Showing posts with label ශ්‍රව්‍ය පොත් සිංහලෙන්. Show all posts
Showing posts with label ශ්‍රව්‍ය පොත් සිංහලෙන්. Show all posts

Monday, July 16, 2012

ශ්‍රව්‍ය පොත් සිංහලෙන් - අතිපුජ්‍ය රේරුකානේ චන්දවිමල හිමියන්ගේ චත්තාලිසාකාර මහා විපස්සනා භාවනාව


/* දැන් මාස එකහමාරක් පමණ තිස්සේ මේකත් එක්ක ඔට්ටු වෙලා එඩිට් කිරිල්ලේ ඉවරයක් නැති හින්ද එපා වෙලා අත ඇරලා දාල හිටියේ. අත ඇරලා දාන්න තවත් හේතුන් තමයි මේකේ නිමාව උසස් මට්ටමක නොතිබීමත් , මෙවන් දෙයක් කිරීමට මට නීතිප්‍රකාර බලයක් නොතිබීමත්ය. නමුත් විචාරක සර් ගේ ලිපියක තිබ්බ යුද්ධයෙන් ඇස් අන්ධවෙච්චි රණවිරුවන් ගැන සඳහන්වෙච්ච් කොමෙන්ටුවක් දැක්කහම , අදම මේක ඉවර කරලා ඔන්න ඔහේ නෙට් එකට දැම්මොත් හොඳයි කියල හිතුනා.*/ 

කොහොමින් කොහොම හරි ,බොහෝ සතුටෙන් තමයි මේ ශ්‍රව්‍ය පොත ගෙන එන්නේ. පොත තමයි ඉතින් කවුරුත් දන්න නුතන බුද්ධගෝෂ වූ 
අතිපුජ්‍ය රේරුකානේ චන්දවිමල හිමියන්ගේ චත්තාලිසාකාර මහා විදර්ශනා භාවනාව. වැඩිය ලොකු නැහැ. නමුත් ඒ හිමියන්ගේ පොත්වලින් මම  කැමතිම පොත. මේක කරේ දෘශ්‍යාබාධිත කට්ටියට උදව්වක් විදියට. තමන් දන්න අඳුනන ධර්මයට කැමැත්තක් ඇති ඒ වගේ කට්ටියට මෙය පිළිවන් ක්‍රමයකින්  ලබා දෙන්න. පිරිසිදු තථාගත ධර්මය ලබාගැනීමට අසීරු එවන් අයට එවන් උපකාරයක් කිරීමෙන් ඔබට  බොහෝ පින් ලැබේවි.  

දැන් ඉතින් හැම තැනම , හැම චැනල් එකේම බණ යනවනේ. මේවා මොකටද කියල හිතෙයි. නමුත් බණ කියන පැයක පමණ කුඩා කාලයේදී ඒ හිමිවරුන් කුඩා ධර්ම විස්තරයක් අරගෙන ඒක පැහැදිලි කරලා දෙන එක තමා කෙරෙන්නේ. ඒවා අහල ධර්මය ගැන පැහැදිලි පුළුල් අවබෝධයක් ගන්න බැහැ.  මුළුමනින්ම අහන්නේ නැතුව කැලි කැලි අහල වැරදි කොනින් අල්ලගෙන වැරදි විදියට තේරුම් අරන් ඉන්න අයත් බොහොමයි. ඇහුවම කියන්නේ අර හාමුදුරුවෝ මෙහෙම කියුව , අරහෙම කියුව කියල. ඒක හාමුදුරුවන්ගේ වරද නෙවෙයි. කුඩා කාලයකින් ගැඹුරු ධර්ම කොටසක් විචිකිච්චා ඇති නොවන පරිදි   විස්තර කිරීමට ඇති අපහසුතාවය නිසා වෙන එකක්. ඒක හින්දයි තමයි මේ වගේ පොතකින් දෘශ්‍යාබාධිත කට්ටියට පිහිටක් ලැබෙන්නේ.

මේක කරන්න ලොකු කට්ටක් කෑවා. සද්ද බද්ද නැති සවුන්ඩ් ස්ටුඩියෝ අපිට කොහෙන්ද.... රෙකොර්ඩ් කරන්න ගියහම තමයි තේරුම් ගියේ අප අවට පරිසරයේ කෙතරම් නම් ශබ්ද දුෂණයක් තියෙනවද කියල. වාහන වල සයිලන්සර් වලට ගැජට් කැලි හයිකරගෙන බූම් බූම් ගාගෙන යන ඇත්තො එක්ක කොහෙන්ද කනට නිවනක්!. සද්ද බද්ද අඩු තැනක් සොයාගන්න ගත්ත දැඩි උත්සහයකින් පස්සේ අන්තිමේදී ගිහිල්ල නතර උනේ  මෙල්බෙර්න් වලින් කිලෝමීටර් 80 ක්  විතර ගියහම වොබර්ටන් පන්සල තියෙන අලංකාර කඳු  ප්‍රදේශයක තිබ්බ කැලෑවක. දොලපාරක්  අයිනේ වාහනේ නවත්තගෙන  තමයි ගොඩක් කොටස් කියෙව්වේ. පහත ඇති එතන.


