Sunday, July 12, 2015

ගැස්ට්‍රයිටිස් සහ තේ

මා මේ සති අන්තයේ කැසිල්ල හින්ද ගැස්ට්‍රයිටිස් ගැන ලිපියක් ලියමින් හිටියේ. ඒ ලියන අතරේ  අතුරු කොටසක් ලෙස තේ ගැන ලියන්න ගියාම තමයි තේ-රුනේ , තේ ගැන කොච්චර ලියන්න දේවල් තියෙනවද කියල. ඒක හින්ද  ගැස්ට්‍රයිටිස් ගැන ලියන එක පසුවට දාල තේ ගැන ලියපු කොටහ මුලින් දාන්න ඕනේ කියල හිතුන.  

මගේ මවට ආතතිය නිසා ගැස්ට්‍රයිටිස් සැදී තිබෙනවා. පියාට ඇස්ප්‍රින් භාවිතය නිසා ලඟදි ගැස්ට්‍රයිටිස් හැදුනා. ඒ අවස්ථා දෙකේදීම ඔවුන්ට වෛද්‍යවරයන් විසින් තේ පානය සම්පුර්ණයෙන් තහනම් කරනු ලැබුනා. මට ඒ තහනමේ පදනම තේරුම් ගත හැකි උනේ ටික කාලයකට පසුවයි. අනිවාර්යයෙන්ම ඔවුන් නිවැරදියි. ලංකාවේ විකිනීමට ඇති තේ පානය   අනිවාර්යයෙන්ම ගැස්ට්‍රයිටිස් සෑදීමට සහ සෑදී ඇති ගැස්ට්‍රයිටිස් තත්ත්වය   උත්සන්න වීමට හේතු වෙනවා 

ම්ලේ*නා , ඩෙ*මා , වට*ල වැනි තේ වර්ග වල සහ විශේෂයෙන් සාමාන්‍ය කඩ වල විකිනීමට ඇති තේ කුඩු වල උදරයට අහිතකර  රසායනික සහ වර්ණ කාරක අඩංගුයි.ලංකාවේ ඩයි නොදැමූ තේ කුඩු නං සාමාන්‍ය වෙළඳපොලෙන් ගන්නට බැරි තරම්. සෑම තැනම විකිනීමට ඇත්තේ ඩයි දමා තැම්බූ කසල තේ පමණයි.    ම්ලේ*නා සහ  ඩෙ*මා සමාගම් මේ කසල තේ පිටරටවලටත් තොග පිටින් අපනයන කිරීමේ නිරත වෙනවා. පිට රටවල ජිවත් වන ලාංකිකයන් "හොඳ කහට" කියමින් මේ ඩයි මිශ්‍රිත කසල තේ පානය කිරීමට ඇබ්බැහි වී සිටිනු දැක ගත හැකියි.
   
ඩයි දැමු කසල තේ හඳුනා ගැනීමට හරිම ලේසියි. තේ කුඩු හරි තේ බෑග්  එක හරි නටන උණු වතුරට දමා නිශ්චලව තබා තත්පර 5ක් ඇතුලත ඒ තේ පාට ගැන්වෙනවා නං ඒ තේ වලට ඩයි මිශ්‍රයි.  ම්ලේ*නා සහ  ඩෙ*මා තේ බෑග් එකක් කෝප්පයකට දැමු විගසම   ප්‍රවාහයන් ආකාරයෙන් ඩයි පිටතට ගලා එනවා දකින්න පුළුවන්. ඩයි නොදැමූ හොඳ තේ කෝප්පයකට දැමු විට එහෙම පාට ගැන්වීම සඳහා අඩු වශයෙන් මිනිත්තු 2 ක්  වත්  යනවා.  

මේ කසල තේ සම්බන්ධයෙන්  දිනකට කීප වරක් තේ බොන මට අත්දැකීම් රාශියක් තිබෙනවා. දෙකක් දක්වන්නම්.

1. සිය රට දේ සිරි සැප දේ කියල මෝඩ කම ඔළුවට ගහල ඩෙ*මා බීපු කාලයේ මාස 2 කට සැරයක් දත් දරුණු ලෙස දුර්වර්ණ වීම නිසා දන්ත වෛද්‍යවරයන්  මුණගැසි දත් පිරිසිදු කරගැනීමට සිදුවීම පලවෙනි සිදුවීම.  ඒ කාලයේ  මේ දත් දුර්වර්ණ වීම සහ තේ වල ඇති ඩයි අතර කිසිම සම්බන්ධතාවයක් ගොඩ නැගීමට මා අපොහොසත් උනා. නමුත් වෛද්‍යවරයාගේ  උපදෙස් අනුව ඩෙ*මා බිම අතහැරීමෙන් පසු දත් දුර්වර්ණ වීම නැතිව ගියා.

2. ලංකාවේ නිවාඩුවකට ගොස් ගතකල කාලයේදී වරක් හිතවත් ඇන්ටි කෙනෙකුගේ ගෙදර ගොස් තේ එකක් බිමට සිදු උනා. මා සාමාන්‍යයෙන් පිට තැන්වලින් තේ  බොන්නේ නැහැ. එක හේතුවක් කසල තේ. දෙක  දිව තල්ලේ ඇලී උගුර , ගලනාලය පුළුස්සාගෙන යන තරමට සීනි මගින් තේ එක සාන්ද්‍රණය කර තිබීම සහ  තුන්වනුව පිටි කිරි භාවිතය.    ඉන්නම බැරුව කරදර කරනවානම් උණුවතුර එකක් ඉල්ලං බොනවා.  ලොකු කමකට නෙවෙයි. හේතුව පැහැදිලි වෙයි ඉදිරියේදී. එම කාන්තාව එදින "මේ ගොල්ලෝ නං අපේ ගෙදර ආවම තේ එකක් වත් බොන්නේ නැහැ නේ" යනුවෙන් නැගු සියුම් අවලාදය නිසාම එදින එතනින් තේ එකක් බිමට සිදු වුනා. 

