Thursday, September 27, 2012

අපි කුරුල්ලන් වෙමු

ගෙදර හැමදාම මයිනන්ටයි , පරවියන්ටයි පානුයි හාලුයි දෙනවා. පොසමට ලඟදි ඉඳන් ලැබෙන්නේ කිතුල් පැණි ගාපු උණු පාන්. මේක දැකල මනු මල්ලිට කියවෙනවා අනේ කුරුල්ලෙක් වත් උනා නම් මං කියල. දිනේෂ් උන්නැහේට නම් අසා පොසමෙක් වෙන්නද කොහේදෝ. නාඹර ඇහැට කනට පෙන පොසමිච්චියොත් ගෙදර අවට ගැවසෙනවා නෙව. හි හි.

හත් ඉලව්වේ, සුන්දරව , නිදහසේ පියඹා , පියඹා මැක්සා ෆන් එකේ ඉන්න පුළුවන් වගේ වැඩිදුර නොසිතන මනසකට පෙනුනට , තිරිසන් අපායේ හිත පිහිටුවීම නම් එහෙම විහිළුවට වත් නොකළ යුතු දෙයක්. ගියොත් ගියාමයි . ආයි කල්ප ගානකට බොහෝ විට ගොඩ ඒමක් නැහැ. තිරිසනෙක් වෙලා ඉඳගෙන ගුණ ධර්ම වැඩීමක් , හොඳ නරක සලකා බැලීමක් , පවෙන් වැළකීමක් කරන්න පුළුවන. ක්‍රෝධයෙන් බියෙන් , එකිනෙකා මරාගෙන කන , වැස්සට තෙමෙමින් , අව්වට වේලෙමින් , නිතර බියෙන් සැකයෙන් යුතුව සා පිපාසයෙන් යුතුව ඉන්න ලැබෙන ජිවිතයක ඕව කොහේ වඩන්නද ?

තිරිසන් අපායෙන් නිරයට , නිරයෙන් තිරිසන් අපායට ඔහොම මෙහෙම කල්ප ගානක් රවුම් ගහල වටේ ගිහිල්ල අන්තිමේදී දුප්පත් , කාලකන්නි පවුලක උත්පතිය ලබල , දුප්පත් කම නිසාත් කල්ප කාලාන්තරයක් ගුණ ධර්ම පුහුණු කිරීමක් නොකළ නිසාත් නැවත පහසුවෙන් පවුකමේ යෙදිලා ආයිත් වැටෙන්නේ නිරයටමයි. මගේ නම් සතුරෙක් වත් විහිළුවට වත් තිරිසන් අපායේ සිත පිහිටුවා නොගනිත්වා.

ඔය කිව්වට ,අප අවට සිටින බොහොවෙක් නොදැනුවත් කම නිසා හරි මෝඩ කම නිසා හරි තිරිසන් අපායේ හිත පිහිටුවනවා. ඇතැම් අය කලින් කියපු විදියට තිරිසන් බව ප්‍රර්ථනා කරනවා . බල්ලෝ , පුසෝ වගේ සුරතල් සතුන් විඳින සැප දෙස බලල අනේ මෙහෙම බඩගින්නේ ඉන්න නැතුව බල්ලෙක් උනා නම් අර වගේ සැපට ඉන්න, බඩ පිරෙන්න කන්න ලැබෙනවනේ කියා සිතන කට්ටිය කෙතරම්ද ? ඒ ප්‍රර්ථනාවෙන් තිරිසන් භවය පැතීම.

තව බොහෝවක් ප්‍රර්ථනාවකින් තොරව තිරිසන් භාවයක් ලැබීමේ ප්‍රතිපදාවේ නියැලෙනවා. බහුලව පුරුදු කරනවා. වඩා වඩාත් බහුලව ජීවිතය තුල පුරුදු කරන ලද එම තිරිසන් මානසිකත්වය නිසා මරණින් මතු ඔවුන් තිරිසන් භවයක උපදිනවා. ඒ මොකද්ද ඒ ? තිරිසන් භවයක් ලැබීමට පුරුදු කල යුතු ප්‍රතිපදාව ?

බලමු තිරිසනෙකුගේ සිත. චන්චලයි . විසිර ගිය , එක දෙයක් ගැන තියුණුව සිතිය නොහැකි මනසක් . හොඳ නරක වටහා ගැනීමේ හැකියාවක් නැහැ. ලජ්ජා භය සිතෙහි නැහැ. ප්‍රඥාවෙන් තොරයි . කරන ක්‍රියාවන් ඉතාමත් ප්‍රථමික ඝනයේ පවතිනවා. පොඩි එවුන් දණ ගානවා වගේ ප්‍රථමික ඉරියව් වලින් යුක්තයි . අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව අවමයි. නෑදෑ කම්, යාලු මිත්‍ර කම් හඳුනන්නේ නැහැ. මෙසේ වූ තිරිසනෙකුගේ මානසිකත්වය මනුෂ්‍යයෙකුට ලබාගත හැකි , පුරුදු පුහුණු කල හැකි පහසුම ක්‍රමය මොකද්ද ? බීම , මත්ද්‍රව්‍ය භාවිතය ....

සිහියෙන් සිටියදී නොකරන , කරන්න ලජ්ජා වෙන ඕනෑම පහත් දෙයක් කිරීමට ෂොට් එකක් දා ගත් විට හැකියි නේ . එහෙනම් තිරිසන් වීමේ ප්‍රතිපදාව බීම කියල කියමුකෝ . හප්පා .... එහෙම බැලුවොත් කී දෙනෙක් බල්ලෝ බළල්ලු අතරට යයිද දන්නේ නැහැ නේද ? ... පුදුමයක් නෙවේ . බුදුන් වහන්සේ තම නිය පිට ගත් පස් ස්වල්පයේ උපමාවෙන් දෙසා වදාලේ , මහා පොලව හා සමාන පිරිසක් තිරිසන් භවයේ උපත ලබන බව නෙව.

අනේ මගේ මහත්තය නම් ඔය ටිකක් බිව්වට කාටවත් කරදරයක් නැහැ. ඔහේ පැත්තකට වෙලා ඉන්නවා පොඩි එකෙක් වගේ. ඉතින් එහෙම ඉන්නවා නම් ඔය පොඩ්ඩක් ගත්තට කමක් නැහැ නේ.... ඔව් ඔව් , ඔය පැත්තකට වෙලා පාඩුවේ කාටවත් කරදරයක් නැතුව ඉන්න ස්ලොත් වගේ සත්තුත් ඉන්නේ. උන්ගෙන් එකෙක් වෙන්න බැරිය මහත්තයට....

1 comment:

  1. මොනවා වුණත් පොසම් උන්නැහේලට පැණි දාපු පාන් දෙන එක,මයිනන්ටයි , පරවියන්ටයි පානුයි හාලුයි දෙන එකනම් නියමයි!


    ලිපිය නම් සුපිරියි!

    අදාල වෙන පුද්ගලයො කීපදෙනෙක් ඉන්නවා මම අඳුනන.ඔන්න මම මේක ඊ මේල් කරා

    ReplyDelete