Sunday, May 15, 2011

සැනසීමට ගන්නා මධ්‍යසාර නිසා වැනසෙන ජීවිත

©2011 bryanking.net
ඔබ මද්‍යසාර පානය නොකරන්නේ මන්ද?" යි කෙනෙක්‌ තව කෙනෙකුගෙන් ඇසීය.

"මද්‍යසාර පානය කිරීමෙන් පුද්ගලයකුට ලැබිය යුතු කිසිවක්‌ නොලැබෙන හෙයින් හා නොලැබිය යුතු සියල්ල ම ලැබෙන හෙයින් මම මද්‍යසාර පානය නොකරන්නෙමි" යි හෙතෙම පිළිතුරු දුන්නේය.

"හොඳයි, එවිට ඔබ මද්‍යසාර පානය නොකරන්නෙකැ යි කියා ඔබේ යහළුවන් ඔබ කොන් කරන විට - ඔබ තනිකරන විට ඔබට දුකක්‌ සිතෙන්නේ නැති දැ" යි ඔහු නැවත ප්‍රශ්න කළේය.

"මා උපන්නේ තනියම යි. මා කෙදිනක හෝ මිය යන්නේ ද තනියම යි. දවසේ වැඩි වෙලාවක්‌ මා කයින් හා මනසින් ජීවත් වන්නේ ද තනියම යි. එසේ වූ මා මගේ යහළුවන් කිහිපදෙනකු හමුවේ තවත් පැය කිහිපයකට තනි වූවාට දුක්‌ වන්නේ මන්ද?" මේ ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුර යි.
(දිවයින  ඉරිදා සංග්‍රහය , 15-05-2011 )

මෙයට තවත් යමක් එකතු කෙරන්නේ නම් එය මෙසේ විය යුතු යි සිතේ. "එවන් කාලකන්නි පාපතර අසත් මිත්‍රයන් මා කොන් කිරීමම , ඔවුන් ගේ ආශ්‍රයෙන් බැහැර කිරීමම මට ලැබුන ඉමහත් භාග්‍යයක් කොට සලකමි. එවන් අසත් මිත්‍රයන් ඇසුර නොලබා ලබන පැය කිහිපයද ජීවිතයේ ලැබූ ලාභයකි.

තම මිත්‍රයාගේ ප්‍රතිපත්තිනට ගරු නොකරන , සුරාවෙන් සතුට සොයන , උතුම් වූ කිසිදු බුද්ධිමතෙකු විසින් ඝර්භා නොකරන ලද්දාවූ ප්‍රතිපත්තිනට ඝර්භා කරන එවන් පාපතරයන් කෙලෙස මිතුරන් විය හැකිද ?. ජීවිත ගමනේ පරිහානියට හේතුවන්නා වූ ඔවුන් මිත්‍ර ප්‍රතිරුපක සතුරන් ලෙස සලකා දුරින්ම දුරු කල යුතු වන්නේය."


දිවයින හි පලවූ මෙම ලිපියෙහි තවත් වැදගත් කරුණු බොහෝවක් ඇතැයි  සිතුනු හෙයින් මෙහි උපුටා පල කරන්නට සිතුනි.

සැබවින් ම කිහිපදෙනෙකු එක්‌ ව මද්‍යසාර පානය කළා වුව, මද්‍යසාර පානය කරන්නේ ද එකිනෙකා වෙන වෙන ම ය. එබැවින් එහි ඇත්තේ ද මතුපිටින් පෙනෙන එක්‌වීමක්‌ පමණි. ඉන්පසු ව ඔවුන් මත් වන්නේ ද වෙන වෙන ම තනිව ය. මද්‍යසාර නිසා ඇතිවන තාවකාලික හෝ දීර්ඝකාලීන කායික සහ මානසික අපහසුතාවන්සේ ම විවිධ රෝගාබාධ හා අනතුරු නිසා ඔවුන් රෝහල්ගත ව දුක්‌ විඳින්නේ ද තනි තනිවය. එසේ බොහෝ දුක්‌ විඳ අවසන මිය යන්නේ ද තනිවය. මද්‍යසාර පානය කිරීමට එකතු වූ කිසිවෙක්‌ එකී අපහසුතා - කරදර දුක්‌ කම්කොටොළු බෙදා හදා ගැනීමට නම් එක්‌ නොවෙති. එසේ එක්‌වීමට කිසිවකු ඉදිරිපත් වන්නේ වුව ඔහුට කළ හැකි දේ ද ඉතා අල්ප ය. හේතුව තනි ව උපන් පුද්ගලයා තමා කැමැති වුව අකමැති වුව බොහෝ විට ලොව ජීවත් විය යුත්තේ තනි ව නිසා ය.

මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය කටයුතු සඳහා යොමුකරන රෝගීන් ඉතා බහුල වන අවස්‌ථා තුනක්‌ වසරකට වේ. එනම් දෙසැම්බර් 31 සහ ඊට පසු දින කිහිපය, අප්‍රේල් අලුත් අවුරුදු සමය, දෙසැම්බර් නත්තල් සමය ඒ අවස්‌ථා තුන යි. මේ අවස්‌ථා තුනේ දී මාර්ග රිය අනතුරු-හදිසි අනතුරු-අඩ දබර ගහගැනීම් හා කපා කොටා ගැනීම් ඉතා බහුල ව සිදු වේ. මේ කාල වකවානු තුනම මෙරට උත්සව සමයන් වන හෙයින් සමාජයේ මද්‍යසාර පානය වැඩිවීම එයට ප්‍රධාන ම හේතුවයි, එසේ ම වෙසක්‌ හා පොසොන් සමයේත් විශේෂයෙන් මහනුවර ඇසළ පෙරහැර සමයේත් එසේ අධිකරණ වෛද්‍ය කටයුතු සඳහා යොමුකරන රෝගීන්ගේ සුවිශාල අඩුවක්‌ දක්‌නට ලැබේ. එයට හේතුව මද්‍යසාර ශාලා දින කිහිපයක්‌ වසා තැබීම නිසා පෙර කී සිද්ධීන්ගේ විශාල අඩුවක්‌ සිදු විම යි. සමාජයේ සිදුවන ඉහත අපගාමී සිද්ධීන් සහ මද්‍යසාරයෙහි ඇති සෘජු සම්බන්ධය මින් ඉතා පැහැදිලි වේ.

