ලොකු උනාම කවුරු වෙන්නද ආස කිව්වහම අපි නං කිව්වේ හොඳට ඉගෙන ගෙන දොස්තර කෙනෙක් , ඉංජිනේරුවෙක් , ගුරුවරයෙක් වෙනවා කියල. හොඳට ඉගෙන ගත්තම හොඳ රස්සාවක් ෂුවර් නේ.
ඊට පස්සේ ඉතිං කරදරයක් නැහැ. හොඳ කරත්තයක් හොයං බෙල්ලේ බැඳ ගත්ත. අවුරුදු කීපෙකින් කොලු කෙලි බුරුත්තකුත් ඒකෙ පටෝ ගත්ත. ණයට ගෙයකුත් ගත්ත. ලයිෆ් සෙටල්.
ඉතින් ගොනෝ ඇදපන් කන්ද කියල මැරෙනකන් ඇදගෙන යාමක් තමා තියෙන්නේ. හොඳ රස්සාවක් තියෙනවා නම් ඉතින් මැරෙනකම් බයක් නැහැ. අන්තිමේදී දරුවෝ ඔක්කොම වට කරගෙන වතුර උගුරකුත් ඉල්ලං බීල දෙයියනේ කියල පණ යන එක තමා එලම එල. මේ මගේ දෙමවුපියන් ලෝකය දැකපු විදිහ.
කලින් පරම්පරාව ජිවත් උනේ කොහොමද ? පොඩ්ඩක් ඉගෙන ගන්නවා. හොඳ තැනක් හොයාගෙන එතන ට්‍රේනින් යනවා. වැඩ පුරුදු උනාම ඊට පස්සේ පැන්ෂන් යනකම්ම එතන අවුරුදු හතළිහක් වැඩ. අවුරුදු හතළිහක් එක දිගට අදින්න ස්ථාවර භාවයක් තියෙන ආණ්ඩුවේ තැනක් හරි ස්ථාවර කොම්පැනියක් හරි තමයි හොඳ තැනක් විදියට සැලකුවේ. ඉස්සර ගෑනු දුන්නෙත් නැහැනේ පෙන්ෂන් එක නැති මිනිහෙක්ට. පේනවා නේද පෙන්ෂන් එකේ බලේ!! කිසි බරක් නැහැ ඊට පස්සේ. මොනවා හරි කිච වැඩක් කරලා ඉන්ටඩික් නොවුනෝතින් , මැරෙනකම් මාස් පතා පැන්ෂන් එක අතට. ගේ දොර ළමයි හොරෙන් ලියා ගත්තත් , මොනවා නැති උනත් මේ මාස් පතා ලැබෙන පැන්ෂන් එක ඒ පරම්පරාවේ අයට ලොකු හයියක්.
මොනවා නැතත් අපිට පැන්ෂන් එක තියෙනවා. ළමයි සැලකුවේ නැතත් අපිට ගෙවන මහලු නිවාසෙකට හරි ගිහිල්ල කරදරයක් නැතුව ඉන්න පුළුවන් කියල තමා ඒ අය කියන්නේ.
නමුත්, මේ සල්ලි අමාරු කාලේ දරුවොත් කැමති ඒ වගේ පැන්ෂන් ගිය ලොකු මුදලක් මාස් පතා ලැබෙන දෙමාපියන් ගෙදරම තියාගෙන සලකන්නම තමා. ඒ අයට ලැබෙන පැන්ෂන් එක පිට යන්නේ නැහැ නේ. ළුණු බිකත් බඩටම කිව්වලු.!
මේ කියන්නේ බයිලා. මට කියන්න ඕන උනේ මේ මාස් පතා ලැබෙන පැන්ෂන් එක අයිති වෙන්නේ DB (Defined benefit pension plan ) කියන කොටසට බව කියන්න.
පරණ පරම්පරාව අත් විඳින මේ පහසුකම මගේ පරම්පරාවේ අයට නැහැ. අපිට තියෙන්නේ DC ඒ කියන්නේ defined contribution retirement plan කියන එක. නමුත් කරුමෙට අපි තාමත් හිතන්න පුරුදු වෙලා ඉන්නේ DB තියෙන විදියටම තමා.