එම තේ එකෙන් බාගයක් පමණ බිව් පසුව උදරයේ විශාල දැවිල්ලක් පැන  නැග්ගා. උදරය පිපිම , දැවිල්ල සහ උගුරට එම නිසා ඉතාමත් අපහසුවෙන් සුළු වෙලාවක් සිට වහාම නිවසට පැමිණි පසු වමනය කර එය පිට කර හැරි පසුවයි ශරීරයට  නැවතත් සහනයක් දැනුනේ. පිරිසිදු තේ පානයෙන් ශරීරයට විශාල ප්‍රබෝධයක් , සැහැල්ලුවක්  සහ තෘප්තිමත් බවක් දැනෙනවා. ඩයි මිශ්‍ර කසල තේ පානයෙන්  ශරීරයට අපහසුවක් හැරුණු කොට  ඒ වැනි  හැඟීම් දැනෙන්නේ නැහැ.

ආමාශයට අහිතකර මේ තේ දීර්ඝ කාලයක් පානය කිරීම ආමාශයේ ප්‍රදාහ තත්ත්ව හෝ පිළිකා සෑදීමට හේතු වෙයි කියා මා විශ්වාස කරනවා

ඉතිං මොන තේද එහෙනං රෙකමන් කරන්න තියෙන්නේ ?

මෙහේ වාසය කරන ලාංකික අයට නම් මගේ පළමු තේරීම වෙන්නේ  ට්විනින්ග්ස් තේ. එයිනුත් ලඟකදී නිකුත් වුන Assam Bold හෝ Ceylon Orange Pekoe   තේ වල ලාංකිකයන්ට සුපුරුදු විශිෂ්ට තේ රසය යම් පමණකින් තියෙනවා.  යම් පමණකින් තියෙනවා කිව්වේ හොඳටම හොඳ නැති නිසා. තේ කොළ පරණවිමේදී සහ ඇසුරුම් කිරීමේ අඩුපාඩු නිසා එහි ලාක්ෂණික රස ගෙනදෙන සුවඳ පිටතට විසිරි ගොස් වියැකී යනවා. මේ තේ වර්ග කර්මාන්ත ශාලාවෙන් පිටවී මාස ගණනක් ගෙවී ගොස් ඇති නිසා එහි රසයේ සහ සුවඳේ කැපී පෙනෙන අඩුවක් තිබෙනවා. 

මා  සාමාන්‍ය මෙහේ වෙළඳසල් වල විකිනීමට ඇති සියලුම තේ වර්ගයන් පාහේ පරික්ෂා කර බලා තිබෙනවා. ලිප්*න් වැනි තේ වර්ග නම් උගුරක් රස බලා තේ පෙට්ටියම කුණු බාල්දියට දැමීම තමයි කලේ. එහෙම ටැස් කරලා තමයි ට්විනින්ග්ස් තේ තෝරා ගැනීම කලේ. 

හොඳට ම හොඳ තේ අත්දැකීමකට නම් ලංකාවේ තේ වත්තක් අනුබද්ධව ඇති කර්මාන්ත ශාලාවකින් හෝ සිලෝන් ටි බෝර්ඩ් එකේ ඇති BOP තේ ලබාගෙන ඒ අත්දැකීම රස විඳිය යුතු වෙනවා.


සිලෝන් ටි බෝර්ඩ් එක ගැන කිව්ව පාර තව එකක් මතක් උනා. වසර කීපයකට ඉස්සර   ටී  බෝර්ඩ් එකේ මේ සිංහයා ලකුණ  ගහල තියෙන තේ වර්ග වැඩිපුර තිබුනේ නැහැ. ඒ කාලයේ උසස්ම තේ වර්ග වල පිටිපස පමණයි මේ ලකුණ ගහල තිබුනේ. ඒ කාලයේ නං මම කිව්වේ "හොඳ තේ" ඕන නම් ඔය ලකුණ තියෙනවද බලල ගන්න කියලා. නමුත් අවාසනාවකට දැන් සියලුම මහාපරිමාණ කසල තේ ව්‍යාපාරිකයන් තම නිෂ්පාදන වලටත් මේ ලකුණ යෙදීමට පටන් අරගෙන තිබෙනවා. එම නිසා එම ලකුණෙන් පමණක් විශිෂ්ට තේ වර්ගයක් සොයාගැනීමට දැන් බැහැ.සිලෝන් ටි බෝර්ඩ් එකේ රාක්ක  වලත් දැන් පුරෝලා හින්නේ ඒ ඩයි දැමු කසල තේ. එම නිසා   ටෙස් කරලා බලල මිසක් තත්වය ගැන සහතිකයක් දීමට නොහැකිව තිබෙනවා. FAMILY PACK BOP Pure Ceylon Tea නමින් ඇති තේ වර්ගය පමණක් වර්තමානයේ උසස් තත්වයෙන් ඇතිබව කිව හැකියි. බීලම වෙනස අත්විඳ බලන්න.  

ටී  බෝර්ඩ් එක තියෙන්නේ 574, ගාලු පාර කොළඹ 3 යන ලිපිනයේ. ඩර්ඩන්ස් ඉස්පිරිතාලය ගාවම වගේ .


