Saturday, October 27, 2012

මොකද්ද මේ කරුමේ කියන්නේ ? (විවිධ මතිමතාන්තර...)

Heven
මනුෂයෙකුගේ (සත්වයෙකුගේ) ජිවිතේ සැම දෙයක්ම තීරණය කරන්නේ උප්පත්ති කර්මයද ?

නැහැ , වගේම ඔවු. හේතුව මේකයි. මනුෂ්‍ය ආත්ම භාවයක් කියන්නේ අතිශයින් ලබා ගැනීමට දුර්ලභ දෙයක්. සුළු සුළු කුසල් නොවෙයි මහා පුණ්‍ය කුසලයකින්මයි මනු ලොව ආත්ම භාවයක් ලබන්නේ. එනම් මනුෂ්‍යයෙකුගේ ජනක කර්මය අතිශයින්ම බලවත්. මේ හේතුව නිසා මිනිසෙකුගේ ජිවිතයේ ප්‍රධාන සංදිස්ථාන තීරණය කිරීමේ බලවත් හැකියාවක් ඔහුගේ ජනක කර්මයට තිබෙනවා.

එහෙමයි කියල ඒක මගින් මනුෂයෙකුගේ ජිවිතයේ සැම දෙයක්ම තීරණය කරන්නේ නැහැ. උදාහරණයක් විදියට , හිරු එලිය ජනක කර්මය විදියට ගන්න , කාමරේකට හිරු එලිය වැටෙන වෙලාවකට කාමරේ ලයිට් එකත් දාන්න... ඒ කියන්නේ පොඩි පුණ්‍ය කර්මයක විපාක දීමක් ... පොඩි වෙනස දැනේවි. ලයිට් එක නිවන්න .. ඒ කියන්නේ පොඩි අකුසල කර්මයක විපක් දීමක් ... පොඩි අඳුරක් දැනේවි. නමුත් කාමරේ දීප්තිමත් භාවයට දැඩි බලපෑමක් කරන්න ඒ විදුලි ආලෝකයට බැහැ. කාමරේ ආලෝකයට තීරණාත්මක බලපෑමක් කරන්නේ හිරු එලියමයි. ඒ කියන්නේ ජනක කර්මයමයි.

මනුෂ්‍යයෙකුව ඉපදීමේදී අනිත් අමනුශ්‍යන්ට ලබා ගන්නට නොහැකි මහා බලයක් , හැකියාවක් එම පින්වත් සත්වයාට ලැබෙනවා. එනම් තමන්ගේ අභිමතාර්ථය පරිදි තමන්ගේ මනුෂ්‍ය ආත්ම භාවය සහ ඉදිරි භව පැවැත්ම සකසා ගැනීමේ හැකියාව සහ බලය. මෙය මනුෂ්‍ය භාවයෙන් පහල සත්ව උප්පති ස්ථාන වල සත්වයන්ට කිසිසේත්ම ලබාගන්නට අසීරු , මනුෂ්‍ය භාවයෙන් ඉහල සත්ව උප්පති ස්ථාන වල දෙවියන් , බ්‍රහ්මයන් වැනි සත්වයන්ට ලබාගැනීමට අසීරු හෝ නොහැකි දෙයක්.

මනුෂ්‍ය භාවයෙන් පහල සත්ව උප්පති ස්ථාන වල සත්වයන්ට බොහෝ කොට ඇත්තේ දුක පමණයි. ඥාන විප්‍රයුක්ත සිත් වලින් උපදිනා නිසා හරි වැරැද්ද තෝරා ගැනීමේ හැකියාවක් නොමැති ඔවුන්ට තම ආත්ම භාවය ධර්ම මාර්ගයේ යෙදවිය නොහැකියි. ඔවුන් දුකින් දුකටම යනවා. මේගැන විවාදයක් නැහැ නේ .. නමුත් දෙවෙනියට මං කියුව කරුණ මඳක් විවාදාත්මකයි. නුවණින්ම විමසිය යුතුයි. කිරිබත්ගොඩ ස්වාමින් වහන්සේගෙන් පමණක් ධර්මය ශ්‍රවනය කල ඇත්තෝ අමනාප වෙන්නත් බැරි නැහැ. දිව්‍ය භව වල සත්වයන්ට පින් කල නොහැකිද ? අනිවාර්යෙන්ම කල හැකියි. දිව්‍ය තල වල සත්වයන්ට ධර්මයේ හැසිර ධ්‍යාන මාර්ග ඵල ලබා ගත නොහැකිද ? අනිවාර්යෙන්ම ලබා ගත හැකියි.

