවා.

1895 හේ නොවැම්බර් මස එක දිනයකදී වයසක නෑදෑයෙක් හමුවෙන වෙන්කතරාමන් දැන ගන්නවා ඔහු පැමිණ ඇත්තේ අරුනාචල සිට කියා. වෙන්කතරාමන් අරුනාචල හා එහි පුජනීයත්වය  ගැන කලින් අසා තිබුනත්  , එහි සැබවින්ම යා හැකිය කියා ඔහු හට තේරුමක් තිබුයේ නැහැ. වැඩිමල් නෑදෑයගේ විස්තරයෙන් පසු   අරුනාචල කන්ද වෙත ඔහුගේ සිත නැමෙනවා. 

ඊට ටික දිනකට පසු වෙන්කතරාමන් ට හමුවෙනවා ඔහුගේ මාමා කියවීමට ගෙනවිත් තිබු පොතක්. ඒ තමයි පෙරිය පුරානම් නමැති පොත.  හදිසියේ ඇහැ ගැටුණු ඒ පොත කියවාගෙන යාමේදී එහි විස්තර වෙන සාධු චරිතයන්හි ඇති අලංකාරත්වයට , සරලත්වයට , පුජනීයත්වයට , නෙක්ඛම්ම අදයාශයට ඔහුගේ සිතෙහි ඉමහත් භක්ති  පුර්වක ගෞරවයක් පැන නගිනවා. මනුෂ්‍යයනට   එවැනි කැපවීමක් , නිස්සරනද්‍යාශයක් , භක්තියක් ඇතිවිය හැකිදැයි ඔහුගේ සිතෙහි අතිමහත් විමතියක් ඇති  වෙනවා.  එහි ඇති විවිධ සාධු චර්යා  ඔහුගේ සිතෙහි නොමැකෙන ලෙස නිදන්ගත වෙනවා.

දැන් පොඩ්ඩක් බලමු පෙරිය පුරානම් කෘතිය ගැන.....

පෙරිය පුරානම් කෘතිය ශිව භක්තික සධුවරුන් 63 දෙනෙකු ගේ ජිවන ප්‍රවුර්ති අරභයා ලියවුනු ආගමික භක්ති කාව්‍ය සංග්‍රහයක්. 12 ස් වන ශතවර්ෂයේදී දෙවන කුලතුංග චෝල අධිරාජ සමයේ මෙය රචනා කර තියෙන්නේ සෙක්කිසර් නමැති අයෙක්. ඔහු කවියෙක් වගේම රජුගේ ප්‍රධාන  ඇමතිවරයා. ජයින ආගම ගැන පැහැදීමෙන් සිටි  රජු ශිව සමය වෙත පහදා  හරවා ගැනීමට  තමයි  මෙය ඔහු අතින් ලියවුනේ.

එය ලිවීමේදී දක්වා ඇති  භාෂාව හැසිරවීමේ හා  කාව්‍ය විලාශයේ විශිෂ්ටත්වය නිසාම එය  ලියවුනු සමය  චෝල  සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සලකනවා. එමෙන්ම එය ඒ  සමයේ ලියවුනු විශිෂ්ටතම ග්‍රන්ථයක් ලෙස පැසසුම් ලබනවා වගේම පස්වන වේද ග්‍රන්ථය ලෙසත් විශිෂ්ටතම ද්‍රවිඩ සාහිත්‍ය කෘතියක් ලෙසත්   පැසසුම් ලබනවා.

මෙහි දැක්වෙන  සධුවරුන් 63 දෙනා මනංකල්පිත  චරිත නොව සැබවින්ම දක්ෂිණ භාරතයේ පුරාණයේ  විවිධ කාල වල ජිවත් වූ විවිධ ගෝත්‍ර වලට අයත්  , විවිධ රැකියා කල අය.

අදට මේ ඇති.... පස්සේ තව ටිකක් දාන්නම්...  

අඝෝරින්....

Aghori ascetic
ශිව දෙවියන් හා සම්භන්ද දේවල් ම ගොඩක් "වෙන්ඩ" ලිපි වලින් ඉදිරියේදී කතා කරන්න ඉන්න හින්ද රමණ ඍෂිට සම්බන්ධයක් නැතත් විශේෂ ගනයේ ශිව භක්තිකයන් පිරිසක් ගැනත් මොනවා හරි කිව්වොත් හොඳයි කියල හිතුන. මේ තමයි අඝෝරින්. හින්දු සමාජය බිය මුසු ගෞරවයක් දක්වන තාන්ත්‍රික සාධකයින් කොටසක්. 14 වන ශත වර්ෂයේදී ශිව භක්තික කාපාලිකයින්ගෙන් වෙන්වී වෙන මගක් ගත් සාධකයින් කොටසක්.

තමන් අඝෝරින් කියා කියා ගන්න බොහොමයක් පිරිස් සිටියත් නියම අඝෝරි වෘත සමාදන් වන සාධු වරුන් පෙරකාලයේ වගේම දැනුත් ඉතාමත් දුර්ලභයි.මොවුන්ගේ සාධන ක්‍රම සාමාන්‍ය හින්දු සමාජයේ සමාජ මිනුම් , විශ්වාසයන් සහ ක්‍රියාකාරකම් වලට අතිශයින් වෙනස් පිළිකුල් අශුද්ධ ආකාරයක් ගන්න නිසා බොහෝ හින්දුන් මොවුන් හින්දුන් ලෙස පිලි ගැනීමට , හින්දු සමාජයට වැද්ද ගැනීමට අකමැති උනත් ,අඝෝරින් ශිව භක්තිකයන් නිසා ඔවුන් හින්දු සමාජයේ විශේෂ කොටසක් ලෙස පිළිගැනීමට අකමැත්තෙන් වුවත් සිදු වී තිබෙනවා.

හින්දුන් තම ජිවිතයේ සම්මුක වෙන දේ කොටස් දෙකකට බෙදනවා. සාත්වික හා තාම්සික වශයෙන්. ආහාර , ගති පැවතුම් , සාධන විධි ආදී මේ කි නොකී සියලු දෙය සාත්වික , තාම්සික වශයෙන් බෙදන්න පුළුවන්. සත්විකත්වය නිරුපනය කරන්නේ පාරිශුද්ධ භාවය , උතුම් ගති ගුණ , පිරිසිදු බව , ජිවෙන්ද්‍රිය , පිරිසිදු අවබෝධය. තාම්සිකත්වය නිරුපනය කරන්නේ භය , අපරිශුද්ධ බව , මරණය , මෝහය හා විනාශය. එකම කාසියේ දෙපැත්ත.

උදාහරණ විදියට ශාක ආහාර , කිරි , ගිතෙල් සාත්වික ආහාර වෙනවා. ඒවා දේව පුජාවට , දෙවියන්ට පිදීමට සුදුසුයි , සත්ව මාංශ , මත් පැන් , පිළුණු ආහාර, සත්ව මල ආදිය තාම්සික ගණයට වැටෙනවා. දෙවියන්ට පිදීම කෙසේවතත් සාමාන්‍ය (mainstream) භක්තිමත් හින්දුන් ඒවා ඇල්ලීමට වත් කැමති නැහැ. නමුත් තාමිසික දෙය ප්‍රිය කරන කාලි , සම්ශාන් තාරා (සොහොන් තාරා) වැනි දෙවියන්ට (යක්ෂනියන්ට? ) එවැනිආහාර , මිනි අලුයෙන් කරන පුජා , මනුෂ්‍ය මාංශ ආදී තාම්සික ගුණ දක්වන ආහාර පුජා විධි ප්‍රියයි.

අඝෝරින් මේ අනුව නිරුපනයකරන්නේ හින්දු ඇදහිලි ක්‍රමයේ තාම්සික පැත්ත. ඔවුන්ගේ කෝවිල හා වාසස්ථානය තමා අමු සොහොන හෝ මිනී දවන ස්ථානය. ඔවුන්ගේ අල්තාරය තමා කුණුවී යන මල කුණ. උග්‍ර ලෙස අඝෝරි වත පුරන්නන් ඇඳුම් නොහැදියත් සාමාන්‍ය අඝෝරින් මිනී දැවටු රෙදි ඇඳීම පිණිස ගන්නවා. ඔවුන්ගේ ආහාර බඳුන් සකස් වී තිබෙන්නේ මිනී හිස් කබලින්. මිනී ඇට වලින් කල පළඳනා පළඳිනු ලබනවා. මත් පැන් පානය , ගංජා ඉරීම ඔවුන්ගේ තවුස් වතේ කොටසක්. ආහාරය සම්බන්ධයෙන් කිසිදු වෙනස්කමක් නොකිරීම ඔවුන්ගේ තවුස් වතෙහි අංගයක්. වෘතයක් විදියට , ශිව දෙවියන්ට , තම භක්තියේ සාධනයේ අවංකත්වය පෙන්වන අංගයක් විදියට මිනී මස් ආහාරයට ගැනීම වරින් වර සිදු කරනු ලබනවා. තාම්සික ගුණ ඇති සම්ප්‍රදායික හින්දුන් පිළිකුල් කරන මස් , පිළුණු ආහාර , සත්ව හා මිනිස් අසුචි වැනි කිසිදු ආහාරයක් ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.

