Saturday, October 29, 2011

සක්දෙව් වත

©2011 Buddha Dharma
Education Association Inc
මාතලිය , ත්‍රිවේද පදප්‍රාප්ත වූ බ්‍රාහ්මණ ගනයාද, සියලු පොලෝවැසි ජනයාද , දිග්විජය කරනලද ජයග්‍රාහී වූ ලෝවැසි ජනයාගෙන් නිති පුදලබන්නා වූ ක්ෂත්‍රියයන්ද , මහත් ආනුභාව සම්පන්න වූ සතර දිශාවටැ තම පරාක්‍රමය පවත්වන්නා වූ සතරවරම් දෙව් රජවරුනද , අති මහත් යසස් ඇති , කිර්ති ඇති මහානුභාව සම්පන්න වූ දෙව් පිරිසද නිරතුරු දෙව් රජ වූ , සුජතාවනට හිමි වූ, මඝවනතු නම් වූ මා නමදිත්.

එනමුත් මා ,ඒ උතුම් වූ ආර්ය ශිලයෙන් සමන්වාගත වූ , බොහෝ කලක් මුළුල්ලේ වඩනාලද , එකඟ කරනලද පවිත්‍ර සිත් ඇත්තාවූ සාසන බ්‍රහ්ම චර්යාවෙහි ඇලුණු සිත් ඇතිව අප්‍රමාදව වසන්නා වූ ඒ උතුම් මහාවිර වූ , මහා ඍෂි වූ , නිකලැස් වූ භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍ර වූ පැවිදි සඟ ගණ මෙසේ නමදිමි. මෙසේ මැනවින් වඳිනෙමි.

එලෙසින්ම , අප්‍රමාදව පිවිතුරු , විචිත්‍ර වූ නෙක කුසල් වැඩීමෙහි නියුක්තව , උතුම් ගෘහස්ත ශිලයෙහි පිළිපන්නා වූ යම් උපාසක උපාසිකාවක පිවිතුරුව උපයාගත් ධනයෙන් තම අඹු දරුවන් පෝෂණය කැරමින් දැහැමින් වසත්ද , ඔවුනට මාගේ නමස්කාරය වේවා. මා එසේ වූ සත්පුරුෂයනට මෙසේ සොඳ සේ වඳිනෙමි.

සක් දෙව් රජුන් , සක්කනමස්සන සුත්‍රයැනි











Sunday, October 23, 2011

ථේර ගථා

©2011 Buddha Dharma
Education Association Inc
අලංකාරව සැරසීගත් මනාව පීරා මලින් ගවසා ගත් හිසෙන් යුත් අගනා රූ සපුවෙන් යුක්ත වූ ඒ කාන්තාව ම වෙත දිව ආවාය.ඇගේ වර්ණවත් රටා අඳින ලද්දා වූ සියුමැලි පා සිලිටු පාද ජාලාවෙන් වෙලා රන් මිනි වැඩි සඟලෙන් අලංකාරවත් විය.  

ඈතදීම එම මිරිවැඩි ඉවත්කොට කාමිවූ නුවන් විදහා ම වෙත පැමිණි ඈ රටා පොවා අලංකාරවත් කල සිඟිති හස්තයන් එක් කොට දන බිම හොවා රත් පැහැ දෙතොල් විදහා මා ඇමතුවාය.

සත්පුරුෂය , මෙසේ කසට කඩින් දෙවුර වසා සැරසුනත් ඔබ මහත් බල ඇති තරුණයෙකි. මා හට සවන් යොමනු මැන.මනු ලොව ඇති සියලු සැප හැකි පමණ විඳිය යුතුය. ඔබ හට සියලු සැප හා සතුට අවැසි ලෙස ලබාදීමට මා හට හැක.සත්‍යම පවසමි. මගේ ජීවිතය වුව ඔබ හට ලබා දෙන්නෙමි. මේ පිළිකුල් කසට කඩ හා හිඟන පාත්‍රය ඉවත දා මා වෙත පැමිණ වසන්න.කාමයන් පරිභෝග කරන්න. මහලු වී සැරමිටි වරුවෙන් යන කල අප දෙදෙනාහටම එකට පැවිදි වී බ්‍රහ්මචර්යාව පිරිය හැකි නොවේද ?එකල අප දෙලොවම ජය ගත්තා වන්නේය. එන්න සත්පුරුෂය එන්න , කාමයේ ඇලි සතුටු වන්න. මෙදිවිය ඇත්තේ විඳීමට මිස විඳවීමට නොවේ.

ඇගේ ශරීරය රන්වන් පැහැ දීප්තිමත් සුමට සමින් වැසිණි. පළඳන ලද රන් අබරණින් නැගුනු දීප්තියෙන් හා ඈ හා සමගම ගමන් ගත්තාවූ මන මත් කරන්නා වූ පියකරු සුගන්ධයට කවරනම් පුරුෂයකුගේ හද හුණු වී නොයාද ?

