Sunday, October 7, 2012

මොකද්ද මේ කරුමේ කියන්නේ ? (කර්ම විපාක නොපිළිගැනීම)

පසුගිය දිනවල මා විසින් පලකල කර්මය ලිපි පෙළ බොහෝ බෞධයන්ගේ ප්‍රසාදයට නොව අප්‍රසාදයට හේතු වූ බව මා දනිමි. එසේ අප්‍රසාදයට පත් වන බව දන දැනම මා ඒවා ලියා පල කලේ සත්‍යය එයම වන බැවිනි. එම තිත්ත ඇත්ත පිළිගැනීමට අකමැති බොහෝවක් එය යටපත් කොට දමා වෙනත් කරුණු ගැන හැර දක්වා තමා හර්දය සාක්ෂියට පොඩි පහේ වංචාවක් කර ගැනීමට තැත් කිරීම මනුෂ්‍ය ගතියකි. එහෙයිනි යටපත් වී ඇති,  යටපත් කොට ඇති  එම තිත්ත ඇත්ත ගොඩගෙන දමා ගැසීමට මා හට සිත් වුයේ....

ලංකාවේ ඉතා ජනප්‍රිය ධර්ම ලිපි මාලාවක් බවට පත්ව ඇති, ඉන්ද්‍රජිත් සුබසිංහ පින්වත් මහතා දිවයින පුවත් පතට යොමුකරන මහ රහතුන් වැඩි මග ඔස්සේ - සතර අපායෙන් මිදෙමු ලිපි පෙලේ මේ සතියේ ලිපියෙන් දක්වා ඇත්තේද මා එසේ ලියා දැක්වූ දෙයම බව දැකීම මහත් සතුටකි. 

මනුෂ්‍ය වාසයෙන් ඉවත්ව එකලාව තමා විමුකිතිය පිණිස වැර වඩන එම ලිපි පෙළ ලියන භික්ෂුන් වහන්සේ , ලංකාවේ බෞද්ධ සමාජයේ මුල්බැස ගෙන ඇති විවිධ මිත්‍යා විශ්වාසයන් හා බෞද්ධ යයි සිතා පිළිපදින්නා වූ විවිධ සම්ප්‍රදායික ඇදහිලි හා ක්‍රියාකාරකම් නිර්දය ලෙස විවේචනය කර ඒවායේ ඇති නිස්සාරත්වය ධර්මානුකුලව ඉස්මතු කර දක්වන හිමි නමකි. රිදෙන තැන්වලට උන්වහන්සේ ගෙනහැර දක්වන කරුණු වලින් බොහෝ රිදේ. ලංකාවේ භික්ෂුන් වහන්සේලා බොහෝ දෙනෙක් දායකයන් අමනාප වෙතයි නොසිතා මෙලෙසින් සත්‍යය , සාරධර්ම හා ගුණධර්ම ඉස්මතුකර දැක්වීමට කැපවෙනවා නම් තුන් තිස් පැයේ බණ නොකීවාට අද දක්නට ඇති පිරිහී ගිය බෞද්ධ සමාජය ගොඩ ගැනීමට එයම ප්‍රමාණවත් වෙතැයි මා හට සිතේ. මිනිසුන් අමන්නප වෙතැයි සිතා උන් වහන්සේලා නොකරන්නේත් එයමය.

උදාහරණයක් ගන්න. මහා ලොකු දෙයක් අවශ්‍ය නැත. සරල දෙයක් ගන්න. දෙදහස් පන්සිය වසක් බුදුදහම පැවති රටක් , ආරක්ෂා කල රටක් ලෙස පාරම් බාන ලංකාවේ බෞධයන් කීයෙන් කීදෙනෙක් පන්සලකට හෝ ධර්ම ශාලාවකට ගොස් වාඩි වීමට ඉගෙන ගෙන තිබේද ? 99% දෙන කරනුයේ දහම් දෙසන තෙරණුවන් දෙසට හෝ බුදු රජාණන් වහන්සේ දෙසට දෙපතුල් පෙනෙන සේ කකුල් දික් කොට දමා ඒවා වනමින් වාඩි වී සිටීම නොවේද ? මව වාඩි වී සිටින දෙස බලා සිටින කුඩා දරුවන් ද එලෙසම හිඳීමට ඉගෙන ගනිති. ලොකු කක්කුට්ටෝ පොඩි කකුට්ටන්ට පාර කියති. මේ අනචාරශීලි , වනචර වාඩිවීම් රටාව දෙස බල බලාම භික්ෂුන් වහන්සේලාද දායකයන් අමනාප කිරීමට අකමැති කම නිසා නොදැක්ක ලෙසම කටයුතු කරගෙන යති . ඒ ආකාරයෙන් අනචාරශීලි පැවතුම් සාධාරණිකරණය වී , සමාජ ගතවී පරපුරෙන් පරපුරට ගමන් ගනිත්.

දැනට එක පන්සලක මේ වාඩි වීම් රටාව නොකළයුතු දෙයක් බව දක්වා දැන්ව්මක් ගසා තිබෙනු දිටිමි. එය තායි ආරාමයකි. එහෙත් තායි මිනිසුන් හා ගැහැනුන් ඉතාමත් සංවරශිලිව හිඳ ගැනීමට දනිති. එහෙනම්.... ? අහෝ!!!!  එම තායි පන්සලේ ඒ දැන්වීම ගසා ඇත්තේ තායි මිනිසුන් උදෙසා නොව , එතනට පැමිණෙන ලාංකිකයන් උදෙසාය . වරද දුටු විගස එය පෙන්වා දීමට හැකි කොන්දක් තිබීම ගැන එම තායි පන්සලේ භික්ෂුන් වහන්සේලාට ප්‍රණාමය හිමි විය යුතුය . ලැජ්ජාවක් ඇත්නම් එය කියවන ලාංකිකයන්ට පුක පොලවේ ගසාගෙන දිවි නසා ගැනීමට එයම ප්‍රමාණවත් නොවේද ?