සෑම දෙයකම ඇති ද්විත්ව ස්වභාවය පරමාර්ථ වශයෙන් ගත් කල්හි මිත්‍යාවක් (illusory) බවයිඅඝෝරින් විශ්වාස කරන්නේ . සාත්වික හා තාම්සික දෙයහි පරමාර්ථ වශයෙන් ගත් විට කිසිදු වෙනසක් නොමැති බවත් සමාජ සම්මත පිළිකුල් කටයුතු තාම්සික දෙය වැළඳ ගැනීමෙන් හා සධානා කිරීම මගින් සියල්ලෙහි මේ ද්විත්ව ස්වභාව වශයෙන් ඇති මිත්‍යා පටලය බිඳ සත්‍යය දැකීමට හැකි වෙන බවයි අඝෝරින් ගේ විශ්වාසය.

Samshaan Tara
සොහොන් අශ්‍රිතව ජිවත් වන නිසා සොහොනට අධිගෘහිත සම්ශාන් තාරා දෙවඟන සමග අඝෝරින් එකතුයි. දැඩි ලෙස වෘත සමාදන් වෙන අඝෝරින් වෙත ඇය පැමිණ, පෙනී සිට විවිධ වර ලබා දීමද සිදු කරනු ලබනවා. එසේ වර ලබා ගත් අඝෝරින් හට විවිධ ලෙඩ සුව කිරීමේ හැකියාවක් ඇති බව සාමාන්‍ය හින්දු සමාජයේ පිළිගැනීමයි. එමෙන්ම අඝෝරින් විවිධ අමනුෂ්‍යන් සමග මිත්‍ර ව මෙන් ම ඔවුන් තම වසඟයට ගෙන මන්ත්‍ර විද්‍යාවේ අෂ්ට කර්මයට අයත් විද්වේෂණය , උච්චාවටනය , මාරණකර්ම සිදු කරනු ලබන බවට ඇති පිළිගැනීම නිසා අවශේෂ හින්දුන් අඝෝරින්ගේ ක්‍රියා පිළිවෙත් පිළිකුල් කරතත් ඔවුනට බිය මුසු ගෞරවයක් ද දක්වනු ලබනවා.

සම්ශාන් තාරා හා කාලි දෙවඟන අතර බොහෝ සමාන කම් තිබුනත් ඔවුන් දෙවඟනන් දෙදෙනක් බව තමා සාමාන්‍ය පිළිගැනීම. කාලි දෙවඟන කළු පැහැති අතරසම්ශාන් තාරාදෙවඟන නිල් පැහැතියි. කාලි කැපූ මිනිස් අත් වලින් යුත් මාලයක් පැළඳ සිටින විට තාරා කොටි සමකින් විලි වසා සිටිනවා. අනිත් වැඩ වලින් නම් දෙදෙනාම සමාන බවයි කියවෙන්නේ.

සම්ශාන් තාරා හා අඝෝරින් සම්බන්ධයෙන් විවිධ රස මුසු කතා පුවත් පවතිනවා. හපොයි ඒත් අදට මේ ඇති....

අඝෝරින් ගැන සිංහලෙන් අන්තර්ජාලයේ තිබෙන එකම අනිත් ලිපිය මෙතනින් බලන්න ...

Thursday, October 18, 2012

අරුනාචලයේ ශ්‍රී රමණ මහ ඍෂි (1 කොටස)

අද සිට කොටස් වශයෙන් ලියන්න බලාපොරොත්තු වන්නේ මා ඉතාමත් ප්‍රිය කරන චරිතයක් ගැන. මේ තැනැත්තා ගැන ලියන්න කියා 2008 සිට සිතාගෙන හිටියත් වෙලාවක් ලැබුනේ නැහැ.

