© AdamLai - Through my eyes |
මෙහි තුන් සිත යනු කුමක්ද ? කුසලයක් කිරීමේදී , ක්‍රියාවට පෙර , ක්‍රියාව කිරීමේදී සහ ක්‍රියාවෙන් පසු ඒ සම්භන්දයෙන් ඇතිවන චිත්තයන් මේ තුන් සිතට වැටේ. පිඬු සිඟා වඩනා බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් දුටු විට ,
අනේ මා හට මහත් වාසනාවක් සිදුවිය අද දින, උතුම් වූ අපිරිමිත වූ පුණ්‍ය ක්ෂේත්‍රයක් මුහුණටම සම්මුඛ වී මා හට. සසර සැරිසරමින් ආ අනන්ත අපිරිමිත කාලයේදී සත්වයෙකු හට උතුම්වූ සම්බුද්ධ ශාසනයක පැවිදි ව ශාසන බ්‍රහ්ම චර්යාව වඩනා බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකගේ මුණගැසීම අතිශයින් දුර්ලභ ආශ්චර්යමත් දෙයක්ම වන්නේය.
සසරේ දීමට දෙයක් ඇති ව සිටි කල උතුම් වූ පුණ්‍යක්ෂේත්‍රයක සමුඛත්වය සිදු නොවේ. පුණ්‍යක්ෂේත්‍රයක් සම්මුඛ වූ කල ඇතැම් විට දීමට දෙයක් නැති දුගී දුක්පත් භාවයේ ගැලී පසුවන්නෙක් වේ. අද දින මා හට දෙකම ඇත. මේ දුර්ලභ අවස්ථාව පැහැර යාමට නොදිය යුතු වේ.... යි සිතමින් වහා ගොස් පිදීමට සුදුසු යමක් සොයා සිඟා වඩනා හිමියන් ඉදිරියට යාම ක්‍රියාවට පෙර චිත්තයේ පිරිසිදු භාවයයි...
මින් පසු වෙන යමක් නොකොට උතුම් වූ රත්නත්‍රයේ මෙලෙසින් සිත පහදවා ගැනීම් පමනකින්ද අනන්ත අප්‍රමාන සත්වයෝ සුගති උප්පත්ති ලබා ඇත්තාහ. ඝෝර සසරින් එතෙර වී ඇත්තාහ. එහෙයින් මේ අල්ප වූ කුසල් සිතිවිල්ලකද සුළු දෙයකියි නොසිතිය යුත්තේය.
බුද්ධ පුත්‍රයන් වහන්සේ වෙත , සවු බරණින් සැරසී රාජ මණ්ඩපයේ සිංහාසනාරුඪව වසනා චක්‍රවර්ති රජකෙනෙකුන් වෙත යන්නාවූ චණ්ඩාලයෙකු ලෙසින් ගෞරව පුර්වකව යා යුත්තේය. අනාගත සසරේ අනන්ත අපිරිමිත දෙව් මිනිස් සුගති සැප ලබාදීමටත් , නිර්වාන ශාන්තිය ලබාදීමටත් සමත් එවන් වූ පුණ්‍ය ක්ෂේත්‍රයක් වෙත සිහි නුවන ඇති කිසිවෙක් අනදරින් යුතුව යත්ද ?
උන්වහන්සේ පාත්‍රා පියන විවුර්ත කොට ඉවසා වදාළ කල්හි , මා විසින් කල්ප කාලාන්තරයකදී වුවද කිරීමට දුෂ්කර වූ කාර්යයක් දැන් කරනෙමි. මේ මා හට සැමකල්හිම සැප පිණිස වන්නේමය. කුඩා නමුදු මා විසින් ධාර්මිකව උපයා ගත්තාවූ මේ ආහාරය මුන්වහන්සේටද සැප පිණිසම වේවා. උන්වහන්සේගේ ආයුෂ , වර්ණය , සැප , බල , ප්‍රඥා එමගින් වැඩේවා. සුවසේ ශාසන බ්‍රහ්ම චර්යාව පුරා කෙලෙස් සතුරන් පැරදවීමට බල මෙමගින් ලැබේවා. උන්වහන්සේ වහා වහා කෙලෙස් ගිනි නිවා නිවනට පත්වේවා.... සිතමින් ආහාරය පාත්‍රයේ බැසීම කල යුතු වන්නේය. මේ ක්‍රියාව කරනා කල්හි පැවැත්වියයුතු චිත්තයේ පිරිසිදු භාවයයි.
එම දුන් ආහාරය තමන් ගේ පරිභෝජනය පිණිස තිබුවක් නම් , ඒ පිදීම මගින් තමන් හට දිනයේ ඉතිරි කාලය කුසගින්නේ සිටීමට සිදුවේ නම් ඒ සම්බන්ධයෙන් කිසිසේත් සිත අමනාප කලගත යුතු නොහේ. තමන්ගේ ශ්‍රද්ධාව හා දියුණුව තියුණුව වැඩි ඇති ත්‍යාග සම්පත්තිය ගැන වඩ වඩාත් සිත පහදවා ගත යුතුය. තමන්ගේ ඇති ඉඳි කට්ටක පමණක දෙයක් වත් අනුන්ගේ සැපය පිණිස නොදෙන ලෝකයේ , තමන්ගේ පරිභෝග පිණිස ඇති ආහාරයකින් සුලකුදු අන් සත්වයකුගේ කුසගින්න නිවීම පිණිස නොදෙන සත්වයන් ගෙන් පිරි ලෝකයේ , මාගේ ආහාරය මුළුමනින්ම අන් සත්වයකුගේ සැප පිණිස ලබා දී සතුටින් වසන්නෙම්. දුෂ්කර දෙයක්ම කලෙම් යයි සිත පහදවා ගත යුත්තේය...
බුද්ධ පුත්‍රයන් වහන්සේ පිණ්ඩපාතය පිළිගෙන ඉවත වඩනා කල්හි පසෙකට වී දුන් දේහි කුසලයන් අනුමෝදන් විය යුත්තේය. අහෝ!! බලවත් කුසල කර්මයක් අද දින කල ගත්තෙම්. ලබාගත් මනුෂය ආත්මයේ ඵල ලබුවෙම් යි සිතමින් තමන්ගේ සසරේ ප්‍රාර්ථනාවක් තිබේ නම් කලයුතු වන්නේය. මෙය එයට කාලයයි.
ඉන් පසුවද නැවත නැවතත් එම පුණ්‍ය කර්මය සතුටු සිතින් මෙනෙහි කලයුත්තේය. ඒ එක් එක් වර මෙනෙහි කිරීමේදී සිතෙහි උපදනා චිත්ත වීථිනටද අනන්ත අප්‍රමාන දෙවු මිනිස් සැප හා කෙලෙස් නිවීමේ බල ඇත්තේය. සුළු කොට නොසිතිය යුත්තේය. මේ පසු ක්‍රියා චිත්තයේ පාරිශුද්ධ භාවයයි.
ගිරා හඬින් , තමනට නොතේරෙන පාලියෙන් "ඉමිනා පුඥ කම්මෙන ... " කීමෙන් පලක් නැත . කරනා කියනා , සිතනා දෙය අවබෝධයෙන් , වැටහීමෙන් කිරීමම වැදගත් වන්නේය.
පුණ්‍ය ප්‍රර්තනාවන් සම්බන්ධයෙන්ද කිව යුතු කරුණු බොහෝ ඇත්තේය. අද ලිවීමට ගියේ එකකි. ලියවුයේ අනිකකි. එන සැරේ වත් බලමු.
No comments:
Post a Comment