Sunday, July 22, 2012

පොසම් ගෙදර...

සුමුදු නම් කියන්නේ මේකට සකසා දන් දීමයි කියල 
අපේ ගෙදෙට්ට අවුරුද්දක් විතර තිස්සේ හැමදාම එන පොසම්මු කීප දෙනාට කෑම කවනකොට හිතුනා තව ටිකක් උන්දලා ගැන විස්තර දැන ගත්තොත් හොඳයි කියල. කියෝගෙන යනකොට හිතුනා සිංහලෙන් මොකවත් ලියුවොත් හොඳයි කියල. ඔන්න එහෙනං.....

මේ කට්ටිය ගෙදර ඩිනර් එකට නිත්‍ය සාමාජිකයෝ වෙලා දැන් අවුරුද්දකට වැඩියි. මං දිනපතා දෙන පාන් පෙති 4-6 ට අමතරව සුමුදුත් පාන් දෙනවා. එයිට අමතරව උන්නැහැ බිස්කට් , චීස්, නූඩ්ල්ස් වගේ ඒවත් සමහර වෙලාවට දුන්නත් මං නම් වැඩි මනාපයක් නැහැ ඒකට. ඔව්වට පුරුදු උනොත් ඉන ඉහ හිටන් උගස් කරන්න වෙයි මට මුං නඩත්තු කොරන්න.

ගිය අවුරුද්දේ දවසක ඉර බැස්සට පස්සේ මුලින්ම වැට උඩ හක්කලන් කරන්න ගත්තේ පොසම් මහත්තයා. දැන් නම් එන්නේ ටිකක් කලාතුරකින්. ඒකට හේතුව තමයි පොසම්මු අනිත් සතුන්ට වඩා ඉතාමත් ඉක්මනින් තමන්ගේ වාසස්ථාන වෙනස් කරගෙන වෙන පැති වලට සංක්‍රමණය වීම. අවුරුද්දකට 12-15 වතාවක් විතර ඔවුන් තමන් ඉන්න තැන , ප්‍රදේශය වෙනස් කරන බව සඳහන්. රාත්‍රී කාලයේ හැසිරෙන සතුන් කොටසක් නිසා ඉර බැස්සට පස්සේ තමයි තමන් ඉන්න තැන් වලින් එලියට එන්නේ. දවල් කාලේ දකින්නට ලැබුනොත් උන්ද ලෙඩ වෙච්චි පොසමෙක් කියල තමයි කියන්නේ. ගස් බෙන වල , තුරු වදුලු වල, ගෘහස්ශ්‍රිතව නම් ගෙවල් වල සිවිලිම් අස්සේ , බිමෙන් ඉහලට ගොඩ නංවා තිබෙන ගෙවල් වල පාදම අස්සේ තමයි දවල් කාලෙට වාසේ. දවල්ට බලන්න ඕනේ නම් ඉතින් පාරට යන එකයි තියෙන්නේ ... වාහන වලට අහුවෙලා මැරිච්ච පොසම්මු ඕන තරම් පාරේ ඉන්නවා දවල්ට

ඔවුනට ඕන පරිසරයකට හැඩ ගැහෙන්න , අනුවර්තනය වෙන්න වගේම , ශාක , කෘමින් , පලතුරු ආදී පුළුල් පරයක පැතිරුණු ආහාර ගැනීමටත් පුළුවන්. මියන් වඳ කරන්නත් සාර්ථක ව පාවිච්චි කරන්න පුළුවන්. අපේ ගෙදර තිබ්බ මි වසංගතේ නැති කරන්නත් පොසම්ලා බොහෝ වැඩ කොටසක් කරායයි කියල හිතන්න පුළුවන්. දැන් එකෙක් නැහැ නේ බේතකට.

