Saturday, April 13, 2013

ලෝකෙන් උතුම් රට ලංකාවයි

බෞධයන්ට පරම පුජනිය වූ ජීවමාන බුදුන් වැඩ
 සිටින්නාක් බඳු වූ 
 දළදා මාලිගාව ඉදිරිපට තොරණක් ලෙසින් සාදා ඇති
 මෙලෝ රහක් නැති සුදු උලා ඇති 
සිමෙන්ති පරුවතය
වෙලාව සවස 9.30 ට පමණ ඇත. මේ දිනවල පවතින උණුසුම හා අධික ආර්ද්‍රතාව නිසා ඇති දාහය බලවත්ය. හුස්ම හිරවෙන ස්වභාවයක් දැනුනු හෙයින් නිවසින් පිටට පැමිනෙමි. ඇසේ පටලයක් බැඳ ඇති සේ අවට පරිසරය බොඳ වී පෙනෙයි. නැවත ඇස් පිරිමැද අවට බලමි. වෙනසක් නැත. කටුක නයිලෝන් පිලිසෙන ගඳක් නහය කාරාගෙන යයි. නිවස ඇතුලත දැනුන හුස්ම ගැනීමේ අපහසුවට හේතුව මෙයයි. ඇතුලත් පිට කියා වෙනසක් නොමැත.


රත්මලානේ මාලිගාව පාරේ ඇති රෙදි කර්මාන්ත ශාලාවක් රාත්‍රියේ සොරෙන් පුළුස්සන රෙදි කැබලි , මුහුදු සුලන් සමග එක වී ගොඩබිමට පැමිණ පරිසරයම වසාගෙන සිටි. ඒ කටුක දුමාරයෙන් රාත්‍රියේදී ගැලවීමක් නම් නොමැත.

නිකම්ම නිකන් තායි පන්සලක් ඉදිරිපිට ඇති
 අලංකාරවත්ව සැකසු 
මකර තොරණ

දහවලට එහි අනිත් පැත්තයි. කරදියාන මහා කුණු කන්දෙන් නැගෙන මිහිරි සුවඳින් අවට පරිසරයම සුවඳවත් වන්නේය.

මද වේදනාවක් දැනුන හෙයින් හක්ක පිරිමැද බලමි. දතක කුඩා වේදනාවක් පැමිණුන හෙයින් , කාර්ය බහුල හෙයින් හා කලින් ගොස් පුරුදු හෙයින් රාවතාවත්තේ ස්ටේෂන් පාරේ, ගාලුපාරේ බෝගහට සමීපව ඇති , ප්‍රාදේශීය සෞක්‍ය නිලධාරී කාර්යාලය (MOH) ඉදිරිපිට ඇති දන්ත ශල්‍යාගාරය වෙත ගියේ පෙරේදාය. මෙහි කලින් රෝගීන් පරික්ෂා කලේ හර්ෂ ද සිල්වා නම් සුපිරි වයිද්යවරයෙකි. ඔහු ද වසර කීපයකට පෙර ඔස්ට්‍රේලියාවට ගොස් ඇත. හොඳ මිනිසුන් රට හැර යාමත් මුග්ධයන් ඒ හිස්තැන් පුරවා රජ වීමටත් මෙය තවත් උදාහරණයකි

ලංකාවේ දන්ත ශල්‍යාගාරයන් ගැන වෙනම කිවයුතුව ඇත. රෝගියාගෙන් රෝගියාට භාවිතා කරන අඬු , ආම්පන්න , කෙල ඉවත්කරන සකර්ස් ජීවානුහරණය කර යුතුව හෝ නව ඩිස්පෝසබල් උපකරණ භාවිතා කළයුතුව ඇතත් එය එසේ නොවන බව මට නම් තේරී ගොස් ඇත්තේ බොහෝ කලක පටන්ය.

එකෙක් ඇරෙන්න එක ලෙඩෙක් ගෙන පරික්ෂා කරන කල එසේ නම් කෙසේ කරන්නද ? එහෙයින් මා නම් වැරදිලා හෝ ලංකාවේ දන්ත ශල්‍යාගාරයකට යාමට සිදුවුවහොත් නොම්මර එක ගැනීමට උත්සාහ කරමි. අඩු ගන්නේ එවිට කලින්දින කටවල් සීයකට පමණ දමා දිනය අවසානයේ හෝ ශුද්ධ කර තැබූ උපකරණ ඒඩ්ස් හෝ හෙපටයිටිස් ගැන යම්තරමකට හෝ බියක් නොමැතිව වයිද්යවරයාට භාවිතා කිරීමට ඉඩදී සිටීමට හැකිවෙන හෙයිනි.

