Saturday, November 24, 2012
වන අරණට සැමදා බැඳි පෙම ...
මා සොබාදහමට දැඩි ලෙස ආදරය කරමි. එහි සීමාවක් නොමැති බව මා හට හැඟී යයි. කිසියම් ආකාරයක මානසික ව්‍යාධියක ආකාරය ගන්නා තරමට මා උමතුවෙන් මෙන් මා තුරු ලතාවනට , රූස්ස ගසින් සැදී පරිසරයේ චමත්කාරයට , එය පිස එන සිහිල් මාරුතයට ඇලුම් කරමි. විල්ලුද පලසකට වඩා දිගු තණ වැඩි තෙත බිම මා හට ප්‍රිය වේ. දිනක් වුවත් තුරු ගොමුවක් දෙස එක ලෙස බලා සිටීමෙන් මා විඩාවට පත් නොවෙමි. වනයක ඇති අසිරිය , මන මෝහනය කරනා ගුප්තමය චමත්කාරය කෙසේ නම් වචනෙන් විස්තර කරම්ද?
පෙර දින වුවක් සිහියට නැගේ. මොරටුව වේල්ස් කුමාර විදුහලේ අට ශ්‍රේණියේ සිටියදී පාසල පිටිපස කලපු තිරයේ පිහිටි කුඩා වන රොදක් විය. දිවා කාලයේ වුවද දැඩි සිහිලකින් යුතු කලපුවට බරවූ රූස්ස ගස් වලින් හෙබි එම කුඩා වන තිරයට මා දැඩි ලෙස ඇලුම් කලෙමි. වසර කීපයකට පෙර පාසල පුරා විසිර පැවති තුරු ගොමු තෙත් බිම් සියල්ල විනාශ කර දමා ගොඩ නැංවූ දිවා කල සුර්ය තාපයෙන් දැවෙනා කර්කශ , දුහුවිලි පිරි බොරළු පිට්ටනි වෙත මාගේ ඇල්මක් කිසි කලකත් නොවිය. ඉතිරිව තිබු එකම තුරුගොමුව වූ එය වෙත විවේක කාලයේදී හැකි සැමවිටම යන්නේ වීමි. කලපුවට බරවූ අලංකාරවත් වූ ගසකට පැතිර ගොස් ලතා මණ්ඩප සෑදු ඉතා පැරණි දැවැන්ත වැලක් ද එහි විය. ගස දවටාගෙන මැනවින් රිකිලි විහිදී තිබු එම වැලෙන් සුවපහස් දනවන වැල් ආසන ආකාරයේ ස්ථාන කීපයක් ද සකස් වී තිබිණ . ගසට නැග එවන් තැනක හිඳ කලපුවෙන් එන සිහිල් මාරුතය විඳිමින් මා ගතකල කාලය බෙහෙවි.
දියට සමාන්තරව පිහිනා යමින් මසුන් ඩෑ ගන්නා පිළිහුඩුවන් , කලපුව මැද එසවී ඇති තුරු ශේෂයන් මත තනි පයින් බවුන් වඩනා කොකුන් , රිද්මියව සෙමින් හබල් ගසමින් කලපුව තරණය කරනා ඔරු කරුවන් , නැහැයෙන් දියමත ඉරි හැඳිමින් ඔබ මොබ පිහිනා යන කබරයන් , හමන මද සුළඟට සෙමින් සෙලවෙන තුරු ලතා ... ජීවිතය සැබවින්ම සුන්දරය. දැනටත් එය සිහි වන විට චමත්කාරාත්මක සිහිල් අනන්දයකින් සිත පිරි යයි.
මෙසේ කල් ගත කාලයේ කිපදිනක් ම ගොට්ට අල්ලන ශිෂ්‍ය නායකයන්ගේ ග්‍රහණයට නතුවී ස්වභාව සෞන්දර්යය විඳීමට සිත් සකස් නොවූ , එය හැඳිනගැනීමට අසමත් වූ විනයබාර ඔල මොළ ගුරුවරුන්ගේ හිංසාවට ලක්වීමට ද සිදු වුයේ මා එහි ගොස් කරන්නේ යම් කිසි අපචාරාත්මක වැඩකියි ඔවුන් සිතු හෙයිනි. කෙතරම් පැහැදිලි කලත් පලක් නොවිය. නමුත් මා ගේ ගමන නැවැත්වීමට ඔවුන් කිසිවකුද සමත් නොවී. උසස් පෙළ කරන කාලයේ බලෙන් ඇඟේ ගැසීමට හැදු ශිෂ්‍ය නායක පට්ටම ප්‍රතික්ෂේප කොට ම සිතෙහි ඇති අප්‍රසාදය පසුකලක සමනය කර ගත්තෙමි. පාදමක් නොමැති පුස් සමාජ අගය කිරීම් වලට (baseless social values) මාගේ ගරුත්වයක් හෝ අනුගත වීමක් කිසි කලකත් නැත.
