Monday, February 13, 2017

මිල පාලනය

සියලු විද්‍යා වල සමානකමක් ඇත. කෙනෙක් විසින් හාන්සිපුටුවක වාඩිවී යමක් කල්පනා කර යම්කිසි මුලධර්මයක් ඉදිරිපත් කරනු ලබයි. ඉන්පසුව ඔහු හෝ වෙනත් පිරිසක් පරීක්ෂණ , නිරීක්ෂණ කර එම මුලධර්මය ගැන නිගමනයකට එළඹෙති. ආර්ථික විද්‍යාවද විද්‍යාවකි. කලින් කලට  විවිධ මිනිසුන් විවිධ ආර්ථික විද්‍යා මුලධර්ම ඉදිරිපත් කරති. නැතහොත්  අනාදිමත් කාලයක සිට මිනිසුන් අතර ජනප්‍රිය මුලධර්ම විවිධ මුහුණු වලින් කරලියට පැමිණේ. (උදා : රොබින්හූඩ් න්‍යාය - පෝසතුන්ගෙන් ගෙන දුප්පතුන්ට බෙදා දී ආදායම් විෂමතාවය නැති කිරීම , ස්වයංපෝෂිත අර්ථ ක්‍රමය  ). 

විවිධ රජයන් විසින් විවිධ කාල වලදී මෙම මුලධර්ම අත්හදා බලති.  ඇතැම් න්‍යායන් සාර්ථක ව පරීක්ෂණය සමත්වන අතර  ඇතැම් න්‍යායන් අසාර්ථක වේ. මිල පාලනයද ඉතිහාසයේ  නොයෙක්වර විවිධ රජයන් විසින්  ක්‍රියාත්මක කිරීමට උත්සාහ කල     මන්බඳිනා සුළු එහෙත් ඉතිහාසයේ නැවත නැවතත්  අතිශයින්ම අසාර්ථක වූ ආර්ථික විද්‍යා සිධාන්තයකි.

Economic facts and fallacies නම් පොතේ තෝමස් සෝවෙල් මෙයට උදාහරණයක් ලෙස එක්සත් ජනපදයේ නගර වල ඉතිහාසයේ ක්‍රියාත්මක වූ  නිවාස කුලී පාලනය (rent control ) විග්‍රහ කර ඇත.  එහි පසුබිම් කතාව මෙසේ වේ. 
.   
  • නිවාස කුලී මිල  ඉහල නැගීම නිසා  දුප්පත් ජනතාවට නිවසක් ලබා ගැනීම අසීරු විය. 
  • නිවසක්  කුලියට ගැනීමට  තරම් මුදලක් නැති ජනතාවගේ ඉල්ලීම මත ප්‍රාන්ත ආණ්ඩු විසින් නිවාස කුලී පාලනය ක්‍රියාත්මක කරන ලදී.
  • මේ ක්‍රමය යටතේ  කුලියට නිවාස දීමේදී යම්කිසි පරාසයක වූ නිවාස සඳහා උපරිම  කුලී මිලක් නියම කරන ලද අතර  එය නියාමනය කිරීමත්  වැඩියෙන් කුලී අයකරන නිවාස හිමියන්  හට දඬුවම් දීමත් සිදු කරන ලදී. 
  • මේ නියාමනය සඳහා වෙනම  විචිත්‍ර රාජ්‍ය ආයතන සමුහයක් ද අලුතෙන්ම ස්ථාපනය කරන ලදී.
දුප්පත් මිනිසුන්ට යහපතක් වෙන  "හරි ශෝක්" දෙයක් මෙන් පෙනුනත් අවසානයේ සිදුවුයේ මෙයයි.

  • ලැබෙන කුලී මිල සහ  වෙන කරදර නිවෙස් නඩත්තුවට  ප්‍රමාණවත් නොවේ යැයි සිතු නිවෙස් හිමියන්   විසින් තම නිවෙස්  කුලියට දීමට  ලියාපදිංචි කිරීමෙන්  වැළකිනි.
  • නිවාස වසා තිබෙනවාට වඩා කුලියට දීමෙන් කියක් වත් ලැබේ යයි සිතු නිවෙස් කීපයක් හිමි  නිවෙස් හිමියන් තම නිවෙස් කුලියට දීමට ආණ්ඩුවේ ලියාපදිංචි කරන ලද  නමුත් ලැබෙන මුදල නිවෙස් නඩත්තුවට  තරම් ප්‍රමාණවත් නොවුන නිසා  එම නිවාස නඩත්තුවකින් තොරව වසර ගණනාවක් කුලියට දෙන ලදී. 
  • අලුතෙන් නිවාස හදා කුලියට දෙන ආයතන , නියාමනයට යටත් වෙන නිවාස නිපදවීමෙන් වැළකුණු අතර , නියාමයට යටත්  නොවෙන අධි මිල සුඛෝප භෝගී VIP  නිවාස පමණක් අලුතෙන් කුලියට දීම සඳහා  නිපදවිණි.
මේ නිවාස කුලී පාලනය ස්ථාපිත කර  වසර කීපයක් යන විට පැනනැගුන තත්වය පහත දැක්වේ 