මද්‍යසාර නිසා සෘජු ව ම හෝ වක්‍රව හෝ සිදුවන අනතුරු, ප්‍රකෝපකාරී ක්‍රියාවන් නිසා සමාජයේ සිදුවන ගැටුම් සහ රෝගාබාධ හේතුවෙන් රෝහල්ගතවන තුවාලකරුවන්ට - රෝගීනට අහිමි වන්නේ රෝහලේ රැඳී සිටින දින ගණන පමණක්‌ නොවේ. තම ජීවිත ද, ඇතැමුනට අත් පා ආදී අවයව ද තවකෙකුට තම රැකියාව ද දූ-පුතුන්-මවුපියන්-සොයුරන් අඹු-සැමියන් ඇතුළු හිතවතුන් පමණක්‌ නොව මිල මුදල්-ගේ-දොර-ඉඩකඩම් ද ඇතැම් විට අහිමි වේ.

වසර කිහිපයක්‌ තමා ආදරය කළ තරුණියක සමග විවාහ ගිවිසගත් විසිහය හැවිරිදි තරුණයෙක්‌, ඔවුන්ගේ විවාහ උත්සවයේ ආරාධනා පත්‍ර බෙදීම සඳහා තම යතුරු පැදිය පදවමින් සිටියේය. අතරමගදී තම යහළුවන්ගේ ඉල්ලීම මත නැවතී, ඔවුන් සමග හෙතෙම මද්‍යසාර පානය කළේ ය. බීමත් වූ ඔහු එහෙයින් ම අධික වේගයෙන් යතුරු පැදිය අපරික්‍ෂාකාරී ව පදවාගෙන ගොස්‌ වෑන් රියක ගැටී පෙරලුණි. අනතුර වළක්‌වා ගැනීමට ප්‍රයත්න දැරීම නිසා වෑන් රිය ද මාර්ගයෙන් ඉවතට පෙරලුණි. ඔහුට ද අනතුරට පත් වෑන් රියේ සිටි අයට ද බරපතල තුවාල සිදු විය. තරුණයා රෝහල්ගත කෙරිණ.

ශල්‍යකර්ම කිහිපයකින් පසු දැඩි සත්කාර ඒකකයට ද ඇතුළත් කරනු ලැබූ ඔහු නැවතත් වාට්‌ටුවට ගෙන එනු ලැබිණි. ඔහු සිටියේ විකෘති වූ සිහියකිනි. වරෙක වාට්‌ටුව දෙවනත් කරමින් ඔහු කෑගැසුවේ ය. වාට්‌ටුවේ සිටි අනෙක්‌ රෝගීනට ද කාර්ය මණ්‌ඩලයට ද ඉන් මහත් අපහසුතා ඇති විය. එහෙයින් ඇතැම් විට ඔහු ඔවුනගේ පරිභවයට ද ලක්‌විය. තමා බැලීමට ආ කිසිවකු හඳුනා ගැන්මට ඔහුට සිහියක්‌ නොවීය. ඒ අතර තරුණයා බලන්නට ආ ඔහු හා විවාහ ගිවිසගත් තරුණිය උදේ-දහවල හා හවස ඔහු ළඟට ම වී වේදනාභරිත ව හැඬූ කඳුළින් සිටිනු දක්‌නට ලැබිණි, තරුණයා සුවපත් නොවුණහොත් තමා සියදිවි නසාගන්නා බව ඇය තෙපළා ය. දෙදෙනාගේ ම නෑදැ-හිතමිතුරෝ ඔහු බැලීමට රෝහලට නිරන්තරයෙන් පැමිණෙන්නට වූහ.

මෙසේ දින-සති ගෙවෙන්නට විය. තරුණයා විකෘති සිහියත් ප්‍රකෘති සිහියත් අතර අධික වේදනා විඳිමින් කෙමෙන් සුවපත් වන්නට විය, තම ශරීරයට සිදු ව ඇති තුවාල හා බෙලහීනතාව පිළිබඳ ව හෙතෙම දැඩි වේදනාවටත් - කලකිරීමටත් පත් විය. ඔහු මද්‍යසාර පානය කොට තම යතුරු පැදිය පදවා සිදු වූ අනතුර සහ ඉන් තමා පත් ව ඇති විපත පිළිබඳවත් තමාගේ අනාගතය පිළිබඳවත් කතා කරන්නට විය. ඔහුට අස්‌වැසිල්ලක්‌ වූයේ තමා හා විවාහ ගිවිසගෙන සිටි තරුණිය තමා සමග සිටීමත්, තමාගේ සුවදුක්‌ බැලීමට රෝහලට පැමිණි නෑදැ - හිතමිතුරනුත් ය.

