Sunday, January 27, 2013

පුණ්‍ය ප්‍රාර්ථනා ....

Meditating Buddhist Nun
© El-Branden
බහුතරයක් දෙනෙක් ට පින් කරන තියෙන උනන්දුව , ඕනෑකම ප්‍රාර්ථනාව සම්බන්ධයෙන් නැහැ. දිනේෂ් උන්නැහේ වගේ අය පතුරවන තවත් මතයක් තමයි , පුණ්‍ය කර්මයක් කර ප්‍රර්ථනා කිරීම කෙලෙස් වැඩීමක් ලෙස.

"පින් කමක් කරලා එක එක ප්‍රර්ථනා තියා ගන්න හොඳ නැහැ. ප්‍රර්ථනා කියන්නේ ඉල්ලීම්. ඉල්ලන්නේ ලෝභය නිසා. එක එක ප්‍රාර්ථනාවන් නිසා වෙන්නේ ලෝභය වැඩෙන එකමයි. පුන්‍යකර්මයක් කරලා නිකන් ඉන්න. පුණ්‍යකර්මයේ විපාක අවශ්‍ය වෙලාවට ලැබේවි. ඉල්ලීමෙන් වෙන්නේ භාව ගාමි කෙලෙස් වැඩෙන එකයි."

මතුපිටින් ගත්තහම ඒ කියන කතාවත් ඇත්තයි වගේ පෙනුනත් මතුපිටින් හොඳයි වගේ පෙනෙන බොහෝ දේවල් වගේ ඒකෙත් මදේ හිස්.... විමසා බලමු

පිනක් කියන්නේ මොකද්ද ? භවයේ සැප පිණිස සහ භවය ඉක්මවා ගිය විමුක්ති සැප ලබාගැනීම පිණිස රැස් කරගන්න යම්කිසි ධනයක්. තමන්ගේ කාලය , ශ්‍රමය සහ ධනය වැයකරලා එකතුකරගන්න/ලබාගන්න යම්කිසි ඇසට නොපෙනෙන ප්‍රමාණය මෙච්චරයි කියල පනවන්න බැරි යම්කිසි ධනයක්. හරියට නිකන් කොටස් වෙළඳපොලේ කොටස් වගේ.

ඒවා ඇත්තටම නැහැ. එත් ඇත්තේ නැහැ කියල කියන්නත් බැහැ. කොටින්ම තමන්ගේ presence එක ඇඟට දන්වන්න පුළුවන් virtual ධනයක් .

අනිත් සියලුම ධන සම්පත් වගේ ම තමයි පුණ්‍ය ධනයත්. සමහර මිනිස්සු ධනය උපයන්න දක්ෂ උනාට වියදම හරියට කරගන්න බැහැ. ඔවුන්ගේ ධනය නිකරුනේ නාස්ති වෙලා යනවා. කුසල් කරත් එයින් ලැබෙන පුණ්‍ය ධනය ප්‍රාර්ථනාවන් මගින් හරිහැටි කළමනාකරණය කර නොගෙන නාස්ති වී යාමට ඉඩ හරින්නන් මොවුන්. මේ ගැන තමයි අද ලිපිය ලියන්නේ.

සමහර අය ධනය උපයන්න දක්ෂ නැහැ. තියෙන දෙයක් කාල වැටිලා ඉන්නවා. ධර්මය පැත්තෙන් ගත්තහම ඔවුන් පුරාණය කමින් සිටින්නවුන්. ලබාගත් උතුම් මනුෂ්‍ය භවයෙන් ප්‍රයෝජන ගෙන මතුවට (පුණ්‍ය ) ධනය රැස් නොකරන්නවුන්. මහලු කලට , බැරි කලට පාවිච්චියට ධනය රැස්කර නොගෙන අන්තිමේදී දුක්ඛිත හිඟමනට වැටෙන්න වගේ මොවුනුත් මරණින් පසු දුක්ඛිතව නිරයෙන් නිරයට යමින් කල් ගෙවනවා.

