මනමාල මහත්තයාව දුටු භික්‍ෂුවට අතීතයේ සිදුවූ සිද්ධියක් මතකයට පැමිණියා. එදා භික්‍ෂුව ගිහියෙක්. වයස අවුරුදු 30ක් පමණ ඇති. එදා මම සතිඅන්ත පුවත්පතක මංගල දැන්වීමක් පළකළා. විවාහයක් සඳහා. එම දැන්වීමේ එකතැනක මෙහෙම සඳහන් කළා. 'නිහඬ විවාහයකට, ආගම දහමට කැමැති යුවතියක් සොයයි' කියලා. සති දෙකක් පමණ යනකොට විශාල පිළිතුරු ලිපි ගණනක් ලැබුණා. ඉන් තෝරාගත් ලිපි කිහිපයකින් එකකට පිළිතුරු යෑව්වා. මා එහි සඳහන් කළේ, කිසිම විවාහ උත්සවයක් ගන්නේ නැහැ. විවාහය ලියාපදිංචි කරලා අපි අනුරාධපුරයට හෝ කතරගමට ගිහිල්ලා ආගමික කටයුතු කරලා ජීවිතය පටන්ගමු කියලා. ලිපිය අදාළ තැනැත්තියට යවලා සතියකට විතර පස්‌සේ මට පිළිතුරු ලිපියක් ලැබුණා ඇයගෙන්. එය දීර්ඝ ලිපියක්. එහි මුලින්ම මෙහෙම සඳහන් කර තිබුණා.
'ඔබ මහා චපල පිරිමියෙක්. ඔබ තරුණියකගේ බලාපොරොත්තු හඳුනන්නේ නැහැ. ගැහැණු දරුවෙක් වැඩිවියට පත්වුණ දවසේ ඇය බලාපොරොත්තුවක් ඇතිකරගන්නවා. ඒ තමයි ඇයගේ උතුම්ම බලාපොරොත්තුව. ජීවිතයේ එකම සිහිනය. ඒ සිහිනය තමයි, කවදාහරි දවසක නෑදෑයෝ වටකරගෙන මඟුල් සාරි ඇඳලා, පෝරුවට නැගලා, මුදු මාරුකරලා..... මේ සුන්දර සිහිනය හැමදාකම දරාගෙනයි තරුණියක් ජීවත්වෙන්නේ. තරුණියකගේ එම සිහිනය නොහඳුනන මනුෂ්‍යයෙක් ඔබ. ඔබ උත්සහගත්තේ තරුණියකගේ එම සිහිනය මරාදමන්නයි. ඔබගෙන් මෙයට පිළිතුරු ලිපියක්‌වත් බලාපොරොත්තු නොවන්නේ යෑයි ඇය සඳහන් කර තිබුණා.
මේ ලිපිය කියවලා අහවරවෙන විට මාව තුෂ්ණිම්භූත වුණා. ඇත්තටම මම තේරුම්ගත්තා තරුණියකගේ විවාහ උත්සවයක් නමැති ඒ සුන්දර සිහිනය බිඳදමන්නයි මම උත්සහ ගත්තේ කියලා. ඇයත් මමත් අතර අහසයි පොළොවයි වගේ පරතරයක් ඇති බවයි මම දැක්‌කේ. අහසයි පොළොවයි කවදාකවත් එකතුවෙන්නේ නැහැ. ඒ නිසාමයි ඇය පිළිතුරු ලිපියක්‌වත් එවන්න එපාය කියලා සටහන් කර තිබුණේ. මේ ලිපිය කියවලා කරුණු නුවණින් මෙනෙහි කරනකොට අවංකවම මට සතුටක් ඇතිවුණා. ලෝකය සිතනවාට වඩා මම මොනතරම් දුරස්‌වද සිතන්නේ කියලා. ලෝකයාට වඩා දුරස් ආකාරයට හිතන්න මා තුළ තිබුණා වූ දක්‍ෂභාවය නිසාමයි මේ මොහොතේ මා ලෝකයාගෙන් ගොඩාක් දුරස් තැනක ජීවත්වන්නේ....
නමුත් මට හොඳටම විශ්වාසයි මේ මොහොතේ ඇය ජීවත්ව සිටිනවා නම් දරුවන් කිහිපදෙනෙකුගේ මවක් හැටියට මහා දුක් කන්දරාවක් දරාගෙන ජීවත්වෙනවා ඇතිය කියලා. මගේ තිබුණු කුසල් විසින් ඒ අකුසල් වළක්‌වා දැම්මා. මට මේ මොහොතේ ඉන්න තැනට එන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි මා තුළ තිබූ ශ්‍රද්ධාවමයි එදා මාව මේ අනතුරුවලින් බේරුවේ. මගේ අතීත ජීවිතයේ මෙවැනි අනතුරු කිහිපයකින්ම බුදුරජාණන් වහන්සේගේ සරණ විසින් මාව බේරාගෙන තිබෙනවා. මේ ඉන්න තැනට එන්න.... ඒ කියන්නේ මේ සියල්ල අහම්බයක් නොවේ. සංස්‌කාරයන්ගේ ප්‍රතිඵලයන්මයි.....
No comments:
Post a Comment