Showing posts with label Ramana Maharshi. Show all posts
Showing posts with label Ramana Maharshi. Show all posts

Sunday, October 21, 2012

අරුනාචලයේ ශ්‍රී රමණ මහ ඍෂි (2 කොටස)

Sundaram Iyer (1845-1892)
කලින් ලිපියේ කියුව විදියට ශ්‍රී රමණ ඍෂි ගේ  ජිවිත කතාව කොටස් වශයෙන් පල කරන්නේ. අද බලමු ඔහුගේ උපත හා කුඩා කාලය පිළිබඳව.

ශ්‍රී රමණ ඍෂි ගේ කුඩා කල නම වෙන්කතරාමන් අයියර්. ද්‍රවිඩ හින්දු බ්‍රාහ්මණ පවුලක ඉපදුනේ. දරුවන් හතර දෙනෙකුන්ගෙන් යුතු පවුලක දෙවැන්නා.  උපන් ගම වෙන්නේ තමිල් නාඩුවේ මදුරායි වල තිරුචුරි නම් ගම.  1879 දෙසැම්බර් මස තිස්වෙනිදා රාත්‍රියේ උපත ලද වෙන්කතරාමන් පියා සුන්දරාම් අයියර් වන අතර මව වන්නේ අසිගම්මාල්.

1879 දෙසැම්බර් මස තිස්වෙනිදා ද්‍රවිඩ හින්දුන්ට වැදගත් දවසක්. එදින තමයි ඔවුන්ගේ එම වර්ෂයේ අරුද්‍ර දර්ශන දිනය යෙදිලා තිබුනේ.  ද්‍රවිඩ මාස ක්‍රමය අනුව දෙසැම්බර්- ජනවාරි මස දෙක අතර වැටෙන පුර්ණ චන්ද්‍ර දිනය තමයි අරුද්‍ර දර්ශන දිනය. එම චන්ද්‍ර මාසය මර්ගාසි නම් වෙනවා.  ශිව දෙවියන්ගේ විශ්ව නර්තනය සිහිපත් කිරීමට අරුද්‍ර දර්ශන දිනයේදී ශිව දේව  පිළිම කෝවිල් වලින් එලියට වඩම්මා මිනිසුන් විසින් අදින කරත්ත හෝ වේදිකාවල නංවා  විදි සංචාරය කරවනවා.  

Birth Place of Ramana Rishi
සුන්දරාම් අයියර් කාගේත් ගෞරවයට ලක් වෙච්චි හොඳ හිත ඇති මනුෂ්‍යයෙක්. උසාවියට  නීති කටයුතු සඳහා අවශ්‍යවන ලිපිලේඛන සකස් කිරීමෙන් නීතිඥ වුර්තියට සමාන ආකාරයේ රැකියාවක් කල ඔහුගේ   ඔහුගේ නිවස පිහිටා  තිබුනේ දකුණු ඉන්දියාවෙහි ඇති පැරණිම හා පුජනීයම  ශිව  කෝවිලක්  අසලමයි. එම නිසා බොහෝ අවස්ථාවල එම කෝවිලට දුරබහැරින්  පැමිණෙන වන්දනාකරුවන්ට ආහාර , නවාතැන් ලැබුන ඔහුගේ නිවසේ. නිවස කොටස් දෙකකට සකසා ඉදිරි පස කොටස වන්දනාකරුවන්ට නවාතැන ලෙස සකසා තිබුනා. 

කුඩා කල වෙන්කතරාමන් අනිකුත් දරවන් වගේම සෙල්ලමින් , නිවස  අසල ඇති කෞන්දීනි ගඟෙහි  අනෙක් ගම් දරුවන් සමග  පීනමින් කෙළිදෙලෙන් කල් ගත කරනවා. ඉගෙනීමට කිසි උනන්දුවක් නොදැක්වුවත් ඔහුගේ තිබුණු මතකතබා ගැනීමේ හැකියාවත් සහජ බුද්ධියත් නිසා පාසලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වෙනවා. ක්‍රීඩාවටත් දක්ෂ කම් තිබුනා ඔහුගේ. විශේෂයකට කියා තිබී ඇත්තේ ඔහුගේ නින්දයි. නින්දට ගිය විට ඉතා දැඩි නින්දකට පත්වන ඔහු ඇහැරවීම කිසිසේත් නොකර හැකි දෙයක් බවට පත්ව තිබුනා. මේ බව දැනගත් ඔහුගේ පාසලේ ඔහු සමග ක්‍රීඩා කර පරාජය වූ   ඇතැම් ළමුන් රාත්‍රී කාලයේදී ඔහු නින්දට ගිය විට ඔහු හට හොඳින් පහර දී තිබුණු දිනයනුත් තිබුනා.  උදෑසන ඇහැරුණු කල ඔහු ශරීරයේ තැලුණු ගෙඩි ගැසුණු තැන අතගාමින් කුමක් වුයේදැයි කල්පනා කළේලු. 