එනමුත් මියුරු හඬින් යුගත් බැඳ මා ඉදිරිපිට දනින් වැටී කාමයෙන් පිඩිතව දෙඇසින් ගලා යන හුණු කඳුලින් යුතුව මා යදින්නා වූ පාපී මරු විසින් සොඳසේ අටවන ලද තොණ්ඩුව පැහැදිලිව නුවනින් දිටිමි. අලංකාරවත්ව සරසන ලද එම සුභය විනිවිද අශුභය දිටිමි.

කාන්තිමත් රන්වන් පැහැ ගත්තා වූ සුමුදු සම විනිවිද ඇට සැකිල්ල වට කොටගත් ලේ හා මස් නහරින් බැඳ ඇත්තාවූ දෙතිස් කුණුපයෙන් සජ්ජිත වූ ඒ ශරීරයේ නිස්සාරත්වය , පිළිකුල හා නොඇලිමට හේතුවන්නා වූ ස්වභාවය ප්‍රත්‍යක්ෂ කෙළෙමි. මනාව සරසා මල් හොවා හැඩ කරන ලදුව , කාමී පුරුෂයින් නැවත සසරින් ගැලවී යා නොහෙන සේ දැඩි ලෙස බැඳ දමන්නා වූ මාර තොණ්ඩුව දිටිමි.

කලෙක කාමයෙන් උමතු වූ පුරුෂයින් විසින් අනුරාගයෙන් වැළඳ ගන්නා වූ , දෙතොලින් සිප සනසන්නා වූ එම ශරීරයම කලෙක ජරාවෙන් ජිර්ණව වියලි ගියැ ලබු කැටයක මෙන් රැලින් ගැවසී ගත්ව , කබ , කඳුළු සොටු පෙරමින් මුත්‍රා ගන්ධයෙන් යුත්ව සරැටියෙන් යන කල කවරෙක් නම් පිළිකුලෙන් ඉවත නොබලත්ද ?
ජිවය හරනා ලදුව දර කඩක්වන්ව සොහොනට ඇද දමන ලදුව , ඉදිමි පිපිරී සැරව ගලන්නා වූ , පණුවන් ගෙන් අතොරක් නොමැතිව ගැවසිගත්තා වූ , බොහෝ දුර පැතුරුන පිළිකුල් මිනී ගන්ධයෙන් යුතු වූ එම ශරීරයම දුටු කවර නම් කාමී පුරුෂයෙක් කරා කෙල නොගසත්ද ? කවෙරෙක් නම් එහි ඇල්ම උපද්දවත්ද ?
කවෙර්ක් නම් එහි ලොබ බඳිත්ද ?

මෙසේ නුවනින් මෙනෙහි කරන්නා වූ මා එතැන්හිදීම සියලු ආශ්‍රවයන් සිඳලා උතුම් වූ ආර්ය භාවයට පත් වුයෙමි. ඒ සත්පුරුෂ වූ , මහා ඍෂි වූ , ලොව්හි එකම පිහිට වූ ගෞතම සම්මා සම්බුදුන්ගේ ශාසනයේ පිහිට ලැබීමි. උන්වහන්සේගේ ඔරස පුත්‍ර භාවයට පත්විණි.කෙලෙස් කසට අත් මැඩ ත්‍රිවිද්‍යා ව පිරුවෙමි. මේ ගොරතර වූ සංසාර කතරින් දුකට පත් සත්වයා එතෙර කරවන්නා වූ මහා වීර වූ සත්ත වාහක ඒ පුරුෂොත්තමයානන්ගේ අවවාදයන් පිරූ මාහට ඉමහත් ලාභයක්ම වී.

සුන්දර සමුද්ද මහා රහතුන්ගේ ථේර ගථා ඇසුරිනි - පදානුගත පර්වර්තනයක් නොවේ

Thursday, October 13, 2011

සමනල සිරිපා වන්දනාව

රට එක්සේසත් කොට රජ කම් කල දහමින් බොහෝසේ
නරපති නිස්සන්කමල්ල සමයේ සිංහල දේසේ

කෙත් වත් සරු වී ගුණදහමින් හැම හදවත් තෙමුනා
සිත් පිනවන රජුගේ පිය කරු මල් උයනක් තිබුනා

මන්මත් වී බඹර බිඟුන් රොද බැඳ මදුවිත ඉරුවා
රජ උයනේ සුපිපුණු මල් කවුරුද සොරකම් කෙරුවා

මුරකරුවන් ටත් නොහැකිය අල්වාගන්නට මැරකම
නිතර නිතර සිදුවිය රජ උයනේ මේ මල් සොරකම

අල්වාගෙන දෙනෙකුට රජ උයනේ මල් කඩන සොරා
තෑගි ලැබෙන බව දන්වා අඬ බෙර හඬ නුවර පුරා

ඉඩදිය යුතු නැත මේවගේ සොර මැරකම් සිදු වෙන්නට
කොටෙකු ඉදිරිපත් විය මල් නෙලන සොරුන් අල්ලන්නට

ඇවිදින්නට අපහසු හින්දා මේ මල් උයන වටා
පලක් තනාගෙන උයනේ එහි වාසය කරයි කොටා

මලුයනේ විසිතුරු බව සියසින් ඔහු දැක්කානේ
පැල තුල නිති කාන්සියට කියවයි සතිපට්ටානේ

මිහිරි හැඳින් සතිපට්ටානය කියමින් සිටින දිනක
සුන්දර සුරගනන් පෙළක් දුටුවා මුර කුටිය කොනක

