Sunday, August 12, 2012

සංසාර සාගර

සාගරය ජලයෙන් පිරුනාක් මෙන් ම ජලයෙන් උඩ අවකාශය  ඝනාන්ධකාරයෙන් පිරුණේය. සාගර තරංගයෙන් පෙලනු ලබන සත්වයෙක් , පය රඳවාගැනීමට සුදුසු ගොඩබිමක් විමසමින් ජලය මතුයෙහි  හැසිරෙන්නේය. ඉමක් කොනක් නොපෙනෙන මේ භයංකර වූ සාගරයට ඔහු කෙසේ පැමිණියේද , කවදා පැමිණියේද , කුමක් නිසා පැමිණියේද යන්න හේ නොදනී. ඔහුගේ දැනීම නොහොත් ඔහුගේ මතක , මේ අන්ධකාර සාගරයෙහි කරන පිහිනීම ගැන පමණකි. වරින්වර නැගෙන කුණාටුවද බලවත්ය. කුණාටුවෙන් නැගෙන තරංග වේගයද බලවත්ය. වරක් ඔහුට තමා මහා පාතාලයක ගිලා බසින්නාක් මෙන් දැනේ. වරක් කඳු මුදුනකට නගින්නාක් මෙන් දැනේ. ඒ නැගීමත් , බැසීමත් ඔහුට එක සේම භය  ගෙන දෙන භයංකාර පිඩාවකි.

සාගරයෙහි ඉමක් කොනක් නොපෙනෙතත් එහි ඉමක් කොනක් විය යුතු බව ඔහුට සිතෙන්නේය. එහි පය ගසා සුවසේ සිටිය හැකි බිමක් විය යුතු බවද ඔහුට සිතෙන්නේය. එහෙයින් ඔහු තරංග වලට අභිමත පරිද්දෙන් තමා ගෙනයාමට නොදී , එක්තරා දිශාවක් බලාගෙන  ඒ දිශාභිමුකව පිහිනන්නේය. එසේ පිහිනන ඔහුට නොයෙක් චණ්ඩ මත්සයන් විසින් සෙවුනා ලද මහා ගල් පර හමුවිය. නොයෙක් වර චණ්ඩ මත්සයයන්ගෙන්ද පිඩාවට පත් විය. එසේ වුවද ඔහු එයින් අධෙර්යයට නොපැමිණියේය. යන අතක ගියාවේ කියා දිය වැලට කැපවූ ගමන් ද නොසිටියේය.

මෙසේ සාගරයේ වැටී දඟලන ඔහුට ඈතකින් නික්මෙන මිනිස් කටහඬක් ශ්‍රවනය  විය. සමුද්‍ර ඝෝෂයෙන් වඩ වඩා බලවත් වූ විලාපය අතිශයින් දරුණු විය. විපතට පත් වුවකුගේ හඬිමක්  වනැයි  සිතා අප සත්පුරුෂයා  තම ගමන් කල මග තිබියදී ඒ ඇසෙන කට හඬ එල්ලේ ගොස් , ඒ දුකට පත් සත්වයා සෙවුයේය. එසේ සොයන කල වරින් වර දියෙන් උඩ මතු වන හිසක් ඒ මහා ඝන  අඳුරේ වුවද සේයාවක් මෙන් ඔහුට පෙනුනේය. හිස මතු වන වරක් පාසා, මෙසේ මර ලතෝනිය නික්මෙන බවද ඔහුට පෙනින. 

"හෝයි ! තෝ කවරෙහි දැයි ?" කියා අප සත්පුරුෂයා ඈතදීම එම සත්වයාගේ සිත බිය දුරුවීමට සුදුසු ධෙයිර්යසම්පන්න කාරුණික එහෙත් ප්‍රබල ස්වරයකින් ප්‍රශ්න කළේය.
"අහෝ! දෙවියනි! මට පිහිට පිණිස  අව මැනවයි " සත්වයා මෙහිදී යාව්ඥා කළේය.

"මිතුර මම දෙවියෙක් නොවෙමි . තොප වැනිම වූ තවත් සත්වයෙක් වෙමි. එහෙත් තොපට පිහිට පිණිස එන්නට කැමැත්තෙමි." මෙසේ පවසා අප සත්පුරුෂයා ඒ අභාග්‍ය සම්පන්න පුද්ගලයාට සමීප විය.

ඒ අභාග්‍ය සම්පන්න පුද්ගලයා දැඩි රල සමග පොර බදා සිතින් ගතින්  දෙකින්ම දුබලව ගිය හෙයින් තමන් දරා සිටිය නොහැකිව , මරණාසන්නව , මෙසේ විලාප කීය. අප සත්පුරුෂයා  ඔහු වෙත එළඹ , ඔහු සිය පිට වතුරුවාගෙන පිහිනන්නට පටන් ගත්තේය.