තේ බෑග් වර්ග දෙකක තේ කුඩු වල ප්‍රමාණය සහ විශාලත්වය සංසන්දනය කිරීම 

17 comments:

  1. හ්ම්.... තේ බෑග් ගැන මේ කියනදේ අත්හදා බලන්න ඕනෙ. නොදන්න පැත්තක්.. හිතන්න දෙයක්, ස්තූතියි

    ReplyDelete
    Replies
    1. අත්හදා බලල අපිටත් කියන්නකෝ :)

      Delete
  2. ලංකාවේ පත්තරවල දාන්න වටිනා ලිපියක්. නමුත් තේ දැන්වීම් නොලැබෙන නිසා දාන එකක් නැහැ. මේ කතාව මට වරක් තේ වතු අධිකාරි වරයකු මෙතරම් විස්තර නැතිව කියා තිබුනා. ඔහු කිව්වේ වෙළඳපොළේ තියෙන්නේ හොරට කලවම් කල තේ කියලයි. නමුත් අපි වහ බොන බව තේරුනේ මේ ලිපියෙන්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ හරි විචාරක. කලවං කිරීම ගැන කිව්ව නිසා නොදන්නා අයගේ පැහැදිලි කිරීමට කියනව නම් , තේ කලවම් කිරීම දක්ෂ වෘත්තියමය ක්‍රියාවක්. ට්වයිනින්ග්ස් කොම්පැනිය උනත් තමන්ව හඳුන්වා දෙන්නේ "තේ කලවම් කිරීමේ විශේෂඥයන්" ලෙස. වෘත්තියමය තේ කලවම් කිරීමේ ක්‍රියාවේදී විවිධ මුලාශ්‍ර වලින් ලබා ගත් තේ වර්ග නියමිත ප්‍රමාණයෙන් කලවම් කර විවිධ ස්ථායි රස වර්ග වලින් යුතු තේ නිපදවීම කරනවා. English breakfast , Traditional afternoon වගේ රසවත් තේ වර්ග උදාහරණ වශයෙන් දෙන්න පුළුවන්.

      නමුත් ලංකාව තුල තේ කලවම් කිරීම නමින් වෙන්නේ පරණ තේ, කසල තේ , එහෙම නැත්නම් ප්‍රතිචක්‍රීය කරණය කරන ලද තේ අලුත් තේ සමග කලවම් කර ප්‍රමාණය වැඩි කර විකිණීම. ගම්මිරිස් ඇට වලට ගස්ලබු ඇට කලවම් කරපු , හකුරු වලට හුඹස් මැටි කවම් කරපු ලාංකික අපිට ඕවත් වැඩද ?? :P

      Delete
  3. //ම්ලේ*නා , ඩෙ*මා , වට*ල වැනි තේ වර්ග වල සහ විශේෂයෙන් සාමාන්‍ය කඩ වල විකිනීමට ඇති තේ කුඩු වල උදරයට අහිතකර රසායනික සහ වර්ණ කාරක අඩංගුයි.ලංකාවේ ඩයි නොදැමූ තේ කුඩු නං සාමාන්‍ය වෙළඳපොලෙන් ගන්නට බැරි තරම්. සෑම තැනම විකිනීමට ඇත්තේ ඩයි දමා තැම්බූ කසල තේ පමණයි. ම්ලේ*නා සහ ඩෙ*මා සමාගම් මේ කසල තේ පිටරටවලටත් තොග පිටින් අපනයන කිරීමේ නිරත වෙනවා. //

    කොහෙන්ද මේකට මූලාශ්‍ර ලැබුනෙ, කවුරු හරි කිවුවනම් ඒක පට්ට බොරුවක්. ඔවුන් තේ තොග ගන්නෙ කොලඹ තේ වෙන්දේසියෙන් , එතන කසල තේ විකුනන්න බෑ. ඩි*ම සමාගමට ඔවුන්ගේම වතු තියනව, ඒ වතුවල තේත් ඔවුන් වෙන්දේසියට දාල එතනින් ආපසු මිලදී ගන්නව. මේ දේවල් කියන්නෙ වගකීමෙන්.
    //ලංකාවේ ඩයි නොදැමූ තේ කුඩු නං සාමාන්‍ය වෙළඳපොලෙන් ගන්නට බැරි තරම්. //
    පහලම තත්වයේ තියන ව**ල කහට වලවත් ඩයි නෑ. කිසිම කෘතිම දෙයක් නෑ. කලාතුරකින් සිල්ලර කඩේක ඩයි දාපුව තිබුනත් මෑත කාලයේ හම්බවෙලා නෑ.
    Orange pekoe ( OP ) කියන්නෙ එක ග්‍රේඩ් එකක් විතරයි ඒක OPA, OP1,BOP1 වගේ ග්‍රේඩ් ( ඒ කියන්නෙ තේ කෑල්ලෙ ප්‍රමාණය හා හැඩය වෙනස් ) විදිහට එනව ඒත් රස එකයි.
    වියට්නාමයේදී සහ මැලේසියාවෙදි ඒ රටවලින් ගන්නා ජරා තේ දමා සිංහයා ලකුණ මුද්‍රනය කර එවන එක ජාවාරමක් , කනගාටුවෙන් උවත් කිව යුතුයි අපේ වගකිව යුතු අය සහ ආයතන මේ ගැන ක්‍රියාත්මක වෙන්නෙ නෑ.