වයස 11 දී වෙන්කතරාමන් යවනවා තිරුචුරි වල සිට කිලෝමීටර් 70 ක් පමණ ඈතින් පිහිටි දින්දිගුල් වල සිටින ඔහුගේ මාමා කෙනෙක් වන සුබයියර්  වෙත. තිරුචි හි පිහිටි පාඨශාලාවේ උගන්වන්නේ ද්‍රවිඩ භාෂාවෙන් පමණක් වන නිසා ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම පිණිසයි වෙන්කතරාමන් ව දින්දිගුල් වල පිහිටි බ්‍රිතාන්‍ය පාසල වෙත ඇතුල් කරන්නේ. 1891 දී  සුබයියර් පවුල මදුරායි වල වාසයට යන විට වෙන්කතරාමන් ද ඔහුගේ වැඩිමල් සොයුරා වන නාගස්සවාමී ද  ඔවුන් සමගම මදුරායි යනවා.

මදුරායි  හි දී ප්‍රථමයෙන් ස්කොට් ප්‍රථමික විද්‍යාලයේද දෙවනුව ඇමරිකානු මිෂනාරි විද්‍යාලයේද වෙන්කතරාමන් අද්‍යාපනය ලබනවා. මදුරායි  පැමිණ වසරකින් පමණ පසු 1992 දී හදිසියේ අසනීප වන සුන්දරාම් අයියර් ටික දිනකින්ම වයස 42 දී මිය යනවා. මෙසේ පියාගේ අකල් අභාවය හේතු කරගෙන වෙන්කතරාමන් ගේ පවුලේ සියලු දෙනා වෙන් වෙන් වශයෙන් ඔවුන්ගේ නෑදෑයන්  අතර බෙදී වාසයට යනවා.

1895 හේ නොවැම්බර් මස එක දිනයකදී වයසක නෑදෑයෙක් හමුවෙන වෙන්කතරාමන් දැන ගන්නවා ඔහු පැමිණ ඇත්තේ අරුනාචල සිට කියා. වෙන්කතරාමන් අරුනාචල හා එහි පුජනීයත්වය  ගැන කලින් අසා තිබුනත්  , එහි සැබවින්ම යා හැකිය කියා ඔහු හට තේරුමක් තිබුයේ නැහැ. වැඩිමල් නෑදෑයගේ විස්තරයෙන් පසු   අරුනාචල කන්ද වෙත ඔහුගේ සිත නැමෙනවා. 

ඊට ටික දිනකට පසු වෙන්කතරාමන් ට හමුවෙනවා ඔහුගේ මාමා කියවීමට ගෙනවිත් තිබු පොතක්. ඒ තමයි පෙරිය පුරානම් නමැති පොත.  හදිසියේ ඇහැ ගැටුණු ඒ පොත කියවාගෙන යාමේදී එහි විස්තර වෙන සාධු චරිතයන්හි ඇති අලංකාරත්වයට , සරලත්වයට , පුජනීයත්වයට , නෙක්ඛම්ම අදයාශයට ඔහුගේ සිතෙහි ඉමහත් භක්ති  පුර්වක ගෞරවයක් පැන නගිනවා. මනුෂ්‍යයනට   එවැනි කැපවීමක් , නිස්සරනද්‍යාශයක් , භක්තියක් ඇතිවිය හැකිදැයි ඔහුගේ සිතෙහි අතිමහත් විමතියක් ඇති  වෙනවා.  එහි ඇති විවිධ සාධු චර්යා  ඔහුගේ සිතෙහි නොමැකෙන ලෙස නිදන්ගත වෙනවා.

දැන් පොඩ්ඩක් බලමු පෙරිය පුරානම් කෘතිය ගැන.....

පෙරිය පුරානම් කෘතිය ශිව භක්තික සධුවරුන් 63 දෙනෙකු ගේ ජිවන ප්‍රවුර්ති අරභයා ලියවුනු ආගමික භක්ති කාව්‍ය සංග්‍රහයක්. 12 ස් වන ශතවර්ෂයේදී දෙවන කුලතුංග චෝල අධිරාජ සමයේ මෙය රචනා කර තියෙන්නේ සෙක්කිසර් නමැති අයෙක්. ඔහු කවියෙක් වගේම රජුගේ ප්‍රධාන  ඇමතිවරයා. ජයින ආගම ගැන පැහැදීමෙන් සිටි  රජු ශිව සමය වෙත පහදා  හරවා ගැනීමට  තමයි  මෙය ඔහු අතින් ලියවුනේ.

