Saturday, December 15, 2012

මොකද්ද ඔයාගේ දුරකථන අංකෙ ?

දැන් කාලේ ගොඩක් වැඩ කෙරෙන්නේ ඊ මේල් හරහා. වසර කීපයකට කලින් ආයතන තුල සහ අතර සන්නිවේදනය සඳහා දුරකථන භාවිතා උනත් දැන් එකත් වැඩිහරියක් කෙරෙන්නේ ඊ මේල් හරහා. ඊ මේල් වල ජනප්‍රිය තාවය වැඩි වෙන්න තව හේතුවක් වෙන්න ඕනේ අයි ෆෝන් සහ වෙනත් ඒ වර්ගයේ ෆෝන් වල භාවිතය මිනිසුන් අතර වැඩි වීම. ඊ මේල් එකක් ආපු හැටියේම SMS එකක් අවා වගේම බීප් ශබ්දයක් සමගින් තිරය මත එය දර්ශනය වීම ලොකු පහසුවක්.

මා සියලුම සන්නිවේදන කටයුතු ඊ මේල් වලට බාර දීල දැන් වසර ගානක් වෙනවා. ගෙදරදී නම් එහා කාමරේ උන්දැට බලන පිච්චර් එකේ සද්දේ අඩු කරන්න කියල යවන්නෙත් ඊ මේල් එකක්. ටුස් ගාල සද්දේ අඩු වෙනවා.. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි... මගේ දුරකථන අංකය දන්නේ අතලොස්සක් දෙනෙක් පමණයි. ඒකත් පස් හය දෙනෙකුට වැඩිය දැනගත්තට පසුව වෙනස් කරනවා අලුත් නොම්මරයකට. එය දැනගැනීමට අවශ්‍යයි කියල මට හිතෙන්නේ දෙමවුපියනුත් සහ ළගම මිතුරෙකුත් පමණයි යනු මගේ නම් හැඟීම. අනිත් අයට එකේ ප්‍රයෝජනයක් නැහැ නේ..... සම්බන්ධ වෙන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඊ මේල් එකක් එවන්න....

ආ එතකොට හදිස්සියකට උඹව කොන්ටැක් කරගනෙන් කොහොමද ?
හදිස්සියට මාව කොන්ටැක් කරන්න මං පොලිසියවත් , ඇම්බියුලන්ස් සේවයවත් ගිනි නිවන හමුදාවෙවත් නෙමේ නෙව. එහෙම හදිස්සියක් තියෙනවා නම් 000 ගහන එකයි ඇත්තේ. වෙන වැඩක් තියෙනවා නම් ඊ මේල් එකක් එවන එකයි ඇත්තේ. මං මට පහසු වෙලාවක , ඉල්ලන දෙයි , කියන දෙයි ප්‍රමුක තාවය අනුව ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නම්. කවුරුවත් ගෙදර කෙනෙක් මැරුනොත් මට සම්බන්ධ වෙන්න බැරිනම් කාටද කතාකළ යුතු කියල ගෙදර අය දන්නවා. ඔච්චර නේ තියෙන හදිස්සි. ඔයිට අඩු සැම දෙයක්ම ඊ මේල් හරහා පමණයි.
No machan , I dont give it to anyone!