තව සති කිහිපයක්‌ ගත විය. තරුණයා බැලීමට ආ පිරිස අඩුවන්නට විය. රෝහල්ගත වන විට තරුණයාට තිබූ පෘෂ්ටිමත් සිරුර බොහෝ බෙලහීන කෘශ සිරුරක්‌ බවට පත්වෙමින් තිබිණි. තවත් මාස කිහිපයකින් ස්‌ථිර ව නොතිබූ ඔහුගේ රැකියාවට වෙනත් අයකු බඳවා ගැනීම නිසා ඔහුට රැකියාව අහිමි විය.

ඔහුගේ එක්‌ පාදයක අස්‌ථි කිහිපතැනකින් දරුණු ලෙස කැඩී බිඳී යැම නිසා ඒ පාදය සදාකාලිකව ම කෙටි ව තිබිණි. එය දැනගත් ඔහු හා විවාහ ගිවිසගෙන සිටි තරුණිය ඔහු මගහරින්නට වූ අතර තවත් සති කිහිපයක්‌ ගත වන විට ඇය රෝහලට නැවත නොආවා ය. තවත් මාස කිහිපයකින් තරුණයාගේ මිතුරෙක්‌ රෝගී තරුණයාට ආරංචියක්‌ ගෙනාවේ ය. එනම් තරුණිය වෙනත් පුද්ගලයකු හා හදිසියේ විවාහ වූ බව යි. එම ආරංචිය ලද සැණින් තරුණයා වික්‍ෂිප්ත විය. දින කිහිපයක්‌ ගතවන තුරු ම ඔහු හැඬුවේ ය. කිසිවකු හා කතා බහ නොකළේ ය. ඔහුගේ මුහුණේ හෝ සිරුරේ කිසිදු ප්‍රාණයක්‌ දිස්‌ නොවී ය.

ඒ වන විට සතියකට වරක්‌ හෝ දෙවරක්‌ ඔහු බැලීමට පැමිණියේ ඔහුගේ මහලු මව හෝ පියා පමණි. ඔහුට මුළුමනින් ම රෝහලෙන් සැපයුණු ආහාරවලින් පමණක්‌ යෑපෙන්නට සිදුවිය. ඒ වන විට බීමත් ව යතුරු පැදියක්‌ පදවා රිය අනතුරක්‌ කිරීම සම්බන්ධ ව පොලිසිය විසින් ඔහුට විරුද්ධ ව නඩු පවරා තිබිණි. එසේ තවත් මාස ගණනාවක්‌ ප්‍රතිකාර ලැබූ තරුණයා දිනක්‌ ඒ වන විටත් සම්පූර්ණ සුවය නොලද කෙටි වූ සිය කකුල ඔසවාගෙන කිහිලිකරු දෙකක වාරුවෙන් ඔහුගේ මහලු පියා සමග රෝහලින් නික්‌ම යනු දක්‌නට ලැබිණි.

තම යහළුවන් කිහිප දෙනෙකුගේ ඉල්ලීමට අනුව ඔවුන් හා එක්‌ව පානය කළ මද්‍යසාර වීදුරුවක්‌ විසින් ඔහුගේ ජීවිතය මුළුමනින් ම වෙනස්‌ කෙරිණි. මාස කිහිපයකට පෙර තාරුණ්‍යයේ මහත් අභිමානයෙන් නිදහසේ යතුරු පැදිය පැද වූ කඩවසම් තරුණයා රැකියාව ද තමා පෙම් කළ තරුණිය ද අහිමි කරගෙන එකී යතුරුපැදිය පැද වූ තම සිරුර කිහිලිකරු දෙකකට වාරු කරගෙන, එතෙක්‌ තමා දරා ගෙන ලෝකයේ තමා රැගෙන ගිය පය තමා ම ඔසවාගෙන යන සදාකාලික ආබාධිතයකු බවට පත් විය. එමෙන් ම වසර ගණනාවක්‌ පුරා ඇසෙන මාර්ග රිය අනතුරු නඩුවක විත්තිකරු ද විය.

මෙම තරුණයාගේ බීමත්කම නිසා ඔහුට නොලැබිය යුතු ව තිබූ බොහෝ දේ ලැබිණි. ලැබිය යුතු ව තිබූ බොහෝ දේ නොලැබිණි.

මද්‍යසාර හේතුවෙන් රෝහල්ගතවන රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රජයට වාර්ෂික ව වැය වන මුදල් සම්භාරය අතිවිශාල ය. එම මුදල් මෙරට ජනතාවගේ මුදල් ය. මෙරට ජනතාවගේ සුබ සාධනය සඳහා වැය කළ හැකි මුදල් ය. මෙකී මුදල අවම කරගත හැකි නම් එකී මුදලින් මෙරට ජනතාවගේ සුබ සාධනය සඳහා තව බොහෝ දේවල් කළ හැකි ය. එහෙයින් මද්‍යසාර පානය කරන්නන් විනාශ කරගන්නේ තමන්ගේ ජීවිත පමණක්‌ නොවේ. ඔවුහු මද්‍යසාර පානය කොට මත්ව කරන ක්‍රියා හේතුවෙන් අනුන් ද විපතට පත් කරති තම පවුලේ හිතාදරයන්ගේ ද කාලය, මුදල් හා ශ්‍රමය විනාශ කරති. රටේ ආර්ථිකය ද එහෙයින් මුළු රට ම ද විනාශ කරති.