එහෙනම් මොනවද ඕයි මේ කියන්නේ ?

කියන්නේ මෙන්න මේකයි... ඇතැම් කාලයන්හිදී මනුෂ්‍ය ලෝකය ආයුෂ , වර්ණ, සැප, බල, ප්‍රඥා යන කරුණින් දිව්‍ය භවයන්හි ඒ කරුණු ඉක්මවා යනවා. දෙවියන් වසර ලක්ෂ ගනං පමණක් ජිවත් වෙද්දී , මනුෂ්‍යන් අසංකය වර්ෂ ආයු වලදනවා. , සාමනේර භික්ෂු පදවිය , උපසම්පදා භික්ෂුත්වය , පසේ බුදු, ලොවුතුරා බුද්ධත්වය මනුෂයෙකු විසින් පමණක් ලබනා උත්තරීතර පදවි. කොච්චර බලසම්පන්න ආත්ම භාවයන් තිබ්බත් දිව්‍ය බ්‍රහ්ම, නාගයෙකුට ඒ උත්ත්තරිතර පදවියනට පත් විය නොහැකියි. කොටින්ම කියනවා නම් සාමනේර භික්ෂුවක් වත් විය නොහැකියි. ලොවෙහි සැම කල්හිම අතිශයින්ම දුර්ලභ දෙයක් නම් උතුම් වූ සම්මා සම්බුද්ධ ශාසනයක පැවිද්ද හා උපසම්පදාවයි. මනුෂ්‍යයන්ට පමණක් ඒ පදවියනට දොර විවුර්තයි.

දෙවනුව පහල ආත්ම භාවයන්ගේ ඇත්තේ දුක පමණයි. ඉහල ආත්ම භාවයන්ගේ ඇත්තේ බොහෝ කොට සැපයි. මිනිස් ලොව සම සමව සැප දුක් පවතිනවා. ඥානවත් පුද්ගලයෙකුට ජීවිතය කියන්නේ මොකක්දැයි හඳුනා ගන්න මෙය ඉතාම වැදගත් දෙයක්. දුකින් පෙලී ක්‍රෝධ චිතයෙන් ජිවත් වීමේත් , සැපයෙන් අගතියට ගොස් ධර්ම මාර්ගය අමතක වීමේත් සම්භාවිතාව මිනිස් ලොව අඩුයි.... (නැත්තෙමත් නැහැ..) එමෙන්ම එසේ නිවැරදිව හරි වැරැද්ද (ධර්ම මාර්ගය ) හඳුනා ගැනීමෙන් පසුව ඥානවත්ව එය ප්‍රගුණ කිරීමට අවස්ථාව , හැකියාව , නුවන කලන මිතුරැ ඇසුර , බොහෝ ඔලාරිකව මනු ලොව සැම තැනම දකින්නට තිබෙන ත්‍රිලක්ෂණය විදර්ශනාවට නැගීමේ අපමණ පහසුව මනුෂ්‍ය ආත්ම භාවයක් ලබුවෙකුට තිබෙනවා.

හරි හැටි ධර්මයේ සිත පිහිටුවා නොගතහොත් , එය ජිවිතයේ මුලික අංගයක් කර නොගතහොත් , කුසල් කර දිව්‍ය ආත්ම භාවයක් ලැබුවද ඒ ආත්මභාවයේ ඇති විසිතුර , සැපත නිසා සිත ඒ වෙත ඇදී ගොස් ප්‍රමාදයෙන් කල් ගෙවීමෙන් , මතුවට සිත දියුණුකර ගැනීමට ඇති අවස්ථාව බොහෝ දෙවියන් අහිමි කර ගන්නවා. දිවය ලෝක වල කාලය බොහෝ අධික උනත් ඒ කාලය ගෙවී යන්නේ කාටත් නොදැනීමයි. අන්තිමේදී කුසල් ගෙවී ගොස් චුති ලක්ෂණ පහල වෙන විට කෝච්චිය ගොස් හමාරයි බොහෝ දෙවියනට.

