Tuesday, October 16, 2012

දේවදුත සුත්‍රයෙන්....

දේවදුත සුත්‍රය මා ඉතාමත් ප්‍රිය කරන , නිතර දෙවේලේ සිහිපත් වෙන සුත්‍ර දේශනා කීපයෙන් එකක්. (දේවදුතයෝ හැම තැනම පේන්න ඉන්නවා නෙව අඩුවක් නැතිව ). එය ඇත්තේ මජ්ජිම නිකායෙහි , උපරි පන්නාසකයෙහි තුන්වන වර්ගයේ දස වන සුත්‍රය වශයෙනි. 

ලෝ පහල වී වදාරන සියලු සර්වඥයන් වහන්සේලා විසින්ම දේශනා කරනු ලබන අවිජහිත  දීර්ඝ සවිස්තර දේශනාවක් වන මෙය මෙතැන සම්පුර්ණයෙන් තියා සංක්ෂිප්ත වශයෙන් වත් ලියන්න නම් බැහැ. සම්පුර්ණයෙන් ලියන්න බැහැ දිග වැඩි නිසා. සංක්ෂිප්ත කොට ලියුවොත් එයින් ලැබෙන නියම ධර්ම රසය ලැබෙන්නේ නැහැ.... ඒකයි... මුළු සිංහල ත්‍රිපිටකය ම දැන් නොමිලයේ ම ලබා ගත හැකිව තිබෙන නිසා , උනන්දුවක් ඇති කෙනෙකුට එය ලබාගෙන කියවීමටත් කිසිම බාධාවක් නැහැ. මේ සුත්‍රයේ තැනක සඳහන් වෙනවා මෙන්න මෙහෙම ...

ජිවිත කාලයම ප්‍රමාද විහරණයෙන් සෙල්ලමින් වාසය කල අවාසනාවන්ත තැනැත්තා කයබිඳී මරණින් පසු මහා නරකයකට නොවැටී ඔසුපත් නරකයක ඕපපාතිකව උපත ලබනවා. එවිට යමපල්ලන් විසින් අල්වාගෙන ඔහු ගෙනයනවා එම ඔසුපත් නරකයට අධිගෘහිත යම රජු වෙත. එහිදී යමරජු මේ තැනැත්තා වෙත ඇති කරුණාවෙන් ඔහුට සිහිපත් කරවන්න උත්සහ කරනවා ඔහුගේ දිවියේදී කරන ලද ස්වල්ප වූ හෝ කුසලයක්. යම රජු එම පුරුෂයාගෙන් මෙසේ ප්‍රශ්න කරනවා...

එම්බා පුරුෂය , මනුෂ්‍ය ලෝකයේ සිටියදී නුඹ දුටුවේ නැද්ද මිනිසුන් අතර පහලවූ පළවෙන දේව දුතයා ?
නැත ස්වාමිනි මා දුටුවේ නැහැ ...
මොනවා , නුඹ දුටුවේ නැද්ද ඒ දවසෙම ඉපදී , මළ මුත්‍ර ගොඩේ අසරණව දඟලමින් මුනින් අත වැටී සිටින කුඩා දරුවන් ?
අහෝ ! ස්වාමිනි දැක්කා ....
ඉදින් නුඹ සිතුවේ නැද්ද , මාත් මේ ආකාරයේ ස්වභාවයෙන් යුතුව තමයි ඉපදුනේ. මා සිටියේ යලි යලිත් ඉපදෙන ස්වභාවයෙන් මයි නේ... යලි යලිත් මා හට මෙලෙසින්ම ඉපදෙන්නට සිදු වනවා නොවේද ? යලි යලිත් මෙලෙසින් මළ මුත්‍ර ගොඩේ අසරණව දඟලමින් මුනින් අත වැටී සිටින්නට සිදු වෙනවා නේද ? ඉදින් මෙලෙසින් යලි යලි ඉපදෙන ස්වභාවය උරුම කරගෙන සිටින මා අප්‍රමාදව ධර්මයේ හැසිරිය යුතුයි , කුසල් වැඩිය යුතුයි කියා තොප හට සිතුනේ නැද්ද ?
අනේ සවාමීනි මට බැරුව ගියා ... මම ප්‍රමාද උනා.....