අප්පමාදෝ අමතපදන් , පමාදෝ මච්චුනෝ පදං ... කියල පමාවුවන් වශයෙන් ශාක්‍ය මුනින්ද්‍ර භාග්‍යවත් අරහත් සම්යක්සම්බුද්ධයන් වහන්සේ දේශනා කලේ ඔවුන් ගැන.

හරි , මහන්සි වෙලා පු* ඉරාගෙන , තමන් දහමින් රැස් කරපු ධනය යොදවල උතුම් පුණ්‍ය කර්මයක් කරා. ඊට පස්සේ එන්නේ තමන් ඒ රැස්කරපු ධනය ආයෝජනය කිරීමේ පියවරට.
නිකන් ඔහේ මුට්ටියක දාල වළදාපු ධනයෙන් මොන පලක් ද ? ඒ වගේම තමයි නිකන් භවයේ පල්වෙන්න හරින පුණ්‍ය විපාකයත්. තියෙනවා.. තිබ්බට කිසි පලක් නැහැ. අපි පුණ්‍ය කර්මයන් කිරීමට වගේම පුණ්‍ය ඵලයන් වියදම් කිරීමේදීත් දක්ෂ විය යුතුයි. එහිදී තමයි පුණ්‍ය ප්‍රාර්ථනාව වැදගත් වෙන්නේ.

99% දෙනෙක් කරන්නේ පුන්‍යකර්මයක් ඉවර වෙලා "ඉමිනා පුණ්‍ය කම්මෙන ..." කියල අතපිහදාල ගෙදර යන එක. නමුත් පුණ්‍ය ප්‍රාර්ථනාවන් ඊටත් වඩා හොඳින් දක්ෂ ලෙස කිරීමට අප උත්සාහ කල යුතුයි. ඒ කොහොමද ?

ඔන්න පුණ්‍ය කර්මයක් සුදුසු පරිදි කරා. ධාර්මිකව ධනය උපයාගෙන , භික්ෂුන් වහන්සේලා වඩම්මවාගෙන , සකසා, මල්පැණි බීපු බමරු වගේ වැනි වැනි නැතුව මත්පැන් ගාවනොගෙන , ශ්‍රද්ධාවෙන් දවස් ගානක් මහන්සි වෙලා සාංඝික දානයක් දුන්නා. භවයේ අනන්ත අප්‍රමාන ප්‍රමාන කල නොහෙන කාලයක් පුණ්‍ය විපාක ලැබෙන මේ දානයෙන් ලැබුන පුණ්‍ය ධනය නිසි ලෙස කළමනාකරණය කර ගන්න ප්‍රාර්ථනා කරන්නේ කොහොමද ?

පැත්තකට , විවේක ඇති තැනකට ගිහිල්ල තමන් කල කුසලය පරිච්චේද වශයෙන් වෙන වෙනම විමසා බැලිය යුතුයි. එසේ කරමින් ප්‍රීතිය උපදවා ගත යුතුයි. එසේ උපදවා ගත් පුණ්‍ය ප්‍රීතියෙන් , පුණ්‍ය සංවේගයෙන් යුතුව ප්‍රාර්ථනාව කල යුතුයි.

උදා:
අද දින මා විසින් අතීතයේත් , වර්තමානයේත් , අනාගතයේත් පහල වූ , පහළවන්නා වූ උතුම් වූ පුණ්‍ය ක්ෂේත්‍ර වූ බුදු , පසේබුදු , මහරහත් ආර්ය මහා සංඝ රත්නය විෂයේ[1] කලගත්තා වූ ප්‍රමාන කල නොහෙන මේ කුසලයෙන් මා හට වහ වහා [2] නිර්වාණාවබෝධය[3] වේවා.

එසේ නිවන් දක්නා තුරු සංසාරයේ සැරිසරන ආත්ම භාවයන්හි මා සෑම කල්හිම ...

