Saturday, June 30, 2012

වින්දනයේ විවිධ අවස්ථා....

මුල් කාලයේදී සෛල පොදියක්ව ඝර්භාෂ තරලයේ පාවෙමින් කල්ගත කරනා සත්වයා හට කන නාසාදී ඉන්ද්‍රියයන් වර්ධනය වී නොමැති හෙයින් ඒවා පිනවීමේ දුකක් නැත. ක්‍රමයෙන් ඒ ඉන්ද්‍රිය රූපයන් වර්ධනය වී ආ කල්හි හෙතෙමේ කනට ප්‍රියවූ මවගේ ශබ්දයට සවන් යොමු කරයි. ගර්භාෂ තරලය මඳක් පානයකොට රස බලයි. ඇඟිලි උරයි , ඒ මේ අත දෑත ගසමින් පෙකණි වැලත් සමග සෙල්ලම් කරයි. ඒ සිඟිති ම සිඟිති  ආතල්ය.

ඝර්භාශ නිරයෙන් මිදී පිටතට පැමිණ දුව පැන කල් ගත කරනා කාලයේදී ඒ සත්වයාගේ සතුට ගෙන එන්නේ විවිධ වර්ණයෙන් යුත් කෙලි බඩු සමග දැවටීමෙනි. බට්ටා පැනීමෙනි. ළමා ගීත ඇසීමෙනි. මැරිගෝ රවුමෙහි යාමෙනි. සෙල්ලම් ගෙවල් තැනීමෙනි. කෝම් පිට්ටු ඉවිමෙනි. ඒ සිඟිති ආතල්ය.

කරදඬු  උස් වූ කල , කොම්පුටර් ගේම් ගැසීම , ඇඟ කිලිපොලා යන විහිළු , ඉල ඇදෙන සටන් ජවනිකා වලින් යුත් චිත්‍රපටි බැලීම , කෙල්ලන් එන තෙක් බස් හෝල්ට්  වල දැවටෙමින් කල් මැරීම  , ටැබා  ගැසීම , වැල බැලීම , කැහි කූරු ඉරිමාදී කොලු වැඩ ආතල් සහගත දේ වේ. රොක් සහ පොප් ගායකයන් ම  සවන් පිනවීමෙහි සමත් වෙති.

ඉන් පසු කාලයේදී ස්ත්‍රී ශරීර ම , ස්ත්‍රී  පහසම ආතල් දෙය ලෙස පෙනෙන්නට පටන් ගනී. වසර කීපයකට පෙර බට්ටා පැනි කොල්ලා කොටු පැනීමට පිවිසෙයි.  යහළුවන් සමග සංචාරය , ගිනි වතුර පානයෙන් ස්ටෙලා වීමාදිය ඔහුගේ විනෝදාංශයෝ  වෙති. තමන්ම ඉමහත් ආශාවෙන්  වසර කීපයකට පෙර නියැලුණු ක්‍රියාවන් ඉතා ලාමක ටිං ටිං ගණයේ ක්‍රියාවන් ලෙස පෙනේ.

මෝරා ගිය මනසකින් යුත් 40-50 කාලයට පිවිසි කල්හි සත්වයා හට වින්දනයනට  හේතුවන්නේ  කෙලි කොලු පැටවුන් සමග සෙල්ලමය , මුදල් රැස් කිරීමත් එමගින් ලබාගන්නා කාම වස්තුන් හා සමාජ පිලිගැනිමත්ය. ඒවා සැපයීම හා වින්දනය එකල ඔහුගේ විනෝදාංශ  වෙති. ශාස්ත්‍රිය  සංගීතයම කනෙහි වින්දනය වේ.