අපෝ මේක නම් මහා ඇන්ටි ශෝෂල් පොරක් නේ !!!
නැහැ. ඇන්ටි ශෝෂල් යන්නේ අදහස සමාජයට ද්වේශ කරන්නා යනුයි. මිනිසුන් සමග කතා කිරීමට ගනුදෙනු කිරීමට අසමත් ද්වේශය නිසා හෝ මානය නිසා හෝ සමාජය මගහරින පුද්ගලයාට නම් ඇන්ටි ශෝෂල් යන්න ගැලපෙනවා. මං භද්‍ර ඒකරත්ත හෙවත් සොඳුරු හුදකලාවේ ඇලුණු කෙනෙක්. සිත සනසන , තැන්පත් කරන හුදකලාව මට ප්‍රියයි. කෙවුල් තොටුපොළවල් මෙන් මිනිසුන් කෑ කොස්සන් ගසමින් සිස් කතාවෙන් ගෙවන ස්ථාන මට අප්‍රියයි. පාටි බාටි , බමන යකුන් , බයිලා නැටුන් අප්‍රසන්නයි. ෆෝන් වලින් පැය ගණන් කාලය කා දමමින් යන මල් කැඩීම් මට ප්‍රිය නැහැ. මා යම්කිසි කෙනෙකු සමග කතාකිරීමට කැමති මූඩ් එකේ නැතිවෙලාවට අවේලාවේ එන කෝල් ගැනීමට මා කැමති නැහැ. විවේකයෙන් , හුදකලාව සතුටින් ඉන්න වෙලාවට අරය මෙයා දෙන කෝල් වලින් සිත චංචල වෙනවා සාමය , සමාධිය කැඩෙනවා.

සියලු ආකාර බැඳීම් මා අසහනයට පත් කරනවා. ඉස්සර කාලයක් තිබ්බා ෆෝන් එක අතේම තියන් ඉන්න. කාගේ හරි කෝල් එකක් මිස් වෙයි කියල. මිස් උනොත් ඉක්මනට කෝල් බැක් කලයුතුයි කියල හැඟීමක් තිබුනා. කවුරුහරි මට කෝල් කරලා මට මිස් උනොත් පස්සේ කතා කරලා අහනවා , "ඇයි ඔයා මට කෝල් බැක් කරේ නැත්තේ ? දැක්කේ නැද්ද මිස් කෝල් එක ? " ... කෙතරම් බන්ධනයක් ද ? දැන් ඒ මුකුත් නැහැ. කාටවත් උත්තර බඳින්න ඕනෙත් නැහැ දැන් ඇයි  කෝල් බැක් කරේ නැත්තේ , මොකද ආන්සර් කරේ නැත්තේ අරකද මේකද කියල . එය කෙතරම් චිත්ත නිදහසක් ද කියල කියන්නත් බැරි තරම්.

ඇත්තම කියනවා නම් ෆෝන් එක මනුෂ්‍ය සම්බන්ධතා දියුණු කරනවට වඩා එය විනාශ කිරීමට හේතුවෙන බවයි මට නම් පෙන්නේ. ෆෝන් එකත් කනේ ගහගෙන මෙලෝ සංසාරයක් සිහියක් නැතිව වාහනේ ඉස්සරහින් පාර පනින ගැනු දකිනකොට අනේ මුන්දව යටකරගෙන යන්න ලොරියක් වත් එන්නේ නැහැනේ කියල හිතෙන වෙලාවලුත් නැතුවා නෙමේ....

දෙන්නෙක් යම්කිසි දෙයක් ගැන කතා කර කර ඉන්නකොට එක අයෙකුට කෝල් එකක් එනවා. මා නම් දකින්නේ හැම කෙනාම තමන් කතාකරමින් සිටි කෙනා මොහොතින් අමතක කොට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිගෙන් උපන්දින කෝල් එකක් ආව වගේ ටුස් ගා ඒකට ආන්සර් කිරීමයි. මතක තබා ගන්න ... ඔබ ඉදිරිපිට කතාබස් කරමින් ඉන්න කෙනා තමයි වැදගත්ම කෙනා. ඔහුට ඒ ගෞරවය දෙන්න. කිසි විටක ඉමජෙන්සි කෝල් එකක් හැරෙන්න වෙන දෙකට ෆෝන් එක අල්ලන්නවත් එපා. එය ඔබ කතා කරමින් සිටින කෙනාට කරන ගෞරවයක්. ඔබ ඒ ගෞරවය ඔහුට දුන් විට ඔහු ගේ සිතේ ඔබ ගැන ඉතාමත් පැහැදීමක් ඇති වේවි.