මෙතැනදී පුද්ගල ප්‍රබේධය අනුව ප්‍රාර්ථනාව දෙකට බෙදිය හැකි වේ. එක්කෝ පෙරේත ප්‍රාර්ථනාවන් කොට සැප පැතිය හැක. නැතහොත් චරිත හා චිත්ත විශුද්ධිය පිණිස පාර්ථනා කල හැක. මෙයින් පෙරේත ප්‍රර්තනාවට වඩා චරිත හා චිත්ත විශුද්ධිය පිණිස කරනා පාර්ථනාව උසස්ය. පෙරේත ප්‍රර්තනාවෙන් හෙවත් සැප පතා කරන ප්‍රාර්ථනාව තිබෙන දේ කන්නාක් වැනිය. අනෙක තිබෙන දේ ආයෝජනය කොට තව තවත් ලබන්නාක් වැනිය

සැප පතා කරන ප්‍රාර්ථනා හෙවත් ක්ලේශ නිශ්‍රිත ප්‍රාර්ථනා.

එසේ නිවන් දක්නා තුරු සංසාරයේ සැරිසරන ආත්ම භාවයන්හි මා සෑම කල්හිම [4] ... අමිත භෝගිව [5] , මේ මේ දෙය මදි යයි නොකිය හැකි ආකාරයෙන් ධනවත්ව , බලවත්ව [6] උපදීවා. අන් සත්වයන් ඉක්මවා යන රුප , ශබ්ධ , ගන්ධ , රස , පොට්ටබ්භ යන පංච කාමයන් [7] පරිභෝග කරන්නෙක් වෙත්වා. සියලු සත්වයන් ඉක්මවා යන ආයු , වර්ණ , සැප , බල , ප්‍රඥා [8] යන පංචවිධ සත්වයන්ට ඉෂ්ට , කාන්ත , මනාප වූ දේ ලබත්වා. පහසු ලෙස නිර්වාණාවබෝධය ලබත්වා.

චරිත හා චිත්ත විශුද්ධිය පිණිස පාර්ථනා

ඇතැම් සත්වයන් පංච කාම වින්දනයට වඩා තමන්ගේ චරිත හා චිත්ත පාරිශුද්ධියම උතුම් කොට සලකති. ඔවුන් නම් මෙසේ ප්‍රාර්ථනාව කිරීම යහපති. මේ බුදු , පසේබුදු හා අග්‍ර ශ්‍රාවකයන්ගේ අග්‍ර වූ , ලෝකෝත්තර සැප බහුල මාර්ගයයි. අනෙකෙකුට යාමේද තහනමක් නොමැත.

එසේ නිවන් දක්නා තුරු සංසාරයේ සැරිසරන ආත්ම භාවයන්හි මා කිසිකලක පාප මිත්‍ර සේවනයක් [9] නොම ලබත්වා. සෑම කල්හිම කල්‍යාන වූ හිතවත් වූ මිත්‍රයන් මා ඇසුරු කොට වසත්වා.[10] වැඩිහිටියනට , ගුරු දෙගුරුනට , ශ්‍රමණ බ්‍රාහ්මනයනට සැමකල්හිම ගෞරව බුහුමාන දක්වන්නෙක් වෙත්වා. [11] කිසි දෙයකට කිසි කලකත් දැඩි ඇල්මක් නොම ඇත්තෙක් වෙත්වා.[12]

මගේ සිතෙහි කිසි කලකත් ඉර්ශ්‍යා , ද්වේශ , මද , මානාදී අකුසල ධර්මයෝ උත්සන්නව නැග නොඑත්වා.[13] සෑම කල්හිම අප්‍රමාන [14] , කිසිදු දිව්‍ය, මාර , බ්‍රහ්මාදී සත්වයකු විසින් සොලවා දැමිය නොහැකි [15] ගුණ , නුවන ඇති සත්පුරුෂ උත්තමයෙකු වෙත්වා. සෑම කල්හිම දස පුණය [16] ක්‍රියාවෙහි ඇලුණු , ශ්‍රද්ධා බහුල[17] තැනැත්තෙකු වෙත්වා. දන් දෙන භාජනයන් කිසි කලකත් සිස් නොවේවා.[18]

පානින් පානට දැල්ලක් යන්නාක් මෙන් ඉහත කි ප්‍රාර්ථනාවන් මගින් තමන්ගේ කුසල ධනය වර්ධනය වීමක් මිස ක්ෂය වීමක් නොවේ. දස පාරමිතාවන් පුරනා බෝධිසත්වයන් ගේ ජීවිතයන් තුල ඇති ගුණස්කන්ධය හා පුණ්‍ය බලය භවයෙන් භවයට වැඩි වීමක් විනා ක්ෂය වීමක් නොවන්නේ එහෙයිනි.