පොසම්මුන්ගේ කකුලේ අධි වර්ධනය වෙච්චි ශක්තිමත් මාපට ඇඟිල්ලක් වගේ එකක් තියෙනවා. නියපොතුත් බළලුන්ගේ තරමට නැතුවට බොහොම තියුණුයි... ආයි මොනවද .. අත්දැකීමෙන්ම තමයි කියන්නේ. වලිගෙත් උඩ කොටස ලස්සනට තිබ්බට යට කොටසේ ලෝම නැහැ. ඒ වගේම ඉතාමත් ශක්තිමත්. මට දැනිච්ච විදියට අත් කකුල් වලට වඩා ශක්තිමත් වලිගෙ. බොහෝ කොට වලිගෙන් අත්තක සම්පුර්ණයෙන් එල්ලිලා පැද්දිලා වෙන ගසක මාරු වෙනවා. ගස් නගින්නම හැදිච්ච ශරීරයක්.

ආයි කතාවට එමු. වැට උඩට වෙලා ඉන්න පොසම් මහත්තයට දුන්න පාන් පෙත්ත බොහොම ආසාවෙන් කාල ගියා. එයිට පස්සේ හැමදාම එන්න පටන් ගත්ත. මාත් ඉතින් හැමදාම පාන් දෙන්න පටන් ගත්ත. දැනට වරින් වර කෑම කන්න එන පොසම්මු 4-5 දෙනා අතරින් හිලෑම එක්කෙනා තමයි පොසම් මහත්තයා. ඔලුව අත ගාන්න , නැට්ටෙන් අදින්න , රැවුලෙන් අදින්න , පොඩි පොඩි පාන් කැලි අතින්ම කවන්න , පිට අත ගාන්න වගේ ඕන දෙයක් කරන්න පුළුවන්. තාපසයෙක් වගේ. බොහොම නිවිච්ච සතෙක්. තාම වඩා ගන්න නම් ගිහිල්ල නැහැ. කොහොම උනත් කැලැ සතා නේ. නිකන් ටින්කිරි මොකට ගාගන්නද ?

මේ වර්ගයේ පොසම්මු හිටියේ ඔස්ට්‍රලියාව ,නවගිනියාව , සුලාවෙසි ( ඉන්දුනීසියාවේ දුපතක්) වල විතරයි. නවසීලන්තයට සහ චීනෙට පසු කාලෙක හඳුන්වා දීල තියෙනවා. පොසම් කෝට් එක බොහොම සිනිදුයි වගේම ඝනයි. නවසිලන්තෙට හඳුන්වා දීල තියෙන්නේ කෝට් එක ගලෝගන්න කියල තමයි සඳහන් වෙන්නේ. නවසීලන්තයට හඳුන්වා දීපු පොසම්මු ඉවක් බවක් නැතුව වර්ධනය වෙන්න ගත්තේ ඔවුන්ගේ ගහනය සිමා කරල තියාගන්න පුළුවන් විදියේ ස්වභාවික සතුරෙක් ඒ පරිසරයේ නොහිටිය හින්දයි. දැන් නම් පොසම්මු නවසීලන්තයට ලෝක ඇනයක් වෙලා තියෙන්නේ. නමුත් ඔස්ට්‍රලියාවේ තත්වය වෙනස්. මෙහෙ උන් සංරක්ෂිත සත්ව කොටසක්.... ඒකෙත් හැටි!.

පොසම් කෝට් එකෙන් , අත් වැසුම් , කබා , කෝට් වගේ බොහෝ දේවල් හදනවා නවසිලන්තේ. අවුරුද්දකට මිලියන දෙකක් පමණ නිදැල්ලේ ජිවත් වෙන පොසම්මු අල්ලාගෙන තමයි මේ සම් භාණ්ඩ නිපදවන්නේ. ඊකො-පොසම් , මැරිනොමින්ක් කියල ෆැෂන් ලේබල් කීපෙකුත් තියෙනවා ...ගෑනු කට්ටියට...ඕනනම් ඉතින්... 

ටික කාලයක් තනියෙන් ආපු පොසම් මහත්තයා එක දවසක් ආවේ නෝනා කෙනෙකුත් අරගෙන. මුලදී පොඩ්ඩක් ලජ්ජා බයට ඈතට වෙලා හිටිය උනත් පස්සේ දෙන්නම එකට කෑම කන්න පුරුදු උනා. මේ පින්තුර වල ඉන්නේ ඒ පොසම් නෝනා තමයි. මේ දවස්වල මුලින්ම කෑම කන්න එන්නේ උන්දැ. මේ සුභ අවස්ථාව ගෙදර අයට දැනුම් දෙන්න ගහපු මංගල දැන්වීම් පත්‍රිකාව ඔය තියෙන්නේ. මේකට ලැබිච්ච ප්‍රතිචාර ඔක්කොටම හපන්. එත් අවසරයක් නැතුව දාන්න බැහැ නේ!.

පොසම් නෝනා තමයි මුලින්ම ගෙදර ඇතුලට එන්න පුරුදු උනේ. වැට උඩට වෙලා නොයිවසිල්ලෙන් ඉන්නකොට තමයි ඉතින් පාන් ටික රත් කරලා දෙන්නේ. පාන් ඕඩ්රේ පරක්කු උනහම වැටෙන් බැහැල ගේ ඇතුලට ඇවිල්ල කකුලේ මාපට ඇඟිල්ල විකල වැරැද්දක් කරපු පොඩි එකෙක් වගේ රෝල් වේවි දුවනවා. බොහෝ අය පොසම් දත් තියුණුයි කියල කිවුවත් ඒවා එහෙම නෙමෙයි කියල මට හොඳින්ම කියන්න පුළුවන්. ඒවා ටිකක් මොටයි. නමුත් ඔවුන්ට තදින් විකන්න පුළුවන් ශක්තිමත් හකු තියෙනවා. නමුත් සම සිදුරු වෙන්නේ නැහැ. මේ නෝනාම තමයි දවසක් පාන් කැල්ලක් විදියට හිතල මගේ ඇඟිල්ලක් අල්ලාගෙන කටේ දාගෙන අම්ම මෝ නැතුව විකාගෙන විකාගෙන ගියේ. ඇඟිල්ලට මතක වස්තර දෙන්න වෙයි කියල හිතුනත් පොඩ්ඩක් රිදුන ඇරෙන්න සම සිදුරු වීමක් හෝ ලේ ගැලීමක් සිදු උනේ නැහැ.


ඔය හොඳ පැත්ත. නරක පැත්ත තමයි පොසම්මු මගින් ක්ෂය රෝග කාරක බැක්ටීරියාව පැතිරීම. නවසීලන්තය වගේ රට වල නම් ඉවක් බවක් නැතුව වර්ධනය වීම නිසා පරිසරයේ ස්වභාවික සමතුලිතතාවය බිඳ වැටීම. පිස්සු බලු රෝගය පතිරෙන්නත් පුළුවන් කියල ඇතැම් අය කියුවට ඒ සම්බන්ද විශේෂඤයො නම් කියන්නේ ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය රේබිස් රෝග කාරක වයිරසය වර්ධනයට සුදුසු මට්ටමට වඩා අඩුවෙන් පිහිටීම නිසා එසේ නොවෙන බවයි. බොහොම සාමකාමී සත්ව වර්ගයක් නිසා උන්ගේ ජිවිතේට තර්ජනයක් වෙන බව දැනුනොත් ඇරෙන්න වෙන වෙලාවක නම් මිනිස්සුන්ට කිසිම හානියක් කරන්නේ නැහැ. පුළුවන් තරම් දුවල බේරෙන්න තමයි බලන්නේ.

පොසම්මු ඇනයක් වෙලා නම් මේ වගේ අය ඉන්නවා උදව්වට . සංරක්ෂිත සත්ව කොට්ටාශයක් වෙච්ච පොසම්මු මරණ එක ඔස්ට්‍රේලියාව තුල නම් දඬුවම් ලැබිය හැකි වරදක්. එත් ඉතින් රෑට දඩි බිඩි ගාල වහලේ දුවනවා ඇහෙනකොට අහු වෙච්චි වෙලාවක බෙල්ල මිරිකලා දාන්නත් නොහිතෙනවාම නොවේ ... :)

2 comments:

  1. මම මුලින් හිතුවේ පිටරටකින් ඕස්ට්‍රේලියාවට ඇවිත් ඉන්න සෙට් එකක් ගැන කියලා :P

    ReplyDelete