"තෝ කොහේ මේ මා ගෙන යන්නෙහිද?" යි ඒ සත්ව තෙමේ විතාළේය.
"ගොඩකට ," යයි ඒ සත්පුරුෂයා පිළිතුරු දුන්නේය.
"තෝ කවරෙහිද ?"
"පින්වත ! නොබා සිටුව," යි ඊට පිළිතුරු වශයෙන් තෙපලමින් අප වීර පුරුෂයා  කලින් බලාගත් දිශා භිමුඛව යලිත් පිහිනන්නට විය.

මෙසේ පිහිනන ඔහුට , උරහිස හටගත් අමුතු වේදනාවක් දැනුනේය. ඊට කාරණය තේරුම් ගත්  හෙතෙම කර පිට සිටි පුද්ගලයාට කතා කොට "පින්වත තෝ මාගේ  කර සපමින් රුධිරය උරා  බොන්නේහිය. එසේ නොකරව" යි කරුණා පෙරදැරිව කීය.

"මම ඉතා කුසගිනි ඇත්තේ මැයි " ඒ සත්වයා කෙඳිරි ගෑවේය.
"මමද තොප සේම කුසගිනි ඇත්තෙමි" එහෙත් පින්වත! මෙසේ මා කියන්නේ , තොප දිවි රැක දෙන පිණිස මුත් මා රිහිරි මස් රකින ආසාවෙන් නොවන බව දනුව" යි ඒ වීර පුරුෂයා කියේය.  

"තෝ කෙසේ නම් මා  දිවි රැක දෙන්නෙහි දැයි?" ඒ සත්ව තෙමේ පිලිවිසිය. 

"පින්වත , අප සමීපයෙහි ගල් පරයක වැනි ගඳක් මට දැන් දැනේ. ඇතැම් විට ඒ තරමක ගොඩබිමක් වන්නටද පුළුවන. එසේ වූ කල අපට එහි විශ්‍රාම ගත හැකි වන්නේය" යි ඒ සත්පුරුෂ තෙමේ පැවසිය. 



වැඩි කල් ගතවන්නට පළමු කිසියම් ගොඩ ගලක රල බිඳෙන හඬ අප වීරයාට පමණක් නොව, ඔහු පිට සිටි අභාග්‍ය සම්පන්න පුද්ගලයාටද ශ්‍රවනය විය. එහෙයින් ඔහු වියලි බිමක පා තබන බලවත් ආශාවෙන් තමන් උසුලන්නහුට පීඩා නොකර වැලකුනේය.

"මේ මහා පරුවතයකි, කොතනින් වත් ලඟා විය නොහැකි පරුවතයකි. එසේ වුවද නවාතැනකට සුදුසු ගොඩබිමක් මෙහි ඇත්තා සේ පෙනේ. පින්වත නොබා සිටුව!"  යි පවසමින් අප වීරයා ගල පිට , වැදි වැදී බිඳෙන රල ගෙඩි වලින්ද පරිස්ස්සම් වෙමින් ගොඩ වීමට සුදුසු තැනක් සෙවුවේය. 

"මට නම් මෙහි ගොඩ  වන්නට කොහෙනුත් හැකිය. එහෙත් පින්වත! තොප රැගෙන ගොඩ වෙන්නට තැනක් සෙවීම නිසා මෙසේ වෙහෙසෙන්නේමැයි" වීර පුරුෂ තෙමේ කියේය.

"ඇයි- මේ  මා නිසා අමුතු තැනක් සොයන්නේ ?" කියා අසරණ සත්ව තෙමේ පුදුමයෙන් පිලිවිසියේය.

"තොප විශෝපදංශයෙන්  පෙලෙන රෝගියෙකු බව මම දනිමි. තොපගේ ස්පර්ශය ලත් කෙනෙහිම මට ඒ බව ප්‍රත්‍යක්ෂ විය. එහෙයින් වණ පිළිකා බහුල තොප ගත ගල් කුළු ආදියක වැද්ද නොදී ගොඩ වන්නට සුදුසු තැනක් සොයන්නේමැයි" වීර පුරුෂය කියේය.

මෙහිදී ඒ අභාග්‍ය සම්පන්න පුද්ගලයා වඩ වඩා  පුදුම විය. තමාගේ පිළිකුල් කටයුතු රෝගය පිළිබඳව ඇත්ත දන දැනත් මේ තැනැත්තහු විසින් තමා රකින්නට කරන වෑයම ගැන ඔහු ඉතාම  පුදුම විය.


ඒ වනාහි පර්වතයක් පදනම කොට හැදුනු කුඩා දිවයිනකි. සුර්යා ලෝකය ඇතිවූ කල්හි වීර පුරුෂ තෙමේ දිවයිනේ සියලු තන්හි ඇවිද බැලුවේය. දිවයින මැද අඩි සියගණනක් උඩට නැගුනු පර්වත කූටය විය. එම කූටය හාත්පස සරු පසින්ද , තැන තැන පිහිටි ගල් වලින්ද සැදුනු නිම්න භුමිය විය.  ඒ නිම්න  භුමිය නොයෙක් වෘක්ෂ ලතාදියෙන් සැදුම් ලද්දේය.  එසේම නොයෙක් පක්ෂින්ගෙන්ද යුක්ත විය. එක තැනක මිහිරි දිය පිරි පොකුණක්ද වුයේය. මේසියල්ල බලාගත් ඉක්බිති ඔහු තමන් විසින් ගුහාවක සතපවන ලද රෝගී පුරුෂයා වෙත පැමිණියේය.