විස්තර විභාගය.

1. කල ගත් කුශල කර්මයේ ප්‍රමානාතික්‍රාන්ත බව මෙනෙහි කිරීම. සතුට උපදවා ගැනීම

2. පරිච්චේද නොකොට , යම්කිසි කාලයක් හෝ අනාගත බුද්ධ ශාසනයක් ඉල්ලක්ක නොකොට හැකි ඉක්මනින් භවයෙන් ඉක්මයාම ඉල්ලක්ක කිරීම. යම්කිසි අනාගත බුද්ධ සාසනයක් ඉලක්ක කොට හෝ , ඇතැමුන් උපදෙස් දෙන පරිදි "මේ බුද්ධ සාසනයේම" නිවන් ලැබීමට ප්‍රර්ථනා කොට , යම්කිසි බලවත් අකුසල කර්මයකින් මේ ජිවිතයෙන් පසු නිරය ගාමි වුවහොත් හෝ , අනාගත සාසන කාලයකදී යම්කිසි අභව්‍ය ස්ථානයක හෝ මිත්‍යා දෘෂ්ටි කුලයක උපත ලබා තිබුණහොත් ඒ ශාසනය පසුවී යාමෙන් තමන් කල ගත් කුසල කර්මයද අහෝසි වී යාම සිදු වේ. ඒ කුසල ධනය නිකරුනේ නාස්ති වී යාමයි. කුසල කර්මය සැමදාටම ප්‍රයෝජනවත් වීම උදෙසා සෑම කලටම අදාළ වන සේ ප්‍රාර්ථනාව කල යුතුය.

3. ඇතැම් අය සෝවාන් වීමට , රහත් වීමට ආදී වශෙන් නිවන් පතති. සෝවාන් ලැබීමට කල ප්‍රාර්ථනාව සෝවාන් වීමෙන් පසු අවසන් වේ. ඉන් පසු මාර්ගඵලයන් ලැබීමට ඒ කුසලය ඉවහල් නොවිය හැක. එහෙයින් එසේ පරිච්චේද නොකොට කෙලින්ම නිවනම පැතිය යුතුය.

4. සෑම ප්‍රාර්ථනයක් ම නිවන් දක්නා තුරු , සෑම කල්හිම යනුවෙන් සැම කලටම අදාළ වන සේ කිරීම යහපති.

5. අමිත භෝගී යනු ගිනිය නොහැකි , ප්‍රමාන කල නොහැකි භෝගස්කන්ධයක උරුම බවයි. ලක්ෂ පතියකු හෝ කෝටිපතියකු වීමට පතනවාට වඩා එසේ පැතීම යහපති.

6. කෙතරම් ධනය හා සම්පත් ඇතත් බලයක් නොමැති නම් එය රජුන්ගෙන් හා සොරුන් ගෙන් විනාශ වී යාම අනිවාර්යය වේ. ධනය ඇති තැන බලයද පැවතීම ශරීර සෞක්‍යයට හිතකරය.

7. ධනය ඇතත් එය පරිභෝග කල නොහැකිනම් එයින් ඇති පලයක් නොමැත.අසු කෙළක් ධනය තබාගෙන කාඩි හොදි හා බත් වැළඳු අපුත්තක සිටු මෙනි. පරිභෝග කිරීම යනු පංච කාම වින්දනය පිණිස යොදාගැනීමයි. එහෙයින් අග්‍ර ලෙස පස් කම් සැප වින්දනය මෙයින් අදහස් කෙරේ.