කියන්න ගිය එකෙන් පිට පැන්නා....:)  ආයි මාතෘකාවට එමු. බෞධයන් මෙතරම් කර්මයට විරුද්ධ ඇයි? මෙතරම් එය සමග අමනාප ඇයි? එහි ප්‍රතිපල/විපාකයන් පිළිගැනීමට අකමැති ඇයි? කර්මයේ විපාක දීම් අන් කිසි සංසිද්ධියක් පිට දා අත පිස දා ගැනීමට මිනිසුන් මෙතරම් කැමති මන්ද ? බෞද්ධ යයි කියා ගත්තත් කර්මය හා එහි විපාකයන් නොපිළිගැනීම මගින් නියත මිත්‍යා දෘෂ්ටික ලබ්දි ගෙන ඇත්තේ ඇයි?

උදාහරණයක් ලෙස කළුව , කැතව දුර්වර්ණව ඉපදීම පෙර භවයේ අකුසල කර්ම විපාකයක් බව කියූ කල්හි සිංහල බෞධයන් කැස කවාගෙන එයට විරුද්ධව තර්ක කිරීමට පැන එන්නේ මන්ද? " හා එහෙම නැහැ. උතු , බීජ , ධර්ම වගේ අනිකුත් නියාම ධර්මයන්ගෙන් උන දෙයක් ඒක... " යි කියමින් , කර්ම විපාක බැහැර කරමින් තර්ක කරන්න එන්නේ මන්ද ?

මට හිතෙන විදියට මෙයට හේතුව චේතනාවෙන් යුක්තව තමන් කල , කී ක්‍රියාවන්හි ප්‍රතිවිපාක තේරුම් ගැනීමට , පිළිගැනීමට හා වගකීම බාර ගැනීමට අකමැති වීමයි.  මෙය තමන් කල, කී හා කරන, කියන සියලු දේ හරි යයි සිතා සිටින , තමා අතින් වැරැද්දක් වීමට අවස්ථාවක් නැති බව සිතා සිටින බොහෝ මනුෂ්‍යයන් තුල ඇති සහජ ස්වභාවය යයි සිතේ.

උදාහරණයක් ලෙස , "මචං උඹට මේ නිකං වගේ ඔක්කොම සැප සම්පත් ලැබෙන්නේ පෙර ආත්මයේ හරියට දන් දීපු නිසා. උඹ හොඳ මිනිහෙක් ව අනුන්ට උපකාර කරපු නිසා." කියල කිව්වොත් එය පිළිගැනීමට සියලු බෞධයන් කැමති වුවත් , "මචං උඹ මේ වගේ දුප්පත් තත්වයට වැටිලා කන්න බොන්නවත් නැතුව දුක් විඳින්නේ පෙර ආත්මයේ ලෝභ මසුරෙක් ව කිසි දෙයක් අනුනට නොදී තමන්ම භුක්ති වින්ද නිසා"... කියා කියුවොත් , එයට කෝප වී .. ආ එහෙම කොහොමද ? මට මෙහෙම වෙලා තියෙන්නේ ආණ්ඩුවේ වැරැද්ද නිසා ... ගුරුවරුන් හරියට ඉගැන්නුවා නම් මාත් මිනිහෙක් අද ... 6% තිබ්බනම් මාත් අද කැම්පස් තමා..... මගේ තිබ්බ සල්ලි අනුන් කඩා වඩා ගත්තා... යි නානාප්‍රකාර දේ කියමින් අනුන් පිට වරද දමමින් කර්ම විපාක හේතුව බැහැර කිරීමට ම බොහෝ දෙන පෙළඹී ඇත්තේ තමන් කල කී දෙය පිළිගෙන එහි වගකීම තමන් පිට ගැනීමට බොහෝ දෙනා දක්වන අකමැත්ත නිසාම නොවේද ?

බුදු දහමේ නම් දක්වා ඇත්තේ , වරද වරද ලෙස දැක , පිළිගෙන එයින් අත්මිදීමට උත්සාහ කිරීමෙන්ම කෙනෙකුගේ ලෞකික හා ලෝකෝත්තර දියුණුව සැලසෙන බවමය....

2 comments:

  1. අගෙයි සිංහල බවුද්ද කියන බහුතරයක්ගෙ මතය ඔක තමා කන්න ඕන උනාම කබරත් තලගොයා කරගන්නවා කියන කතාව අපි ග්‍රාමීයව අහල තියනවා, කර්මය ගැන අප කතාකරල තියනවානෙ ද මිතුර මිට පෙර,ඇත්ත තිත්තයි එය සමග වැඩ කරන්න ලේස්යි, අපෙ උන්ට පස්ස බිම ඇනුනම තමා පන්සල බෝදි-පුජා මතක්වනුයේ කරදරයක් ආවම තමා, කරදරවල මුල තමා පෙරකළ අකුසල් බව සිතා යහපත් ජීවිතයක් ගත කීරීම වටි,
    ඔබට හොදින් දර්මය අවබෝද වේවා....! තුනුරුවන් සරණයි..!

    ReplyDelete