"මෙය නම් ඉතාම රම්‍ය දිවයිනකි. විශේෂයෙන්ම තොප වැනි රෝගීන්ට ඉතාම සුව පහස ගෙන දෙවන සුඛ දායක ස්ථානයකි. එහෙයින් රෝගයෙන් අත් මිදෙන තෙක් මෙහි විසිය යුත්තේය" යි වීර පුරුශයා  කියේය.

"ඉදින්  මට කවරෙක් සප්පායම් කරත් ද ?" යි රෝගියා විතාළේය. 
"පින්වත! මම තොපට සාත්තු සප්පායම් කරන්නෙමි. එපමණක් ද නොව වෙදකම්ද  කරන්නෙමි" යි වීර පුරුශයා සිනා මුසු බසින් කියේය.
"තෝ, එසේ නම් ෛවද්‍යයෙක්ද? "
මම  ෛ ව්‍යද්යවරයෙක් නොවෙමි. එහෙත් වෙදුන් මට කල වෙදකම් ගැන මතක ඇත්තෙමි".

"කිමෙක්ද? මේ විශෝපදංශයෙන් තෝත් කිසි කලක පෙළුනෙහිද? " 
"ඒ සේය පින්වත!  මමද කලක එබඳු රෝගියෙකුව සිටියෙමි."

මෙහිදී රෝගියා කල්පනා කරන්නට විය. ඔහුට  එසේ  රිසියෙන පරිද්දෙන් කල්පනා කිරීමට ඉඩ හැර අප වීරයා කටයුතු ආරම්භ කළේය. රෝගියාට අවු-වැසි-සුළං වලින් රක්ෂාවරණය ගෙන දෙවන ගුහාවක ලැගුම් පොලක් සරි කර දුන්නේය. එසේම තමාගේ වාසයට සුදුසු තැනක්ද තෙමේ සරි කර ගත්තේය. රෝගියාට කෑම්  පීම් සැපයීමද ඔහු විසින් කරන ලදි. ගල් ගැටීමෙන් උපදවන ලද ගිනි මැලයකින් ඔහු අහර පිසීම් ආදිය කරන ලදි. වන පලතුරු සහ නොයෙක් පලා වර්ග ඔහුට අහර පිණිස විය. එසේම එයින් ගත යුතු දෑ ගෙන , රෝගියාට ඖශධ පිළියෙළ කිරීමද කරන ලදි.

කාලයක් ගත විය. රෝගියා මඳින්  මඳ  සුවපත් විය . ඔහුට ඔබ මොබ යා ගැනීමට තරම් ශරීර ශක්තියද ලැබිණ. එහෙයි ඔහුද දිවයින හාත්පස ඇවිද බැලුවේය. ඒ ඇවිද බැලුවේ , තමන් හට හිතවත්ව සිටි  වීර පුරුෂයාටද රහසින්ය. ඔහු එන්නා දැක වීරයාට පුරුදු හිලෑ  කුරුල්ලෝ මේ සත්වයාද වට කර ගත්හ. සිරිත් ලෙස පෙම් කෙළින්නට වුහ.

"මේ තරම් හොඳ මාංසය , මේ තරම් පහසුවෙන් ලද හැකිව තිබියදී මේ මසුරා මට එහි කිසිදු රසයක් විඳින්නට නුදුන්නේය. තෙමේ හුදකලාවම මේ මාංසය රස විඳින්නේය. අහෝ ද්‍රෝහ  අසත්පුරුශයෙකුගේ හැටි!" මෙසේ පවසා කිපුණු තැනැත්තේ තමා අවට රැඟුම් දක්වන කුරුල්ලන් දෙතුන් දෙනෙකු ලෙහෙසියෙන්ම මරා ගත්තේය.

"අහෝ! පින්වත! තෝ මේ කුමක් කළෙහිද?" යි මෙහිදී ඔහු ඉදිරියට පැමිණි අප වීරයා විතාළේය.

"කුමක් කළෙහිද?" කියමින් රෝගියාද  එයම ගර්ජනය කොට, "තොපද මෙසේම මරා දමන්නට ඇත්නම් මම කැමැත්තෙමි. මේ තරම් රසවත් මධුර අහාරය මේ දිවයිනේ තිබියදී , මෙයින් මට සංග්‍රහයක් නොකොට තොප   තනියම සතුටු වුයෙහි දැයි?" රකුසු විලාසයෙන් ඇසුවේය.

පින්වත තොප කෙරේ බැඳී සෙනෙහසින් , තොප කෙරෙහි විශ්වාසීව  තොප වෙත ලඟා වූ අසරණ සතුන් දිවි තොර කරන නපුරු සිත් කෙසේ නම් සන්තානයේ පහල කලෙහි දැයි?" වීරයා කම්පිතව ප්‍රශ්න  කළේය.