ඔබ බොස් කෙනෙක් නම් සහ කතා කරමින් සිටියේ ඔබගේ සේවකයෙකු සමග නම් , ඇතැම් බොස්ල තමන්ගේ මහන්තත්වේ පෙන්නන්න සේවකයා ඉදිරිපිට තියාගෙන කෝල් ගන්නවා. සේවකයා බලන් සිටිය යුතුයි එක ඉවර වෙනකම්. බොස් කෙනෙක් එහෙම නොකර එන කෝල් වලටත් ආන්සර් නොකොට සිටියොත් සේවකයාගේ සිතේ තම බොස් ගැන ඇතිවන ගෞරවය ඉමහත්. අනේ මේ කෙනා වෙච්චර වැදගත් වැඩ තිබියදීත් මට ප්‍රමුකත්වය දීල මාත් සමග කතා කරා නේ යන ගෞරවය ඔහුගේ සිත තුල ඇතිවෙනවා. මා නම් කිසි දවසක වෙන කෙනෙක් සමග කතා කරමින් සිටින විට බොස් තියා රැජින කතා කලත් ෆෝන් එක නම් ගන්නේ නැහැ. එහෙම ගැනීම , මා කතා කරමින් සිටින කෙනාට කරන අගෞරවයක් සහ තමන්ගේ අශිලාචාර කම පෙන්නන දෙයක්. මාත් සමග කතා කරන කෙනෙක් එසේ අශිලාචාර විදියට හැසිරුනොත් එයාගේ ලකුණු 50% එතෙන්දීම කැපෙන වග සිහි තබා ගත යුතුයි.

තව සමහර බුතයෝ කෝල් කරලා හලෝ මචන් කොහොමද , අරමද කියල කතාව පටන් ගන්නවා. මට ෆුල් කොයිල් මන් මේ මොකා එක්කද කතා කරනෙන් කියල. කතාවේ පළවෙනි වචන කිපෙ තුලදී තමන් කවුද කියල හඳුන්වල දුන්නොත් එක කෙතරම් අගේ ඇති දෙයක්ද. ඔබ ඔබාමා නෙමෙයි නේ ඔබේ කට හඬින් ඔබ කවුද කියල අනිත් සියලු දෙනාම ඔබව හඳුනා ගන්න. නැගල ඉන්න මම ස්පෙෂල් කියන අතු වලින් බිමට බැහැල තමන් කවුද කියල හඳුන්වල දීල කතාව පටන්ගත්තොත් ඒක කාටත් පහසුවක්.

පොදු ස්ථාන වල ෆෝන් එකට බෙරිහන් දෙන උන්දලා ගැන වැඩිය මුකුත් කියන්න යන්නේ නැත්තේ හැමෝම එකේ පිළිකුල් සහගත ස්වභාවය ගැන දන්නා හින්ද. ඒක මග ඇරලා ලාංකිකයෝ බොහොමයක් දෙනෙක් කරන තවත් පල් ම පල් දහදුරා වැඩක් ගැනත් කියන්නම්. ජාතින් කීපයක , භාෂා කීපයක් කතා කරන අය රැස් වෙලා ඉන්න තැනක ඉන්න ලාංකිකයෙකුට කෝල් එකක් එනවා. උජාරුවෙන් තමන්ගේ අලුත්ම අයි ෆෝන් එක ඇදල ගන්න මුන්ද (පලවෙනි වැරැද්ද ) හලෝ කොහොමද බන් , අරකද මේකද කියල අමු සිංහලෙන් කතාව. (දෙවෙනි වැරැද්ද ). වටේ ඉන්න හැමෝම මු මේ මොනවාද කතාකරන්නේ කියල කට ඇරගෙන බලන් ඉන්නවා. ඒ ගොල්ලන්ට තේරෙන්නේ නැහැ නේ....

අපේ උන්ද කතාව ඉවර කරලත් උජාරුවෙන් කියන්නේ , "ඒ මගේ යාළුවෙක්. මන් කතා කලේ සිංහල භාෂාවෙන්. දන්නවද ? ඒක අපේ ජාතික භාෂාව නේ....."   ඉතින් සිංහල නුඹේ ජාතික භාෂාව කියල අනිත් උන්ට වෙසක් ද ?