8. සෑම කල්හිම සෑම සත්වයකුටම ඉෂ්ට , කාන්ත , මනාප වන්න වූ , පංච කාම වින්දනයට උපකාරී වන්න වූ දෑ පසකි. ආයු , වර්ණ , සැප , බල , ප්‍රඥා යනුවෙනි. කෙතරම් ධනය හෝ බලය ඇතත් ලෙඩ දුක් ඇති කෙටි ආත්ම භාවයද , කැත කළු දක්න්නට අප්‍රිය උපදවන්න වූ ආත්ම භාවයද , සැප විඳීමට සකස් නොවූ දුර්වල ශරීර ඇති ආත්ම භාවද , මුග්ධව තමන් කල කී දේ දත නොහෙන අන්‍යයන්ගේ සිනහවට භාජනය වන්න වූ ප්‍රඥාවෙන් තොර ආත්ම භාවයද පංච කාම වින්දනයට භාදාවකි. සුවසේ පැවැත්මට භාදාවකි. එසේ නොවීමට පැතිය යුත්තේය.

9. සත්වයකුගේ විනාශයට පාප මිත්‍ර සේවනය තරම් බල පවත්නා වූ අන් කිසි අන්‍ය ධර්මයක් නැත්තේය. වරෙන් මචන් සෙට් වෙමු අද ඩ්‍රින්ක් එකට . යමු මචන් අද අර හොරකමට. බලන්න මේ දෙවියන්ගේ ශුභ සංදේශය. එන්න පල්ලියට මං ඔයාවත් ගලෝල දෙන්නම්. ඕකට සෙට් වෙලා ගහන්න ඕනේ. උඹ ඉන්නවනේ සපෝර්ට් එකට.... ආදී වූ නියත පාපී වූ නිරයට හැරි ද්වාර වන් වූ පාප මිතුරන් ඇසුරට වඩා එකලාව සිටීම සැම අතින්ම යහපති.

10. උතුම් වූ තිලෝගුරු මහාකාරුණික බුදු රජාණන් වහන්සේ ආනන්ද හිමියනට වදාළ පරිදි සමස්ත බුද්ධ සාසනයම රඳා පවත්නේ කලන මිතුරු ඇසුර මතය. සත්වයා දානයෙහි , ප්‍රිය වචනයෙහි , අර්ථ චර්යාවෙහි , ධර්ම මාර්ගයෙහි , ශිලයෙහි , සමාධියෙහි උනන්දු කරවන්නේ කල්‍යාන මිත්‍රයා පමණි. කලන මිතුරු උපකාරය ලබා සත්වයා සැපවත් වේ. නිරයෙන් මිදේ. විමුක්තිය ලබත්. එහෙයින් කලන මිතුරු ඇසුර පැතීම සෑම කල්හිම යහපති

11. වැඩිහිටියන් , ගුරුවරුන් , දෙමාපියන් , බාහිත පාපී ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරේ වරද කිරීම මහා සාවද්‍ය වේ. දෙමාපිය ඝාතනය නියත නිරයගාමී මහා අකුසල කර්මයකි. බාහිත පාපී ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරේ කරනා වූ ස්වල්ප වරද වුවද කල්ප කාලාන්තරයක් දුක් දීමේ සමත් වෙයි. එහෙයින් තමනට සැප කැමැත්තේ සෑම කල්හිම මේ තැනැත්තන් වෙත වරද කිරීමෙන් වැළකීමට ප්‍රර්ථනා කිරීම යහපති.

12. කිසිවක දැඩි ඇල්මක් නොමැති වීම සාරිපුත්ත මහා රහතන් වහන්සේ සසරේදී පුරුදු කල ධර්මයකි. සත්වයන් බොහෝ අකුසල් රැස්වන්නා වූ සොරකම , කාම මිත්‍යාචාරය , බොරු කිමාදී දුශ්චරිතයන්හි බෙහෙවින් යෙදෙන්නේ යම් කිසි දේ සම්බන්ධයෙන් ඇති දැඩි ඇල්ම නිසාය. යම් කිසිවක් තමනට ලබා ගැනීමට හෝ , තමනට ඇති දෙයක් අනුන් සන්තක වීමට ඇති අකමැත්ත නිසාය. කිසිවක දැඩි ඇල්මක් නැත්තාට කිසි කලකත් දැඩි ශෝක ඇති නොවෙත්. දරුණු අකුසල කර්මයන් රැස් නොවෙති.

