Saturday, September 29, 2012

අනේ මට ශ්‍රද්ධාව වඩන දහම් පොතක් රෙකමෙන් කරන්න....

කිසි කෙනෙක් අනිකෙකුට සමාන නැහැ. එකිනෙකාගේ ශ්‍රද්ධා , ප්‍රඥා , සති ආදී ඉන්ද්‍රියයන් දියුණු වී ඇති ආකාරය හා මට්ටම වෙනස්. කෙනෙක්ට සුදු කෙස් ගසක් දැකීම ගිහි ජීවිතය කල කිරවන , අනිත්‍යය සිහිපත් කරවන , අප්‍රමාදී වීමට මෙහෙයවන දෙයක් වෙනකොට තව එකෙකුට තමාගේ ඇඟේ ලිලි ලිලි ගාල පනුවෝ දඟලන වණයක් දෙස බලාගෙන ජිවිතේ සැපයි , ශරීරය නිත්‍යයි කියල සතුටෙන් ඔහේ වැටිලා ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ හේතුව නිසා.

සසර පුරුදු කරගෙන ආ අකාරයට එකිනෙකා ධර්මය දකින ආකාරය , ශ්‍රද්ධාව පහල කරගන්න ආකාරය , ඔවුන් ප්‍රිය කරන චරිත හා බුද්ධ චරිතයේ ඔවුන් ප්‍රියකරන අවස්ථා වෙනස් වෙනවා.

කෙනෙකුට බුද්ධ චරිතය කියවීමෙන් , ජාතක කතා කියවීමෙන් සතුටක් , ශ්‍රද්ධාවක් ඇතිවිය හැකියි. තාර්කික බව අගය කරන බහුශ්‍රුත කෙනෙකුට සුත්‍ර දේශනා කියවීමෙන් සතුටක් ලැබිය හැකියි. ගැඹුරු නුවන ඇත්තෙකුට පටිච්ච සමුත්පාදය ප්‍රථමයෙන් ශ්‍රවනය කිරීම අති මහත් කම්පනයකට හා ඒසමගින් ශ්‍රද්ධාව පහළවීමට හේතු විය හැකියි.

බුදුන් භික්ෂුනට වරක් පවසා සිටියා... මහණනි අර බලන්න... සාරිපුත්ත තෙරුන් සමග එක්ව ගමන් ගන්නා සඟ පිරිස දෙස ... ඔවුන් සියල්ලන්ම ප්‍රඥා වන්තයින්. (එම නිසා ප්‍රඥා වන්තයින්ගේ ඇසුර ප්‍රිය කරන්නන් ... ප්‍රඥාව අගය කොට සළකන්නන් ) , මොගල්ලාන තෙරුන් සමාන එක්ව ගමන් ගන්නා සඟ පිරිස සියල්ලන්ම ඉර්ධි ඇත්තන් (එම නිසා ඉර්ධි මතුන්ගේ ඇසුර ප්‍රිය කරන්නන් ... ඉර්ධිමත් බව අගය කොට සළකන්නන් ), ආනන්ද තෙරුන් සමග එක්ව ගමන් ගන්නා සඟ පිරිස සියල්ලන්ම බහුශ්‍රුතයන්. (ඔවුන් එම නිසා බහුශ්‍රුතයන් ඇසුර ප්‍රිය කරනවා ... බහුශ්‍රුත බව අගය කොට සලකනවා )

අර බලන්න දෙව්දත් තෙරුන් හා ඔහු සමග එක්ව ගමන් කරන 500 ක් පිරිස දෙස. ඔවුන් සියල්ලන්ම පාපී භික්ෂුන්. (ඔවුන් එම නිසා පාපී ඇසුර ප්‍රිය කරනවා ... පාපී ක්‍රියා , සිතිවිලි , වචන බව අගය කොට සලකනවා . ඒවා ඔවුනට ප්‍රියයි )

මෙසේ එකිනෙකාගේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණුවී ඇති ආකාරය අනුව ඔවුන් ප්‍රියකරන දෙය වෙනස්. ඔවුන් ප්‍රිය කරන චරිත වෙනස්. එම චරිත වල ඔවුන් කැමති අවස්ථා වෙනස්.