එසේ නම් පුරුෂය , මනුෂ්‍ය ලෝකයේ සිටියදී නුඹ දුටුවේ නැද්ද මිනිසුන් අතර පහලවූ දෙවන දේව දුතයා ?
නැත ස්වාමිනි මා දුටුවේ නැහැ ...
මොනවා , නුඹ දුටුවේ නැද්ද අසු අනු වයස් ගතවූ , සම රැලි වැටී , කෙස් පැසි , දත් සියල්ල සැලී , තල කැලලින් පිරි සිරුරු ඇතිව සැරමිටි වාරුවෙන් , කුදුව වකුටුව ජරාවෙන් ජිර්ණව ගමන් ගන්නා මහල්ලන් මහැලියන් ?
අහෝ ! ස්වාමිනි දැක්කා ....
ඉදින් නුඹ සිතුවේ නැද්ද , මාත් මේ ආකාරයේ ස්වභාවයකට පත් වන බව ? මාත් මේ ආකාරයෙන් වයසට ගොස් ජරාවෙන් ජිර්ණව යන බව ? මා ජරාව නොයික්මවා ඇති බව ? මා හටද මේ ආකාරයෙන් සම රැලි වැටී , කෙස් පැසි , දත් සියල්ල සැලී , සැරමිටි වාරුවෙන් , කුදුව වකුටුව යන්නට සිදුවන බව ? ඉදින් මෙලෙසින් දුර්වලව ජරා ජිර්ණව යාමට ප්‍රථමයෙන් මා අප්‍රමාදව ධර්මයේ හැසිරිය යුතුයි , කුසල් වැඩිය යුතුයි කියා තොප හට සිතුනේ නැද්ද ?
අනේ ස්වාමිනි මට බැරුව ගියා ... මම ප්‍රමාද උනා.....


එසේ නම් පුරුෂය , මනුෂ්‍ය ලෝකයේ සිටියදී නුඹ දුටුවේ නැද්ද මිනිසුන් අතර පහලවූ තුන්වන දේව දුතයා ?
නැත ස්වාමිනි මා දුටුවේ නැහැ ...
මොනවා , නුඹ දුටුවේ නැද්ද රෝගී වූ පුරුෂයන්, ස්ත්‍රීන් ? නොයෙක් ආකාර වූ වණ , පිළිකා , ආදී නානාප්‍රකාර රෝග වැළඳී , මළ මුත්‍ර ගොඩෙහි වැටී අනුන් විසින් නැගිට්ටවිය යුතු , හාන්සි කරවිය යුතු , කැවිය පෙවිය යුතු අප්‍රමාන දුක් විඳින්නා වූ රෝගීන් ?
අහෝ ! ස්වාමිනි දැක්කා ....
ඉදින් නුඹ එවිට සිතුවේ නැද්ද , මාත් මේ ආකාරයේ ස්වභාවයකට පත් වන බව ? මාද ලෙඩ වන ස්වභාවය උරුම කරගෙන, ලෙඩවන ස්වභාවය ඇති කයක් පරිහරණය කරමින් ජිවත් වන කෙනෙක් බව ? මා හටද වණ , පිළිකා , ආදී නානාප්‍රකාර රෝග වැළඳී , මළ මුත්‍ර ගොඩෙහි වැටී අනුන් විසින් නැගිට්ටවිය යුතුව , හාන්සි කරවිය යුතුව , කැවිය පෙවිය යුතුව අප්‍රමාන දුක් විඳින්න සිදුවන බව ? ඉදින් මෙලෙසින් බියකරු ලෙඩ රෝග වැළඳී දුර්වලව යාමට ප්‍රථමයෙන් මා අප්‍රමාදව ධර්මයේ හැසිරිය යුතුයි , කුසල් වැඩිය යුතුයි කියා තොප හට සිතුනේ නැද්ද ?
අනේ ස්වාමිනි මට බැරුව ගියා ... මම ප්‍රමාද උනා.....