එම වසරේ ලෝක පරිසර දිනය ලඟා විනි. විවිධ ආකෘති , දැන්වීම් , අධ්‍යාපන ප්‍රදර්ශන වලින් යුතුව පාසලේද එය සංවිධානය විය. එදින ප්‍රධාන ප්‍රදර්ශන කුටියට ඇතුල්වූ මගේ ඇස එක්වනම කුටිය මැද සකස් කට තිබු සැරසිල්ලක් මත නැවතිණි. "වැසි වනාන්තර වල චමත්කාරත්වය" හෝ එවන් සමාන අරුතක් දෙන පුවරුවක් පසුබිමෙන් වුයේ මා හොඳින් දන්නා හඳුනන මා හට ස්වභාව සෞන්දර්යය වින්දනයට උපකාර කල , සැපවත් ආසනයක් තනා දී පිහිට වූ , හිරුරැසින් මා හිස ආවරණය වන සේ ලතා මණ්ඩපයක් තනා දුන්නා වූ කල්‍යාන මිත්‍රයාය . "ලෝක පරිසර දිනය" සමරනු වස් මුල ලඟින් ම සිත් පිත් රහිත සේ කඩ කඩ කොට කපාගෙන විත් එහි තබා තිබු දශක ගණනාවක් පැරණි දැවැන්ත වැල දුටු විටම හඳුනගන්නනට මා හට හැකි විය. එක්වනම හදවත හඬා වැටිණි. දැඩි ශෝකයකින් දැවෙන හදවතින් යුතුව එයින් එලියට ගිය මා කිසිවෙකු නැති තැනකට ගොස් බොහෝ සේ හැඬුයෙමි. මියගිය හර්දයාංගම සොයුරිය උදෙසා හෝ මා මෙතක් කල් හඬා නැත. ප්‍රදර්ශනයෙන් පසු ඉවත දමන ලද ඒ වැල් කැබලි කසල ගොඩක දිරා යමින් බොහෝ කල් තිබුණා මතකය.
පරිසරයේ නාමයෙන් පැවැත්වූ , පරිසරය ආරක්ෂකිරීමේ චේතනාවෙන් පැවැත්වූ එවන් සංදර්ශනයක දී තුට්ටු දෙකේ තාවකාලික කැත සැරසිල්ලක් වෙනුවෙන් ඒ කරන ලද කෘර පරිසර ඝාතනය මතක් වෙන මොහොතක් පාසා මා හද නැවත නැවත පෙළයි. ඉන් පසු කිසි දිනක ඒ වන තිරය වෙත මා නොගියෙමි. කෘර හස්තයන්ගෙන් කැබලි කොට විනාශ කර දමන ලද මා දැඩි ලෙස ආදරය කල ඒ ස්ථානය වෙත නැවත නෙත් හෙලීමට තරම් මා නිර්භය නොවූයෙමි.
මෙලෙසින් වන ගොමු සමග සැමදාම පෙමින් බැඳෙන මා හට , අරණකට පෙම් බැඳ කෘතිය හර්දයාංගම වීම අරුමයක් නොවේමය. නමුත් එය අවසන් වන තෙක් කියවීමට මා සිත් නොදේ. නවත්වා ගැනීමට හැකියාවක් නොමැතිව මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා කෙමෙන් විනාශ වී යන ලොබ්ටූලියාවේ ස්වභාව සෞන්ධර්යයේ විනාශය අවසන් වන තෙක් කියවීම කිසිසේත් මා හට හැකි නොවන්නා සේය. පිටුවෙන් පිටුව හදෙහි වේදනාව වැඩි වෙමින් පවතී. කුමක් කරම්ද ?
Labels:
Life,
හිතෙන හැටි
Subscribe to:
Post Comments (Atom)
ස්වාභාව සෞන්දර්යය තිබෙනා ආකාරයෙන් බලා ප්‍රිතියක් ලැබිය හැකි මනුෂ්‍යයන් අද සමාජයේ අඩුයි... උදාහරණයකට විලක ඇති සෙවල පිරි ගල් පතුරක් දුටුවහොත් අද සමාජයේ මනුෂයන්ට සිතෙන්නේ මෙය පිරිසිදු කොට තබන්නයි...එහි ඇති සෞන්දර්යය එම ආකාරයට බැලීම මොවුන්ට සිදු කල නොහැක... ගසක ඇති මලක් ගසේම තබන්ට අකමැතිව එය කඩාගෙන බලා විසිකර දමන්නක් මෙනි... විකෘති මානසිකත්වය..
ReplyDelete