ඔහු ඊට මුවින් නොබැන, මරණ ලද මළකුණු ද රැගෙන යන්නට ගියේය.


එතැන් සිට , රෝගී පුරුෂ තෙමේ දිනපතා ආහාරය පිණිස සතුන් මැරුම කරන්නේය. ඔහු දවසක පක්ෂීන් මරයි. දවසක පොකුණු තෙර හෝ මුහුදු තෙර , මසුන් මරයි. පසුව පසුව ආහාරය පිණිස පමණක් නොව, විනෝදය පිණිසද සතුන් මැරීම කරන්නේය. වීර පුරුශයා පිළියෙළ කරන කසාය පමණක් නොව සුවදායි ආහාරයද පිළිකුලෙන් බැහැර කරයි.

"මට තොපගේ සහයක් දැන් ඉතින් උවමනා නොකරයි. තොපගේ මෙහි සිටීම මා හට මහත් කරදරයකි. තෝ ඉතින් මෙයින් පිටව යා යුත්තෙහිය". යි රෝගියා දිනක් ඒ වීර පුරුෂයාට තර්ජනය කළේය.

"මම මෙයින් පිටව යන්නට ඉතා කැමැත්තෙමි. එහෙත් පින්වත තොපට සහයක් නැති බැවින් නොයා හෙමි" යි වීර පුරුශයා කියේය.

"හා! හා! තොපගේ බොරුව දැන් මම හඳුනමි. තොපටද යා යුතු අතක් නැති නිසා දැන් මෙහි රදෙන්නේහිය. නොඑසේ නම් මා අත් හැර දමා තෝ යන්නෙහිය" යි ඒ සත්ව තෙම යලිත් කීය.

අප සත්පුරුෂයා සිනා සුනේය. එසේ සිනා සි, කිසිත් මුවින් නොබැන යන්නට සැරසුනේය.

"මට ද්‍රෝහ වූ බැවින් මම තොප නොකමැත්තෙමි. එහෙත් කියව, මට කොතෙකුත් නොපෙනී , තොප මෙහි සැඟවී කුමක් කරන්නෙහි දැයි?" රෝගියා යලිත් විචාළේය.

ඊටද මුවින් නොබැන, ඒ වීර පුරුෂය සිනා මුසු මුහුණින් යන්නා දැක, රෝගී වූ ඒ සත්ව තෙමේ යලිත් හාස්‍යයක් උපදවා "මම තොප තරම නොදත්තෙමි දැයි සිතන්නෙහිද? තොප මා අත්හැර දමා හුදෙකලාවම  මේ දිවයිනෙන් පලා යන්නට උපක්‍රම යොදන බව මම දන්නෙමි" යි ද කීය.

"හුදෙකලාව නොව, ඒ තොපත් රැගෙන යන්නට " යයි මෙහිදී ඒ වීර පුරුෂයා පිළිතුරු දුන්නේය.


දිවයිනේ ඍතු විපර්යාසයෙන් අධික ග්‍රීෂ්මයක්  ඇති විය. පක්ෂීහු දිවයින අත් හැර ගියෝය. මිරිදිය පොකුනද සිඳී ගියේය. ආහාර හිඟ විය. බලවත් සුර්ය තාපය කරන කොට රෝගියාගේ රෝගයද උත්සන්න විය. කොතෙක් උත්සන්න විද යත්, ඔහුගේ විලාසය බලන්නට නොහැකි තරමට භයංකර විය.

හෙතෙමේ, ක්ෂුධාවෙනුත්, පිපාසාවෙනුත්, වේදනාවෙනුත් විලාප කියන්නේ, පර්වත චායාවක්හි වැතිර ගත් ගමන් කිසිද සහයක් නැතිව, පරක් තෙරක් නැති සමුද්‍රය දෙසට හෙලන ලද බැල්මෙන් යුතුව, හැඬුවේය.

"කිමෙක්ද පින්වත! තෝ කුමක් නිසා හඬන්නෙහිද ?" යි හඬ අසා එතනට පැමිණි වීර පුරුෂයා ප්‍රශ්න කළේය.

"එම්බල මම ක්ෂුධාවෙන් පෙලෙන්නෙමි. පිපාසාවෙන් පෙලෙන්නෙමි.  වේදනාවෙන් පෙලෙමි.කිමෙක්ද තොපට ඒ බව නොපෙනෙන්නේද?"යි රෝගියා ක්‍රෝධයෙන් හා වේදනාවෙන් දැවී දැවී ප්‍රශ්න කළේය.