එසේ නම් පුරුෂය , මනුෂ්‍ය ලෝකයේ සිටියදී නුඹ දුටුවේ නැද්ද මිනිසුන් අතර පහලවූ හතරවන දේව දුතයා ?
නැත ස්වාමිනි මා දුටුවේ නැහැ ...
මොනවා , නුඹ දුටුවේ නැද්ද දඬුවමට හසුවී දුක් විඳින්නා වූ සත්වයින්? කස පහර ලැබ , වේවැලින් දඬු මුගුරෙන් තලනු ලැබ , අත් පා කන් නාසා කපා දමන ලදුව , හුල සිටුවා තිබෙන්නා වූ , අප්‍රමාන දුකට භාජනයවූ සත්වයන් ?
අහෝ ! ස්වාමිනි දැක්කා ....
ඉදින් නුඹ එවිට සිතුවේ නැද්ද , මාත් මේ ආකාරයේ ස්වභාවයකට පත් විය හැකි බව ? මාද මෙලෙසින් වධ බන්ධන වලට යටත් කරනු ලදුව අත පය කපා දමනු ලදුව අප්‍රමාන දුක් විඳින්නට සිදුවන බව ? හුල සිටුවා දින ගණනක් හුල මත සා පිපාසයෙන් මරණය එන තෙක් දුක් විඳිමින් බලා සිටිය යුතු බව ? මිනිස් ආත්මයේම වරදට දඬුවම් එසේ ලැබේ නම් .. නිරයට වැටුණු කල කෙසේ නම් වේද ? ඉදින් මෙලෙසින් බියකරු විවිධාකාර දඬුවමට යටත් වීමට ප්‍රථමයෙන් මා අප්‍රමාදව ධර්මයේ හැසිරිය යුතුයි , කුසල් වැඩිය යුතුයි කියා තොප හට සිතුනේ නැද්ද ?
අනේ ස්වාමිනි මට බැරුව ගියා ... මම ප්‍රමාද උනා.....

එසේ නම් පුරුෂය , මනුෂ්‍ය ලෝකයේ සිටියදී නුඹ දුටුවේ නැද්ද මිනිසුන් අතර පහලවූ පස්වන දේව දුතයා ?
නැත ස්වාමිනි මා දුටුවේ නැහැ ...
මොනවා , නුඹ දුටුවේ නැද්ද මිය ගොස් සිටින මිනිසුන් ? මළකුණු ? මිය ගොස් දිනය , දෙක තුන ගතවී ගොස් තිබෙන , ඉදිමි විකුර්ථිව දුගඳ හමනා මළකුණු ? තවත් දින කිහිපයක් ගොස් සොහොනේ දමනු ලදුව බලු , කැනහිලුන් , ගිජු ලිහිණින් විසින් ඇද කන්නා වූ ඕජාව වෑහෙන දුර්ගන්ධයෙන් පිරුණු මළ සිරුරු ?
අහෝ ! ස්වාමිනි දැක්කා ....
ඉදින් නුඹ එවිට සිතුවේ නැද්ද , මාත් මේ ආකාරයේ ස්වභාවයකට පත් වන බව ? මාද මිය යන්නා වූ ස්වභාවය උරුම කරගෙන උපන් කෙනෙකු බව? මෙලෙසින් බලු , කැනහිලුන් විසින් ඇද කන්නා වූ ඕජාව වැහෙන දුර්ගන්ධවත් ස්වභාවයකට පත්වන්න වූ පුති කයක් පරිහරණය කරන්නා වූ මා මිය යාමට ප්‍රථමයෙන් අප්‍රමාදව ධර්මයේ හැසිරිය යුතුයි , කුසල් වැඩිය යුතුයි කියා තොප හට සිතුනේ නැද්ද ?
අනේ ස්වාමිනි මට බැරුව ගියා ... මම ප්‍රමාද උනා.....