අනේ ගවරෝ ... සිංහල නම් නුඹේ භාෂාව වෙන්න බැහැ. උම්බෑ වගේ එකක් නම් නුඹගේ භාෂාව වෙන්න තිබ්බ. ෆෝන් එක සුපිරි , වැඩ නම් අපිරි. තමන්ගේ භාෂාවට ගෞරව කිරීම , හැකි සැමවිටම එය භාවිතා කිරීම ඉතාමත් අගය කල යුතු දෙයක්. නමුත් ජාතින් කීපයක භාෂා ගණනාවක් කතා කරන පිරිසක් මැද්දේ ඔවුනට නොතේරෙන භාෂාවකින් කතා කිරීම නම් හරිම පිළිකුල් සහගතයි. එය ඔවුන්ට කරන බරපතල අගෞරවයක් වගේම නිග්‍රහයක්. එහා පැත්තෙන් කතා කරන කෙනාට ඉංග්‍රීසි වගේ ජාත්‍යන්තර භාෂාවක් තේරුම් ගැනීමට නොහැකි නම් කල යුත්තේ , මට සමාවෙන්න කියා කට්ටියෙන් අවසර ගෙන මදක් ඈතට ගොස් තම කතාබහ හමාර කොට පැමිණීමයි.

අහ් .. අන්තිමට මේකත් ලියලම නවත්වන්නම් කෝ ... ලංකාවට ගුවන් යානයේ එන සෑම දාම අත්දකින දෙයක්. ගුවන් යානය ගුවන්ගත වෙන්න කලින් කීපසැරයක් කියන දෙයක් තමා යකුනේ ෆෝන් ඔෆ් කරපල්ලා කියන එක. නැත්නම් මේ මගුල හරිහැටියට නැවිගේට් කරගන්න බැරුව තුත්තුකුඩියට යයි. නැත්නම් මහ මුහුදට කඩං වැටෙයි කියල කීප සැරයක් කියනවා නෙව. අනේ ලංකාවට ගොඩබහින්න කලින්ම පොල්ගස් ගාවින් ගොඩබහින්න යනකොටම සමහර ගවරුන්ගේ ෆෝන් වලට ටීන් ටීන් ගගා මැසේජ් එනවා. රින්ග් වෙනවා. මුන්ට ඉංග්‍රීසි තේරෙන්නෙත් නැහැ. සිංහල තේරෙන්නෙත් නැහැ. ඔලුවකුත් නැහැ. මොලෙකුත් නැහැ. පිටරට හිටියකියල , පිටින් පොෂ් පාටට පෙනුන කියල නැහැදිච්ච කමේ අබ ඇටෙක වත් අඩුවක් වෙලත් නැහැ. 

නීතියට උඩින් යාම පොර වැඩක් කියල හිතන ගවරෝ ඉන්න රටට ඔන්න මන් ආයිත් ආවනේ කියල හිත හදාගෙන හිනාවෙවී මාත් ගුවන්යානෙන් බැහැල යනවා ......

3 comments:

  1. Ane yako uba hithana jathiye gawaro den neha..Umba thawama raten pita inna ekekda kohada....

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ බන් මාස හයකට කලින් නම් මට ෂුවර් එහෙම තමා තිබ්බේ. එකපාරටම ආශ්චර්යය පහලවෙලා ඔක්කොම වෙනස්වෙලාද කියන්න නම් මට තේරුමක් නැහැ.
      :)

      Delete
  2. ඇත්ත මචං. උඹ කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. නමුත් දැන් අපට ජීවිතයත් අරගෙන දුවන්න වෙලා තියෙනේ තරගෙකට. තරගෙ පැරදුණොත් අර උඹ කියපු මානුෂික කිට්ටුවර සම්බන්ධතා ඉරිතලා යනවා. එක කෝල් එකක් මිස් වුණොත් අපි සපයන සේවාවන් සපයන්න දහයක්- නෑ සීයයක් මග බලං ඉන්නවා. මෙන්න මේ ක්‍රමේ ඇතුලෙ සෙලෆෝන් එකට ටටා කියන්න පුද්ගලිකව මට නම් අමාරුයි.

    ReplyDelete