"පින්වත!, මට ඒ බව හොඳ හැටි පෙනේ" යි අප වීරයාද අනුකම්පා චිත්තයෙන් කතා කොට "මෙබඳු ඍතු විපර්යාසයක් නිසා මේ දිවයින සැමදා එක ලෙස නොපැවතී  සැපයෙන් පිරිහෙන බව මම කලින් සිටම දැන සිටියෙමි. එහෙත් මෙයින් බැහැර යා ගත හැකි වුවද රෝග වූ තොප වෙත අනුකම්පාවෙන් එසේ නොගොස් නතර වුයෙමි"

"එසේ නම් මට පිටුවහලක් කියව"

"පිටුවහලක්  කියන්නට නම් මෙතැන් සිට වත් කරුණා සිත් පහල කරව"

"හා!  හා! තොප මට සිහි කරවන්නට එන්නේ කුමක් ද කියා මම දන්නේමැයි" රෝගී වූ පුරුෂයා මහත් සේ කෑ ගා ගෙන, මා විසින් මරණ ලද ඒ නිදොස් සතුන්ගේ මර ලතෝනිය මට මේ ශ්‍රවනය වන්නක් මෙන් දැනේ. මරු වසඟයට ගිය ඔවුන් වේදනාවෙන් කල දැඟලීම දැන් මේ මට පෙනෙන්නක්  මෙන් දැනේ. එහෙයින් තව තවත් ඒ ගැන මට සිහිපත් කොට මා පිඩාවට පත් නොකරව"  යි හඬමින් කියේය.

"පින්වත, ඒ සියල්ල මතක නැති කරව. කරුණා සිත් පහල කරව. මගේ මේ අවවාදය සතුනට අභය දීම පිණිසම නොවේ. තොප සිත්හි සත්ව කරුණාව හා ෛමත්‍රිය    වගා කිරීම පිණිසමය. තොප රෝ මැඩ පවත්වා නිදුකට පත්වීමට ත් එයම පිළියම වන්නේය" යි වීර පුරුෂයා පැවසිය.


නියං සාය තව තවත් බලවත් විය. එයින්ම දුර්භික්ශයද බලවත් විය. රෝගියාගේ රෝගයද බලවත් විය. ඔහුගේ සර්වාංගය ගජ චර්මයකින් වැසුනාක් මෙන් විය.
තවද එහි ඉරි තැලුණු තැන් වලින් වැගිරෙන, අතිශයින් පිළිකුල් කටයුතු, දුගඳ හමන ලේ සැරව ඇත්තේ විය. අප විරය දින පතා රෝගියා පවිත්‍ර කළේය. දින පතා ඔහු සිරුර, බෙහෙත් දියෙන් සැතපවිය. තමන් නොකා-නොබී ඔහුගේ සා පිපාසාව සංසිදෙව්වේය.

"අහෝ!  ඔබ කෙතරම්   උත්තමයෙක් වන්නෙහි ද ? ඔබ මට කුමක් නිසා මෙතරම් උවැටන් කරන්නෙහිද?" යි ඒ රෝගී වූ සත්ව තෙමේ දිනක්  විතාළේය.

"පින්වත! තොප එදා පැන් බඳුනෙහි වැටුණු මැස්සෙකු දිවි ගලවා හරිනු මම දුටුවෙමි. ඒ මක් නිසාදැයි!" වීර පුරුෂයාද පෙරලා ප්‍රශ්න කළේය.

"ඒ අන් කිසිවක් නිසා නොව, උහු විඳින දුකින් මුදන්නට මට පුළුවන් කම තිබියදී , එසේ නොකොට පැහැර හරිම බලවත් අයුත්තක්  මෙන් හැඟුණු හෙයිනැයි" රෝගියා පැවසිය.

"මේ දුකින් තොප මුදන්නට මමද පොහොසත් වෙමි. එහෙයින් මෙසේ වෙහෙසෙන්නෙමි. එහෙත් පින්වත, මතක තබා ගත යුත්තක් ඇත. දුකට පත් තොප මුදන්නට වෑයම් කරන මමද, එම පැන් බඳුනේම වැටී දුකසේ පිහිනන්නෙකු බව මතක තබා ගත යුතුයි"  වීර පුරුෂයා පැවසීය.

"ඉදින් ඉඩක් ලැබුණු කල, මා අත් හැර දමා ඔබ මේ දුකින් මිදෙන්නට අදහස් කරන්නෙහිදැයි?" රෝගියා මෙහිදී ප්‍රශ්න කළේය.

"සමහරු එසේත් කරතැයි" ... වීර පුරුෂයා පිළිතුරු දුන්නේය.

ඒ පිළිතුර රෝගියාගේ සවනට තුෂ්ටි දායක නොවිය. ඔහු බලාපොරොත්තු වුයේ වඩා ඇද නැති පිළිතුරකි. එහෙයින් දොම්නසට පත් මුහුණෙන් ඔහු සාගරය දෙස බල ගත් වනම කල්පනා කරන්නට විය. එසේ කල්පනා කරන ඔහුගේ මනසට කෙසේ වෙතත් , මසැසට, නම් ඈත සාගරයෙහි ගමන් කරන යාත්‍රාවක් පෙනුනේය.

"අර කුමක් දැයි?" ඔහු එය දක්වමින් තිගැස්සුනේය.
"ඒ කොයිබ යන යාත්‍රාවක්ද ?"
"මෙහි එන යාත්‍රාවකි"
"අහෝ! එසේ නම් අපට ලැබෙන්නට යන්නේ මහත් වූ ලාභයකි" මෙසේ පවසා රෝගියා ප්‍රීතියෙන් පිනා සිනාසෙන්නට විය.