    // ඩයි නොදැමූ හොඳ තේ කෝප්පයකට දැමු විට එහෙම පාට ගැන්වීම සඳහා අඩු වශයෙන් මිනිත්තු 2 ක් වත් යනවා. //
    මේක වැරදි මතයක් , විශේෂයෙන් ටී බෑග් සදහා ගන්නෙ fannings සහ pekoe fannings කියන තේ. සාම්ප්‍රදායික නොවන ක්‍රමයට හදන pekoe fannings වලින් ඉක්මනට පාට එලියට එනව, ඇත්තටම ඒක දකින කෙනෙකුට හිතෙන්නෙ ඩයි එකක් කියල.
    // FAMILY PACK BOP Pure Ceylon Tea // මේකෙ තියෙන්නෙ BOP ( broken orange pekoe ) කියන තේ ග්‍රේඩ් එක උඩරට තේ තමයි මේ විදිහට එන්නෙ , ඒ කියන්නෙ ඔයාට හරියන්නෙ උඩරට තේ. අසෑම් වල තේ ටිකක් මේ ලගින් යනව ඒත් මේ තරම් රස නෑ. මේ කියන BOP තැම්බිලා පාට එන්ඩ විනාඩි දෙකක් විතර යනව , ඒ සාම්ප්‍රදායික ක්‍රමයට හදන නිසා.
    ලංකාවෙ තේ ඇසුරුම් කිරීම ඉතා දියුණු තාක්ශනයකින් කරන්නෙ විශේසයෙන් ඩි*මා.

    ReplyDelete
    Replies
    1. ටිරාජ් මම පස්සෙ දැක්කෙ ඔයා ඔස්ට්‍රේලියාවෙ ඉන්නෙ කියල ඩි*ම අප්සෙට් නම් කම්ප්ලේන් කරන්න. අයිතිකරුත් ඉන්නෙ ඔය රටේමයි . ඒක ඒ අය අනිවාර්‍යයෙන් සොයා බලනව.

      Delete
    2. අදහස් දැක්වීමට ස්තුතියි කම්මල.

      අ: මේ මගේ අදහස් සහ අත්දැකීම් විතරයි නේ. වෙන ලිපි වල විධිමත් මුලාශ්‍ර දිය යුතු තැන වලදී දීල තියෙනවා. ඩෙ*මා තේ වලින් තද අළු හුණු රසක් එන එක මම අත් දැකපු දෙයක්. මට ඉතිං ලැබ් එකක් නැහැ නේ ඕවගේ තියෙන සංඝටක වෙනම විශ්ලේෂණය කරලා බලන්න.

      තද කහට පාට ගන්න තේ නිෂ්පාදනයේදී අළු හුණු මිශ්‍ර කරන එක ප්‍රසිද්ධ රහසක් බව ඉන්ඩස්ට්‍රී එකේ ඉන්න අය දන්නවා. ඔබ ඉන්ඩස්ට්‍රී එක සම්බන්ධයෙන් යම් දැනුමක් තිබෙන කෙනෙක් බව පෙනෙන නිසා //පහලම තත්වයේ තියන ව**ල කහට වලවත් ඩයි නෑ. කිසිම කෘතිම දෙයක් නෑ. // යන ප්‍රකාශය සද් භාවයෙන් යුතුව කලාද කියා සැක මතුවනවා.

      ආ: //ඒ වතුවල තේත් ඔවුන් වෙන්දේසියට දාල එතනින් ආපසු මිලදී ගන්නව//
      ඒක නිකං මේ තමන්ගේ ගෙදර බඩුවක් එහා ගෙදර මිනිහට විකුණලා , නැවත මිලදී ගන්නවා වගේ කිසි තේරුමක් නැති වැඩක් වගේ මට පෙන්නේ. එහෙම නිෂ්පල දෙයක් කරන්න යම්කිසි සාධාරණ හේතුවක් තියෙනවද ?

      ඇ: ෆැනින් මගින් එන ඩස්ට් එකෙන් හදපු තේ බෑග් මම දැකල තිබෙනවා. නමුත් මම දැකල තියෙන විදියට සමහර තේ බෑග් ඇතුලේ තියෙන්නේ ඩස්ට් නෙවෙයි. එත් ඒවාටත් උණු වතුර දැම්ම හැටියේ කෝප්පේ කළු පාටට පාට වෙනවා. ඒක හරිම අස්වාභාවිකයි.

      ඈ: //සාම්ප්‍රදායික නොවන ක්‍රමයට හදන pekoe fannings වලින් ඉක්මනට පාට එලියට එනව//
      මේ සාම්ප්‍රදායික නොවන ක්‍රමය මොකද්ද ? මට සොයා ගැනීමට නොහැකි උනා. ඔබ දන්නවා නම් ලින්ක් එකක් දෙන්න පුලුවන්ද ?

      ඉ: ඔබ තේ කොළ වල ග්‍රේඩ් එක අනුව පාට වීමට ගතවන කාලය වෙනස් වෙන බව කිව්වනිසා තේ බෑග් වර්ග 2 ක තේ කුඩු වල ප්‍රමාණය පෙන්වන චායාරුපයක් මම ලිපියට ඇතුළු කළා. දෙකම BOP ලොකු කොළ තේ නම් නෙවෙයි. කුඩු වල ප්‍රමාණය සහ සංස්ථිතිය සමානයි. මෙහි ම්ලෙස්* තේ එකට උණු වතුර දාල තත්පර 10 කිං වෙන පාට වීම ට්වයිනින් තේ බෑග් එකෙන් වෙන්න අඩු ගන්නේ විනාඩි 2ක් වත් යනවා. තාර්කිකව බැලුවම ඒක අස්වාභාවික නැද්ද ? එහෙම නැත්නම් සුද්දොත් නොදන්න තත්පරෙන් දෙකෙන් තේ පාට වෙන සුපිරි තේ ප්‍රබේධයක් ලාංකිකයෝ හදලද ?

      තේ කොළ යනු ප්‍රතිචක්‍රීකරණය කළ හැකි දෙයකි

      රට යවන්න තිබූ කසළ තේ කිලෝ 70000 ක්‌ අත්අඩංගුවට

      අපනයනයට සුදානම් කර තිබු කසල තේ ටොන් 12ක් මට්ටක්කුලියෙන් අල්ලයි

      තේ කොප්පෙටත් අළුහුණු?