එමෙන්ම බොහෝ දන්ත ශල්‍යාගාර වල ඇති උපකරණ කල්යාමේදී ගෙවී ගොස් හම්පඩ වී ඇති ඒවාය. විවුර්ත කල අලුත යම් පමණකට නවීන උපකරණ තිබුනත් කල්යාමේදී නඩත්තුවක් නොමැති කමින් බොහෝවක් භාවිතයට නුසුදුසු තත්වයේ පවතී. නමුත් ක්ලිනිකය පෙරසේම දුවයි.

මාතෘකාවට එමු ... ශල්‍යාගාර පුටුවේ වාඩි වූ පසු මා ඇඟිල්ලක් දත මත තබා වයිද්යවරයාට පෙන්වූයෙමි. තත්පර කීපයකට පසු මට හැඟී ගියේ ඔහු වෙන දතක් විදින බවයි. කඩිමුඩියේ නැවත්වුවත් වියයුතු දේ වී හමාරයි. ඩොලර් 300 ක් පමණ ගෙවා හොඳින් පුරවා තිබු කිසි අමාරුවක් නැති දතක් ඔහු විද තිබුණි. පසුගිය වර එය පිරවූ ඕස්ට්‍රේලියානු වයිද්යවරිය එය හොඳින් ශුද්ධකොට , දතෙහි සහ පිරවුමෙහි වර්ණය සංසන්දනය කොට පියවරෙන් පියවර පුරවා , අවසන පොලිෂ් කොට දත අලංකාර ලෙස සැකසීමට පැය භාගයකට වඩා ගත්තාය.
අපේ දොස්තර මහත්තයා එසේ සකසා හොඳින් තිබු පිරවුම ගලවා දමා මිනිතුවෙන් විද ඇඟිල්ලට කොම්පොසිට් ෆිලින් එක ගෙන එහි එබුවේය. කුරකින් එය මදක් තද කොට තවත් මිනිත්තුවක් තුල සියල්ල සමාප්ත කළේය. (එසේ කිරීමට හේතුව නියමිත පරිදි එය කිරීමට අවශ්‍ය වන උපකරණ නොමැති වීම බව මට සිතේ ). පිරවීම උස බව කිව්වත් හෙතෙම එය ගණනකට නොගෙන මුදල් අයකොට මා හට යාමට පැවසිය.

ගෙදර විත් කන්නාඩියකින් දත පරික්ෂා කොට බැලුවෙමි. මල්ලකට අසුචි දමා හිස වටා කැරකු විට එයට වඩා නිමාවක් ලබා ගත හැකි බව පෙනුනි. කොම්පොසිට් ෆිලින් එක අන් දත් වලත් ගෑවී ඇත. නොසැලකිලිමත් පිරවීම හා අන් දත් හා සම වන සේ මට්ටම් නොකිරීම නිසා පැය කිහිපයකින් හකු වේදනා දෙන්නට විය. යලිත් ඔහු වෙත යාමට පිරියක් නොමැත. වේදනාව ක්‍රමයෙන් වැඩි වන හෙයින් බලාසිටීමට නොහැක. සෙලින්කෝ හෙල්ත්කෙයාර් ආයතනයෙන් ටවුන් හෝල් එක ආසන්නයේ පවත්වාගෙන යන දන්ත ශල්‍යාගාරය වෙත උදේ 9.30 ට ඇපොයිමෙන්ටුවක් ගෙන රෙකමදාරුවක් පිට මංගලිකා නම් වයිද්යවරිය හමුවීමට උදය වරුවේ ගියෙමි. අන්තිමේදී 10.30 ට පැමිණියේ ඇය නොව වෙනත් කෙනෙකි. කබ්බන්ගෙන් බැට කෑ එකා ශිෂ්‍යත්වේ පාස් කොල්ලාටත් බය හෙයින් ඔහුගෙන් එය කර නොගෙන නැවත ගෙදර ගොස් හවස පැමිණ මංගලිකා නම් වයිද්යවරිය හමු වී සිදුවූ සන්තැසිය පවසා ඇය ලවා දත පිළිසකර කර ගතිමි. පිරවීමට ගියේ මිනිත්තු 2 කි. ඇයට එම විනාශය පිළිසකර කිරීමට මිනිත්තු 40 ක් ගත විය. දැන් වුවද එය හොඳ නැත.