එය ලිවීමේදී දක්වා ඇති  භාෂාව හැසිරවීමේ හා  කාව්‍ය විලාශයේ විශිෂ්ටත්වය නිසාම එය  ලියවුනු සමය  චෝල  සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සලකනවා. එමෙන්ම එය ඒ  සමයේ ලියවුනු විශිෂ්ටතම ග්‍රන්ථයක් ලෙස පැසසුම් ලබනවා වගේම පස්වන වේද ග්‍රන්ථය ලෙසත් විශිෂ්ටතම ද්‍රවිඩ සාහිත්‍ය කෘතියක් ලෙසත්   පැසසුම් ලබනවා.

මෙහි දැක්වෙන  සධුවරුන් 63 දෙනා මනංකල්පිත  චරිත නොව සැබවින්ම දක්ෂිණ භාරතයේ පුරාණයේ  විවිධ කාල වල ජිවත් වූ විවිධ ගෝත්‍ර වලට අයත්  , විවිධ රැකියා කල අය.

අදට මේ ඇති.... පස්සේ තව ටිකක් දාන්නම්...  

Thursday, October 18, 2012

අරුනාචලයේ ශ්‍රී රමණ මහ ඍෂි (1 කොටස)

අද සිට කොටස් වශයෙන් ලියන්න බලාපොරොත්තු වන්නේ මා ඉතාමත් ප්‍රිය කරන චරිතයක් ගැන. මේ තැනැත්තා ගැන ලියන්න කියා 2008 සිට සිතාගෙන හිටියත් වෙලාවක් ලැබුනේ නැහැ.

පුවත් පත් ලේකඛයෙකුව සිට සත්‍ය ගවේශකයෙකු බවට පත්ව ඉන්දියාව පුරා ගුරුවරයෙක් සොයමින් (ගුරු ජි ) සැරිසැරූ පෝල් බ්‍රන්ටන් අන්තිමේදී නතරවූයේත් මෙතුමන් ළඟ. ඔහු 1934 දී ලියු In Search of Sacred India කෘතියේ ශ්‍රී රමණ මහ ඍෂි ගැන සාමාන්‍ය තරමේ විස්තරයක් ඇතුලත් වෙනවා. නමුත් එය පිටු කිහිපයක් පමණයි. මෙය තිලක කුඩා හෙට්ටි මහත්මයා විසින් කාණ්ඩ දෙකක් වශයෙන් පරිවර්තනය කර භාරත යෝගීන් හා ඉසිවරයන් සමග යන නමින් දයාවංශ ජයකොඩි සමාගම මගින් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු විසින් පරිවර්තනය කරන ලද තවත් පොතක් තිබෙනවා භාරත මහ ඍෂි රාමණා නමින්. නමුත් කියවූ බව මතක නැහැ.

ඔහුට මා මෙතරම් කැමති ඇයි දැයි ඇතැම් අය අහනවා. ඇයි බුද්ධාගමේ නැද්ද මිට වඩා උසස් අය ? දැන් ඉන්න සමහර භික්ෂුන්ටත් ධ්‍යාන තියෙනවා නේ. සප්ත අභිඥා , අෂ්ට සමාපත්ති ලාභී මහ රහතන් වහන්සේලාගෙන් පිරි තිබු බුද්ධ ශාසනයේ සිටි තෙර වරුන් මෙයාට වැඩිය හොඳ නැද්ද ? ඇයි ඉතින් ධ්‍යාන ලබා ගත් පමණින් මේ හින්දු තාපසතුමා ගැන පැහැදීමක් ඇති උනේ ?

