Sunday, October 21, 2012

අරුනාචලයේ ශ්‍රී රමණ මහ ඍෂි (2 කොටස)

Sundaram Iyer (1845-1892)
කලින් ලිපියේ කියුව විදියට ශ්‍රී රමණ ඍෂි ගේ  ජිවිත කතාව කොටස් වශයෙන් පල කරන්නේ. අද බලමු ඔහුගේ උපත හා කුඩා කාලය පිළිබඳව.

ශ්‍රී රමණ ඍෂි ගේ කුඩා කල නම වෙන්කතරාමන් අයියර්. ද්‍රවිඩ හින්දු බ්‍රාහ්මණ පවුලක ඉපදුනේ. දරුවන් හතර දෙනෙකුන්ගෙන් යුතු පවුලක දෙවැන්නා.  උපන් ගම වෙන්නේ තමිල් නාඩුවේ මදුරායි වල තිරුචුරි නම් ගම.  1879 දෙසැම්බර් මස තිස්වෙනිදා රාත්‍රියේ උපත ලද වෙන්කතරාමන් පියා සුන්දරාම් අයියර් වන අතර මව වන්නේ අසිගම්මාල්.

1879 දෙසැම්බර් මස තිස්වෙනිදා ද්‍රවිඩ හින්දුන්ට වැදගත් දවසක්. එදින තමයි ඔවුන්ගේ එම වර්ෂයේ අරුද්‍ර දර්ශන දිනය යෙදිලා තිබුනේ.  ද්‍රවිඩ මාස ක්‍රමය අනුව දෙසැම්බර්- ජනවාරි මස දෙක අතර වැටෙන පුර්ණ චන්ද්‍ර දිනය තමයි අරුද්‍ර දර්ශන දිනය. එම චන්ද්‍ර මාසය මර්ගාසි නම් වෙනවා.  ශිව දෙවියන්ගේ විශ්ව නර්තනය සිහිපත් කිරීමට අරුද්‍ර දර්ශන දිනයේදී ශිව දේව  පිළිම කෝවිල් වලින් එලියට වඩම්මා මිනිසුන් විසින් අදින කරත්ත හෝ වේදිකාවල නංවා  විදි සංචාරය කරවනවා.  

Birth Place of Ramana Rishi
සුන්දරාම් අයියර් කාගේත් ගෞරවයට ලක් වෙච්චි හොඳ හිත ඇති මනුෂ්‍යයෙක්. උසාවියට  නීති කටයුතු සඳහා අවශ්‍යවන ලිපිලේඛන සකස් කිරීමෙන් නීතිඥ වුර්තියට සමාන ආකාරයේ රැකියාවක් කල ඔහුගේ   ඔහුගේ නිවස පිහිටා  තිබුනේ දකුණු ඉන්දියාවෙහි ඇති පැරණිම හා පුජනීයම  ශිව  කෝවිලක්  අසලමයි. එම නිසා බොහෝ අවස්ථාවල එම කෝවිලට දුරබහැරින්  පැමිණෙන වන්දනාකරුවන්ට ආහාර , නවාතැන් ලැබුන ඔහුගේ නිවසේ. නිවස කොටස් දෙකකට සකසා ඉදිරි පස කොටස වන්දනාකරුවන්ට නවාතැන ලෙස සකසා තිබුනා. 

කුඩා කල වෙන්කතරාමන් අනිකුත් දරවන් වගේම සෙල්ලමින් , නිවස  අසල ඇති කෞන්දීනි ගඟෙහි  අනෙක් ගම් දරුවන් සමග  පීනමින් කෙළිදෙලෙන් කල් ගත කරනවා. ඉගෙනීමට කිසි උනන්දුවක් නොදැක්වුවත් ඔහුගේ තිබුණු මතකතබා ගැනීමේ හැකියාවත් සහජ බුද්ධියත් නිසා පාසලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වෙනවා. ක්‍රීඩාවටත් දක්ෂ කම් තිබුනා ඔහුගේ. විශේෂයකට කියා තිබී ඇත්තේ ඔහුගේ නින්දයි. නින්දට ගිය විට ඉතා දැඩි නින්දකට පත්වන ඔහු ඇහැරවීම කිසිසේත් නොකර හැකි දෙයක් බවට පත්ව තිබුනා. මේ බව දැනගත් ඔහුගේ පාසලේ ඔහු සමග ක්‍රීඩා කර පරාජය වූ   ඇතැම් ළමුන් රාත්‍රී කාලයේදී ඔහු නින්දට ගිය විට ඔහු හට හොඳින් පහර දී තිබුණු දිනයනුත් තිබුනා.  උදෑසන ඇහැරුණු කල ඔහු ශරීරයේ තැලුණු ගෙඩි ගැසුණු තැන අතගාමින් කුමක් වුයේදැයි කල්පනා කළේලු. 

වයස 11 දී වෙන්කතරාමන් යවනවා තිරුචුරි වල සිට කිලෝමීටර් 70 ක් පමණ ඈතින් පිහිටි දින්දිගුල් වල සිටින ඔහුගේ මාමා කෙනෙක් වන සුබයියර්  වෙත. තිරුචි හි පිහිටි පාඨශාලාවේ උගන්වන්නේ ද්‍රවිඩ භාෂාවෙන් පමණක් වන නිසා ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම පිණිසයි වෙන්කතරාමන් ව දින්දිගුල් වල පිහිටි බ්‍රිතාන්‍ය පාසල වෙත ඇතුල් කරන්නේ. 1891 දී  සුබයියර් පවුල මදුරායි වල වාසයට යන විට වෙන්කතරාමන් ද ඔහුගේ වැඩිමල් සොයුරා වන නාගස්සවාමී ද  ඔවුන් සමගම මදුරායි යනවා.