පුවත් පත් ලේකඛයෙකුව සිට සත්‍ය ගවේශකයෙකු බවට පත්ව ඉන්දියාව පුරා ගුරුවරයෙක් සොයමින් (ගුරු ජි ) සැරිසැරූ පෝල් බ්‍රන්ටන් අන්තිමේදී නතරවූයේත් මෙතුමන් ළඟ. ඔහු 1934 දී ලියු In Search of Sacred India කෘතියේ ශ්‍රී රමණ මහ ඍෂි ගැන සාමාන්‍ය තරමේ විස්තරයක් ඇතුලත් වෙනවා. නමුත් එය පිටු කිහිපයක් පමණයි. මෙය තිලක කුඩා හෙට්ටි මහත්මයා විසින් කාණ්ඩ දෙකක් වශයෙන් පරිවර්තනය කර භාරත යෝගීන් හා ඉසිවරයන් සමග යන නමින් දයාවංශ ජයකොඩි සමාගම මගින් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු විසින් පරිවර්තනය කරන ලද තවත් පොතක් තිබෙනවා භාරත මහ ඍෂි රාමණා නමින්. නමුත් කියවූ බව මතක නැහැ.

ඔහුට මා මෙතරම් කැමති ඇයි දැයි ඇතැම් අය අහනවා. ඇයි බුද්ධාගමේ නැද්ද මිට වඩා උසස් අය ? දැන් ඉන්න සමහර භික්ෂුන්ටත් ධ්‍යාන තියෙනවා නේ. සප්ත අභිඥා , අෂ්ට සමාපත්ති ලාභී මහ රහතන් වහන්සේලාගෙන් පිරි තිබු බුද්ධ ශාසනයේ සිටි තෙර වරුන් මෙයාට වැඩිය හොඳ නැද්ද ? ඇයි ඉතින් ධ්‍යාන ලබා ගත් පමණින් මේ හින්දු තාපසතුමා ගැන පැහැදීමක් ඇති උනේ ?

ප්‍රභල හේතුවක් දැක්විය නොහැකි උනත් කරුණු කිහිපයක් තිබෙනවා එතුමන් අන් යෝගීන් ගෙන් වෙනස් වන. ප්‍රථම එක තමා රමණ මහ ඍෂි ජිවත් වුයේ දශක කිහිපයකට කලින් මෑත අතීතයේ වීම. වසර 2500 කට කලින් ජිවත් වූ ඉර්ධි ලාභීන්ට වඩා ඔහු අපට සමීපයි. එමෙන්ම එතුමන් භාරතයේ ඍෂි පරම්පරාවේ අවසාන පුරුක යයි කිව හැකියි. එතුමන් ට පසුව වැඩ දාගෙන, කැටයම් දාගෙන, සද්දේ දාගෙන බොහෝ අය ආවත් ඔවුන් කිසිවෙක් පෞරානික භාරතීය ඍෂි , තපස්වී , නෙක්ඛම්මිය ලක්ෂණ තම අභ්‍යන්තර හෝ බාහිර ජිවිතයෙන් පෙන්නුම් කල අය නෙමෙයි. ඒ අය ඩුප්ලිකේට් , එහෙම නැත්නම් කොමෂල් ඍෂිල.

ශ්‍රී රමණ මහා ඍෂි දැඩි ආගමික භක්තියක් මුල් කොටගෙන ඒ හේතුව නිසා තපස්වී බවට පත්වූවෙක් එනම් භක්ති යෝගියෙක් නෙමේ. විවිධ යෝග ආසන ක්‍රියාකර කම් මගින් ශරීරය දැඩි කරගෙන, සකස් කරගෙන එමගින් සමාධිය උපදවා ගැනීමට තැත් කරමින් දුෂ්කර දීර්ඝ මාර්ගයක් ගත් හථ යෝගියෙකුත් නෙමෙයි. පොත පතින් නුවණ ගෙන පොතේ ගුරු වෙච්චි ඥාන යෝගියෙකුත් නෙමෙයි.

කුඩා අවදියේදීම සියල්ලටම වඩා අමාරු මාර්ගය ගෙන කිසිදු ගුරුවරයෙකුගේ ඉගැන්වීමක් , සහයක් නොමැතිව වසර ගණනක දැඩි උත්සාහයකින් , කැපවීමකින් , අධිෂ්ටානයකින් පසුව ධ්‍යාන ලබා මහා බ්‍රහ්මයා සමග එකාත්මිය වුනු හෙවත් සුද්ද සිංහලෙන් කියනවා නම් ධ්‍යාන ලබා බ්‍රහ්ම තලයේ පැවැත්වීමට සිත සකස් කර ගත් තැනැත්තෙක්. එනම් පැරණි පාතාංජලී යෝග ක්‍රමය අනුව සියල්ලන්ම උසස්ම යෝග මාර්ගය ලෙස පිළිගන්නා රාජ යෝග මාර්ගයෙන් ඍෂි බවට පත් වුවෙක්.