බටහිර විද්‍යාවේ දී මද්‍යසාර,  එතිල් ඇල්කොහොල් නමින් රසායන විද්‍යානුකූල ව හැඳින්වෙයි. එහිදී මෙම ද්‍රවනය හඳුනාගනු ලබන්නේ "අඩපණකාරකයක්‌", "නිද්‍රකාරකයක්‌" සහ "ප්‍රබල ඇබ්බැහිකාරකයක්‌" ලෙස ය. යම් සතෙකුට මද්‍යසාර දුනහොත් ඌ කරන්නේ පසෙකට වී නිදා ගැනීම යි. හේතුව උගේ ස්‌නායු පද්ධතිය අඩපණ ව ඌ නිද්‍රවට පත් වීම යි. එහෙත් මිනිස්‌ සමාජයේ මුල සිට ම මද්‍යසාර යනු අඩපණ කරන්නකි - නිද්‍රගත කරන්නකි යන්න සමාජගත නොකළ හෙයින් හා එය පානයක්‌ ලෙසින් සමාජගත කළ හෙයින් මද්‍යසාර පිළිබඳ මෙකී සත්‍යය යටපත් විය. අද ද සමාජයේ බහුතරයක්‌ එය නොදනිති. මද්‍යසාරවලට ඇබ්බැහි වූ පුද්ගලයා කවර වෘත්තිමය හෝ දැනුම් හෝ සමාජ මට්‌ටමක සිටින්නේ වුව හෙතෙම ජීවත් වන්නේ මහමග වේවා, පැල්පතක වේවා, මහ මන්දිරයක වේවා, ඔහුගේ ජීවිතයේ පළමු තැන, ප්‍රමුඛ ඉල්ලීම හා ජීවිතයේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ මද්‍යසාර ය. මද්‍යසාර ඔහුගේ ධනය, බලය, ශක්‌තිය, දැනුම, පුරුෂාර්ථ, දර්ශනය, ල-ජාව, බය, ආගමික නැඹුරුව හා ඔහුගේ මව්-පිය, සොයුරු-දූ-දරු-හිත-මිතුරු සමාජ ආදරය ක්‍රම ක්‍රමයෙන් බිලිගනියි. අවසන හෙතෙම මද්‍යසාරය ම සියල්ල කොටගත් ශක්‌තියෙන් තොර වූ නිවට, නියාලු හිස්‌ මිනිස්‌ හපයක්‌ බවට පත් කරයි.

මද්‍යසාර මගින් මිනිසාගේ ස්‌නායු පද්ධතිය අඩපණ කරන හෙයින් රථ වාහන පැදවීමේ දී බීමත් රියෑදුරන්ගේ ප්‍රතික්‍රියා කාලය දිගු වෙයි. එහෙයින් මාර්ගයේ දී යම් යම් ක්‍ෂණික අවස්‌ථා-බාධා අනුව තීරණ ගැනීම ප්‍රමාද වෙයි. ප්‍රතිඵලය රිය අනතුරු ය. රියෑදුරකු හෝ රථයේ ගමන් කරන වුන් හෝ මාර්ගයේ ගමන් කරන වුන් හෝ එවන් අනතුරකට ලක්‌විණි නම් ඉන් ඔහු හෝ ඇය හෝ ඔවුහු ආබාධිත වෙත් නම් හෝ මිය යා නම් හෝ ඔවුන්ගේ පවුල් නඩත්තු කරන එක ම පුද්ගලයා ඔවුන් නම් ඉන්පසු එකී පවුලට සිදුවන්නේ කුමක්‌ ද? එකී පවුලේ මවුපිය - දූ දරු - සොයුරු සොයුරියනට සිදුවන්නේ කුමක්‌ ද? සියල්ල කඩා බිඳ වැටීම නොවේ ද? එය සමාජ ව්‍යසනයක්‌ නොවේ ද? සමාජ ව්‍යසනයකින් හානි සිදුවන්නේ එක්‌ පුද්ගලයකුට - පවුලකට පමණක්‌ නොව මුළු මහත් සමාජයටමය ලෝකයටමය.

මද්‍යසාර භාවිතයෙන් පසු සිදුකරන ප්‍රචණ්‌ඩ ක්‍රියා, දූෂණ, මිනීමැරුම් ආදිය නිසා ද රථ - වාහන අනතුරු නිසා ද පොලිසිය විසින් එකී පුද්ගලයන්ට විරුද්ධ ව නඩු පවරා උසාවියට ඉදිරිපත් කරනු ලැබෙයි. ඇතැම් විට බොහෝ දීර්ඝ කාලයක්‌ එකී නඩු උසාවි හමුවේ ඇසෙයි. එහි දී එකී පුද්ගලයනට තව දුරටත් අහිමි වන වටිනා කාලය, ශ්‍රමය හා මුදල් අතිවිශාල ය. නඩු ඇසීමෙන් පසු නීතිය හමුවේ වැරදිකරුවන් වන පුද්ගලයනට, රජයට දඩ ගෙවීමට ද, ඇතැම් විට සිර දඬුවම්වලට ලක්‌වීමට ද සිදු වේ. මේ සියල්ලට හේතුව මද්‍යසාර වීදුරුවක්‌ හමුවේ පුද්ගලයකු සතු දැනුම, අවබෝධය. පාලනය, ශික්‍ෂණය. පිටකොන්ද හා පුරුෂාර්ථ දිය කර හැරීම නොවේ ද? මද්‍යසාර වීදුරුවකට තම මුළු අනාගතය ම, තමන් ආදරය කරන සියල්ල සහ තම ජීවිතය බිලිදීම නොවේ ද? මද්‍යසාර ශරීරයට ඉතා විෂ හෙයින් එය ශරීරගත වූ වහා ම ඉන් යම් ප්‍රමාණයක්‌ මද්‍යසාර ලෙසින් ම මූත්‍ර මගින්, දහඩිය මගින් හා ප්‍රශ්වාස වාතය මගින් පිටකෙරේ. බීමත් පුද්ගලයන්ගේ මූත්‍රවල ද ඔවුන් ළඟ ද මද්‍යසාර දුගඳ වහනය වන්නේ එහෙයිනි.