 එහෙත් වීර පුරුෂයාගේ මුහුණ සිනා මුසු නොවිය. එහි පෙර පවතී උපශාන්ත ගුණය නොවෙනස්ව විය.



යාත්‍රාව සමුද්‍ර තිරයෙහි පර්වත චායාවෙහි පිහිටි ගල් ගුහාවට සමීප විය. එහි උපශාන්ත ගුණ සම්ම්පන්න සත්පුරුෂ පිරිසක් වුහ. ඔවුන්ගේද , ඔවුන්ට නායක පුරුෂයගේද දර්ශන මාත්‍රයෙන් ම රෝගියාගේ සර්වාංගය සතුටින් කිලි පොලා ගියේය. ගල් ගුහාවට ආසන්න සමුද්‍ර තිරයෙහි යාත්‍රාව නතර කල පිරිස , අප වීරයා දෙස කුළුණු බර නෙතින් බලා , "සත්පුරුශයාණනි! තොප නිසා දුර ගෙවාගෙන අපි මෙහි පැමිණියෙමු" යි කියේය.

"මම නිසා පැමිණියෙහි දැයි? " වීරයා ප්‍රශ්න කළේය.

"එසේය පින්වත මා විසින් මේ සාගරයෙහි පරතෙර මනාව දක්නා ලද්දේය. ඒ පරතෙර වනාහි ශාන්ත සුඛ සමන්විත ක්ෂේමභුමියක්  වන්නේය. එහි ස්ථිර  සැප ඇත්තේය." යි නායක යාත්‍රිකයා පැවසීය.

"අහෝ! එසේනම් ඒ කියන සැපයට මම  පමණක් කෙසේ කැමති වෙම්ද? එවන් සැපයකට සියල්ලන්ම කැමති  වන්නාහු නොවෙත්ද?  මා වැනිව ම  අසරණව අනාථව පසුවන තවත් සත්වයෙක් මෙහි ඇත්තේය. ඔහුටද මේ භයානක තෙරක් නොදැකිය හැකි සාගරයෙන් එතෙර වන්නට පිහිටක් වුව මැනව" යි අප වීරයා, රෝගී වූ පුරුෂයා දෙසට අත දිගු කරමින් කීය. 

"සත්පුරුශයාණනි ! ඔහු රෝගියෙකි. මේ නිරෝගී වූ සත්වයන් අතරට ඔහුගේ පැමිණීමක් නොවන්නේය. එපමණක්ද නොව මේ යාත්‍රාවෙහි ඉඩ ඇත්තේද එක් තැනැත්තෙකුට පමණි. එහෙයින් එතොත් තොප පමණක් අපි පිළිගන්නෙමු". යි නියමුවා කියේය.

"අහෝ! උතුමාණනි! දයා ගුණ පරවශ වූ ඔබට මාගේ නමස්කාරය වේවා!"  කියා අප වීරයා ශිර්ෂ ප්‍රණාමයෙන් ඒ නියාමක පුරුෂයාට නමස්කාර කොට, "මේ අසරණ සත්වයා අත හැර දමා , මම කෙසේ නම් ඔය කියන පර තෙර සැපත සලකා ඔබ කැටුව යම්ද ?... උතුමාණනි! මම එසේ නොයා හැක්කෙමි. ඉදින් යම් කලෙක හැක්කේ නම් මොහුද සුවපත් කොට ගෙන, මාද ඔබ සේම සිය වෙරෙන් තනන ලද යාත්‍රාවකින් මෙසේම යන බලාපොරොත්තුව ඇත්තේ මැයි" කියේය.

එකල්හි, ඒ යාත්‍රාවට නායක වූ ඒ පුරුෂ තෙමේ , ඒ අභීත වූ තෙපුල ශ්‍රවනය කොට ස්වකිය පිරිස දෙස බලා මෙසේ පැවසීය.

"පින්වත්නි! මේ උතුම් වූ සත්පුරුෂයා දෙස බලව. ඔහුගේ ඒ අභීත වූ ප්‍රාර්ථනය නිරර්ථක වන්නේ නොවේ. අනාගතයේ දිනක මේ තෙමේ මා සේම සිය වෙරින් තනන ලද ප්‍රියංකර නැවකින් මේ මහා සයුර තරණය කොට, සුව බිමට පැමිණෙන්නේය. හුදෙක් තනියම පැමිණෙන්නේද නොවේ. මෙවැනි දුක්ඛිත රෝගීන් මහත් ගණනක්  සුවපත් කොටගෙන, සහ පිරිවරින් ම පැමිණෙන්නේය". යි කියේය 


"උත්තමයාණනි! අහෝ! ඔබට මම කෙසේ කෙලෙහි ගුණ සලකම්ද? ඒ සැපවත් පිරිස කැටුව ඒ සැපවත් දේශය නොපතා මා වෙනුවෙන් මේ කල ආත්ම පරිත්‍යාගයට කෙසේ නම් කෙලෙහි ගුණ සලකම්ද?" යි පෙරලා ගමන් කරන යාත්‍රාව දෙස බලාගත් වනම සිටිමින්, ඒ රෝගාතුරයා  ප්‍රශ්න කළේය.