සාදාරනයි නේ ! මේ නවද්වාරයකින් අසුචි වැහෙන දුර්ගන්ධවත් පුති කායකට වැදගෙන අතිශයින් ඕලාරික අශුද්ධ ආහාර පාන, සත්ව මළකුණු එයට කවමින් , ඒ කුණු රසයෙන් සතුටු වෙමින් , ගොමස්කඩ වැනි දළ ඇඳුම් පැළඳුමින් ඒ පුතීකය පෙරවාගෙන , හරක් මඩු වැනි දුර්ගන්ධ හමන වාසස්ථාන වල ගෙවන මේ මනුෂ්‍ය ජීවිතය ලබාගෙනත් , 99% මිනිසුන්, දිවය සැපත හා සමාන කරන කල අතිශයින් තුච්ච වූ ඒ සැපතෙහි සිත අල්වාගෙන ප්‍රමාදීව හෙටක් නැතුවා වගේ කල් ගෙවන කල දෙවියන් ගැන කුමන කතාද ?

පැහැදිලියි නේ... හරි ආයි මාතෘකාවට එමු. එනම් තමන්ගේ අභිමතාර්ථය පරිදි තමන්ගේ මනුෂ්‍ය ආත්ම භාවය සහ ඉදිරි භව පැවැත්ම සකසා ගැනීමේ හැකියාව සහ බලය. වෙනස් විදියකින් කියනවනම් කර්මය නමැති විශ්ව බලය , මනුෂ්‍ය සිත නමැති එයිටත් වඩා විශාල මහා බලය යොදා තමන්ට අවශ්‍ය පරිදි වැඩිදියුණු කිරීමේ , වෙනස් කිරීමේ බලය. බරපතල නොවන අකුසල කර්මයන් ගෙන් බේරී සිටීමටත් , කුඩා පුණ්‍යකර්මයන් මහා බලවත් පුණ්‍ය බලයන් බවට පත් කර ගන්නත් බුද්ධිය යොදවා කටයුතු කිරීමෙන් පුළුවන්.

මොනවද මෙසේ කර්මය වෙනස් කල හැකි විධි.

දුක්පත්ව සිටීමට කර්ම ලබා උපන් මිනිසෙකුට තම , බුද්ධිය හා නොපසුබස්නා අධිශ්ටානය භාවිතා කරගෙන ජිවිතයේ උසස්ම තත්වයකට ධනයෙන් හා බලයෙන් නැගී සිටින්න පවතින වටපිටාව තුල භාදාවක් නැහැ. එය ප්‍රයෝග සම්පත්තිය මගින් අකුසල කර්ම බලයන් වලකා දැමීමට උදාහරණයක්.

දීර්ඝ ජිවිතයකට උරුම කම් ලබා උපදින තැනැත්තෙක් පාප මිත්‍ර සේවනයට වැටී මත් පැන් පානයට , ටැබා ගැසීමට , කැහි පැණි බිමට ,ඇරසොල් ඉරීමට පටන්ගතහොත් අවාසනාවන්තයෙක් ලෙස අකාලයේ මිය යාමට සිදුවෙනවා අනිවාර්යයි. මෙය වැරදි ලෙස කය පරිහරණය කිරීම මගින් කුසල විපාකයන් වලක්වා ගැනීමක්.

තමන්ගේ කර්මයන් අනුන්ට දෙන්න , අනුන්ගේ කර්මයන් තමන් පිට ගෙන ඒවා ගෙවා දමන්න පුලුවන්ද ?

ඇත්තටම කියනවා නම් පුළුවන් .... පස්සේ බලමු ඒ කොහොමද කියල ...

4 comments:

  1. ඇත්තටම කියනවා නම් පුළුවන් .... පස්සේ බලමු ඒ කොහොමද කියල ... o.O

    ReplyDelete
    Replies
    1. ඇයි... බැහැයි කියලද හිතන් හිටියේ ?
      :)

      Delete
    2. බිය නොවන්න .. හැකිය හැකිය ...
      හි හි .... :)

      Delete