ඇතැම් නව යොවුන් තරුණයෝ තම පිරිමිකම විදහා දැක්‌වීමේ හා සමාජශීලිත්වය හෝ සමාජගතවීමේ හැකියාව පෙන්වීමට මද්‍යසාර පානයට පෙළඹෙති. ඇතැම් දෙමවුපිය - නෑදැ - හිතමිතුරෝ ද එය නව යොවුන් තරුණයකුගේ පිරිමි බව පෙන්වීමේ අහිංසක ප්‍රයත්නයක්‌ ලෙස ඉතා සැහැල්ලුවෙන් දකිති. එයට විරෝධය නොපා නිහඬ වෙති.

මිනිසාගේ පිරිමි බව ඇතිකර එය පවත්වාගෙන යනු ලබන්නේ "ටෙස්‌ටොස්‌ටෙරොන්" නමැති හෝර්මෝනය මගිනි. එයට ප්‍රතිපක්‍ෂ හෙවත් ස්‌ත්‍රීත්වය ඇතිකර පවත්වාගෙන යනු ලබන හෝර්මෝනය ඊස්‌ට්‍රජන ය. එහෙත් පිරිමි සිරුරක්‌ තුළ ද මෙකී ඊස්‌ට්‍රජන හෝර්මෝනය කිසියම් මට්‌ටමකින් නිපදවෙන අතර එය විනාශ කරනු ලබන්නේ අක්‌මාවේ සෛල මගිනි. පිරිමියකු දීර්ඝකාලීන ව මද්‍යසාර භාවිත කිරීමෙන් ඔහුගේ අක්‌මා සෛල විනාශ වන හෙයින් සිරුර තුළ නිපදවෙන ඊස්‌ට්‍රජන් හෝර්මෝනය විනාශ කිරීමේ කාර්යය අඩපණ වේ. එවිට ඊස්‌ට්‍රජන හෝර්මෝනය එකී පිරිමි සිරුරේ ක්‍රියාත්මක වෙමින් ස්‌ත්‍රී ලක්‍ෂණ ඇතිකරයි. එනම් පිරිමියාගේ සමේ රෝම හැලීම, සම සිනිඳු වීම, පියයුරු විශාල වීම සහ ශ්‍රොණියේ රෝම  ස්‌ත්‍රියකගේ ශ්‍රොණියේ රෝම පිහිටීමේ ආකාර ගැනීම ආදි වශයෙනි.

නව යොවුන් තරුණයකුගේ පිරිමි ගති පෙන්වීම, හෙතෙම පිරිමියකු ලෙස සමාජගත කිරීම හෝ සමාජශීලී පෞරුෂත්වය වැඩි පිරිමියකු කිරීමේ අදිටනින් මද්‍යසාර පානය යොදා ගැනීමේ මහා ඛෙදවාචකය නම් ඔහු දීර්ඝකාලීන ව මද්‍යසාර භාවිතයට අබ්බැහි වී පිරිමියකු නොවන පිරිමියකු හෙවත් කාන්තා ලක්‍ෂණ සහිත පිරිමියකු වීම යි. මද්‍යසාරය මෙරට හෝ පිටරටින් ගෙන්වන ලද ඉස්‌තරම් නමකින් යුක්‌ත වුව ද එය එන්නේ පොලිතීන් පැකට්‌ටුවල හෝ විවිධ වර්ණ - හැඩතල ඇති බෝතල්වල හෝ වුව ද පානය කෙරෙන්නේ මහපාරේ, සඳළුතලයක, ඉහළ ම හෝටලයක හෝ වටිනා මේසයක්‌ මත, පොල්කට්‌ටක, පොලිතීන් බෑගයක හෝ වටිනා බඳුන්වල වුව මද්‍යසාර, මද්‍යසාර ම ය. එය පානය කරන පුද්ගලයාගේ අක්‌මාව, මොලය ප්‍රධාන ස්‌නායු පද්ධතිය, වකුගඩු, මාංස පේශී, අග්න්‍යාශය, අන්නස්‍රොතය (ගලනාලය) සහ අන්ත්‍ර ආදි සියලු ම අවයවවලට හානිකර කවර හෝ මොහොතක දුක්‌ත මරණයක්‌ ගෙන එයි.

ශෘහස්‌ථ ව නිපදවා පැකට්‌ වශයෙන් බෙදාහරිනු ලබන එක්‌තරා මද්‍යසාරයක සැරගතිය වැඩිකිරීම සඳහා යෑයි කියමින් එකී මද්‍යසාරය නිෂ්පාදනය කරනු ලබන අවස්‌ථාවේ දී එය නිපදවන්නන් විසින්  වල්පැළෑටි නාශකයක්  එකතු කරනු ලබයි. එක  විවාහ උත්සවයට සහභාගි වී එකී මද්‍යසාර පානය කළ මනාල සහ මනමාලිය යන දෙපාර්ශ්වයේ ම පිරිමින් මාස කීපයක්‌ ඇතුළත මිය ගියේය. මනාලියගේ සේ ම මනමාල මහතාගේ සීයලා ද තාත්තලා ද සොයුරෝ ද නෑදැ හිතවත්තු ද ඒ අතර වූහ. එකී විවාහ උත්සවයෙන් මාස කීපයකට පසු මනාලියගේ නිවසේ කුඩා පිරිමි දරුවකු හැර අනෙක්‌ සියලු ම පිරිමි මරණයට පත් වූහ. මනාමාල මහතාගේ නිවසේ මනමාල මහතා හැර අනෙක්‌ සියලු ම පිරිමින් මරණයට පත් වූ අතර මනමාල මහතා එසේ ජීවත් වන්නට වාසනාවන්ත වූයේ එදින ඔහු "මනමාල මහතා" වූ හෙයින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ එකී මධ්‍යසාර පානය නොකළ හෙයිනි.