      ප්‍රකට සමාගම් ගබඩාවක කසල තේ කිලෝ 25,000ක්!

      Delete
    3. තේ බොන්නේ බලාගෙනයි – තේ වර්ග දහයකට මාරාන්තික වර්ණකාරක කලවම් කරලා
      January 13, 2016

      පසුගියදා සිදුකෙරුනු පරීක්ෂණයකින් ලංකාවේ වෙළදපොල තුළ බෙදාහැරෙන තේ නිශ්පාදන වර්ග දහයක පරිභෝජනයට අහිතකර වර්ණකාරක අඩංගු බවට අනාවරණය වී තිබෙනවා. මෙම වර්ණකාරක අඩංගු තේ පරිභෝජනය තුළින් විවිධ ලෙඩරෝග හා අසාත්මිකතා ඇතිවිය හැකිබව පැවසෙනවා.

      මේ වන විට කසල තේ ජාවාරම මහනුවර ප්‍රදේශයේ ගම්පොල, දවුලගල, සහ දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක් කෙන්ද්‍රකරගෙන මහා පාරිමාණයෙන් සිදුවන අතර එම ප්‍රදේශවල පිහිටි ඇසුරුම් මධ්‍යස්ථානවලදී තේකුඩු වලට කසල තේ සහ කෘතිම වර්ණකාරක එකතු කර නිශ්පාදන නාම සහිතව සුපිරි ඇසුරුම්වල බහා වෙළදපලට මුදා හැරෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

      මෙම ප්‍රදේශ කෙන්ද්‍රකරගෙන මහා පරිමාණයෙන් සිදුවන කසල තේ ජාවාරමට වැට බැදීම සදහා පාරිභෝගික අධිකාරියේ මැදිහත්වීම ඉතාමත් දුර්වල මට්ටමක පවතින අතර අදාල වගකියයුතු අංශ ප්‍රමාණවත් අයුරින් ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ තේ නිශ්පාදනවල ජාත්‍යන්තර කීර්තිනාමය හානිවීම හේතුවෙන් මිළ පහල යෑම නිසා තේ කර්මාණ්තය මුහුණ දී සිටින වත්මන් අර්බුධය නිර්මාණය වීමට හේතු වූ බවයි තේ කර්මාන්තය ආශ්‍රීත ආරංචි මාර්ග සදහන් කරන්නේ.

      Delete
  4. ස්තූතියි පිලිතුරක් දීම ගැන, අහම්බෙන් ඇස ගැටුනු ලිපිය නිසා තේ සම්බන්දව උනන්දුවක් ඇති ඔබට ඒ ගැන මගෙ අත්දැකීම බෙදා ගැනීම සතුටක්.

    //අ: මේ මගේ අදහස් සහ අත්දැකීම් විතරයි නේ. වෙන ලිපි වල විධිමත් මුලාශ්‍ර දිය යුතු තැන වලදී දීල තියෙනවා. ඩෙ*මා තේ වලින් තද අළු හුණු රසක් එන එක මම අත් දැකපු දෙයක්. මට ඉතිං ලැබ් එකක් නැහැ නේ ඕවගේ තියෙන සංඝටක වෙනම විශ්ලේෂණය කරලා බලන්න. //
    මම ඒකෙන් අදහස් කලේ ලැබ් රිපෝට් එකක් නෙවෙයි , ඔයාට එන අළු හුණු රසයත් ප්‍රමාණවත්. ඩි*මා කියන සමාගම උදාහරණයට ගමු. ඔවුන් ජාත්‍යන්තර ප්‍රමිති සහතික යටතේ , සම්මාණ ලාබී ලංකාවේ නොම්බර 1 බ්‍රෑන්ඩඩ් තේ අපනයන සමාගම ( තේ බල්ක් වශයෙන් යවන නෙමේ ). මෙහි සිටින තේ රස පරීක්ෂකයින්ට පිටින් කිසිම විදිහකින් අළු හුණු මිශ්‍ර තේ යවන්න බෑ. අනිත් එක ඔවුන් ලබන ලාබය සහ සමාගමේ කීර්තිනාමය අළු හුණු මිශ්‍ර තේ එකකින් නැතිකරගනී කියල හිතන්න බෑ. වගේම ඔවුන්ගෙ ඔඩිට් සිස්ටම් එක නිසා ඒක කරන්නත් බෑ.

    //ඔබ ඉන්ඩස්ට්‍රී එක සම්බන්ධයෙන් යම් දැනුමක් තිබෙන කෙනෙක් බව පෙනෙන නිසා //පහලම තත්වයේ තියන ව**ල කහට වලවත් ඩයි නෑ. කිසිම කෘතිම දෙයක් නෑ. // යන ප්‍රකාශය සද් භාවයෙන් යුතුව කලාද කියා සැක මතුවනවා. //

    මම Tea taster කෙනෙක් , හැබැයි තේ අපනයන සමාගමකට වැඩකරන්නෙ නෑ. මම තේ වෙන්දේසි සමාගමක වැඩ කරන්නෙ.
    වට*ල කහට ඩයි නෑ ,කෘතිම දෙයක් නෑ කියන්නෙ වගකීමෙන් ඔතන තියෙන්නෙ තේ වර්ග මිශ්‍ර කිරීමේ ක්‍රමයක් මගේ හොද මිත්‍රයෙක්ගෙ බ්ලෙන්ඩ් එකක් නිසා මම දන්නව. හැබැයි කහට තිබුනට රස නම් සවුත්තුයි , ඒකට හේතුව උඩරට හා පහත රට තේ එකට මිශ්‍ර කිරීම. සමහර විට ඔබ කියන හුණු අළු රසයක් එන්න පුළුවන් මේ පාට ගැනීමට උඩරට , පහත රට තේ මිශ්‍ර කිරීමේදී.