බුදුන් තුන්බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙලා ජනපදයට වැඩම කොට , ඉර්ධි ප්‍රාතිහාර්යය පාමින් උරුවේල කාශ්‍යප ගේ ආරණ්‍යයේ වැඩ වසන එක් අවස්ථාවක රෑක උන්වහන්සේට නරින් පොර කන ශබ්දයක් ශ්‍රවනය උනා. බුදු ඇස විදහා ඒ දෙස බැලුවිට උන්වහන්සේට පෙනී ගියා මියගොස් සත් දවසක් ගෙවී ගොස් අමු සොහොනේ දමා තිබෙන පුන්නා නම් දාසියකගේ මළසිරුරට පොර කන සිවල් රෑන.

අනාගතයේ මහාකාශ්‍යප තෙරුන් සමග හුවමාරු කරගන්නා සුගත චීවරය සකස් කර ගැනීමට , අනාගතයේ මේ ආශ්චර්යමත් අවස්ථාව සිහිපත් කොට ශ්‍රද්ධාව , විර්යය , සිහි නුවන උපදවාගන්නා කුලපුත්‍රයන්ගේ යහපත පිණිසම එම මල සිරුර ඔතා තිබු පාන්ශුකුලය ගැනීම සඳහා උන්වහන්සේ එම අමු සොහොනට එවෙලේම වැඩියා. මළසිරුරේ කැබලි කඩා කමින් උමතුව සිටි සිවලුන් උන්වහන්සේගේ මහා කාරුණික දෙනෙත දැක පසුබැස ඉවත්ව ගියා. ඒ ශාක්‍ය මුනින්ද්‍රයන් වහන්සේ මියගොස් දින සතක් ගතවී තිබුණු ඉදිමි , නිල්වී සැරව , ලේ , ඕජාව ගලමින් , ඉහඳ පණුවන්ගෙන් තෙරක් නැතිව ආකුලව පැවති එම සිරුර ඔතා තිබු රෙදි කඩ තිඹක් පමණ ඉහඳ පණුවන් පීරා දමමින් සෙමින් එතුම් හැර ගලවා ගත්තා.

උන්වහන්සේ එසේ එය ගලවා ගන්නා අවස්ථාවේ... නිකෙලෙස් හදැති මහා ගුණ සම්පන්න උතමයෙකුට පමණක් කළහැකි කාර්යයක් වූ එය කිරීමේදී...    උන්වහන්සේගේ එම ගුණ මහන්තත්වය දරාගැනීමට නොහැකි වූ මහ පොළවද රැව් පිළිරැව් දෙමින් නොයෙක් ආකාරයෙන් කම්පා වී ගිය බව සඳහන්.

ලේ සැරව කඩා හැලෙනා පරම අපවිත්‍ර වූ ඒ අතිශයින් දුර්ගන්ධවත් වූ පාන්ශුකුලය , සුවඳ කවන ලද පට පිලියකට දක්වන සැලකිල්ලෙන් යුතුවම සෙමින් නවා සකස් කොට ගත් උන්වහන්සේ නැවත තම ශ්‍රී පාදයුග්මයෙන් පොලව සනහමින් සෙමින් ආරාමය වෙත වැඩියා.

බලන්න. මේ බුද්ධ චරිතයේ එක් අවස්ථාවක්. කෙනෙකුට මෙය කියවන විට ඇතිවෙන ප්‍රීති වේගය නිසා කඳුළු කඩා වැටෙනවා. අනේ මං සරණ ගිය ඒ භාග්‍යවතුන් වහන්සේ මෙපමණ ගුණ සම්පන්නයි නේද? උන්වහන්සේ සරණ ගොස් අනේ මට වුයේ කෙතරම් ලාභයක්ද.... .

තවත් කෙනෙකුට සිතිය හැකියි ... මාත් මෙලෙස අල්පෙච්චව පාන්ශුකුල සිවුරු දරමින් කවදා ධර්මයේ හැසිරෙම්ද කියා ....