ඉතිං මොකද කියල නොදන්නා කෙනෙක් අහන්න පුළුවන්. මේ දෙකේ වැඩි වෙනසක් තියෙනවද ?
තියෙනවා දෙයියනේ. මේ දෙක අහස පොලව වගේ වෙනස්. කොටින්ම දෙමවුපියෝ පොඩි කාලේ අපිට කියල දුන්න ජීවිතය ගෙවන විදිය සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න වෙනවා මැරෙන කාලේ යහමින් මුදල් ඇතිව කාටවත් අත නොපා ස්වාධීනව ජිවත් වෙන්න ඕනේ නම්.
අපිට ඕව ගැන එච්චර කරදර වෙන්න ඕනේ නැහැ. දෙයියන්ගේ පිහිටෙන් හොඳ දරුවෝ කීප දෙනෙක් හදා ගත්ත. උන්ට හොඳට උගන්වනවා. අපට බැරි කාලෙක උං අපිව බලා ගනියි.
බලාගනිවී මේං කියල !
දෙමවුපියන් අතේ විශ්‍රාම ගියාට පස්සෙත් යහමින් මුදල් තියේ නම් ඔක්කොම දරුවෝ එයි අනේ අම්මේ ! අනේ තාත්තේ! කියාගෙන. පෙරලි පෙරල වඳිවී පුකවල් උඩ දාගෙන.
මුදල් නැත්නම් ? එහෙනම් ඉතින් තත්වය සෝචනීයයි. පැත්ත පළාතේ එන එකක් නැහැ.
තමන්ට ලැබෙන සේවක අර්ථ සාධකේ දෝනිගේ වෙඩිම ජයටම අරං මෝඩ කමට නැති නාස්ති කරපු අම්මෙක් , තාත්තෙක් ඊට පස්සේ යන්න එන්න තැනක් නැතිව , අතේ පිච්චිය නැතිව ඇවිල්ල දරුවෝ ගාව වැටුනම අහන්න ලැබෙන්නේ මෙව්වා,
- මොන කරුමයක් ද මන්දා ! අපි කියල විතරද ළමයි ඉන්නේ. නරකද ලොකු පුතාගේ ගෙදරත් ගිහිල්ල හිටියොත් අපිටම වද දෙන්නේ නැතුව.
- අම්ම මොකටද මේ හැමදාම පන්සලට දෙන්න සල්ලි ඉල්ලන්නේ. සල්ලි ඕනෙද පිං කරන්න!. අපි සල්ලි ගස් වලින් කඩනවා කියල හිතුවද. ? මේ ළමයින්ගේ පන්ති වලටම කොච්චර වියදමක් යනවද !!!
- ආ ! අයෙත් හන්දි රිදෙන්න ඇල්ලුවද ? ඕවට ඔච්චරවත් වියදං කරන්න අපිට කාසි නැහැ. ඔය හන්දි තෙල් ටිකක් වත් ගාගෙන බලන්න.
- අනේ ජයේ , ඔයාගේ මේ නාකි මල හෝන්තුව බලා ගැනිල්ල නං මට දැං ඇති වෙලා. මැරිලා වත් යන්නේ නැහැ නේ මුං!
ඔන්න ඔහොමයි ඇත්ත තත්වේ. ආයිත් ට්‍රැක් පැන්න නේද . මට කියන්න ඕන උනේ බැරි අමාරු කාලෙක ස්ථිර ආදායම් මාර්ගයක් තියෙන එකේ වැදගත්කම.
DB ක්‍රමය යටතේ ගෙවන පැන්ෂන් එක ස්ථිර ආදායම් මාර්ගයක් වෙන නමුත් DC ක්‍රමය යටතට වැටෙන super annuation , 401K , සේවක අර්ථසාධක අරමුදල් ආදිය ස්ථිර ආදායම් මාර්ගයක් නෙමේ. සේවක අර්ථසාධක අරමුදල ගැන මම වැඩි දෙයක් දන්නේ නැහැ. ඒක හින්ද දන්නා දේ වෙන super annuation එක ගැන විතරක් කතා කරන්නම්.