මෙම වයිද්යවරිය ඉතාමත් කාරුණික , විනීත , දක්ෂ අයෙකු බව නම් නොකියාම බැරිය. නමුත් එම සෙලින්කෝ දන්ත ශල්‍යා ගාරයේ ඇති උපකරණ සහ පහසුකම් ද අවම මට්ටමේ පැවතිනි. අන් ස්ථාන ගැන කවර කතාදැයි සිතුනි.

මා දැනට සිටිනා රටෙහි ඔපිසියෙන් ගෙදර යන ගමන් පැයක ඇපොයිමෙන්ටුවක් ගෙන උසස් ආකාරයෙන් කරගත හැකිව තිබු දෙයකට ලංකාවේ දින එකහමාරක් රස්තියාදු වීමටත් දෙසැරයක් කොළඹ යාමටත් , දිනයක් පුරා වේදනාවෙන් සිටීමටත් සිදුවිය. අවසානයේදී ලැබුන ට්‍රිට්මන්ට් එකත් කිසිසේත් සතුටු විය හැකි තත්වයේ එකක් නොවේ. කෝපයකට වඩා ඇත්තේ කනගාටුවකි. ලංකාවේ ඇත්තේ මුදල් සම්බන්ධ ප්‍රශ්නයක් නොවේ. හොඳ සේවයක් සැලසෙන්නේ නම් එයට සුදුසු මිල ගෙවීමට කැමති ය බොහෝ සිටිති. ඇත්තේ නොසැලකිල්ල , පහසුකම් සැලසීමේ අලස බව සහ තමන් කරන කාර්ය නිසි පරිදි ඉටු කොට එයට සරිලන මුදලක් අය කිරීමට ඇති නොහැකියාවයි. ඕනෑකමක් නැති කමයි. වංක බවයි.

බුරුමයේ හෝ තායිලන්තයේ පන්සලක නිර්මාණයක් බලන්න. වැඩි දෙයක් අවශ්‍ය නැත. තාප්පයක සිමෙන්තියෙන් කැටයම් කර ඇති නෙලුම් මලක් ගන්න. ඔවුන් එය කාලය ගතකොට විවිධ වර්ණ වලින් වර්ණ ගන්වා අලංකාර ලෙස නිම කර ඇත. බලන්න ලස්සනයි. නෙලුම් මලක් වාගෙමයි. ලංකාවේ ? සියල්ල වැසි යන පරිදි සුදු උලා ඔල මොළ ලෙස ගසා බසා දමා අජුව ලෙස වැඩේ නිමවා ඇත.

මේ මාගේ දතේ කතාවයි. තව කීමට කතා බොහෝවක් ඇත. අම්මා මා ලංකාවේ සිටින කෙටි කාලයෙන් ප්‍රයෝජන ගෙන මගුලුත් සොයන හෙයින් කෙල්ලන් බැලීමටද යන්නෙමි. එක් කාන්තාවකගේ පියා ඊයේ කතාකොට පැවසුවේ.
"ලංකාව කොච්චර හොඳද ? බැන්දට පස්සේ මෙහෙ ඇවිල්ල වැඩකරොත් නේද හොඳ ? දුව නම් රට යන්න කැමැත්තක් නැහැ. පුතත් මෙහෙ ඉන්නවා නම් තමයි එයා කැමති වෙන්නේ."

අනේ බැහැ අන්කල්. සැප තියෙද්දී ඒක බල බලා දුකේ ගැලෙන්න හිත්දෙන්න තරම් ලොකු පවක් මට නැහැ.

කුහක කමට මොන බේත් ද ? එක පැත්තකින් මිනිස්සු මුදේ ගිල්ලෙන්න බලාගෙන ජිවිතේ පරදුවට තියල හම්බ කරපු සේසතම හොර ජාවාරම් කාරයින්ට දීල අනුන්ගේ ඉඩකදමුත් උකස් කරගෙන පන එපා කියල බෝට්ටුවේ නැගල හබල් ගාගෙන මල පෙරේතයෝ වගේ වෙන රටකට තොලොන්න්චි වෙන්න වලි කනවා. අනිත් පැත්තෙන් ලංකාව ලෝකෙන් හොඳම රටලු. මට අනිත් පැත්තෙනුත් හිනා යනවා මේ කුහක දිව දෙකේ කතා ඇහෙනකොට.

2 comments: