Saturday, September 29, 2012

අනේ මට ශ්‍රද්ධාව වඩන දහම් පොතක් රෙකමෙන් කරන්න....

කිසි කෙනෙක් අනිකෙකුට සමාන නැහැ. එකිනෙකාගේ ශ්‍රද්ධා , ප්‍රඥා , සති ආදී ඉන්ද්‍රියයන් දියුණු වී ඇති ආකාරය හා මට්ටම වෙනස්. කෙනෙක්ට සුදු කෙස් ගසක් දැකීම ගිහි ජීවිතය කල කිරවන , අනිත්‍යය සිහිපත් කරවන , අප්‍රමාදී වීමට මෙහෙයවන දෙයක් වෙනකොට තව එකෙකුට තමාගේ ඇඟේ ලිලි ලිලි ගාල පනුවෝ දඟලන වණයක් දෙස බලාගෙන ජිවිතේ සැපයි , ශරීරය නිත්‍යයි කියල සතුටෙන් ඔහේ වැටිලා ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ හේතුව නිසා.

සසර පුරුදු කරගෙන ආ අකාරයට එකිනෙකා ධර්මය දකින ආකාරය , ශ්‍රද්ධාව පහල කරගන්න ආකාරය , ඔවුන් ප්‍රිය කරන චරිත හා බුද්ධ චරිතයේ ඔවුන් ප්‍රියකරන අවස්ථා වෙනස් වෙනවා.

කෙනෙකුට බුද්ධ චරිතය කියවීමෙන් , ජාතක කතා කියවීමෙන් සතුටක් , ශ්‍රද්ධාවක් ඇතිවිය හැකියි. තාර්කික බව අගය කරන බහුශ්‍රුත කෙනෙකුට සුත්‍ර දේශනා කියවීමෙන් සතුටක් ලැබිය හැකියි. ගැඹුරු නුවන ඇත්තෙකුට පටිච්ච සමුත්පාදය ප්‍රථමයෙන් ශ්‍රවනය කිරීම අති මහත් කම්පනයකට හා ඒසමගින් ශ්‍රද්ධාව පහළවීමට හේතු විය හැකියි.

බුදුන් භික්ෂුනට වරක් පවසා සිටියා... මහණනි අර බලන්න... සාරිපුත්ත තෙරුන් සමග එක්ව ගමන් ගන්නා සඟ පිරිස දෙස ... ඔවුන් සියල්ලන්ම ප්‍රඥා වන්තයින්. (එම නිසා ප්‍රඥා වන්තයින්ගේ ඇසුර ප්‍රිය කරන්නන් ... ප්‍රඥාව අගය කොට සළකන්නන් ) , මොගල්ලාන තෙරුන් සමාන එක්ව ගමන් ගන්නා සඟ පිරිස සියල්ලන්ම ඉර්ධි ඇත්තන් (එම නිසා ඉර්ධි මතුන්ගේ ඇසුර ප්‍රිය කරන්නන් ... ඉර්ධිමත් බව අගය කොට සළකන්නන් ), ආනන්ද තෙරුන් සමග එක්ව ගමන් ගන්නා සඟ පිරිස සියල්ලන්ම බහුශ්‍රුතයන්. (ඔවුන් එම නිසා බහුශ්‍රුතයන් ඇසුර ප්‍රිය කරනවා ... බහුශ්‍රුත බව අගය කොට සලකනවා )

අර බලන්න දෙව්දත් තෙරුන් හා ඔහු සමග එක්ව ගමන් කරන 500 ක් පිරිස දෙස. ඔවුන් සියල්ලන්ම පාපී භික්ෂුන්. (ඔවුන් එම නිසා පාපී ඇසුර ප්‍රිය කරනවා ... පාපී ක්‍රියා , සිතිවිලි , වචන බව අගය කොට සලකනවා . ඒවා ඔවුනට ප්‍රියයි )

මෙසේ එකිනෙකාගේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණුවී ඇති ආකාරය අනුව ඔවුන් ප්‍රියකරන දෙය වෙනස්. ඔවුන් ප්‍රිය කරන චරිත වෙනස්. එම චරිත වල ඔවුන් කැමති අවස්ථා වෙනස්.