ඍෂි වරයෙක් නම් මේ වගේ යයි කිව හැකි ලක්ෂණ සියල්ල එතුමන් ළඟ අඩුවක් නැතිව තිබුනා. විමුක්තිය උදෙසා ගිහි ගෙය හැරයන්නෙකු යා යුත්තේ මෙසේ යයි ලැජ්ජාවක් නැතිව ඇඟිල්ල දිගු කොට ඔහු ගිය ආකාරය පෙන්විය හැකියි. එනම් කිසිවක , තම ජීවිතය කෙරේ පවා කුණු කෙල පිඩක තරම් වත් බැඳීමක් , ආලයක් නොමැතිව නික්ම යාම. විමුක්තිය උදෙසා අතීතයේ හෝ අනාගතයේ යමෙකු දිවියේ ආලය හැර වෙර වැඩියා නම් (බුදු රාජාණන වහන්සේ ඇතුලත් නොවේ ) ඒ වෙර වැඩියේ මෙසේ යයි කිසිදු පැකිලීමක් නැතිව ඇඟිල්ල දිගු කොට ඔහු පෙන්විය හැකියි. කොටින්ම කියනවානම් හුඟක් ඈත අතීතයේ නොව මෑත කාලයේ අප අතර ජීවත්වූ ඔහුගේ චරිතය මෑත කාලයේ විමුක්තිය සොයා යන්නෙකුට පරමාදර්ශී ( rowmodel) චරිතයක්.

ඔන්න ඔය වගේ කරුණු කීපයක් නිසා තම ඔහු මට ප්‍රිය. හරි ඇඩ් එක ඉවරයි. දැන් බලමු ශ්‍රී රාමනා මහා ඍෂි ගැන. ලිපිය දිග වැඩි නිසා කොටස් වලට කඩල දාන්න වෙනවා පරිච්චේද වශයෙන්. පරිච්චේද බෙදමු මෙහෙම.

  • කුඩා කාලය
  • නික්ම යාම
  • නික්ම යන ගමනේදී
  • යෝගියෙකු ලෙස
  • භගවාන් ශ්‍රී රමණ මහා ඍෂි ලෙසින්
  • මරණය

Tuesday, October 16, 2012

දේවදුත සුත්‍රයෙන්....

දේවදුත සුත්‍රය මා ඉතාමත් ප්‍රිය කරන , නිතර දෙවේලේ සිහිපත් වෙන සුත්‍ර දේශනා කීපයෙන් එකක්. (දේවදුතයෝ හැම තැනම පේන්න ඉන්නවා නෙව අඩුවක් නැතිව ). එය ඇත්තේ මජ්ජිම නිකායෙහි , උපරි පන්නාසකයෙහි තුන්වන වර්ගයේ දස වන සුත්‍රය වශයෙනි. 

ලෝ පහල වී වදාරන සියලු සර්වඥයන් වහන්සේලා විසින්ම දේශනා කරනු ලබන අවිජහිත  දීර්ඝ සවිස්තර දේශනාවක් වන මෙය මෙතැන සම්පුර්ණයෙන් තියා සංක්ෂිප්ත වශයෙන් වත් ලියන්න නම් බැහැ. සම්පුර්ණයෙන් ලියන්න බැහැ දිග වැඩි නිසා. සංක්ෂිප්ත කොට ලියුවොත් එයින් ලැබෙන නියම ධර්ම රසය ලැබෙන්නේ නැහැ.... ඒකයි... මුළු සිංහල ත්‍රිපිටකය ම දැන් නොමිලයේ ම ලබා ගත හැකිව තිබෙන නිසා , උනන්දුවක් ඇති කෙනෙකුට එය ලබාගෙන කියවීමටත් කිසිම බාධාවක් නැහැ. මේ සුත්‍රයේ තැනක සඳහන් වෙනවා මෙන්න මෙහෙම ...

ජිවිත කාලයම ප්‍රමාද විහරණයෙන් සෙල්ලමින් වාසය කල අවාසනාවන්ත තැනැත්තා කයබිඳී මරණින් පසු මහා නරකයකට නොවැටී ඔසුපත් නරකයක ඕපපාතිකව උපත ලබනවා. එවිට යමපල්ලන් විසින් අල්වාගෙන ඔහු ගෙනයනවා එම ඔසුපත් නරකයට අධිගෘහිත යම රජු වෙත. එහිදී යමරජු මේ තැනැත්තා වෙත ඇති කරුණාවෙන් ඔහුට සිහිපත් කරවන්න උත්සහ කරනවා ඔහුගේ දිවියේදී කරන ලද ස්වල්ප වූ හෝ කුසලයක්. යම රජු එම පුරුෂයාගෙන් මෙසේ ප්‍රශ්න කරනවා...