ප්‍රභල හේතුවක් දැක්විය නොහැකි උනත් කරුණු කිහිපයක් තිබෙනවා එතුමන් අන් යෝගීන් ගෙන් වෙනස් වන. ප්‍රථම එක තමා රමණ මහ ඍෂි ජිවත් වුයේ දශක කිහිපයකට කලින් මෑත අතීතයේ වීම. වසර 2500 කට කලින් ජිවත් වූ ඉර්ධි ලාභීන්ට වඩා ඔහු අපට සමීපයි. එමෙන්ම එතුමන් භාරතයේ ඍෂි පරම්පරාවේ අවසාන පුරුක යයි කිව හැකියි. එතුමන් ට පසුව වැඩ දාගෙන, කැටයම් දාගෙන, සද්දේ දාගෙන බොහෝ අය ආවත් ඔවුන් කිසිවෙක් පෞරානික භාරතීය ඍෂි , තපස්වී , නෙක්ඛම්මිය ලක්ෂණ තම අභ්‍යන්තර හෝ බාහිර ජිවිතයෙන් පෙන්නුම් කල අය නෙමෙයි. ඒ අය ඩුප්ලිකේට් , එහෙම නැත්නම් කොමෂල් ඍෂිල.

ශ්‍රී රමණ මහා ඍෂි දැඩි ආගමික භක්තියක් මුල් කොටගෙන ඒ හේතුව නිසා තපස්වී බවට පත්වූවෙක් එනම් භක්ති යෝගියෙක් නෙමේ. විවිධ යෝග ආසන ක්‍රියාකර කම් මගින් ශරීරය දැඩි කරගෙන, සකස් කරගෙන එමගින් සමාධිය උපදවා ගැනීමට තැත් කරමින් දුෂ්කර දීර්ඝ මාර්ගයක් ගත් හථ යෝගියෙකුත් නෙමෙයි. පොත පතින් නුවණ ගෙන පොතේ ගුරු වෙච්චි ඥාන යෝගියෙකුත් නෙමෙයි.

කුඩා අවදියේදීම සියල්ලටම වඩා අමාරු මාර්ගය ගෙන කිසිදු ගුරුවරයෙකුගේ ඉගැන්වීමක් , සහයක් නොමැතිව වසර ගණනක දැඩි උත්සාහයකින් , කැපවීමකින් , අධිෂ්ටානයකින් පසුව ධ්‍යාන ලබා මහා බ්‍රහ්මයා සමග එකාත්මිය වුනු හෙවත් සුද්ද සිංහලෙන් කියනවා නම් ධ්‍යාන ලබා බ්‍රහ්ම තලයේ පැවැත්වීමට සිත සකස් කර ගත් තැනැත්තෙක්. එනම් පැරණි පාතාංජලී යෝග ක්‍රමය අනුව සියල්ලන්ම උසස්ම යෝග මාර්ගය ලෙස පිළිගන්නා රාජ යෝග මාර්ගයෙන් ඍෂි බවට පත් වුවෙක්.

ඍෂි වරයෙක් නම් මේ වගේ යයි කිව හැකි ලක්ෂණ සියල්ල එතුමන් ළඟ අඩුවක් නැතිව තිබුනා. විමුක්තිය උදෙසා ගිහි ගෙය හැරයන්නෙකු යා යුත්තේ මෙසේ යයි ලැජ්ජාවක් නැතිව ඇඟිල්ල දිගු කොට ඔහු ගිය ආකාරය පෙන්විය හැකියි. එනම් කිසිවක , තම ජීවිතය කෙරේ පවා කුණු කෙල පිඩක තරම් වත් බැඳීමක් , ආලයක් නොමැතිව නික්ම යාම. විමුක්තිය උදෙසා අතීතයේ හෝ අනාගතයේ යමෙකු දිවියේ ආලය හැර වෙර වැඩියා නම් (බුදු රාජාණන වහන්සේ ඇතුලත් නොවේ ) ඒ වෙර වැඩියේ මෙසේ යයි කිසිදු පැකිලීමක් නැතිව ඇඟිල්ල දිගු කොට ඔහු පෙන්විය හැකියි. කොටින්ම කියනවානම් හුඟක් ඈත අතීතයේ නොව මෑත කාලයේ අප අතර ජීවත්වූ ඔහුගේ චරිතය මෑත කාලයේ විමුක්තිය සොයා යන්නෙකුට පරමාදර්ශී ( rowmodel) චරිතයක්.

ඔන්න ඔය වගේ කරුණු කීපයක් නිසා තම ඔහු මට ප්‍රිය. හරි ඇඩ් එක ඉවරයි. දැන් බලමු ශ්‍රී රාමනා මහා ඍෂි ගැන. ලිපිය දිග වැඩි නිසා කොටස් වලට කඩල දාන්න වෙනවා පරිච්චේද වශයෙන්. පරිච්චේද බෙදමු මෙහෙම.

  • කුඩා කාලය
  • නික්ම යාම
  • නික්ම යන ගමනේදී
  • යෝගියෙකු ලෙස
  • භගවාන් ශ්‍රී රමණ මහා ඍෂි ලෙසින්
  • මරණය