අවසන් කාලයේදී ඇතැමෙක් පරලොව පිණිස කටයුතෙන් දවසරිති. රොක් පොප් ශාස්ත්‍රීය සංගීතයෙන් පිනවූ සවන් බණ ඇසීමට සුසර වෙයි. සාගත මල්ල රැගෙන මෙතෙක් තමනට ඕෆ් ලිමිට් වූ පන්සල් පල්ලි බඩ ගාති.  කාමයන් අතහැර යාම මොහොතකටදු කල නොහැකි බොහොවෙක් මුනුපුරු මිනිපිරියන් අසල දැවටෙමින් කල් මරති. ඔවුන්ගේ ආතල් එපමණය. මැරී ගොස් නැවත මේ ආතල් චක්‍රය බිංදුවේ සිට පටන් ගනිති.

මෙසේ ජිවිතයේ විවිධ පරිච්චේදයන්හි සිදුවන කැමති දැයෙහි  වෙනස්වීම (change of interests  )  බොහෝ දෙන සලකනුයේ බුද්ධියේ වර්ධනය සමග සිදුවන දෙයක් ලෙසය. එහෙයින් "මොනවාද බන් ඔය කරන ලාමක මෝඩ වැඩ.... ළමා වැඩ කරන්නේ නැතුව ... මේ අපි වගේ ඉදපන්කෝ!  , තොට තියෙන්නේ මහා ලාමක  ටිං ටිං ආසාවල්නේ  ". යි කීම  ඔවුන් කරති. ජිවිතයේ විවිධ කඩ ඉම් වලදී තමන් පෙර කල, කී දෑ ලාමක ලෙස පෙනීම , තමන් දැන් කරනා දැය නියමම දෙය  ලෙස සිතීම/පෙනීම  සත්වයාගේ එක්තරා ස්වභාවයකි.   

නමුත් එතන ඇති බුද්ධි වර්ධනයක් නොව ජිවිතයේ විවිධාකාර අවස්ථාවන්හි (stages) නැග එන   කාම පරිලාහයේ හා සමනයේ විවිධාකාර පරිනාමන අවස්ථාවන් බව  ඔවුන් නොදනිති. සාමාන්‍ය සත්වයෙකුගේ උපන් මොහොත සිට මැරෙන අවස්ථාව දක්වා සිදුවන බුද්ධි වර්ධනය අතිශයින් සීමිත වන්නේය. මෙකල නම් බොහෝ කොට එය වර්ධනය වන්නෙම නැතැයි කිව යුතුය. සත්වයන් බුද්ධි වර්ධනය ලෙස සලකන නා නා දෑ කිරීමේ හැකියාව , බහුශ්‍රුත බව ආදිය බුදිමත් බවේ ලක්ෂණ නොව සඥ්යා නමැති ස්කන්ධයාගේ වර්ධනයයි.

ජිම් ගොස් මහන්සියෙන් පුම්බා ගත් රුප කලාපයෙන් සැදී  මස් පිඬු කලකදී දියවී ගොස් පස්වී ඉදිරි ජිවිතයනට නොයන්නා සේ , ලැබූ අනෙත් දිවියේත් මුල සිටම ජිම් යාමට සිදුවන්නා සේ  ,  සඥ්යා නමැති ස්කන්ධයාගේ වර්ධනයද ඉදිරි දිවියට නොයත්. සෑම කල්හිම හෝඩියෙන්ම  පටන්ගැනීමට සිදු වී ඇත්තේ එහෙයිනි.

දැන් මේ යථා ස්වභාවය දන්නා නුවනින් යුතුව කුඩා දරුවන් ම බොහෝ ප්‍රිය කරනා සින්දුවක් බලමු ... ලාමකයි ? :)

3 comments:

  1. හරි අපූරු සටහනක් නොවැ :)

    ReplyDelete
    Replies
    1. ඔළුවට එන වල් පල් ඔහේ ලියනවා ... එපමණයි හසිත :)

      Delete
  2. Wonderful, jeewithaya vinivida dakina oba vennan, mese ho hamuweema sathutak!

    ReplyDelete