    //ඒක නිකං මේ තමන්ගේ ගෙදර බඩුවක් එහා ගෙදර මිනිහට විකුණලා , නැවත මිලදී ගන්නවා වගේ කිසි තේරුමක් නැති වැඩක් වගේ මට පෙන්නේ. එහෙම නිෂ්පල දෙයක් කරන්න යම්කිසි සාධාරණ හේතුවක් තියෙනවද ?//

    ඒකට හේතු තියනව. ලංකාවෙ තේ පිටරට යවන මේ සමාගම් වලට තමන්ගෙම වතු තියනව ( වතු සමාගම් )
    1. ඩිල්මා ( MJF group ) ----- kahawathe plntation
    2. finlay ----- hapugasthenna plantation
    3. Stassen Export ---- Balangoda and Madulsima plantation
    4. වටවල කහට ---- Watawala plantation
    මේ වගේ එයාලටම අයිති වතු සමාගම් තියනව. හැබැයි අනිවාර්‍යයෙන්ම මේ හැම වතු සමාගමක් ම කොලඹ තේ වෙන්දේසියට තේ තොග ඉදිරිපත් කල යුතුයි. එතනින් තරගකාරී වෙන්දේසියකින් මිලදී ගත යුතුයි. මේකට හේතු.
    1. වතු සමාගම් මවු සමාගමෙන් වෙන්ව ලාබ ලබා පෙන්විය යුතුයි. වතු ඒ වියදමින් නඩත්තු කලයුතුයි.
    2. තේ වෙන්දේසියේදී උපරිම මිලක් ලබා ගත හැකියි.
    3. තේ බ්‍රෝකර් සමාගම් හැම තේ සාම්පලයක්ම පරීක්ෂා කරනව ( අපි කරන්නෙ ඒක) නුසුදුසු තේ අපිම අයින් කරන්ව. අනික් සියලුම සාම්පල් Tea Borad එක මගින් පරීක්ශා කර සහතිකයක් දෙනව. ඊට පස්සෙ තමයි තේ වෙන්දේසියට දමන්නෙ.
    හොදම උදාහරණයක් තියනව ඩිල්ම සමාගමේම. ඔවුන්ට තියනව ඔවුන්ගේ තේ අපනයන සමාගම ඩිල්මා( MJF), ඔවුන්ගේම කහවත්ත වැවිලි සමාගම , ෆෝබ්ස් ඇන්ඩ් වෝකර් තේ බ්‍රෝකර් සමාගම.
    දැන් පිලිවෙල මේකයි කහවත්ත සමාගම ඔවුන්ගෙ බ්‍රෝකර් සමාගමට තේ තොග ලබා දෙනව ( හොද මිලක් දෙන්නෙ නැත්නම් වෙනත් බ්‍රෝකර් සමාගම් වලටත් දෙනව ). ඊට පස්සෙ ෆෝබ්ස් බ්‍රෝකර් සමාගම තේ වෙන්දේසියට ඉදිරිපත් කරනව , එතනදී ඩිල්ම සමාගම අනික් අපනයන කරුවන් සමග තරග කර තමන්ට උවමනා තේ මිලදී ගන්න ඕනෙ. අඩුවට දෙන්න ෆෝබ්ස් සමාගමට අවස්ථාවක් නෑ වගේම එහෙම කරල ඔවුන්ගේ වයාපාරයට හානි කරගන්නෙ නෑ වගේම ඒ වගේ දේවල් නිරීක්ශනය කරන ආයතන තියනව.
    තව දෙයක් තේ බ්‍රෝකර් සමාගම් දෙන සහතිකය නැතිව තේ පිටරට යවන්න බෑ. ඒකට වෙන්දේසිය හරහා මිලදී ගත යුතුයි. මම හිතන්නෙ පැහැදිලි ඇති.

    ReplyDelete
  5. //ඇ: ෆැනින් මගින් එන ඩස්ට් එකෙන් හදපු තේ බෑග් මම දැකල තිබෙනවා. නමුත් මම දැකල තියෙන විදියට සමහර තේ බෑග් ඇතුලේ තියෙන්නේ ඩස්ට් නෙවෙයි. එත් ඒවාටත් උණු වතුර දැම්ම හැටියේ කෝප්පේ කළු පාටට පාට වෙනවා. ඒක හරිම අස්වාභාවිකයි. //
    ඒ පහත රට PF සමග දාපු පහත රට ෆැනින්ස් හැබැයි ඔස්ට්‍රේලියාව වගේ රටකට නෙවෙයි ඒව හදන්නෙ අරාබි රටවල් ඉලක්ක කරල.