13. ඉර්ශ්‍යා , ද්වේශ , මද , මානාදී අකුසල ධර්මයෝ සත්වයා වරදෙහි පොළබවත්. එමගින් දුගතියට පමුණුවත්. ආර්ය සත්‍ය අවබෝධයෙන් සියලු කෙලෙසුන් ප්‍රහාරණය කරනා තෙක් සත්ව සන්තානයේ සියලු ක්ලේශයෝ අනුශය වශයෙන් නිදා සිටිනා සර්පයන් ආකාරයෙන් පවතිත්. ඒවා ඕලාරික වශයෙන් දැඩිව නැග නොඒමට ප්‍රාර්ථනාවක් තැබීම යහපති.

14.15. ප්‍රමාන කල නොහෙන පරිදි ගුණ නුවනින් යුක්ත වීමත් කිසිදු සත්වයකු විසින් සෙලවිය , වෙනස් කල නොහෙන සේ ඒවා සන්තානයේ දැඩිව මුල් බැස ගැනීමට කරනා ප්‍රර්තනාවන් උතුම් වූ සම්බෝධි ප්‍රාර්තනාවන්මය.

16.දාන ,ශීලය ,භාවනාව ,පත්තිදාන,පත්තානුමෝදනාව,වෙය්‍යවච්ච,අපචායන,ධම්ම දේසනා,ධම්ම ශ්‍රවණය, දිට්ඨිජ්ජු කම්ම යනාදී වූ බොහෝ කුසල් වැඩෙන්නා වූ දස පුණ්‍ය ක්‍රියාවෙහි වඩ වඩාත් කිරීමේ උනන්දු වීම සසරේ මතුවට සැප වැඩෙන්නා වූ කාර්යයකි

17. ශ්‍රද්ධා බහුල බව පින් කිරීමේ බොහෝ උපකාරී වෙයි. ශ්‍රද්ධා ජලයෙන් නොතෙමු සිත කර මැට්ට මෙනි. එහි රෝපණය කල වී බොල් වී යනවා විනා අස්වැන්නක් ලබා නොදේ. ශ්‍රද්ධා බහුලව ඇතිව කරනා ඉතා කුඩා කුසල කර්මය වුවද ඉමහත් විපාකයන් ලබා දීමේ සමත් වෙයි.

18. දන් දෙන භාජනයන් සිස් නොවීමට කරනා ප්‍රාර්ථනය පුණ්‍ය ඉර්ධි ප්‍රාර්තනයකි . දානයෙහි ඇලුන තැනැත්තාට දන් නොදී සිටිය නොහැක. දීමට දෙයක් නොමැතිව දුක්පත්ව සිටීමත් , සිත් සේ දීමට තරම් සම්පත් නොමැති කමත් ඔහුට මහත් සිත් තැවුලට කාරණයකි. එහෙයින් සිත් සේ දීමට හැකි වන සේ මෙවන් වූ පුණ්‍ය ඉර්ධි ප්‍රාර්ථනයක් තැබීම යහපති.

තව එකක් , ධර්මය ගැන හරි අවබෝධයක් නොතිබුණ කාලේ (දැනුත් එහෙම තමයි ) මට හිතුනේ යම්කිසි දෙයක් ඉදිකරලා "අහවලා විසින් පින් පිණිස ඉදි කරන ලදී " කියල ගැසීම මහා විකාරයක් වගේ. සෝබනේට , තමන්ගේ මහන්තත කම ලෝකෙට පෙන්නන්න කරන වැඩක් වගේ. කොටින්ම නයි ඇරීමක් වගේ .... එහෙම කරන එක වැරදිද ? ඒකත් විමසා බලමු.... ලබන සැරේ හොඳේ...

Saturday, January 19, 2013

කුසල් සිත රැක දීම - 1 කොටස

© AdamLai - Through my eyes
තමන් කරන ඉතාමත් කුඩා කුසලයකින් වුවත් මහත් ඵල , මහත් ආනිසංස ලබාගැනීමට නම් තුන් සිත පහදවාගෙන , කර්ම කර්ම ඵල විශ්වාසකොටගෙන , සුසිල්වත්ව කලයුතුයි. මේ සාමාන්‍ය,  ශාසනයෙන් පිට කුසල කර්ම සඳහායි. උතුම් වූ බුද්ධ ශාසනයේ නම් මිට අමතරව බුද්ධ , ධම්ම , සංඝ රත්නය යන තුනුරුවන කෙරේ අවිච්චප්‍රසාදයෙන් යුතුව සර්ධාවෙන් තෙමුණු හද හා නෙත ඇතිව කරනා අංශු මාත්‍ර වූ කුසලය වුවද මහා පොලොව සේ ප්‍රමාණ කල නොහැකි , අනන්ත අප්‍රමාන අසන්කෙයිය කල්ප කාලන්තරයකුදු විපාක දී නිම නොවෙන්නක් වන්නේය . ඒ සම්බන්ධයෙන් සැක නොකලයුත්තේය.

මෙහි තුන් සිත යනු කුමක්ද ? කුසලයක් කිරීමේදී , ක්‍රියාවට පෙර , ක්‍රියාව කිරීමේදී සහ ක්‍රියාවෙන් පසු ඒ සම්භන්දයෙන් ඇතිවන චිත්තයන් මේ තුන් සිතට වැටේ. පිඬු සිඟා වඩනා බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් දුටු විට ,

අනේ මා හට මහත් වාසනාවක් සිදුවිය අද දින, උතුම් වූ අපිරිමිත වූ පුණ්‍ය ක්ෂේත්‍රයක් මුහුණටම සම්මුඛ වී මා හට. සසර සැරිසරමින් ආ අනන්ත අපිරිමිත කාලයේදී සත්වයෙකු හට උතුම්වූ සම්බුද්ධ ශාසනයක පැවිදි ව ශාසන බ්‍රහ්ම චර්යාව වඩනා බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකගේ මුණගැසීම අතිශයින් දුර්ලභ ආශ්චර්යමත් දෙයක්ම වන්නේය.

සසරේ දීමට දෙයක් ඇති ව සිටි කල උතුම් වූ පුණ්‍යක්ෂේත්‍රයක සමුඛත්වය සිදු නොවේ. පුණ්‍යක්ෂේත්‍රයක් සම්මුඛ වූ කල ඇතැම් විට දීමට දෙයක් නැති දුගී දුක්පත් භාවයේ ගැලී පසුවන්නෙක් වේ. අද දින මා හට දෙකම ඇත. මේ දුර්ලභ අවස්ථාව පැහැර යාමට නොදිය යුතු වේ.... යි සිතමින් වහා ගොස් පිදීමට සුදුසු යමක් සොයා සිඟා වඩනා හිමියන් ඉදිරියට යාම ක්‍රියාවට පෙර චිත්තයේ පිරිසිදු භාවයයි...

මින් පසු වෙන යමක් නොකොට උතුම් වූ රත්නත්‍රයේ මෙලෙසින් සිත පහදවා ගැනීම් පමනකින්ද අනන්ත අප්‍රමාන සත්වයෝ සුගති උප්පත්ති ලබා ඇත්තාහ. ඝෝර සසරින් එතෙර වී ඇත්තාහ. එහෙයින් මේ  අල්ප වූ කුසල් සිතිවිල්ලකද සුළු දෙයකියි නොසිතිය යුත්තේය.

බුද්ධ පුත්‍රයන් වහන්සේ වෙත , සවු බරණින් සැරසී රාජ මණ්ඩපයේ සිංහාසනාරුඪව වසනා චක්‍රවර්ති රජකෙනෙකුන් වෙත යන්නාවූ චණ්ඩාලයෙකු ලෙසින් ගෞරව පුර්වකව යා යුත්තේය. අනාගත සසරේ අනන්ත අපිරිමිත දෙව් මිනිස් සුගති සැප ලබාදීමටත් , නිර්වාන ශාන්තිය ලබාදීමටත් සමත් එවන් වූ පුණ්‍ය ක්ෂේත්‍රයක් වෙත සිහි නුවන ඇති කිසිවෙක් අනදරින් යුතුව යත්ද ?