  • අලුතෙන් නිවාස කුලියට දෙන ප්‍රමාණය  දැඩි  ලෙස පහත වැටුන අතර උග්‍ර කුලී නිවාස හිඟයක් ඇතිවිය. කුලී නිවාස ලබා ගැනීම සඳහා දීර්ඝ පොරොත්තු ලේඛන ගොඩ නැගුන අතර ඇතැම්  පාරිභෝගිකයන් හට  වසර ගණනාවක්  පොරොත්තු ලේඛන වල සිටීමට සිදුවිය. 
  • පොරොත්තු ලේඛන වල ට නම ඇතුලත් කරගැනීම  සඳහා යෝග්‍යතා පරීක්ෂණ සමත්වීමට සිදු වූ අතර ඒ පරීක්ෂණ වලින් සමත් වීම එන්න එන්නම අසීරු විය.  එම නිසා බොහෝ පිරිසකට මදක් වැඩි මිලක් ගෙවා හෝ  කුලී නිවසක් ගැනීම සිහිනයක් විය.
  • නඩත්තුවකින් තොරව වසර ගණනාවක් යාම නිසා කුලී නිවාස අතිශයින් අබලන් තත්වයට පත් වින. නමුත් මිල පාලනය යටතේ ඒ ගරා වැටුන නිවාස  (නිවසේ ස්වභාවය අනුව මිල අඩුවිය යුතුව තිබුන නමුත්  ) තිබු මිලටම  කුලියට දෙන ලද්දේ මිල රජය විසින් තීරණය කරන ලද නිසාය. 
  • නියාමනයට යටත් නොවෙන  අධි මිල සුඛෝප භෝගී නිවාස රාශියක් වෙළඳපොළට පැමිණි නමුත්  මිල පාලනයෙන්  යහපතක් කිරීමට උත්සාහ කල දුප්පත් ජනතාවට ඒ නිවාස වල කුලී මිල දරා ගැනීමට නොහැකි වීම නිසා ඒවායෙන් වැඩි පලක් ඔවුන්ට නොවිනි.  
  •  මිල පාලනය නියාමනය කිරීමට පිහිටවූ රාජ්‍ය ආයතන කිසිම එලදායකත්වයක් සමාජයට නොදෙන  ජනතාවගේ බදු මුදල් කාබාසිනියා වෙන සුදු අලි බවට පත් විය


අන්තිමේදී  මිල පාලනයෙන්  ලාබෙට නිවසක් ගැනීමට  උත්සාහ කල දුප්පත් ජනතාවට වසර ගණනාවක්  පොරොත්තු ලේඛන වල සිට ,  ගරා වැටුන නිවාස  වල ට නොසෑහෙන මුදලක් ගෙවමින්  මීයන් මෙන් දිවි ගෙවන්නට සිදුවිය. පොරොත්තු ලේඛන වල ට නම ඇතුලත් කරගැනීම  සඳහා යෝග්‍යතා පරීක්ෂණ සමත්වීමට අසමත් වූ මිනිසුන්ට පාර උරුම විය නැතහොත් උපයන සියල්ලම නොකා නොබී අධි මිල සුඛෝප භෝගී නිවාස  වල කුලී ගෙවීමට වැයවින.

සමාන කමක් දුටුවාද ? හාස්‍යයට කරුණ නම් ඉතිහාසයේ  නානාප්‍රකාර රජයන් විසින් ක්‍රියාත්මක කර අසාර්තක  බව ඔප්පු කරන ලද ආර්ථික විද්‍යා මුලධර්ම නැවත නැවතත් ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා පිරිස් අඩුවක් නැතිව කොතැනත් සිටීමයි. 

Those who do not learn from history are doomed to repeat it - George Santayana