මාමා - ආ කොහොමද අදත් මේ පැත්තේ ඇවිල්ල වගේ
වොරන් - ඔව් මාමේ , සුසී නංගිව බලන්න කියල ආව. ඕමි අතක් බලනවයි ?
මාමා - හොඳා හොඳා , අද බැහැ. මෙහෙන් පොඩ්ඩක් වාඩි උනානං. මං මේ කාරණයක් ගැන කථා කරන්න තමා හිතන් හිටියේ. පුතා දැන් මොනවාද කරන්නේ ?
වොරන් - ඒ කිව්වේ මාමේ
මාමා - මං මේ කිව්වේ රස්සාව ගැන එහෙම
වොරන් - දැනට නං රස්සාවක් කරන්නේ නැහැ මාමේ.
මාමා - දැන් ඔය එතකොට ඔය උදේට උදේට යන්නේ
වොරන් - ආ ඒ මම බෙන්ජමින් සර් ගාව වැඩ ඉගෙනගන්නවා. ඒකට ගෙවන්නේ නැහැ කියක්වත්
මාමා - එහෙමද ? ඔය බෙන්ජමින්ල අඩු කුලේ එවුං. කුණු ලෝබයෝ. ඒක වෙන්නැති කීයක්වත් නොදෙන්නේ. වැඩ ඉගෙන ගත්තට පස්සේ එතනම රස්සාවක් ලැබෙයි නේද ?
වොරන් - නැහැ මාමේ මම එතන දිගටම ඉන්න කල්පනාවක් නැහැ. වැඩ ඉගෙනගෙන ගමට යන්න තමා හිතං ඉන්නේ
මාමා - කොළඹ දාල ආයි ගමට ගිහිල්ල මොනව කරන්නද ?
වොරන් - මගේම පොඩි වැඩක් සුළුවෙන් පටං ගන්න තමයි හිතං ඉන්නේ.
මාමා - කලිං වෙන රස්සාවක් කරලා තියෙනවද ?
වොරන් - එහෙමත් කියල නෑ මාමේ. ඉස්සර අක්කරේ වත්තේ වැටිච්ච පොල් අහුලලා වික්කා. ඊට පස්සේ පරණ ජැක් පොට් මැසින් දෙක තුනක් හන්දියේ බාබර් සාපුවේ දැම්මා. කොළඹ ආවට පස්සේ ලංකාදීපේ බෙදුවා. ඔයවගේ වැඩ තමා කලේ.
මාමා - ඉගෙනගෙන එහෙම නෑ වගේ නේද ? නැත්නං ඔහොමත් වැඩ කරාවිය !
වොරන් - ජයවර්ධණපුරෙන් මැනේජ්මන්ට් උපාදියක් තියෙනවා මාමේ
මාමා - හප්පට සිරි එහෙමද. එත් වැඩක් තියේ හරිහමං රස්සාවක් වත් නැති කොට ! ඉස්තිර රස්සාවක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද ?
වොරන් - නෑ මාමේ ගමේ මගේම දෙයක් සුළුවෙන් පටං ගන්න තමා අදහස
මාමා - පුතා තරහ වෙන්න එපා, මගේ දුවට හොඳක් වෙන දෙයක් කරලා දෙන්න තමා අපේ අදහස. දැනටමත් ගාල්ලේ කච්චේරියේ පැන්ෂන් එහෙම තියෙන ලියන මහත්තයෙක් දුව ගැන අහල එවල තියනවා. අපේ අදහස ඒ කටයුත්ත කරලා දෙන්න. ඉස්තිර රස්සාවක් වත් නැති පොල් අහුලපු , පත්තර බෙදපු කොල්ලෙක්ට අපේ දුව දෙන්න නං අපේ තුං හිතක වත් අදහසක් නැහැ. ආයි මේ පැත්තේ නාවට කාරි නෑ එහෙනං.