ලොව කිසිදු ද්‍රවයක්‌ හෝ ද්‍රව්‍යයක්‌ එක ම අවස්‌ථාවේ දී දෙවිදියකට ක්‍රියාත්මක නොවේ. ජලය පිපාසය සංසිඳුවයි පිපාසය වැඩි නොකරයි. ආහාර කුසගින්න දුරුකරයි කුසගින්න වැඩි නොකරයි ආදී වශයෙනි. එහෙත් උත්සව අවස්‌ථාවක දී සතුට වැඩිකිරීම හෝ සතුට පෙන්වීම සඳහා මද්‍යසාර උපයෝගී කරගන්නා මිනිස්‌සු ම දුක්‌බර අවස්‌ථාවක දුක පෙන්වීම සඳහා ද මද්‍යසාර උපයෝගී කර ගනිති. මද්‍යසාරවල මේ උපයෝගීතා දෙක කිසිසේත් ම විද්‍යානුකූල ව හෝ වෙනත් කවර දර්ශනයකට අනුව හෝ වෙනත් මූලධර්මයකින් හෝ පැහැදිලි කළ නොහැකි එකිනෙකට සම්පූර්ණයෙන් පටහැනි උපයෝගීතා දෙකකි. සැබවින් ම මද්‍යසාර යන්න හැඳින්විය යුත්තේ "මිනිසුන්ට සියලු කල්හී සියලු දුක ඇති කරන, දුක වැඩිකරන සහ ජීවිත විනාශ කරන ද්‍රවණය" ලෙස ය. එහෙයින් මද්‍යසාර පානය කිරීම සේ ම මද්‍යසාර පානය කිරීම අනුමත කිරීම හෝ එයට කිසියම් හෝ විරෝධයක්‌ නොදැක්‌වීම යන සියල්ල ම එක සේ වැරැදි ය.

දෙමවුපියන්ගේ - සොයුරු සොයුරියන්ගේ - දියණියන්ගේ සහ ළබැඳි මිතුරියන්ගේ බලාපොරොත්තුව තම පුතා - සොයුරා - පියා හෝ ළබැඳි මිතුරා පෞද්ගලික සහ සමාජයේ පොදු යහ අභිමාතාර්ථ සාක්‌ෂාත් කරන පුතකු - සොයුරකු - පියකු හෝ ළබැඳි මිතුරකු වනු දැකීම නම් හා හෙතෙම සමාජ විරෝධියකු, අංගවිකල වූවකු, රෝගියකු, පිරිමි බව හීනවන්නකු, අකාලයේ මිය යන්නකු හෝ නීතිය හමුවේ වැරදිකරුවකු වනු දැකීම නොවේ නම් ඔවුන් විසින් කළ යුතු වන්නේ කුමක්‌ ද? මද්‍යසාර හා මද්‍යසාර භාවිතය වෙනුවෙන් මීට වඩා සියදහස්‌ වරක්‌ ප්‍රබල විරෝධයක්‌ එල්ල කිරීම යි. ඒ සඳහා පෞද්ගලික ව ක්‍රියා කිරීම යි එක්‌ ව ක්‍රියා කිරීම යි.

කිසියම් සමාජයක ගුණාත්මක බව වැඩි කිරීම සඳහා තම බුද්ධිය, ශ්‍රමය, කාලය හා මුදල් දායකත්වයෙන් කෙරෙන පිංකම් - ශ්‍රමදාන - උත්සව ආදිය කෙළවර වන්නේ මද්‍යසාර පානය කළ කිහිපදෙනකුගේ නොහොබිනා කාය හා වාග් මාලාවන් නිසා ඇතිවන කලබලකාරී, කලහකාරී හා විනාශකාරි ක්‍රියාවන් නිසා දුකෙන්, පීඩාවෙන්, සිත්තැවුලෙන් හා සියල්ල විනාශවීමෙන් නම් බහුතරයක්‌ වූ මිනිසුන් මද්‍යසාර සහ මද්‍යසාරයේ භාවිතය පිළිබඳ ව මුනිවත රැකීම, නිහඬ ව සිටීම හා බොහෝ උදාසීන ප්‍රතිපත්තියක හිඳීම කෙතරම් අවාසනාවක්‌ ද?

විවාහ මංගෙල්‍යාaත්සවයක්‌ යනු "එක්‌ වීමක්‌" හෙයින් එහි දී මිනිසුන් "වෙන් කරන" මද්‍යසාර භාවිත කිරීමට ඉඩ දෙන්නේ මන්ද? උපන්දින සාදය "ඉපදීමක්‌" නිසා ඇතිවන සතුටක්‌ නිසා පවත්වන්නේ නම් "මරණය" ගෙන දෙන මද්‍යසාර එම සාදයේ ප්‍රධාන ම අංගය වන්නේ කෙසේ ද? පිරිත සහ පිංකම "පිං පිරවීම" සඳහා කරන ආගමික උත්සව නම් එහි දී සියලු "පව් රැස්‌කිරීමට" හේතුවන මද්‍යසාරවලට ඉඩක්‌ වෙන් වන්නේ කෙසේ ද?