බුදුන් තුන්බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙලා ජනපදයට වැඩම කොට , ඉර්ධි ප්‍රාතිහාර්යය පාමින් උරුවේල කාශ්‍යප ගේ ආරණ්‍යයේ වැඩ වසන එක් අවස්ථාවක රෑක උන්වහන්සේට නරින් පොර කන ශබ්දයක් ශ්‍රවනය උනා. බුදු ඇස විදහා ඒ දෙස බැලුවිට උන්වහන්සේට පෙනී ගියා මියගොස් සත් දවසක් ගෙවී ගොස් අමු සොහොනේ දමා තිබෙන පුන්නා නම් දාසියකගේ මළසිරුරට පොර කන සිවල් රෑන.

අනාගතයේ මහාකාශ්‍යප තෙරුන් සමග හුවමාරු කරගන්නා සුගත චීවරය සකස් කර ගැනීමට , අනාගතයේ මේ ආශ්චර්යමත් අවස්ථාව සිහිපත් කොට ශ්‍රද්ධාව , විර්යය , සිහි නුවන උපදවාගන්නා කුලපුත්‍රයන්ගේ යහපත පිණිසම එම මල සිරුර ඔතා තිබු පාන්ශුකුලය ගැනීම සඳහා උන්වහන්සේ එම අමු සොහොනට එවෙලේම වැඩියා. මළසිරුරේ කැබලි කඩා කමින් උමතුව සිටි සිවලුන් උන්වහන්සේගේ මහා කාරුණික දෙනෙත දැක පසුබැස ඉවත්ව ගියා. ඒ ශාක්‍ය මුනින්ද්‍රයන් වහන්සේ මියගොස් දින සතක් ගතවී තිබුණු ඉදිමි , නිල්වී සැරව , ලේ , ඕජාව ගලමින් , ඉහඳ පණුවන්ගෙන් තෙරක් නැතිව ආකුලව පැවති එම සිරුර ඔතා තිබු රෙදි කඩ තිඹක් පමණ ඉහඳ පණුවන් පීරා දමමින් සෙමින් එතුම් හැර ගලවා ගත්තා.

උන්වහන්සේ එසේ එය ගලවා ගන්නා අවස්ථාවේ... නිකෙලෙස් හදැති මහා ගුණ සම්පන්න උතමයෙකුට පමණක් කළහැකි කාර්යයක් වූ එය කිරීමේදී...    උන්වහන්සේගේ එම ගුණ මහන්තත්වය දරාගැනීමට නොහැකි වූ මහ පොළවද රැව් පිළිරැව් දෙමින් නොයෙක් ආකාරයෙන් කම්පා වී ගිය බව සඳහන්.

ලේ සැරව කඩා හැලෙනා පරම අපවිත්‍ර වූ ඒ අතිශයින් දුර්ගන්ධවත් වූ පාන්ශුකුලය , සුවඳ කවන ලද පට පිලියකට දක්වන සැලකිල්ලෙන් යුතුවම සෙමින් නවා සකස් කොට ගත් උන්වහන්සේ නැවත තම ශ්‍රී පාදයුග්මයෙන් පොලව සනහමින් සෙමින් ආරාමය වෙත වැඩියා.

බලන්න. මේ බුද්ධ චරිතයේ එක් අවස්ථාවක්. කෙනෙකුට මෙය කියවන විට ඇතිවෙන ප්‍රීති වේගය නිසා කඳුළු කඩා වැටෙනවා. අනේ මං සරණ ගිය ඒ භාග්‍යවතුන් වහන්සේ මෙපමණ ගුණ සම්පන්නයි නේද? උන්වහන්සේ සරණ ගොස් අනේ මට වුයේ කෙතරම් ලාභයක්ද.... .