එම්බා පුරුෂය , මනුෂ්‍ය ලෝකයේ සිටියදී නුඹ දුටුවේ නැද්ද මිනිසුන් අතර පහලවූ පළවෙන දේව දුතයා ?
නැත ස්වාමිනි මා දුටුවේ නැහැ ...
මොනවා , නුඹ දුටුවේ නැද්ද ඒ දවසෙම ඉපදී , මළ මුත්‍ර ගොඩේ අසරණව දඟලමින් මුනින් අත වැටී සිටින කුඩා දරුවන් ?
අහෝ ! ස්වාමිනි දැක්කා ....
ඉදින් නුඹ සිතුවේ නැද්ද , මාත් මේ ආකාරයේ ස්වභාවයෙන් යුතුව තමයි ඉපදුනේ. මා සිටියේ යලි යලිත් ඉපදෙන ස්වභාවයෙන් මයි නේ... යලි යලිත් මා හට මෙලෙසින්ම ඉපදෙන්නට සිදු වනවා නොවේද ? යලි යලිත් මෙලෙසින් මළ මුත්‍ර ගොඩේ අසරණව දඟලමින් මුනින් අත වැටී සිටින්නට සිදු වෙනවා නේද ? ඉදින් මෙලෙසින් යලි යලි ඉපදෙන ස්වභාවය උරුම කරගෙන සිටින මා අප්‍රමාදව ධර්මයේ හැසිරිය යුතුයි , කුසල් වැඩිය යුතුයි කියා තොප හට සිතුනේ නැද්ද ?
අනේ සවාමීනි මට බැරුව ගියා ... මම ප්‍රමාද උනා.....

එසේ නම් පුරුෂය , මනුෂ්‍ය ලෝකයේ සිටියදී නුඹ දුටුවේ නැද්ද මිනිසුන් අතර පහලවූ දෙවන දේව දුතයා ?
නැත ස්වාමිනි මා දුටුවේ නැහැ ...
මොනවා , නුඹ දුටුවේ නැද්ද අසු අනු වයස් ගතවූ , සම රැලි වැටී , කෙස් පැසි , දත් සියල්ල සැලී , තල කැලලින් පිරි සිරුරු ඇතිව සැරමිටි වාරුවෙන් , කුදුව වකුටුව ජරාවෙන් ජිර්ණව ගමන් ගන්නා මහල්ලන් මහැලියන් ?
අහෝ ! ස්වාමිනි දැක්කා ....
ඉදින් නුඹ සිතුවේ නැද්ද , මාත් මේ ආකාරයේ ස්වභාවයකට පත් වන බව ? මාත් මේ ආකාරයෙන් වයසට ගොස් ජරාවෙන් ජිර්ණව යන බව ? මා ජරාව නොයික්මවා ඇති බව ? මා හටද මේ ආකාරයෙන් සම රැලි වැටී , කෙස් පැසි , දත් සියල්ල සැලී , සැරමිටි වාරුවෙන් , කුදුව වකුටුව යන්නට සිදුවන බව ? ඉදින් මෙලෙසින් දුර්වලව ජරා ජිර්ණව යාමට ප්‍රථමයෙන් මා අප්‍රමාදව ධර්මයේ හැසිරිය යුතුයි , කුසල් වැඩිය යුතුයි කියා තොප හට සිතුනේ නැද්ද ?
අනේ ස්වාමිනි මට බැරුව ගියා ... මම ප්‍රමාද උනා.....


