Tuesday, December 20, 2016

වොරන් බෆට් ලංකාවේ උන්නා නං ...

මාමා - ආ කොහොමද අදත් මේ පැත්තේ ඇවිල්ල වගේ

වොරන් - ඔව් මාමේ , සුසී නංගිව බලන්න කියල ආව. ඕමි අතක් බලනවයි ? 

මාමා -  හොඳා හොඳා , අද බැහැ.   මෙහෙන් පොඩ්ඩක් වාඩි උනානං. මං මේ කාරණයක් ගැන  කථා කරන්න තමා හිතන් හිටියේ. පුතා දැන් මොනවාද කරන්නේ ?

වොරන් - ඒ කිව්වේ මාමේ 

මාමා -  මං මේ කිව්වේ රස්සාව ගැන එහෙම 

වොරන් -   දැනට නං රස්සාවක් කරන්නේ නැහැ මාමේ.  

මාමා -  දැන් ඔය එතකොට ඔය උදේට උදේට යන්නේ 

වොරන් -  ආ ඒ මම බෙන්ජමින් සර් ගාව වැඩ ඉගෙනගන්නවා. ඒකට ගෙවන්නේ නැහැ කියක්වත්

මාමා - එහෙමද ? ඔය බෙන්ජමින්ල අඩු කුලේ එවුං. කුණු ලෝබයෝ. ඒක වෙන්නැති කීයක්වත් නොදෙන්නේ. වැඩ ඉගෙන ගත්තට පස්සේ එතනම රස්සාවක් ලැබෙයි නේද ?

වොරන් - නැහැ මාමේ මම එතන දිගටම ඉන්න කල්පනාවක් නැහැ.  වැඩ ඉගෙනගෙන ගමට යන්න තමා හිතං ඉන්නේ 

මාමා -  කොළඹ දාල ආයි ගමට ගිහිල්ල මොනව කරන්නද ?

වොරන් -  මගේම පොඩි වැඩක් සුළුවෙන් පටං ගන්න තමයි හිතං ඉන්නේ.

මාමා - කලිං වෙන රස්සාවක් කරලා තියෙනවද ?

වොරන් -  එහෙමත් කියල නෑ මාමේ. ඉස්සර අක්කරේ වත්තේ වැටිච්ච පොල් අහුලලා වික්කා. ඊට පස්සේ පරණ ජැක් පොට් මැසින් දෙක තුනක් හන්දියේ බාබර් සාපුවේ දැම්මා. කොළඹ ආවට පස්සේ  ලංකාදීපේ බෙදුවා. ඔයවගේ වැඩ තමා කලේ.

මාමා - ඉගෙනගෙන එහෙම නෑ වගේ නේද ? නැත්නං ඔහොමත් වැඩ කරාවිය !

වොරන් - ජයවර්ධණපුරෙන් මැනේජ්මන්ට් උපාදියක් තියෙනවා  මාමේ 

මාමා - හප්පට සිරි එහෙමද. එත් වැඩක් තියේ හරිහමං රස්සාවක් වත් නැති කොට  !  ඉස්තිර රස්සාවක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද ?

වොරන් -  නෑ මාමේ ගමේ මගේම දෙයක් සුළුවෙන් පටං ගන්න තමා අදහස 

මාමා - පුතා තරහ වෙන්න එපා, මගේ දුවට හොඳක් වෙන දෙයක් කරලා දෙන්න තමා අපේ අදහස. දැනටමත් ගාල්ලේ කච්චේරියේ පැන්ෂන් එහෙම තියෙන ලියන මහත්තයෙක් දුව ගැන අහල එවල තියනවා. අපේ අදහස ඒ කටයුත්ත කරලා දෙන්න. ඉස්තිර රස්සාවක් වත් නැති පොල් අහුලපු , පත්තර බෙදපු කොල්ලෙක්ට අපේ දුව දෙන්න නං අපේ තුං හිතක වත් අදහසක් නැහැ.  ආයි මේ පැත්තේ නාවට කාරි නෑ එහෙනං.  

Sunday, July 10, 2016

අපේ අය හරිම වෙනස් සහෝ ! I don't know why ?


අපේ සමහරක් අය රට, ජාතිය ,සත්ව හිංසනය, මානව සම්පත් කළමනාකරණය ගැන බොක්කෙන් කතා කරනවා නමුත් තමන්ගේ වගකීම රැකියවේදී, වහනය පදවන විට ඉටු කරන්නේ නැහැ .  අපේ අය හරිම වෙනස් සහෝ ! I don't know why මෙහෙම වන්නේ ඇයි ? - SPJ


එයට මුලික හේතුව කුහක කම. සමාජයක් වශයෙන්ම මෙහෙම කුහක වීමට හේතුව පරම්පරා කීපයක් තිස්සේ දරුවන්ට ළමා කාලයේදී එකිනෙකට වෙනස් අදහස් ඉගැන්වීම. උදාහරණ විදියට

1. බොරු කියන්න එපා කියන අම්මම ඉස්කෝලේ ඇඩ්මිෂන් එකේදී බොරු කියන්න උගන්වනව
2. සිගරට් , අරක්කු බොන්න එපා කියන තාත්තා හවසට යාලුවෝ එක්ක බොන පාටි දාන්නේ ගෙදර
3. පාරේ ටොපි කොළ දාන්න එපා කියල තාත්ත හවසට කුණු එක එහා ගෙදර මිනිහගේ ගේට්ටුව ගාව දාල එනවා
4. හොරකම් කරන්න එපා කියල, අවංක වීම ගැන උගන්වලා  කඩේ මුදලාලි වැඩිපුර දුන්න මාරුකාසි සාක්කුවේ දාගෙන එනවා
5. වැඩිහිටියන්ට සලකමු , මාතු පාදං, පීතු පාදං  නමාමි  කියල ළමයට උගන්නල සියා , ආච්චි වැඩිහිට නිවාසෙක දාල ගෙදර එනවා
6. කුණුහරප කීම නරකයි කියල ළමයට කිව්වට ගෙදර දෙමව්පියෝ ගෝරි යන්නේ අමු කුණුහරපෙන්
etc

මෙහෙම ද්විවිධ සිග්නල් කුඩා කාලයේ සිටම ළමා මනසට ගියහම ඒ ළමයට කීම සහ කිරීම කියන්නේ එකිනෙකට වෙනස් එකිනෙකට සම්බන්ධ නොවුන ක්‍රියාකාරකම් බවට පත් වෙනවා. ඔහු වැඩිවියේදී සමාජයට එකතු වෙන්නේ යථා වාදී තථා කාරී නුවුන කුහකයෙක් විදියට. මෙය තමා ලාංකික සමාජයේ දේශපාලකයාගේ සිට හිඟන්නා දක්වා විහිද ගොස් ඇති එකම කේධවාචකය.

සමාජයට බැන වැදිලා , චන්දයෙන් චන්දයට  වෙනත් දේශපාලකයෙක්ට කතිරේ ගහල මෙය වෙනස් කරන්න බැහැ. මෙය තමන්ගෙන් , තමන්ගේ කැපවීම හරහා   දරුවන් ට ලබා දෙන ආදර්ශය හරහාම  ආපසු  හැරවිය හැකි දෙයක් පමණයි