අසමින් උන්නා සුර දැරියන් සතිපට්ටාන දෙසුම්
තිබුනා ඔවුනගේ අත්වල පාට පාට සුවඳ කුසුම්

මේවා රජ උයනේ පිපුණු මල් බව සැකයක් ඇතුවා
මල් හොරු මේ සුර අඟනුන් විය යුතු යයි ඔහු සිතුවා

උපායකින් අල්ලගත්තා පැන එක සුර කෙල්ලක්
බියපත් අන් සුරංගනියන් දිව්වා පා කෙඳිරිල්ලක්

අන්සතු වූ අබැටක් වුව පහර ගැනීමත් අකුසල්
අයි ඔබ සොරකම් කෙරුවේ මහා රජුගේ උයනේ මල්

බුදු සිරිපා පිදුමට මල් කැඩුවෙමි සමනල කන්දේ
මට යන්නට දෙන්න අනේ පින්වත කියමින් වැන්දේ

කොතනද මට පෙන්වනවා නම් ඒ බුදු සිරිපාදේ
නිදහස් වී යන්නට කුමරිය ඔබහට මග පැදේ

කැමති වෙලා මුනි සිරිපාදේ පෙන්වන ගිවිසුම පිට
ඇය ගුවනින් ගියාය මල් දමමින් සිරිපා මළුවට

සුරංගනාවිය ගුවනින් හෙලු මල් මාවත ඔස්සේ
කොටා ගියා සිරිපා මුදුනට දින ගණනක් තිස්සේ

සැදැහැ සිතින් වැඳ සිරිපා හද බුදු බැතියෙන් නාවා
කොටා පැමිණ රජු හමුවේ සියලුම තොරතුරු කීවා

පැහැදී රජු සැරසී යන්නට සමනොළ සිරස බලා
කොටාට ගම් වරයක් සහ මසුරන් පොදි තිලින කලා

මං මාවත් තැනවී රජ හිම ගිර මුදුනට මනාව
එදා පටන් ඇරඹුණි සමනල සිරිපා වන්දනාව

ගායනය සුභාෂිනි සුබසේන සහ සරත් ජයවීර
Ref: රට එක්සේසත් කොට

Tuesday, October 11, 2011

දුක්කථා


©2011 Buddha Dharma
Education Association Inc
 මහණනි , පස් වැදෑරුම් දු ලක්ෂණ ඇත්තාවූ සත්වයන් සමගින් කරන්නා වූ ධර්ම කතාව දුකින් යුත්ත වුවකි.ඒ කවරේද යත් ,

උතුම් වූ පරිශුධ වූ ශ්‍රද්ධාව නැත්තාවූ , බුද්ධ , ධම්ම , හා ආර්ය සංඝ රත්නය විෂයෙහි ප්‍රේමය නැත්තා වූ පුගුලෙකු සමග කරනා සද්ධා කතාව දුක්කථාවකි.

ලේ ගැවසුණු අත් ඇතිව සත්ව ඝාතන පරදාර කර්මාදී වූ දුශ්චරිතයෙහි ගිලි පසුවන්නා වූවකු සමග කරන්නා වූ ශිල කතාව දුක්කථාවකි.

ධර්මය ඉගෙන ප්‍රගුණ නොකරන්නාවූ අල්පශ්‍රුත වූ සත්වයෙකු සමග කරන්නාවූ ධර්ම කතාව දුක්කථාවකි.

තම සතු දැය රක්ෂාභිගෘහිත පොකුණක ඇති දිය මෙන් අන් කිසිවකු හට හිත වැඩ පිණිස නොදී තෘෂ්ණාවෙන් රැක සිටින්නා වූ තණ්හා භරිත වූවකු හා සමග කරනා දාන කතාව දුක්කථාවකි.

නුවනින් නොවිමසන්නා වූ ස්වභාවය ඇති ඤාණය දියුණු නොකරන ලද්දා වූ සත්වයෙක් හා කරනා ප්‍රඥා කතාව දුක්කථාවකි.

ඒ කිනම් හේතුවකින් ද යත් , එලෙලෙසින් වූ ධර්ම කථාවේ යෙදෙන කල හෙතෙමේ අසහනයට පත් වේ , කිපේ, තරහ උපදවා ගනී. එයට විරුද්ධව දැඩිව නැගී සිටි. මක්නිසාද යත් හෙතෙමේ තමන් තුල එම උතුම් ශ්‍රද්ධා , ශිල , ත්‍යාගාදී ගුණ ධර්මයන් නොදක්නා නිසාය. එවන් වූ කතාවෙන් එම සත්වයා සතුටක් නුපදවයි. ප්‍රමෝදයට පත් නොවෙයි. මෙය ලොවෙහි ඇත්තාවූ පොදු ධර්මතාවයකි.

ගෞතම බුදුන් , සැවැත් නුවර ජේතවනාරාමයේදීය