තව කෙනෙක්ට මෙතන ප්‍රශ්නයක්. ඉර්ධි ප්‍රාතිහාර්ය කියල ජාතියක් තියෙනවද ? මහපොළොව එහෙම කම්පා වෙන්න පුලුවන්ද? නවීන විද්‍යාවෙන් ඕව ඔප්පු කරලා , සාධනය කරලා තියෙනවද ?

තවත් කෙනෙක් ... ඔය ලියල තියෙන්නේ බුද්ධ කාලෙන් පස්සේ වෙන වෙන ස්වාමින්වහන්සේලා නේ. ඕව ඇත්තද බොරුද කියල කවුද දන්නේ !

තව කෙනෙකුට ඉතාමත් පිළිකුල උපදවන කතාවක්. චියා ... අද කාලත් හමාරයි. මොන එහෙකට මේ බ්ලොග් මගුල බැලුවද අද මම. ....

තව කෙනෙක්ට මේක ඊට කලින් අහල නැති සිරා කතාවක්. ෆුල් ස්ටොප්.

මේ හේතුව නිසා කෙනෙක්ට හොඳයි කියා සිතෙන දෙයක් තවත් කෙනෙකුට හොඳයි කියා රෙකමෙන් කිරීම ප්‍රයෝගික නැහැ. ධර්මය සම්බන්ධයෙන් නම් ඒක කොහොමටවත් කරන්න බැරි අමාරු දෙයක්.

Thursday, September 27, 2012

අපි කුරුල්ලන් වෙමු

ගෙදර හැමදාම මයිනන්ටයි , පරවියන්ටයි පානුයි හාලුයි දෙනවා. පොසමට ලඟදි ඉඳන් ලැබෙන්නේ කිතුල් පැණි ගාපු උණු පාන්. මේක දැකල මනු මල්ලිට කියවෙනවා අනේ කුරුල්ලෙක් වත් උනා නම් මං කියල. දිනේෂ් උන්නැහේට නම් අසා පොසමෙක් වෙන්නද කොහේදෝ. නාඹර ඇහැට කනට පෙන පොසමිච්චියොත් ගෙදර අවට ගැවසෙනවා නෙව. හි හි.

හත් ඉලව්වේ, සුන්දරව , නිදහසේ පියඹා , පියඹා මැක්සා ෆන් එකේ ඉන්න පුළුවන් වගේ වැඩිදුර නොසිතන මනසකට පෙනුනට , තිරිසන් අපායේ හිත පිහිටුවීම නම් එහෙම විහිළුවට වත් නොකළ යුතු දෙයක්. ගියොත් ගියාමයි . ආයි කල්ප ගානකට බොහෝ විට ගොඩ ඒමක් නැහැ. තිරිසනෙක් වෙලා ඉඳගෙන ගුණ ධර්ම වැඩීමක් , හොඳ නරක සලකා බැලීමක් , පවෙන් වැළකීමක් කරන්න පුළුවන. ක්‍රෝධයෙන් බියෙන් , එකිනෙකා මරාගෙන කන , වැස්සට තෙමෙමින් , අව්වට වේලෙමින් , නිතර බියෙන් සැකයෙන් යුතුව සා පිපාසයෙන් යුතුව ඉන්න ලැබෙන ජිවිතයක ඕව කොහේ වඩන්නද ?

තිරිසන් අපායෙන් නිරයට , නිරයෙන් තිරිසන් අපායට ඔහොම මෙහෙම කල්ප ගානක් රවුම් ගහල වටේ ගිහිල්ල අන්තිමේදී දුප්පත් , කාලකන්නි පවුලක උත්පතිය ලබල , දුප්පත් කම නිසාත් කල්ප කාලාන්තරයක් ගුණ ධර්ම පුහුණු කිරීමක් නොකළ නිසාත් නැවත පහසුවෙන් පවුකමේ යෙදිලා ආයිත් වැටෙන්නේ නිරයටමයි. මගේ නම් සතුරෙක් වත් විහිළුවට වත් තිරිසන් අපායේ සිත පිහිටුවා නොගනිත්වා.