    ඉතිරි ටිකට සම්පූර්ණ වෙන්න උතරයක් දෙන්නම්
    ලංකාවෙ තේ නිශ්පාදනයෙදි Othodox සහ Unothodox ක්‍රම දෙකට තමයි තේ හදන්නෙ සප්‍රදායානු කූල නොවන( unothodox ) ක්‍රමයෙන් හදන තේ තමයි ඉක්මනින් පාට වෙන්නෙ. අපි tea taste කරන්න හදපු තේ කෝප්පයක් taste කරන්න පරක්කු වෙද්දි කිරි තේ එකක පාටට හැරෙනව ( හරියටම කහට වැඩි කිරි තේ එකක් වගේ ) සර්ච් කරල බලන්න CTC tea manufacture කියල.
    මේ ක්‍රම දෙකටම පොදු ග්‍රේඩ් තියනව . Dust , Fannings හැබැයි CTC ක්‍රමයට හැදුව එකක් පාට එලියට ඒමේ දී වේගවත් උණු වතුරට දාද්දිම පාට වෙන්නෙ මේ CTC තේ බෑග්. ( manufacture prosses එක කියවද්දි ඒක පැහැදිලි වෙයි ).
    BOP කියන්නෙ විශේෂයෙන් උඩරට තේ වල විශාලම කොල ප්‍රාමානය තියන එක ( Leafy manufacture එකක් තියනව වෙනමම ඒකෙ ග්‍රේඩ් වෙනස් ) ඊලගට කුඩා එක BOPF > Dust 1 > Fannings 1 > Fannings > Dust මේ අන්තිමට තියන එකේ ඉදන් එකම ප්‍රමාණයක් දාල තේ හැදුවොත් BOP එකේ පාට අඩුයි , පහලට යද්දි පාට වැඩියි ඒකයි fannings 1 කියන ග්‍රේඩ් එක සමග Dust 1 කියන ග්‍රේඩ් එක තේ බෑග් වලට දාන්නෙ. Dust දාන්නෙ නෑ ඒක ෆිල්ටර් පේපර් එකෙන් එලියට ඇවිත් තේ පාට dull කරනව.
    තේ බෑග් දෙකේ තේවල විදිහෙන් රතු පාට එකේ පාට වැඩි වෙන්න හේතුව සහ ඉක්මන ට හේතුව ඔවුන් පාවිච්චි කරන පහතරට CTC තේ . ඔවුන් මිලදී ගන්නෙ එක්තරා සුවිශේෂී තේ වත්තක තේ ඉතාමත් මිල අදිකයි . ඒකෙන් සුලු ප්‍රමානයක් සහ තේ එකේ strength එක තියා ගන්න දාන flaky තේ ටික ( ඒ ෆ්ලෙකි දාන්නෙ කවුරු හරි බ්ලෙන්ඩ් එක බැලුවොත් අදුන ගන්න එක වලක්වන්න ) . අනික් නිල් බෑග් එකේ තියෙන්නෙ එකාකාරී විදිහටම තියන තේ එකක් වගේ , සමහර විට අසෑම් තේ නම් පාට වෙන්න පරක්කුයි.

    පහත ලින්ක් වල දේවල් හරි හැබැයි මේ කියන ප්‍රසිද්ද සමාගම් තමන්ගෙ බ්‍රෑන්ඩ් එකක් වෙලද්පොලට යවන ඒව නෙමේ. අරාබියේ සහ අප්‍රිකාවෙ දුප්පත් රට වල විකිනීම පිනිස හොරෙන් යවන තේ. මේවට කසල තේ කියන එක වැරදියි ඇත්තටම කසල නෙමෙයි මේව තේ නිශ්පාදනයෙන් ඉතිරි වෙන වෙන ශනික තේ හදන්න පුළුවන් ඒත් පිරිවැය වැඩි හින්ද අයින් කරන තේ. ඕනෙනම් කොම්පෝස්ට් කරන්න පුලුවන්, ඒත් ඒවට ලෝකෙ දුප්පත් රටවලින් ඉල්ලුමක් තියනව ඒත් නීතියෙන් බැරි නිසා හොරෙන් යවන්න උත්සාහ කරනව.

    ReplyDelete
    Replies
    1. //Dust දාන්නෙ නෑ ඒක ෆිල්ටර් පේපර් එකෙන් එලියට ඇවිත් තේ පාට dull කරනව. //
      ඩස්ට් දාපු තේ බෑග් මෙහෙ නම් මම දැකල නැහැ. නමුත් ලංකාවේ ටී බෝර්ඩ් එකෙන් අරං ආපු ගොඩක් තේ වල විශාල ප්‍රමාණයක් ඔබ නොදානවයි කියන ඩස්ට් මිශ්‍රයි. ඒ තේ බෑග් එකක් අරං සුදු කොලයක් මත දෙතුන් සැරයක් ගැහුවොත් ඉස්කෝලේ ඩස්ටර් එකෙන් ගැහුවම හැමතැනම ඩස්ට් විසිරිලා යනවා වගේ වෙනවා. මේ ඩස්ට් මිශ්‍ර තේ අමුතු පොල් කොළ රසයකින් යුක්තයි. මේ මගේ අත්දැකීම.


      //පහත ලින්ක් වල දේවල් හරි හැබැයි මේ කියන ප්‍රසිද්ද සමාගම් තමන්ගෙ බ්‍රෑන්ඩ් එකක් වෙලද්පොලට යවන ඒව නෙමේ. අරාබියේ සහ අප්‍රිකාවෙ දුප්පත් රට වල විකිනීම පිනිස හොරෙන් යවන තේ. මේවට කසල තේ කියන එක වැරදියි ඇත්තටම කසල නෙමෙයි මේව තේ නිශ්පාදනයෙන් ඉතිරි වෙන වෙන ශනික තේ හදන්න පුළුවන් ඒත් පිරිවැය වැඩි හින්ද අයින් කරන තේ. ඕනෙනම් කොම්පෝස්ට් කරන්න පුලුවන්, ඒත් ඒවට ලෝකෙ දුප්පත් රටවලින් ඉල්ලුමක් තියනව ඒත් නීතියෙන් බැරි නිසා හොරෙන් යවන්න උත්සාහ කරනව.//

      මේ කොම්පෝස්ට් තේ ලංකාවේ පාරිභෝගික තේ වෙළඳපලටත් පැමිණීමට ඇති භාදකයක් නැති බව මට නම් හැගේ. :)

      Delete
  6. හුණු අළු දාපු තේ මැත කාලෙ හම්බවෙලා නෑ. ඒව විකුනන්නෙ තේ කෝප්ප හදන හෝටල් වලට , ජාත්‍යන්තර වෙලදපලේදි ලංකාවෙ බ්‍රෑන්ඩඩ් තේ එකක මේ තේ එන්න විදිහක් නෑ.
    තේ බ්ලෙන් කිරීම ආට් එකක් කියන එක හරි . එහෙම මම කරපු ආට් දෙකක් ජාත්‍යන්තර වෙලද පලේ තියනව ( ( යාලුවෙක්ගෙ උවමනාවකට කල දෙයක් ).