මදුරායි  හි දී ප්‍රථමයෙන් ස්කොට් ප්‍රථමික විද්‍යාලයේද දෙවනුව ඇමරිකානු මිෂනාරි විද්‍යාලයේද වෙන්කතරාමන් අද්‍යාපනය ලබනවා. මදුරායි  පැමිණ වසරකින් පමණ පසු 1992 දී හදිසියේ අසනීප වන සුන්දරාම් අයියර් ටික දිනකින්ම වයස 42 දී මිය යනවා. මෙසේ පියාගේ අකල් අභාවය හේතු කරගෙන වෙන්කතරාමන් ගේ පවුලේ සියලු දෙනා වෙන් වෙන් වශයෙන් ඔවුන්ගේ නෑදෑයන්  අතර බෙදී වාසයට යනවා.

1895 හේ නොවැම්බර් මස එක දිනයකදී වයසක නෑදෑයෙක් හමුවෙන වෙන්කතරාමන් දැන ගන්නවා ඔහු පැමිණ ඇත්තේ අරුනාචල සිට කියා. වෙන්කතරාමන් අරුනාචල හා එහි පුජනීයත්වය  ගැන කලින් අසා තිබුනත්  , එහි සැබවින්ම යා හැකිය කියා ඔහු හට තේරුමක් තිබුයේ නැහැ. වැඩිමල් නෑදෑයගේ විස්තරයෙන් පසු   අරුනාචල කන්ද වෙත ඔහුගේ සිත නැමෙනවා. 

ඊට ටික දිනකට පසු වෙන්කතරාමන් ට හමුවෙනවා ඔහුගේ මාමා කියවීමට ගෙනවිත් තිබු පොතක්. ඒ තමයි පෙරිය පුරානම් නමැති පොත.  හදිසියේ ඇහැ ගැටුණු ඒ පොත කියවාගෙන යාමේදී එහි විස්තර වෙන සාධු චරිතයන්හි ඇති අලංකාරත්වයට , සරලත්වයට , පුජනීයත්වයට , නෙක්ඛම්ම අදයාශයට ඔහුගේ සිතෙහි ඉමහත් භක්ති  පුර්වක ගෞරවයක් පැන නගිනවා. මනුෂ්‍යයනට   එවැනි කැපවීමක් , නිස්සරනද්‍යාශයක් , භක්තියක් ඇතිවිය හැකිදැයි ඔහුගේ සිතෙහි අතිමහත් විමතියක් ඇති  වෙනවා.  එහි ඇති විවිධ සාධු චර්යා  ඔහුගේ සිතෙහි නොමැකෙන ලෙස නිදන්ගත වෙනවා.

දැන් පොඩ්ඩක් බලමු පෙරිය පුරානම් කෘතිය ගැන.....

පෙරිය පුරානම් කෘතිය ශිව භක්තික සධුවරුන් 63 දෙනෙකු ගේ ජිවන ප්‍රවුර්ති අරභයා ලියවුනු ආගමික භක්ති කාව්‍ය සංග්‍රහයක්. 12 ස් වන ශතවර්ෂයේදී දෙවන කුලතුංග චෝල අධිරාජ සමයේ මෙය රචනා කර තියෙන්නේ සෙක්කිසර් නමැති අයෙක්. ඔහු කවියෙක් වගේම රජුගේ ප්‍රධාන  ඇමතිවරයා. ජයින ආගම ගැන පැහැදීමෙන් සිටි  රජු ශිව සමය වෙත පහදා  හරවා ගැනීමට  තමයි  මෙය ඔහු අතින් ලියවුනේ.

එය ලිවීමේදී දක්වා ඇති  භාෂාව හැසිරවීමේ හා  කාව්‍ය විලාශයේ විශිෂ්ටත්වය නිසාම එය  ලියවුනු සමය  චෝල  සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සලකනවා. එමෙන්ම එය ඒ  සමයේ ලියවුනු විශිෂ්ටතම ග්‍රන්ථයක් ලෙස පැසසුම් ලබනවා වගේම පස්වන වේද ග්‍රන්ථය ලෙසත් විශිෂ්ටතම ද්‍රවිඩ සාහිත්‍ය කෘතියක් ලෙසත්   පැසසුම් ලබනවා.

මෙහි දැක්වෙන  සධුවරුන් 63 දෙනා මනංකල්පිත  චරිත නොව සැබවින්ම දක්ෂිණ භාරතයේ පුරාණයේ  විවිධ කාල වල ජිවත් වූ විවිධ ගෝත්‍ර වලට අයත්  , විවිධ රැකියා කල අය.

අදට මේ ඇති.... පස්සේ තව ටිකක් දාන්නම්...  

4 comments:

  1. හ්ම්ම්.. නියමයි!

    ඉතුරු ටික ඉක්මනට ඕන..

    ReplyDelete
  2. ඉක්මණට ලියමු එහෙම නම් :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හසිත , මේ දවස් වල ලියන මූඩ් එකෙන් නෙමේ ඉන්නේ ... මූඩ් එක ආපු හැටියේ දාන්නම්...
      :D

      Delete