ඔය කිව්වට ,අප අවට සිටින බොහොවෙක් නොදැනුවත් කම නිසා හරි මෝඩ කම නිසා හරි තිරිසන් අපායේ හිත පිහිටුවනවා. ඇතැම් අය කලින් කියපු විදියට තිරිසන් බව ප්‍රර්ථනා කරනවා . බල්ලෝ , පුසෝ වගේ සුරතල් සතුන් විඳින සැප දෙස බලල අනේ මෙහෙම බඩගින්නේ ඉන්න නැතුව බල්ලෙක් උනා නම් අර වගේ සැපට ඉන්න, බඩ පිරෙන්න කන්න ලැබෙනවනේ කියා සිතන කට්ටිය කෙතරම්ද ? ඒ ප්‍රර්ථනාවෙන් තිරිසන් භවය පැතීම.

තව බොහෝවක් ප්‍රර්ථනාවකින් තොරව තිරිසන් භාවයක් ලැබීමේ ප්‍රතිපදාවේ නියැලෙනවා. බහුලව පුරුදු කරනවා. වඩා වඩාත් බහුලව ජීවිතය තුල පුරුදු කරන ලද එම තිරිසන් මානසිකත්වය නිසා මරණින් මතු ඔවුන් තිරිසන් භවයක උපදිනවා. ඒ මොකද්ද ඒ ? තිරිසන් භවයක් ලැබීමට පුරුදු කල යුතු ප්‍රතිපදාව ?

බලමු තිරිසනෙකුගේ සිත. චන්චලයි . විසිර ගිය , එක දෙයක් ගැන තියුණුව සිතිය නොහැකි මනසක් . හොඳ නරක වටහා ගැනීමේ හැකියාවක් නැහැ. ලජ්ජා භය සිතෙහි නැහැ. ප්‍රඥාවෙන් තොරයි . කරන ක්‍රියාවන් ඉතාමත් ප්‍රථමික ඝනයේ පවතිනවා. පොඩි එවුන් දණ ගානවා වගේ ප්‍රථමික ඉරියව් වලින් යුක්තයි . අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව අවමයි. නෑදෑ කම්, යාලු මිත්‍ර කම් හඳුනන්නේ නැහැ. මෙසේ වූ තිරිසනෙකුගේ මානසිකත්වය මනුෂ්‍යයෙකුට ලබාගත හැකි , පුරුදු පුහුණු කල හැකි පහසුම ක්‍රමය මොකද්ද ? බීම , මත්ද්‍රව්‍ය භාවිතය ....

සිහියෙන් සිටියදී නොකරන , කරන්න ලජ්ජා වෙන ඕනෑම පහත් දෙයක් කිරීමට ෂොට් එකක් දා ගත් විට හැකියි නේ . එහෙනම් තිරිසන් වීමේ ප්‍රතිපදාව බීම කියල කියමුකෝ . හප්පා .... එහෙම බැලුවොත් කී දෙනෙක් බල්ලෝ බළල්ලු අතරට යයිද දන්නේ නැහැ නේද ? ... පුදුමයක් නෙවේ . බුදුන් වහන්සේ තම නිය පිට ගත් පස් ස්වල්පයේ උපමාවෙන් දෙසා වදාලේ , මහා පොලව හා සමාන පිරිසක් තිරිසන් භවයේ උපත ලබන බව නෙව.

අනේ මගේ මහත්තය නම් ඔය ටිකක් බිව්වට කාටවත් කරදරයක් නැහැ. ඔහේ පැත්තකට වෙලා ඉන්නවා පොඩි එකෙක් වගේ. ඉතින් එහෙම ඉන්නවා නම් ඔය පොඩ්ඩක් ගත්තට කමක් නැහැ නේ.... ඔව් ඔව් , ඔය පැත්තකට වෙලා පාඩුවේ කාටවත් කරදරයක් නැතුව ඉන්න ස්ලොත් වගේ සත්තුත් ඉන්නේ. උන්ගෙන් එකෙක් වෙන්න බැරිය මහත්තයට....