මාසයක් විතර...  ලැබෙන හැම විවේක කාලයම  යෙදවුනේ මේකට. නිකරුනේ පුච්චා නොදමා , සම්ප්‍රප්ප්‍රලාප  වලින් කල් ගත නොකොට  ඒ කාලය මෙවන් දෙයකට යෙදවීමට ලැබීම සතුටක්.  වැඩේ හමාරවී අන්තර්ජාලයටත් නිකුත්කර... සිදුකල කාර්යය දෙස නැවත හැරි බැලීමෙන් දැන් ලැබෙන නිරාමිස සුවය ප්‍රමාණ කල නොහැකියි.

වැඩි විස්තර ඕනේ නැහැ. කලින් වගේම කියන්න ඕනේ. මේකේ තියෙන ඔක්කොම අඩුපාඩු , උච්චාරණ වරදවල් , පසුබිම් ඝෝෂා මගේ වරදින් වෙච්චි දෙයක් මිස පොතේ වරදක් නෙවෙයි. දෝෂ සහිත තැන් , වැඩිදියුණු විය යුතු තැන් පෙන්වා දුන්නොත් බොහෝ පින්.

මෙහි පුණ්‍ය අනුමෝදනාව මටත් අනුමෝදන් වූ  සැමටත් එක ලෙසින්ම වේවා. සසර සැරිසරනා  තුරු  අඩු පිනැතිව අඳ , ගොළු,  බිහිරි, කොරව ,පිළුව අඩු පාඩු ඇතිව උපනත් කිසිකලක සත්ධර්ම සේවනයෙන් නම් දිවියට අඩුවක් නොවේවා !

සැමට  තෙරුවන් සරණයි.



Usual specifics
Title: Chattaleesakara Maha Vipassana Bhawanava
Author: Venerable Rerukane Chandavimala Thero
Genre: Dhamma AudioBook
Language: Sinhala/Pali
Read and Uploaded By: Tiraj Adikari

Download/playback Information: To download individual files right click and select save as from the menu. To download the whole list of files choose VBR ZIP from the left hand Play / Download options menu. To listen on-line, select the file and click on play icon in the audio player located in the top right hand corner. 


Download Link : PDF Book , Audio Book

Saturday, June 9, 2012

ශ්‍රව්‍ය පොත් සිංහලෙන් - අතිපුජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමින්ද්‍රයන් විසින් සම්පාදනය කරන ලද රුවන්මැලි මහා සෑය

නිදි මතේ වගේ , මොකෝ මේ ?
අහ් මේ දවස් වල වැඩිය නිදා ගන්නේ නැහැ.
හෑ , මේ මනුස්සය එලියට (clubbing) යන්නෙත් නැහැ, මොකෝ , ප්‍රශ්නයක් වත්ද ?

ඉතින් ඉතින් , සෝ සෝ ටිරාජ් , මොකද්ද ගෙදෙට්ට වෙලා නිකං ඉන්න ගමං කරන්නේ , කම්මැලි නැද්ද ඕයි ?
නැහැ , කිසිම කම්මැලි කමක් නැහැ , ඇත්තටම කියනවා නම් මට තියෙන පැය විසි හතරත් මදි වෙලා ඉන්නේ .
හෑ , මොකද කරන්නේ ?

මේ වසර කිහිපයකට කලින් 2009 දී පමණ මට නිතර මුහුණදීමට සිදුවූ සාමාන්‍ය ප්‍රශ්න කීපයකි. දීමට උතරයක් තිබුනත් , අද දිනයේත් ඒ උතරය දුන් කල සියයට 99 ක් දෙනාගේ මුහුණු වල මැවෙන "මුට මොංගල් ද කොහෙද" පෙනුම නැතිකිරීමට දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් සිදුවීම සාමාන්‍ය දෙයකි.

 මං පොත් අහනවා ....
 හෑ! පොත් අහනවා !!!  (මුට මොංගල් ද කොහෙද)

ඒ audio books සමග මගේ මුණගැසීම සිදු වූ මුල් කාලයයි. අහඹු ලෙස විවර වූ දැනුම් නිධානය හැකිතාක් පරිභෝග කිරීමේ දැඩි උවමනාවෙන් රෑ නිදි වරාගෙන දිනකට පැය දෙකක් පමණක් නිදි ලබා හැකි සෑම විටම audio books වලට සවන් දුන් කාලයි. ඇඳේ වාඩිවී ක්විල්ට් එකෙන් පොරවාගෙන සිටියොත් සැපට නොදැනීම නින්ද යන හෙයින් , සීතලෙන් ගැහෙමින් බිම වාඩිවී හිටරයට කකුල් දිගුකොටගෙන පොත් ඇසු කාලයයි. එකල එලෙස සවන් දුන් පොත් ප්‍රමාණය සිය (දහස් ?) ගණනකි.