තවත් කෙනෙකුට සිතිය හැකියි ... මාත් මෙලෙස අල්පෙච්චව පාන්ශුකුල සිවුරු දරමින් කවදා ධර්මයේ හැසිරෙම්ද කියා ....

තව කෙනෙක්ට මෙතන ප්‍රශ්නයක්. ඉර්ධි ප්‍රාතිහාර්ය කියල ජාතියක් තියෙනවද ? මහපොළොව එහෙම කම්පා වෙන්න පුලුවන්ද? නවීන විද්‍යාවෙන් ඕව ඔප්පු කරලා , සාධනය කරලා තියෙනවද ?

තවත් කෙනෙක් ... ඔය ලියල තියෙන්නේ බුද්ධ කාලෙන් පස්සේ වෙන වෙන ස්වාමින්වහන්සේලා නේ. ඕව ඇත්තද බොරුද කියල කවුද දන්නේ !

තව කෙනෙකුට ඉතාමත් පිළිකුල උපදවන කතාවක්. චියා ... අද කාලත් හමාරයි. මොන එහෙකට මේ බ්ලොග් මගුල බැලුවද අද මම. ....

තව කෙනෙක්ට මේක ඊට කලින් අහල නැති සිරා කතාවක්. ෆුල් ස්ටොප්.

මේ හේතුව නිසා කෙනෙක්ට හොඳයි කියා සිතෙන දෙයක් තවත් කෙනෙකුට හොඳයි කියා රෙකමෙන් කිරීම ප්‍රයෝගික නැහැ. ධර්මය සම්බන්ධයෙන් නම් ඒක කොහොමටවත් කරන්න බැරි අමාරු දෙයක්.

11 comments:

  1. ශ්‍රද්ධාවත් පෙරුම්පුරාගෙන වඩන්න ඕනෙ ඉන්ද්‍රියක්.ඒව ඉතින් කඩෙන් ගන්න බෑ

    ReplyDelete
  2. ඇයි උඹ මේ බ්ලොග් එක සින්ඩ්යට දාල නැත්තෙ?

    ReplyDelete
    Replies
    1. කොත්තු වල විතරයි තියෙන්නේ.
      දැනට ඔය ඇති බං...
      :)

      Delete
    2. ආපෝ ඔය මදි, ඔය මදි.
      තව කීපෙකටම දාන්න..

      මේ දැනුම මීට වඩා වැඩි ප්‍රදේශයකට ව්‍යාප්ත වෙන්න ඕනේ...එතකොටයි වටිනකම වැඩි..එහෙම නේද අයියේ ?

      Delete
    3. අපෝ මෙය හොඳටෝම ප්‍රමාණවත්. පාඨකයන් වැඩි වීම , කොමෙන්ටු වැඩි වීම තවත් උපාදානයකට පාර කැපීමක්. බණ හොයන කට්ටිය ගූගල් සර්ච් කරලා , ඒ පැත්තෙන්ම හොයාගෙන ඩවුන්ලෝඩ් කරගෙන යනවා.... ධර්ම දානය පිණිස ඒ ටික ප්‍රමාණවත් නෙව...
      :)

      Delete
    4. හොඳ කතාවක් :)

      Delete
  3. මම නොදැන හිටිය සිද්ධියක්. ලිපියට ඉතාමත් ස්තුතියි මල්ලි. මොනතරම් නික්ලෙශී, නිරහංකාර උතුමෙක්ද අපි මේ සරණ යන්නේ?

    ReplyDelete
  4. එහෙමයි මහත්මයා. බුදු , දම් , සඟ ගුණ නිසි ආකාරයෙන් හඳුනාගෙන ආකාරවතී ශ්‍රද්ධාව පහලකරගන්න හැකිවීම , ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගත්ත පමණට අප අතරින් ලක්ෂයකට එක අයෙකුට පමණ ලැබෙන දුර්ලභ වාසනාවක් නෙව

    ඒ වාසනාව ඔබත් ලැබුවා නම් සතුටුයි...

    ReplyDelete