එම්බා පුරුෂය , නුඹට හොඳ කරන්නයි බැරුව ගියේ ... නුඹ ප්‍රමාද උනා... ඒ නිසා ප්‍රමාද වූ සත්වයන්ගේ වාසස්ථානය වූ නිරය වෙත පැමිණීමට නුඹට සිදු උනා...
නුඹ ඔය කල කර්ම නුඹගේ මව කලාත් නොවේ , නුඹගේ පියා කලාත් නොවේ , නුඹගේ නෑදෑයන් කලාත් නොවේ , නුඹගේ සහෝදරයෙක් සහෝදරියක් කලාත් නොවේ , නුඹගේ යහළුවෙක් මිත්‍රයෙක් කලාත් නොවේ , ඔය කර්මය කිසියම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් කලාත් නොවේ , දෙවි කෙනෙක් කලාත් නොවේ ... ඔය කර්මය නුඹ විසින්ම කර ගත් එකක් ...
ඉතින් එය තමන්ම විඳවන්න තමා තියෙන්නේ කියා පස් ආකාරයකින් කරුණු දැක්වූ ඒ පරම ධාර්මික යම රජු නිෂ්ශබ්ධව ශෝකයෙන් අහක බලා ගන්නවා.....

එවිට යමපල්ලන් විසින් ඒ අවාසනාවන්ත සත්වයා ඇදගෙන ගොස් විවිධ ආකාර දරුණු වධ බන්ධනයන්ට පාත්‍ර කරනු ලබනවා.


"යම් මිනිසෙක් , තමන් අවට ඇති දේවදුතයන් දැක දැකත් අප්‍රමාදව වාසය කරත් නම් හෙතෙමේ බියකරු නරකයට වැටී දීර්ඝ කාලයක් ශෝක කරත්මය."

"යම් මිනිසෙක් එලෙසින්ම දේවදුතයන් දැක හඳුනාගෙන ආර්ය ධර්මයේ අප්‍රමාදව හැසිරෙත්ද හෙතෙමේ ජාති මරණ දෙකට කාරණ වූ තෘෂ්ණා දෘෂ්ටි බිඳ සසර සියලු දුක් කෙළවර කරන්නාහ."

බුධධෝත්පාදය පරම දුර්ලභය , බලු බළල් තිරිසන් ආත්මභාවයක උපත නොලබා දුකසේම ලබාගෙන ඇත්තාවූ අඳ, කොර , බිහිරි , පිළු නොවූ පරමාර්ථ මනුෂ්‍ය ජිවිතයද පරම දුර්ලභය , ආර්යයන් වහන්සේලා දර්ශනයද සත්ධර්ම ශ්‍රවනයද පරම දුර්ලභය. මෙසේ ලැබුවා වූ මේ පරම දුර්ලභ ක්ෂණ සම්පත්තියෙන් , පරමාර්ථ මනුෂ්‍ය ජිවිතයෙන් නිසි ප්‍රොයෝජනයක් නොලබා තම දිවිය තිරිසන් සතුන්ද ලබන්නා වූ පංච කාම වින්දනයටම කැප කොට , ක්‍රිකට් මැච් බල බලා පුස්ස බින්දා සේ ඉක්ම යන්නට ඉඩ හැරීම කවර නම් අපරාධයක්ද .

හේතුන්ගෙන් හටගන්නා වූ සියලු ධර්මයන් වහා නැසී යන්නාහ... හිස ගිනි ගත්තෙක් එය නිවීමට වෙහෙසෙන්නා සේ බිහිසුණු භව ගිනි නිවීමට අප්‍රමාද විය යුත්තේය.

1 comment:

  1. one day we should meet machan.
    "
    බුධධෝත්පාදය පරම දුර්ලභය , බලු බළල් තිරිසන් ආත්මභාවයක උපත නොලබා දුකසේම ලබාගෙන ඇත්තාවූ අඳ, කොර , බිහිරි , පිළු නොවූ පරමාර්ථ මනුෂ්‍ය ජිවිතයද පරම දුර්ලභය , ආර්යයන් වහන්සේලා දර්ශනයද සත්ධර්ම ශ්‍රවනයද පරම දුර්ලභය. මෙසේ ලැබුවා වූ මේ පරම දුර්ලභ ක්ෂණ සම්පත්තියෙන් , පරමාර්ථ මනුෂ්‍ය ජිවිතයෙන් නිසි ප්‍රොයෝජනයක් නොලබා තම දිවිය තිරිසන් සතුන්ද ලබන්නා වූ පංච කාම වින්දනයටම කැප කොට , ක්‍රිකට් මැච් බල බලා පුස්ස බින්දා සේ ඉක්ම යන්නට ඉඩ හැරීම කවර නම් අපරාධයක්ද "

    no words to say.....

    ReplyDelete