එසේ එකල පොත් ඩවුන්ලෝඩ් කල සයිට් එක දැන් නොමැත. එහෙත් LibriVox සයිට් එක මගින් නොමිලයේ බොහෝ පැරණි පොත පත දැනට ඩවුන්ලෝඩ් කිරීමේ පහසුකම ඇත. ගිහිල්ල බලන්න. එකල පටන් ගත් audio books වැඩේ කොච්චර නැගල ගියාද කිවහොත් මා දැන් වසර 4 කින් පමණ කිසිදු ඉංග්‍රීසි පොතක් අතට ගෙන කියවා නැත.

උදැසනත් සවසත් පැය ගණන් ට්‍රැෆික් වල සිරවී සිටිනා අතර රේඩියෝවේ යන ප්‍රලාප වලට සවන් දෙනවට වඩා පොතකට සවන්දීම කෙතරම් අගනේද ? අන්ධ හා දෘශ්‍ය ආබාධතා ඇති මිලියන ගනකටද මේ මගින් සැලසෙන්නේ ඉමහත් සේවයකි. ඉංග්‍රීසි audio books වල ඇති අගය හොඳ හැටි දන්නා නිසා සිංහල භාෂාවෙන් පලවූ audio books සොයා අන්තර්ජාලය පීරුවත් කිසිවක් සොයා ගැනීමට නොලැබුණි. එබැවින් අන්ධ හා දෘශ්‍ය අබාධිතයන් උදෙසා හෝ පොත් කිහිපයක් සිංහලෙන් පල කිරීමට මා තුල බොහෝ ආශාවක් කලක සිට විය.

ඔන්න එහෙනං අන්තිම්දී ටොපික් එකට ආව. මුට්ටිය දමා බැලීමක් ලෙස පළමුව කුඩා පොතක් ශ්‍රව්‍ය මාධ්‍යයට පරිවර්තනය කොට ඉන් ලැබෙන ප්‍රතිචාර අනුව හෝ ඉඩ ලැබෙන පරිදි හෝ තවත් පොත් පලකිරීමට තීරණය කලෙමි.

එසේ පළමුව පල කරන්නේ , ක්‍රිස්තු වර්ෂ 2006 දී අරියමග්ග සංවිධානය විසින් පලකරන ලද , අතිපුජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමින්ද්‍රයන් විසින් සම්පාදනය කරන ලද රුවන්මැලි මහා සෑය නම්වූ අගනා කුඩා කෘතියයි. ඉඩ ලැබෙන පරිදි කියවීමට හා අවසන් සංස්කරණයට සතියක් පමණ කල්ගත විය. හෙම්බිරිස්සාව සැදී නහයත් උගුරත් දෙකම අවහිර වී තිබු හෙයින් කටයුත්ත තවත් අපහසු විය. කෙසේ හෝ වැඩ නිමවීම සතුටට කාරණයකි. මෙහි අඩුපාඩුකම් බොහෝය. පාලි උච්චාරණයේ දෝෂ බහුලය. තිබෙන අඩුපාඩුකම් , වැඩිදියුණු විය යුතු තැන් කරුණාවෙන් පෙන්වා දුන්නොත් යෙහෙයකි... පිනකි.

එහෙනම් ඇඩ් එක ඉවරයි.
මෙහි මුද්‍රිත කෘතියේ ඉලෙක්ට්‍රොනික පිටපතක් ලබාගැනීමට මෙතනට යන්න.
ශ්‍රව්‍ය පොත ලබාගැනීමට මෙතනට යන්න.

ඊළඟට රේරුකානේ චන්දවිමල හිමියනේ ගේ පොතක් පල කිරීමට සිටිමි. බලමු කොහොම වෙයිද කියල ...


Usual specifics: 
Authors: Venerable Naauyane Ariyadhamma Thero
Genre: Dhamma AudioBook
Language: Sinhala
Read and Uploaded By: Tiraj Adikari
Licence: Creative Commons - Attribution ,Noncommercial and No Derivatives (CC BY-NC-ND)
Download/playback Information: To download individual files right click and select save as from the menu. To download the whole list of files choose VBR ZIP from the left hand Play / Download options menu. To listen on-line, select the file and click on play icon in the audio player located in the top right hand corner. 


Download Link : PDF Book , Audio Book