Monday, June 13, 2011

ධර්මපාල චින්තන - Dharmapala Chinthana

ලංකාවේ අන් සියලු ජාතිකයෝ ස්වකිය ආගමට ප්‍රේමයෙන් කුල චාරිත්‍ර වලට අනුව ක්‍රියා කරති. මරක්කලයාගේ හොඳ ගති රාශියක් තිබේ. රික්ෂෝ රථය අදින දෙමලා පාන්දර නැගිට ඇඟපත සෝදාගෙන පිරිසිදු වස්ත්‍රයක් ඇඳ නළලේ අළු ටික ගාගෙන දෙවියන් සිහිකර වැඩ පටන්ගනී. ලංකාවේ අනිකුත් සියලු ජාති වලම මනුෂ්‍ය වර්ගයා ඔවුන්ගේ කුල ධර්ම වලට අනුව ක්‍රියා කරති. අහෝ! කාලකන්නි අඳබාල සිංහලයෝ පමණක් උන්මත්තකයින් මෙන් ඇට්හෝම් , හොනිමූන් පවත්වමින් , කේක් , ෂාම්පෙන් , ගවුම් , බොස්තොරොක්ක , බම්බුසාය , පිදුරු තොප්පි මෝනින් කෝට් , ටුවිඩ් කැප් ආදිය පාවිච්චියට ගනිමින් අත තිබෙන ධනය නැතිකරගෙන සුද්දාට දාසකම් කරමින් කල් යවති.

ලංකාවේ හම්බ , මරක්කල , දෙමළ , බොම්බයි කාර , ලංසි පාර්සි සමුහයා දක්නා ලැබේ. ජාතික වස්ත්‍ර , ජාතික නාම , ජාතික චාරිත්‍ර උල්ලංඝනය නොකොට ඉහත කි ජාතීහු පවත්වත්. ආගමක් , ධර්මයක් අචාර්යවරයෙක් නැත්තේ කාලකන්නි සිංහලයන්ට පමණි. ධනය සැපයීමට සිංහලයාට මොලේ නැතැයි කොච්චි , දෙමළ , හම්බ්ක්කරයන්ට වැටහී තිබේ. රික්ෂෝ අදින දෙමළ කුලී කාරයාට තිබෙන ඤාණය සිංහල කලකන්නියාට නැත. කලිසම් , කෝට් , තොප්පි , ටයි , කොලර් , කමිස , මේස් , බනියන් , සපත්තු , බොත්තන් ආදියට සිංහල මෝඩයා කරන නිරර්ථක වියදම් අනෙක් ජාතීහු කරන්නේ නැත.

දෙමළ , මරක්කල , ලංසි , හෙට්ටි , ඉන්දියන්වරු , හම්බයෝ හා යුරෝපියවරු පසුගිය කාලය තුල වෘධියට පැමිණුනහ. සිංහල මෝඩයා පමණක් ඉංග්‍රීසි චාරිත්‍ර ගනිමින් විනාශයට පැමිණුනහ.
( අනගාරික ධර්මපාල , 1921 )

මෙයට මේ කාලයට හා දේශයට අනුව යමක් එකතු කරන්නේ නම් එය මෙසේ විය යුතු යයි සිතේ.

මෙල්බරන් නුවර යනු ලොව වෙසෙන නානාප්‍රකාර ජාතින් වාසය කරන තැනකි. මෙහි වෙසෙන්නාවූ ඒ නානාප්‍රකාර ජාතින් ගේ කුඩා දරුවන් බොහෝකොට තම මවු බසින් දෙමාපියන් සමග කතා කරනු දැක ඇත්තෙමි. වෙළද සල් වල , පාරේ හෝ පොදු ස්ථාන වල හමුවන මෙම නානාප්‍රකාර ජාතීන්ගේ කුඩා දරුවන් (අතෙහි සිටින්නාවූ බහ තෝරන අත දරුවන් පවා ) තම දෙමාපියන් සමග තම බසින් පමණක් කතා කරයි. එම චීන , කොරියානු , යුරෝපිය , ඉන්දීය , තායි , ජපන් ආදී වූ විවිධ ජාතීනට අයත් මෙම දෙමාපියන්ද තම දේශයෙන් කෙතරම් ඈත විසුවද තම දේශයට හා සංස්කෘතියට ඇති ප්‍රේමයෙන් තම දරුවන් තම මවුබස ඉගනීමට උනන්දු කරනු ලබන්නේ , එහි ඇති අගය වටහාගෙන ඇති බැවිනි.

අහෝ ඉංගිරිසිය දොහොත් මුදුනින් ගත් කාලකන්නි අඳබාල සිංහල දෙමවුපියන් පමණක් , කැඩිච්ච ඉංගිරිසියෙන් තතන තතනා හෝ තම දරුවන් සමග ඉංගිරිසියෙන් පමණක් කතාකරනු මා සැමවිටම දැක අතෙමි.

භාෂාව යනු සංස්කෘතියකට පිවිසීමේ දොරටුවයි. තම මාතෘ භාෂාව හරිහැටි නොදන්නා එහි භාවිතාවේ විවිධත්වය නොදන්නා දරුවා හට පසුවට එම භාෂාවෙන් විස්තර කරන්නාවූ තම මාතෘ දේශයෙහි ඇති කරුණු විහිළුවකි , දුරවබෝධ ආත්මයට සමීප නොවූ දුරස්ථ දෙයකි. ටිකෙන් ටික වයසින් වැඩෙන විට මෙම දුරවබෝධ භාෂාව හා ඒ හා සමග බැදුණු සංස්කෘතිය හා සභ්‍යත්වය ඔහුගෙන් ගිලිහි ගොස් පරිපුර්ණ ABCD (Australian Born Confused Desi) කෙනෙකු බවට පත්වීම හෝ , සම්පුර්ණයෙන් පර භාෂා චරිත්‍රයනට අනුගත වීම වැළැක්විය නොහැකිය.

දෙමපියන්නට මෙය වැටහෙන විට කල් ගොස් වැඩිය. දරුවනට තම භාෂාව හා චාරිත්‍ර හදුන්වා නොදී , ඉංග්‍රීසි භාෂාව හා ඒ සමග බැදුණු හොද හා නරක චාරිත්‍ර අකුරක් නෑර උගන්වා ඔවුන් හොද ඔසියන් වූ පසු , යුරොපියන්ගේ ගේ චාරිත්‍ර පරිදි දෙමවුපියන් සමග කතාබස් කරන විට (You mind your own business old man) හැසිරෙන විට සුසුම්ලමින් සිටිනා කාලකන්නි දෙමාපියන්ද මා දැක අතෙමි. කලයුතු දේ නිසිකල නොකොට දිය සිදී ගිය විලක අතරමන් වී ඇති කණ කොකුන් වන් වූ ඔවුනට අප අනුකම්පා කල යුතුද ?

1 comment:

  1. http://katha32.blogspot.com//2015/09/two-characters.html

    මිතුර, ඔබේ ලිපියක කොටසක් උපුටා දැක්වීම පිළිබඳ අමනාපයක් නැතැයි සිතමි.

    ReplyDelete