එසේ නම් පුරුෂය , මනුෂ්‍ය ලෝකයේ සිටියදී නුඹ දුටුවේ නැද්ද මිනිසුන් අතර පහලවූ තුන්වන දේව දුතයා ?
නැත ස්වාමිනි මා දුටුවේ නැහැ ...
මොනවා , නුඹ දුටුවේ නැද්ද රෝගී වූ පුරුෂයන්, ස්ත්‍රීන් ? නොයෙක් ආකාර වූ වණ , පිළිකා , ආදී නානාප්‍රකාර රෝග වැළඳී , මළ මුත්‍ර ගොඩෙහි වැටී අනුන් විසින් නැගිට්ටවිය යුතු , හාන්සි කරවිය යුතු , කැවිය පෙවිය යුතු අප්‍රමාන දුක් විඳින්නා වූ රෝගීන් ?
අහෝ ! ස්වාමිනි දැක්කා ....
ඉදින් නුඹ එවිට සිතුවේ නැද්ද , මාත් මේ ආකාරයේ ස්වභාවයකට පත් වන බව ? මාද ලෙඩ වන ස්වභාවය උරුම කරගෙන, ලෙඩවන ස්වභාවය ඇති කයක් පරිහරණය කරමින් ජිවත් වන කෙනෙක් බව ? මා හටද වණ , පිළිකා , ආදී නානාප්‍රකාර රෝග වැළඳී , මළ මුත්‍ර ගොඩෙහි වැටී අනුන් විසින් නැගිට්ටවිය යුතුව , හාන්සි කරවිය යුතුව , කැවිය පෙවිය යුතුව අප්‍රමාන දුක් විඳින්න සිදුවන බව ? ඉදින් මෙලෙසින් බියකරු ලෙඩ රෝග වැළඳී දුර්වලව යාමට ප්‍රථමයෙන් මා අප්‍රමාදව ධර්මයේ හැසිරිය යුතුයි , කුසල් වැඩිය යුතුයි කියා තොප හට සිතුනේ නැද්ද ?
අනේ ස්වාමිනි මට බැරුව ගියා ... මම ප්‍රමාද උනා.....

එසේ නම් පුරුෂය , මනුෂ්‍ය ලෝකයේ සිටියදී නුඹ දුටුවේ නැද්ද මිනිසුන් අතර පහලවූ හතරවන දේව දුතයා ?
නැත ස්වාමිනි මා දුටුවේ නැහැ ...
මොනවා , නුඹ දුටුවේ නැද්ද දඬුවමට හසුවී දුක් විඳින්නා වූ සත්වයින්? කස පහර ලැබ , වේවැලින් දඬු මුගුරෙන් තලනු ලැබ , අත් පා කන් නාසා කපා දමන ලදුව , හුල සිටුවා තිබෙන්නා වූ , අප්‍රමාන දුකට භාජනයවූ සත්වයන් ?
අහෝ ! ස්වාමිනි දැක්කා ....
ඉදින් නුඹ එවිට සිතුවේ නැද්ද , මාත් මේ ආකාරයේ ස්වභාවයකට පත් විය හැකි බව ? මාද මෙලෙසින් වධ බන්ධන වලට යටත් කරනු ලදුව අත පය කපා දමනු ලදුව අප්‍රමාන දුක් විඳින්නට සිදුවන බව ? හුල සිටුවා දින ගණනක් හුල මත සා පිපාසයෙන් මරණය එන තෙක් දුක් විඳිමින් බලා සිටිය යුතු බව ? මිනිස් ආත්මයේම වරදට දඬුවම් එසේ ලැබේ නම් .. නිරයට වැටුණු කල කෙසේ නම් වේද ? ඉදින් මෙලෙසින් බියකරු විවිධාකාර දඬුවමට යටත් වීමට ප්‍රථමයෙන් මා අප්‍රමාදව ධර්මයේ හැසිරිය යුතුයි , කුසල් වැඩිය යුතුයි කියා තොප හට සිතුනේ නැද්ද ?
අනේ ස්වාමිනි මට බැරුව ගියා ... මම ප්‍රමාද උනා.....

එසේ නම් පුරුෂය , මනුෂ්‍ය ලෝකයේ සිටියදී නුඹ දුටුවේ නැද්ද මිනිසුන් අතර පහලවූ පස්වන දේව දුතයා ?
නැත ස්වාමිනි මා දුටුවේ නැහැ ...
මොනවා , නුඹ දුටුවේ නැද්ද මිය ගොස් සිටින මිනිසුන් ? මළකුණු ? මිය ගොස් දිනය , දෙක තුන ගතවී ගොස් තිබෙන , ඉදිමි විකුර්ථිව දුගඳ හමනා මළකුණු ? තවත් දින කිහිපයක් ගොස් සොහොනේ දමනු ලදුව බලු , කැනහිලුන් , ගිජු ලිහිණින් විසින් ඇද කන්නා වූ ඕජාව වෑහෙන දුර්ගන්ධයෙන් පිරුණු මළ සිරුරු ?
අහෝ ! ස්වාමිනි දැක්කා ....
ඉදින් නුඹ එවිට සිතුවේ නැද්ද , මාත් මේ ආකාරයේ ස්වභාවයකට පත් වන බව ? මාද මිය යන්නා වූ ස්වභාවය උරුම කරගෙන උපන් කෙනෙකු බව? මෙලෙසින් බලු , කැනහිලුන් විසින් ඇද කන්නා වූ ඕජාව වැහෙන දුර්ගන්ධවත් ස්වභාවයකට පත්වන්න වූ පුති කයක් පරිහරණය කරන්නා වූ මා මිය යාමට ප්‍රථමයෙන් අප්‍රමාදව ධර්මයේ හැසිරිය යුතුයි , කුසල් වැඩිය යුතුයි කියා තොප හට සිතුනේ නැද්ද ?
අනේ ස්වාමිනි මට බැරුව ගියා ... මම ප්‍රමාද උනා.....