"පින්වත මා කියන ලෙස පවතින්නෙහි නම් තෝ මට කෙලෙහි ගුණ සලකන්නෙහිය". යි අප වීරයා කියේය.

"එවක් පටන් මේ සත්පුරුෂයාගේ පැවැත්මට අනුව පවතින්නටත්, ඔහුගේ බසට කීකරුව වසන්නටත්, රෝගියා සිතට ගත්තේය. නියං සමය අවසන් වූ කල්හි අනතුරුව බලවත් ශිත ඍතුවක් එහි ඇති විය. වස්ත්‍ර  කැබැල්ලක් පමණක් විලි වැසුම් පිණිස ඇති ඔවුනට එහි පැවති කටුක ශිත ඉවසිය නොහැකි විය. විශේෂයෙන්ම ගතින් දුබල රෝගියා බලවත් පිඩාවට පැමිණියේය.

"අහෝ! උත්තමයාණනි! දැන් නම් මාගේ ශරීර ගත රුධිරය පවා මිදෙන්නාක් මෙන් දැනේ. මාගේ හර්ධය ගත රුධිරය මිදුණු කෙනෙහි මාගේ අසරණ ජීවිතය තොර වන්නේය." යි රෝගියා විලාප  කියන්නට විය.

මෙහිදී අප වීරයා කුමක් කරම්ද යන නිශ්චයක් නැතිව , ඈත මෑත බැලුවේය. ග්‍රීෂ්ම ඍතුව මෙන් නොව, ශීත ඍතුව රෝගියාට අතිශයින්ම කටුක දුක් දෙවන බවත් ප්‍රත්‍යක්ෂ කළේය. රෝගියාගේ අත ගෙන නාඩි පරික්ෂා කරන අප වීරයාට ඔහුගේ හර්දය ස්පන්ධනය  ඉතාම දුර්වල බවත් පෙනේ. අධික ශිත කරන කොට ඔහුගේ  ශරීර ගත රුධිරය කැටි වන බවත් පෙනේ. හිම කැටි වලින් වැසුනු බැවින් ගින්නක් දල්විමටද දැන් ඉඩක් නැත්තේය.

"මෙයින් මම මොහු කෙසේ මැරෙන්නට ඉඩ හරිම්ද? මොහු රකින්නට පුළුවන් කම මා වෙත තිබියදී කෙසේ පසු බාම්ද ?" මෙසේ තමන්ටම කියා ගනිමින් ඔහු රෝගියාගේ පිළිකුල් කටයුතු දුගඳ හමන ගජ චර්මයකට බඳු දැඩි සමෙන් වැසුනු ශරීර ස්කන්ධය දෙස බලා , බලවත් පිළිකුල මර්ධනය කර ගෙන, "පින්වත නොබා සිටුව!. මේ ශීත ඉවසීමට පුළුවන් බලය මා කෙරෙහි  පවතී. තොපගේ හර්දය වස්තුව මාගේ ශරිරෝශ්නයෙන් උණුසුම් කරන්නෙමි" යි පවසා දිව ගඳින් ගඳ  කැවු පුත් කුමරුවෙකු වැළඳ ගන්නා ප්‍රේමයෙන් ඒ විශෝපදංශ රෝගියා තුරුළු කොට ගෙන ඔහුගේ ජීවිතය රක්ෂා කළේය.


තවත් කාලාන්තරයක් ගත විය. යලිත් දිවයින සුඛ දායක දේශගුණයෙන් යුක්ත විය. යලිත් එහි නිම්න භුමිය නෙත් සිත් පිනවන වෘක්ෂ ලතාදියෙන් බබළන්නේ විය.  සකල පරිසරයම ස්වභාවත් මනරම් ආලෝකයකින් ආලෝකවත් විය. මල් රේනුයෙන් දස දෙස සුවඳවත් වී ගියේය. එසේම එහි වනෝද්‍යානය නොයෙක් සියොතුන්ගේ රාව ප්‍රතිරාවයෙන් නින්නාද විය. අප වීරයාගේ සදයාවත් කරුණා ගුණයෙන් මොලොක් බවට  සුමට බවට පැමිණි චිත්ත සන්තානය ඇති රෝගාතුර වූ සත්ව තෙමේ , සකල  ස්වාභාවික  ස ෟන්දර්යය අගය කොට සැලකීමටත් , සිත් පිත් ඇතිවුද , නැතිවුද  ඒ සියලු විසිතුරට ප්‍රේම කිරීමටත් , දයාබර වීමටත් පුරුදු පුහුණු විය. එයින් පාරිශුධියට  පැමිණි චිත්තය නිසාත්, රක්ත ධාතුවේ නිර්මලත්වයෙන් දුරිභුත   කල ව්‍යාධි රුපය නිසාත් කල් යාමේදී ඒ සත්ව තෙමේ අප වීරයාගේ පවා ස්තුතියට ද ප්‍රසංසාවටද භාජනය විය.