    ReplyDelete
  7. ටිරාජ් මම මේ ටික ලිවුවෙ හරිම සන්තෝශෙන් , මම ලියපු දිගම කමෙන්ට් එක. තේ මිලදී ගන්නකොට තමන්ගෙ රසට තෝර ගන්න එක තමයි හොදම.
    Singale Estate tea , කියල unblended range එකක් තියනව අන්න ඒව අරන් බලන්න.

    ReplyDelete
    Replies
    1. කාර්ය බහුල වීම නිසා පිළිතුරු පමාවිමට සමා වෙන්න. දීර්ඝ අදහස් දැක්වීමට ස්තුතියි කම්මල. නොදන්නා කරනු ඔබ දුන් හොඩුවාවල් මාර්ගයෙන් හොයා ගත්තා.

      තේ බ්ලෙන්ඩර්ස් ලට පට්ට ටැලන්ට් එකක් තියෙන බව මට තේරුම් ගියේ ඒ ඒ අවස්තාවල්වලට ගැලපෙන පරිදි තේ වර්ග නිපදවීමේ හැකියාව අත්වින්දට පස්සේ. උදාහරණයක් විදියට traditional afternoon tea උදේ බිව්වම කිසි ගතියක් නැහැ. හවසට බිව්වම තමයි ඒකෙ රස දැනෙන්නේ. ඔව් ඔබ හරි Single origin BOP තේ තමයි මගේ ප්‍රථම තේරීම. සොයාගන්න අමාරු නිසා සහ සමහර බ්ලෙන්ඩ් හොඳ නිසා බ්ලෙන්ඩඩ් තේත් භාවිතා කරනවා. අපේ ගෙදරට එන ඕන කෙනෙක් අම්ම හදල දෙන තේ එක බිව්වම කරකවල දැම්ම වගේ වෙනවා. (ටැලන්ට් එක අම්මගේ තේ කොළ මගෙන් ) LOL . ඔයගොල්ලන්ගේ ගෙදර නිතර එන්නේ මේ තේ එක බොන්න ඕන හින්දමයි කියල කිව්වේ එක්කෙනෙක් දෙන්නෙක් පමණක් නෙවෙයි.

      තේ තෝරන්න ගියාම මම තේ රාක්ක අස්සට වෙලා බල්ලෙක් වගේ හැම තේ පෙට්ටියම ඉව කරලා බලනවා. LOL . තේ ටෙස්ටර් කෙනෙක් වන ඔබට නම් එය එතරම් අරුමයක් නොවෙන්න පුළුවන්. මගේ මේ ලිපියේ අරමුණ මං තේ ගැන ලබපු අත්දැකීම් වලින් බිඳක් බෙදා ගැනීම. හැමෝම තේ ගැන , තේ වල ඉතිහාසය ගැන , රට රටවල තේ බොන හැටි ගැන ලිව්වට මේ වගේ controversial දෙයක් තේ ගැන ලියන්නේ නැති නිසා තමයි මම ලිව්වේ. එයට ඔබ දැක්වූ වැදගත් අදහස් නිසා පාඨකයනට සියලු අදහස් ගලපා බලා තමන්ගේම නිගමනයකට පැමිණීමට හැකි වෙතැයි සිතනවා. ඔබට ඉතාමත් ස්තුතියි.

      Delete
  8. ටිරාජ්ගෙයි කම්මලගෙයි සංවාදය හින්ද ගොඩාක් තොරතුරු දැනගත්තා..
    ඔබ දෙපලටම බොහෝ තුති..

    මම දැන් මේ කොලේක ලියාගත්තා ගන්නවනම් ගන්න ඕනෑ ඒවා...

    මුලින් කියෙව්වම ඩි*මා ගැන මටත් ටිකක් පුදුම හිතුන මොකද මා ඉන්නා රටේ තරු පන්තියේ සෑම හෝටලයකම වාගේ ඇත්තේ ඩිල්මා නිසා..
    පැකට් එකත් නයිලෝන් දැලක් වාගේ එකක්...
    නිතර දැක පුරුදු ලි**න් වල වාගේ නෑ...
    ඒක අපට ආඩම්බරයට කාරණයක් වාගේම රටටත් ලොකු ධනයක් ලැබෙනව ඇතියි කියලත් හිතනවා..
    දන්න දන්න අයට ඉතින් "මේ අපේ රටේ එව්වා... බීලා බලන්ට.." කියල ටිකක් ඉතින් ආඩම්බරෙන් පෙන්නනවා මම..
    ඒක ටිකක් සෙලවුණා ටිරාජ්ගෙ මුලින්ම කියැවුණු අත්දැකීම් වලින්... ඒත් කම්මල හා කෙරුණු පසු සංවාදයෙන් මැදහත් අදහසක් ඇතිවුනා..

    ReplyDelete
  9. ඉතාමත් හොඳ වැදගත් තොරතුරු රාශියක් දැනගන්නට ලැබුණා මමත් තේ බිස්නස්
    එකක් ආරම්භ කරන්න ඉන්නේ හොද තේ නිෂ්පාදනයක් වෙළඳ පොළට දෙන්න මම
    කළහැකි සියල්ල කරමි.

    ReplyDelete