උන්වහන්සේ පාත්‍රා පියන විවුර්ත කොට ඉවසා වදාළ කල්හි , මා විසින් කල්ප කාලාන්තරයකදී වුවද කිරීමට දුෂ්කර වූ කාර්යයක් දැන් කරනෙමි. මේ මා හට සැමකල්හිම සැප පිණිස වන්නේමය. කුඩා නමුදු මා විසින් ධාර්මිකව උපයා ගත්තාවූ මේ ආහාරය මුන්වහන්සේටද සැප පිණිසම වේවා. උන්වහන්සේගේ ආයුෂ , වර්ණය , සැප , බල , ප්‍රඥා එමගින් වැඩේවා. සුවසේ ශාසන බ්‍රහ්ම චර්යාව පුරා කෙලෙස් සතුරන් පැරදවීමට බල මෙමගින් ලැබේවා. උන්වහන්සේ වහා වහා කෙලෙස් ගිනි නිවා නිවනට පත්වේවා.... සිතමින් ආහාරය පාත්‍රයේ බැසීම කල යුතු වන්නේය. මේ ක්‍රියාව කරනා කල්හි පැවැත්වියයුතු චිත්තයේ පිරිසිදු භාවයයි.

එම දුන් ආහාරය තමන් ගේ පරිභෝජනය පිණිස තිබුවක් නම් , ඒ පිදීම මගින් තමන් හට දිනයේ ඉතිරි කාලය කුසගින්නේ සිටීමට සිදුවේ නම් ඒ සම්බන්ධයෙන් කිසිසේත් සිත අමනාප කලගත යුතු නොහේ. තමන්ගේ ශ්‍රද්ධාව හා දියුණුව තියුණුව වැඩි ඇති ත්‍යාග සම්පත්තිය ගැන වඩ වඩාත් සිත පහදවා ගත යුතුය. තමන්ගේ ඇති ඉඳි කට්ටක පමණක දෙයක් වත් අනුන්ගේ සැපය පිණිස නොදෙන ලෝකයේ , තමන්ගේ  පරිභෝග පිණිස ඇති ආහාරයකින් සුලකුදු අන් සත්වයකුගේ කුසගින්න නිවීම පිණිස නොදෙන සත්වයන් ගෙන් පිරි ලෝකයේ , මාගේ ආහාරය මුළුමනින්ම අන් සත්වයකුගේ සැප පිණිස ලබා දී සතුටින් වසන්නෙම්. දුෂ්කර දෙයක්ම කලෙම් යයි සිත පහදවා ගත යුත්තේය...

බුද්ධ පුත්‍රයන් වහන්සේ පිණ්ඩපාතය පිළිගෙන ඉවත වඩනා කල්හි පසෙකට වී දුන් දේහි කුසලයන් අනුමෝදන් විය යුත්තේය. අහෝ!! බලවත් කුසල කර්මයක් අද දින කල ගත්තෙම්. ලබාගත් මනුෂය ආත්මයේ ඵල ලබුවෙම් යි සිතමින් තමන්ගේ සසරේ ප්‍රාර්ථනාවක් තිබේ නම් කලයුතු වන්නේය. මෙය එයට කාලයයි.

ඉන් පසුවද නැවත නැවතත් එම පුණ්‍ය කර්මය සතුටු සිතින් මෙනෙහි කලයුත්තේය. ඒ එක් එක් වර මෙනෙහි කිරීමේදී සිතෙහි උපදනා චිත්ත වීථිනටද අනන්ත අප්‍රමාන දෙවු මිනිස් සැප හා කෙලෙස් නිවීමේ බල ඇත්තේය. සුළු කොට නොසිතිය යුත්තේය. මේ පසු ක්‍රියා චිත්තයේ පාරිශුද්ධ භාවයයි.

ගිරා හඬින් , තමනට නොතේරෙන පාලියෙන් "ඉමිනා පුඥ කම්මෙන ... " කීමෙන් පලක් නැත . කරනා කියනා , සිතනා දෙය අවබෝධයෙන් , වැටහීමෙන් කිරීමම වැදගත් වන්නේය.

පුණ්‍ය ප්‍රර්තනාවන් සම්බන්ධයෙන්ද කිව යුතු කරුණු බොහෝ ඇත්තේය. අද ලිවීමට ගියේ එකකි. ලියවුයේ අනිකකි. එන සැරේ වත් බලමු.