"අහෝ උත්තමයාණනි , ඔබ තුමන් විසින් මේ වැඩ නිමවන ලද්දේ ඉතාම සිත්කළු නැවකි. කලින් නම් මම හුදෙක් මෙය ඔබගේ ගමන පිණිස තනන්නේකයි සිතුවෙමි. ඔබ මෙයින් මා ගෙන යන්නට අදහස් කරන පර තෙර පිහිටි දේශය ඉතාම සිත්කළු බව දනිමි. දැන් මට එහි සුවය සිතට සිතා  ගත හැකි තරමට  දැනෙන්න්නේය". මේ ආදී වශයෙන් ඒ සත්ව තෙමේ අප වීරයා විසින් සමුද්‍ර තරණයට සුදුසු කොට නිමවන ලද නෞකාව දැක, උදන් අනන්නට විය.

සුදුසු කාලයෙහි අප වීරයා නියමුවා බවට පැමිණ, සිය නැව දියත් කළේය. එසේ දියත් කොට තම කුළුපග සත්වයාද , තවත් බොහොවෙක්ද  කරුණාවෙන් තෙහ වූ හදින් යුතුව  නිරුපද්‍රිතව ගෙන ගොස් ඔවුන් ප්‍රාර්ථනා කරන ලද ක්ෂේම භුමියෙහි ලෑවේය.


අනේක  භාදක , පීඩා  මැද්දේ  තමන් උපකාර කරන්නාවූ සත්වයන් විසින්ම ප්‍රත්‍යුපකාර ලෙස  කරන්නා වූ දරුණු හිංසාවන් සතුටින් වෙනසක් නොමැතිව දරාගෙන සත කෙරෙහි වූ අනන්ත වූ කරුණාවෙන් තෙත් වූ හද  ඇතිව ඔවුනට සෙත සැලසුවා වුද , සලසන්නා වුද , අනන්ත ව  පෙර සිටියා වුද , දැනුදු අප අතර සිටිමින් මනරම් වූ බෝධි සම්භාර විචිත්‍ර ලෙස පුරන්නා   වූද   ඒ උතුම් වූ මහා බෝධි සත්වයන් වහන්සේලා  වෙත පිදෙන කුඩා මල් මිටකි මේ කතාව.

කටු වනයක  , මඩ ගොහොරුවක  , නිරුදක කතරක වුවද ඔවුන්ගේ වාසය වේ නම් එතැන සත්වයනට හිත පිණිස , සැප පිණිස වන්නේමය. අන් සත හට   ලොව සැපෙන් වසන්නට ඉඩ ලැබී ඇත්තේ එවන් වූ නිර්භය වූ , පරහිත කාමී වූ සත්පුරුෂයන් නිසාමය. ස්වාර්ථය පසෙක ලා ලොව   සතුනගෙන්  අවමන් ලබමින්  , කටුක දුක් විඳිමින් බෝධි චර්යාව පුරන්නා වූ ඒ උතුමන් ලොවට ම   මහත් ශාන්තියකි. දුගඳ හමන  මඩ වගුරෙහි පිපි ලොව සුවඳවත්  කරන්නා වූ මනරම් පියුම් ඔවුන්ම වන්නාහ .



ඩබ්ලියු . ඒ සිල්වා මහතාගේ , සංසාර සාගර නම් කෙටි  කතාවෙනි. ඇතැම් තැන් මඳක් වෙනස් කර ලියන ලදී.

5 comments:

  1. වටින ලිපියක් අයියා !

    ReplyDelete
    Replies
    1. Thanks වකා මල්ලි :)

      Delete
    2. අයියෝ ... මේ මුලු බ්ලොග් ලෝකෙම හිතන්නෙ මම මල්ලියෙක් කියලා....
      :(
      මම මල්ලියෙක් නෙවෙයි. නංගියෙක්

      Delete
    3. හඃ හඃ හඃ ... හැබෑටම මාත් හිතුවේ මල්ලියෙක් කියල... පුරස්නේ තියෙන්නේ නමේ නේ නංගියේ ...
      වකා කියන්නේ පුරුෂ ලිංගික masculine නමක් නෙව
      (නිකං අර යකා වගේ )
      ඕකේ more feminine ස්ත්‍රී ලිංගික පදේ තමයි - වකී
      සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක් ....
      :)

      Delete
    4. masculine or feminine කියලා නම් බෙදන්නත් පුළුවන් කියලා දැන් නේ මට මතක් වුණේ. errr..

      කරන්ඩ දෙයක් නෑ. නම වෙනස් කරන්න අමාරුයි නේ...

      ඊයා...වකී කියන එක කැතයි නේ :P ඔන්න ඕනෙ නම් වකා යකා කියලා දා ගන්නම්.

      බොන්න බොන්න...කමක් නෑ. :)

      හැබැයි ඒ වැඩෙන් මටත් පව් සිද්ධ වෙයි ද දන්නෙ නැති නිසා (පව් කිරීමට අනුබල දීම)කොහොම හරි ඉවසලා නොබී ඉන්න. :D

      Delete