මරණය යනු අප අතර හුන් අයකු මෙලොවින් නික්‌ම යන සංවේගජනක අවස්‌ථාව නම් ඔහුගේ ගුණ සිහිකර ඔහුට "පිංපෙත්" අනුමෝදන් කිරීමට සිහියෙන් සිටිය යුතු ම අවස්‌ථාවක අවසිහිය ම ඇතිකරන මද්‍යසාරවලට ම එහි ඉඩ වෙන් වන්නේ කෙසේද?

චාරිකාව යනු සොබාදහමේ නිර්මිතයන් - මිනිසුන්ගේ කලාකාමීත්වයේ සහ චින්තනයේ අප්‍රතිහත ධෛර්යයේ පිළිබිඹුවන් නැරඹීම සඳහා යන ගමනකි, එය නෙත්-සිත්-හදවත් හොඳින් විවර කරගෙන ඒවා දැක බලා තම ජීවිතයේ නිම් වළලු පුළුල් කරගත යුතු අවස්‌ථාවකි, එහෙත් කය - මනස නිද්‍රවට පත්කර, හදවත වසා තබන මද්‍යසාර චාරිකාවක දී භාවිත කරන්නේ කවර හේතුවකට ද? එවන් චාරිකාවල දී නෙතින් - සිතින් හා කයින් ජලයෙහි සුන්දරත්වය - සිසිලස - පහස දකිනු හා විඳිනු විනා එහි කිසිවක්‌ විඳගත නොහැකි වන පරිදි මද්‍යසාරයෙන් මත් ව ජලයෙහි සැඟ ව ඇති "මරණය" වෙත යන පුද්ගලයන් කොපමණ නම් පිරිසක්‌ ගැන නිරන්තරයෙන් අපට-අසන්නට දකින්නට ලැබේ ද?

ක්‍රි.ව. 1505 වන විට "මම මදයට සහ ප්‍රමාදයට හේතුවන මද්‍යසාරයෙන් වළකිමි" යි යන ශික්‍ෂා පදය ඉතා ඉහළින් අගය කළ සහ සුරකින්නට උත්සාහ කළ සමාජයක්‌ අපට තිබිණ. මද්‍යසාර භාවිත කළ යම් යම් අවස්‌ථා තිබුණේ වුව ද එය කිසිසේත් ම සමාජගත මද්‍යසාර භාවිතයක්‌ නම් නොවී ය. බුදුදහමේ ආභාසයෙන් නිවන අරමුණු කරගත් එකී සමාජයට මද්‍යසාර මහා පරිමාණයෙන් හඳුන්වා, හුරු කොට මද්‍යසාරය අරමුණු කරගත් සමාජයක්‌ බවට පත්කරන ලද්දේ පිං-පව් හෝ නිවන පිළිබඳ ව කිසිදු අවබෝධයක්‌ නොතිබූ අප රටට ආක්‍රමණිකයන් ලෙස පැමිණි බටහිර ජාතීන් විසිනි. මද්‍යසාර පිළිබඳ ව මෙරට අද ඇති සමාජ තත්ත්වය හා භාවිතය මුළුමනින් ම අප සමාජයට බලෙන් පටවන ලද්දේ ඔවුන් විසිනි. ඉන් ඔවුනගේ අරමුණ වූයේ මෙරට සමාජයේ බුදුදහමේ ආභාසයෙන් පැවැති ශක්‌තිය - සංස්‌කෘතිය - දැක්‌ම සිතීමේ හා ක්‍රියා පිළිවෙත් බිඳ දමා දීන - හරසුන් සමාජයක්‌ ඇති වූ පසු, ඔවුනට ඇවැසි පරිදි අප සමාජය නතු කර ගැනීම ය. සමාජයක්‌ වශයෙන් මද්‍යසාර පිළිගෙන අප ඔවුනට නතු වීම අප කළ මහත් වරදකි.

ඉංග්‍රීසීන් විසින් වර්ෂ 1815 දී අප රට මුළුමනින් ම ඔවුනගේ යටත් විජිතයක්‌ කර ගත් මුත් අප සමාජයේ චින්තනය සහ ක්‍රියා පිළිවෙත් ඔවුනට අවශ්‍ය පරිදි නතු කරගැනීමට නොහැකි විය. ඒ පිළිබඳ ව සොයා බැලූ ඔවුහු බුදුදහම - ගම - පන්සල - භික්‍ෂුව හා ගිහි සමාජය බැඳ තිබූ "රන්හුය" එයට හේතුව බව දුටුවහ. එකී "රන්හුය" බිඳ දැමීමේ බිහිසුණු ආයුධයක්‌ ද ඔවුහු සොයා ගත්හ. එකී ආයුධය වූ කලී "මද්‍යසාර යි".

පළමු ව ඔවුහු සමාජයේ මද්‍යසාර ව්‍යාප්ත කළහ. එහෙත් අප සමාජය එයට නතු නොවිණි. එවිට ඔවුහු මද්‍යසාර මිනිසුන්ට නොමිලේ දෙන්නට වූහ. කල්යත් ම සමාජය මද්‍යසාරයට හුරු වූ විට සමාජයේ මද්‍යසාර තව තවත් ව්‍යාප්ත කර මද්‍යසාර භාවිතය සමාජගත කෙරිණි. ඔවුන් විසින් අප සමාජයේ පැවැති තත්ත්වය බිඳ දැමීම සඳහා යොදාගන්නා ලද ආයුධය කෙතරම් බිහිසුණු ද හා අද වන විට එහි ප්‍රතිඵලය කුමක්‌ ද යන්න ඉතා පැහැදිලි ය. දුරාතීතයේදී ද ලෝකයේ ඇතැම් රාජ්‍ය, ශිෂ්ටාචාර, සභ්‍යත්ව සහ සංස්‌කෘතීන් එලෙස බිඳ වැටීමට ප්‍රධාන හේතුව මද්‍යසාර බවට හඳුනාගෙන තිබේ. සිංහල රාජාවලියේ අවසන් රජතුමාගේ - මද්‍යසාර ඇබ්බැහිය විසින් චිරාත් කාලයක්‌ පැවැති සිංහල රාජධානියේ එකී පැවැත්මට නැවතුම් තිත තැබිණි. එහි ප්‍රතිඵලය වූයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව මුළුමනින් ම වෙනත් ජාතියකට යටත් වීම ය. ස්‌වාධීන ජාතියක, සංස්‌කෘතියක හා රාජ්‍යයක පරාධීනත්වයට ප්‍රධාන ම හේතුව මද්‍යසාර වීම, මද්‍යසාර කෙතරම් විනාශයක්‌ කරන්නේ ද යන්නට කදිම උදාහරණයකි.