එම්බා පුරුෂය , නුඹට හොඳ කරන්නයි බැරුව ගියේ ... නුඹ ප්‍රමාද උනා... ඒ නිසා ප්‍රමාද වූ සත්වයන්ගේ වාසස්ථානය වූ නිරය වෙත පැමිණීමට නුඹට සිදු උනා...
නුඹ ඔය කල කර්ම නුඹගේ මව කලාත් නොවේ , නුඹගේ පියා කලාත් නොවේ , නුඹගේ නෑදෑයන් කලාත් නොවේ , නුඹගේ සහෝදරයෙක් සහෝදරියක් කලාත් නොවේ , නුඹගේ යහළුවෙක් මිත්‍රයෙක් කලාත් නොවේ , ඔය කර්මය කිසියම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් කලාත් නොවේ , දෙවි කෙනෙක් කලාත් නොවේ ... ඔය කර්මය නුඹ විසින්ම කර ගත් එකක් ...
ඉතින් එය තමන්ම විඳවන්න තමා තියෙන්නේ කියා පස් ආකාරයකින් කරුණු දැක්වූ ඒ පරම ධාර්මික යම රජු නිෂ්ශබ්ධව ශෝකයෙන් අහක බලා ගන්නවා.....

එවිට යමපල්ලන් විසින් ඒ අවාසනාවන්ත සත්වයා ඇදගෙන ගොස් විවිධ ආකාර දරුණු වධ බන්ධනයන්ට පාත්‍ර කරනු ලබනවා.


"යම් මිනිසෙක් , තමන් අවට ඇති දේවදුතයන් දැක දැකත් අප්‍රමාදව වාසය කරත් නම් හෙතෙමේ බියකරු නරකයට වැටී දීර්ඝ කාලයක් ශෝක කරත්මය."

"යම් මිනිසෙක් එලෙසින්ම දේවදුතයන් දැක හඳුනාගෙන ආර්ය ධර්මයේ අප්‍රමාදව හැසිරෙත්ද හෙතෙමේ ජාති මරණ දෙකට කාරණ වූ තෘෂ්ණා දෘෂ්ටි බිඳ සසර සියලු දුක් කෙළවර කරන්නාහ."

බුධධෝත්පාදය පරම දුර්ලභය , බලු බළල් තිරිසන් ආත්මභාවයක උපත නොලබා දුකසේම ලබාගෙන ඇත්තාවූ අඳ, කොර , බිහිරි , පිළු නොවූ පරමාර්ථ මනුෂ්‍ය ජිවිතයද පරම දුර්ලභය , ආර්යයන් වහන්සේලා දර්ශනයද සත්ධර්ම ශ්‍රවනයද පරම දුර්ලභය. මෙසේ ලැබුවා වූ මේ පරම දුර්ලභ ක්ෂණ සම්පත්තියෙන් , පරමාර්ථ මනුෂ්‍ය ජිවිතයෙන් නිසි ප්‍රොයෝජනයක් නොලබා තම දිවිය තිරිසන් සතුන්ද ලබන්නා වූ පංච කාම වින්දනයටම කැප කොට , ක්‍රිකට් මැච් බල බලා පුස්ස බින්දා සේ ඉක්ම යන්නට ඉඩ හැරීම කවර නම් අපරාධයක්ද .

හේතුන්ගෙන් හටගන්නා වූ සියලු ධර්මයන් වහා නැසී යන්නාහ... හිස ගිනි ගත්තෙක් එය නිවීමට වෙහෙසෙන්නා සේ බිහිසුණු භව ගිනි නිවීමට අප්‍රමාද විය යුත්තේය.