Sunday, October 23, 2011

ථේර ගථා

©2011 Buddha Dharma
Education Association Inc
අලංකාරව සැරසීගත් මනාව පීරා මලින් ගවසා ගත් හිසෙන් යුත් අගනා රූ සපුවෙන් යුක්ත වූ ඒ කාන්තාව ම වෙත දිව ආවාය.ඇගේ වර්ණවත් රටා අඳින ලද්දා වූ සියුමැලි පා සිලිටු පාද ජාලාවෙන් වෙලා රන් මිනි වැඩි සඟලෙන් අලංකාරවත් විය.  

ඈතදීම එම මිරිවැඩි ඉවත්කොට කාමිවූ නුවන් විදහා ම වෙත පැමිණි ඈ රටා පොවා අලංකාරවත් කල සිඟිති හස්තයන් එක් කොට දන බිම හොවා රත් පැහැ දෙතොල් විදහා මා ඇමතුවාය.

සත්පුරුෂය , මෙසේ කසට කඩින් දෙවුර වසා සැරසුනත් ඔබ මහත් බල ඇති තරුණයෙකි. මා හට සවන් යොමනු මැන.මනු ලොව ඇති සියලු සැප හැකි පමණ විඳිය යුතුය. ඔබ හට සියලු සැප හා සතුට අවැසි ලෙස ලබාදීමට මා හට හැක.සත්‍යම පවසමි. මගේ ජීවිතය වුව ඔබ හට ලබා දෙන්නෙමි. මේ පිළිකුල් කසට කඩ හා හිඟන පාත්‍රය ඉවත දා මා වෙත පැමිණ වසන්න.කාමයන් පරිභෝග කරන්න. මහලු වී සැරමිටි වරුවෙන් යන කල අප දෙදෙනාහටම එකට පැවිදි වී බ්‍රහ්මචර්යාව පිරිය හැකි නොවේද ?එකල අප දෙලොවම ජය ගත්තා වන්නේය. එන්න සත්පුරුෂය එන්න , කාමයේ ඇලි සතුටු වන්න. මෙදිවිය ඇත්තේ විඳීමට මිස විඳවීමට නොවේ.

ඇගේ ශරීරය රන්වන් පැහැ දීප්තිමත් සුමට සමින් වැසිණි. පළඳන ලද රන් අබරණින් නැගුනු දීප්තියෙන් හා ඈ හා සමගම ගමන් ගත්තාවූ මන මත් කරන්නා වූ පියකරු සුගන්ධයට කවරනම් පුරුෂයකුගේ හද හුණු වී නොයාද ?

එනමුත් මියුරු හඬින් යුගත් බැඳ මා ඉදිරිපිට දනින් වැටී කාමයෙන් පිඩිතව දෙඇසින් ගලා යන හුණු කඳුලින් යුතුව මා යදින්නා වූ පාපී මරු විසින් සොඳසේ අටවන ලද තොණ්ඩුව පැහැදිලිව නුවනින් දිටිමි. අලංකාරවත්ව සරසන ලද එම සුභය විනිවිද අශුභය දිටිමි.

කාන්තිමත් රන්වන් පැහැ ගත්තා වූ සුමුදු සම විනිවිද ඇට සැකිල්ල වට කොටගත් ලේ හා මස් නහරින් බැඳ ඇත්තාවූ දෙතිස් කුණුපයෙන් සජ්ජිත වූ ඒ ශරීරයේ නිස්සාරත්වය , පිළිකුල හා නොඇලිමට හේතුවන්නා වූ ස්වභාවය ප්‍රත්‍යක්ෂ කෙළෙමි. මනාව සරසා මල් හොවා හැඩ කරන ලදුව , කාමී පුරුෂයින් නැවත සසරින් ගැලවී යා නොහෙන සේ දැඩි ලෙස බැඳ දමන්නා වූ මාර තොණ්ඩුව දිටිමි.

කලෙක කාමයෙන් උමතු වූ පුරුෂයින් විසින් අනුරාගයෙන් වැළඳ ගන්නා වූ , දෙතොලින් සිප සනසන්නා වූ එම ශරීරයම කලෙක ජරාවෙන් ජිර්ණව වියලි ගියැ ලබු කැටයක මෙන් රැලින් ගැවසී ගත්ව , කබ , කඳුළු සොටු පෙරමින් මුත්‍රා ගන්ධයෙන් යුත්ව සරැටියෙන් යන කල කවරෙක් නම් පිළිකුලෙන් ඉවත නොබලත්ද ?
ජිවය හරනා ලදුව දර කඩක්වන්ව සොහොනට ඇද දමන ලදුව , ඉදිමි පිපිරී සැරව ගලන්නා වූ , පණුවන් ගෙන් අතොරක් නොමැතිව ගැවසිගත්තා වූ , බොහෝ දුර පැතුරුන පිළිකුල් මිනී ගන්ධයෙන් යුතු වූ එම ශරීරයම දුටු කවර නම් කාමී පුරුෂයෙක් කරා කෙල නොගසත්ද ? කවෙරෙක් නම් එහි ඇල්ම උපද්දවත්ද ?
කවෙර්ක් නම් එහි ලොබ බඳිත්ද ?

මෙසේ නුවනින් මෙනෙහි කරන්නා වූ මා එතැන්හිදීම සියලු ආශ්‍රවයන් සිඳලා උතුම් වූ ආර්ය භාවයට පත් වුයෙමි. ඒ සත්පුරුෂ වූ , මහා ඍෂි වූ , ලොව්හි එකම පිහිට වූ ගෞතම සම්මා සම්බුදුන්ගේ ශාසනයේ පිහිට ලැබීමි. උන්වහන්සේගේ ඔරස පුත්‍ර භාවයට පත්විණි.කෙලෙස් කසට අත් මැඩ ත්‍රිවිද්‍යා ව පිරුවෙමි. මේ ගොරතර වූ සංසාර කතරින් දුකට පත් සත්වයා එතෙර කරවන්නා වූ මහා වීර වූ සත්ත වාහක ඒ පුරුෂොත්තමයානන්ගේ අවවාදයන් පිරූ මාහට ඉමහත් ලාභයක්ම වී.

සුන්දර සමුද්ද මහා රහතුන්ගේ ථේර ගථා ඇසුරිනි - පදානුගත පර්වර්තනයක් නොවේ

No comments:

Post a Comment