අප සමාජයේ බහුතරයක්‌ වන නැණවත්, අවංක දැක්‌මක්‌ ඇති රටට-ඇයට-තම දහමට හිතැති මිනිසුන් මේ පිළිබඳ ව වහ වහා නැවත නැවත සිතිය යුතු වේ. එය වැළැක්‌වීම සඳහා පෞද්ගලික වද පොදුවේ ද තමාට කළ හැකි යමක්‌ වේ නම් එය කළ යුතු වේ. දැනටමත් යමකු මද්‍යසාර භාවිත කරන්නේ නම් එය නැවැත්වීම, සමාජය ද ඉන් මුදා ගැනීමට දැනුවත් කිරීම හා ක්‍රියා කිරීම ආදිය කළ හැකි දේ ය.

ගෞතම බුදුන් වහන්සේ පහළ වන විට ද භාරතීය සමාජය තුළ මද්‍යසාර පානය කිරීම වැරදි ක්‍රියාවක්‌ ලෙස සමාජගත ව තිබිණ. බොහෝ විට දුක ම-සැප ලෙසත් නොහොඳ ම හොඳ ලෙසත් අධර්මය ම - ධර්මය ලෙසත් ගත් දීර්ඝ වූ සසර ගමනක, යෙදෙන පුහුදුන් මිනිස්‌සු මද්‍යසාරයෙනුත් තවදුරටත් මත්වී නිවන් මග වෙත යැමෙන් බැහැර වනවා පමණක්‌ නොව මෙලොව ජීවිතයේ ද මහත් අවුල් වියවුල් ඇතිකර ගනිති. සමාජගත ව තිබූ එකී මද්‍යසාරයෙන් වැළකීමේ ක්‍රියාව අනුමත කළ බුදුන්වහන්සේ එය ශික්‍ෂා පදයක්‌ ද කර ඉන් වැළැකීම ඉතා යෙහෙකැයි වදාරා තිබීමෙන් පැහැදිලි වන්නේ එය යි.

ගෞතම බුදුන්වහන්සේගේ විග්‍රහය වූයේ මද්‍යසාර මදයට හා ප්‍රමාදයට හේතු වන බව ය. මදය යනු මත්වීම යි. ප්‍රමාදය යනු එසේ මත්වීම නිසා සිහියෙන් තොර ව ලෝකයේ තතු ඇති සැටියෙන් නොදැන-නොදැක අනවබෝධයෙන් කටයුතු කිරීම යි. යමකුගේ මෙලොව ජීවිතය සියලු අතින් පිරිහීම ද එහෙයින් සංසාර ගමන තව තවත් දිගු වීම ද නිවන තවදුරටත් ඈත් වීම ද එහි ප්‍රතිඵලය යි. බුදුන්වහන්සේගේ අවසන් උපදේශය ද වූයේ අප්‍රමාද ව නොපමා ව කටයුතු කරන ලෙස ය. එහෙයින් මද්‍යසාර පිළිබඳ ව අද ලෞකික වූ කවර තරාතිරමේ උගත්-නූගත් කවරකු කවර මතයක්‌ දැරුව ද සාධාරණය කළ ද පිළිගත්ත ද ඒ සියල්ල කිසිදු සැලකිල්ලකට ලක්‌ නොකර අපි ප්‍රතික්‍ෂේප කළ යුතු වෙමු. මන්ද අප විසින් පිළිගත යුතු ව ඇත්තේ බුදුවරයකුගේ පිළිගැනීම - අනුමත කිරීම - දේශනා කිරීම සහ අවවාද හා උපදෙස්‌ හෙයිනි. එහෙයින් මද්‍යසාර නිරෝධනය හෙවත් වැළැක්‌වීමේ ඉතා හොඳ ම ක්‍රමය ගෞතම බුදුන්වහන්සේගේ එකී අවවාදය පිළිගැනීම ය. පිළිපැදීම ය එසේ කරන ලෙස සමාජයට ද පැවසීම ය.

මද්‍යසාර පානයේ නොමනා බව ගැන එසේ නිරන්තරයෙන් දේශනා කළ ගෞතම බුදුහිමියෝ මේ සමාජයේ පුද්ගලයන් විසින් සැමවිට ම පානය කළ යුතු සුවිශේෂී එක ම පානයක්‌ පිළිබඳ ව අනුදැන වදාළහ.

"ධම්මෝසධ සමං නත්ථි එතං පිබථ භික්‌ඛවො"

මහණෙනි, ධර්මය හා සම කළ හැකි ඖෂධයක්‌ නැත. එය පානය කරන්න.

වෛද්‍ය ලලිත් විඡේසිංහ - සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී, මහනුවර මහ රෝහල


No comments:

Post a Comment