Thursday, August 23, 2012

මොකද්ද මේ කරුමේ කියන්නේ ?

©2012 harmonist.us
මේක කර්මය ගැන ලියන්න හිතන් ඉන්න ලිපි පෙළක පළමු වැන්න. එක පොස්ටුවෙන් ඔක්කොම ලියන්න කියල   හිතන් වැඩට බැස්සට , එක කරුණ ගැන උනත්  ලියන්න  තියෙන දේ පොස්ටු කීපෙකට වඩා දිග වෙන්න පුළුවන් කියල ලියාගෙන යනකොට තේරිච්ච හින්ද මෙහෙම කඩලා  ලියන්න වෙනවා. 

සිංහලෙන්ද ඉංග්‍රීසියෙන්ද ලියන්නේ ? .. ඔන්න ඔහේ සිංහලෙන් ම ලියනවා... සිංහලෙන්ම ලියල ලියල දැන් ඉංග්‍රීසියෙන් ලියන්න කම්මැලියි වගේ ... මෙහි දැක්වෙන ධර්ම  කරුණු , වෙනත් කරුණු බොහොමයක් ගෙන දක්වන්නේ මතකෙන්. පොත් ඔක්කොම ලංකාවේ හින්ද වෙන කරන්න දෙයක් නැහැ. වැරදි තිබුනොත් සමාව භාජනෙකට දාන්න...ඉවසන්නම අමාරු නම් මට නිවැරදි කිරීමට දැනුම් දෙන්න.   කරුණු සඳහන් වෙන ස්ථානය හරියටම දන්නා වෙලාවට එම ස්ථානය සඳහන්  කරන්නම්.

කිවයුතු අනිත් වැදගත් ම දේ නම් කරුණු සහිත නිග්‍රහය හෝ නිවැරදි කිරීම තමයි මා අගය කොට සලකන්නේ. එකඟ වෙන්න බැරි දෙයක් තිබේ නම් "කරුණු සහිතව" තර්කානුකුලව ඉදිරිපත් කරන්න. මා සෑම විටම වරද වරද ලෙස පිළිගැනීමටත් එය නිවැරදි කර ගැනීමටත් කැමතියි. වරද වරද ලෙස පිළිගැනීමත් ,එයින් වැලකි සිටීමත් මේ ධර්ම විනයේ නිසැක අභිවුර්ධියට හේතු වෙනවා කියල තිලෝගුරු බුදුරජාණන් වහන්සේත්  දේශනා කරලා  තියෙනවා නෙව.  

ලියන්න හේතුව හෙවත් නිධානය ?
 කර්මය ගැන  කර්ම විෂය සම්බන්ධයෙන් බහුතරයක් දෙනාගේ සිත් තුල තියෙන්නේ මිත්‍යා , අසම්පුර්ණ මත. එහෙම අසම්පුර්ණ දැනුමක් තියාගෙන ඔවුන් තැන තැන අන් අයවත් නොමග යවන්න කරුණු දක්වන එක පේන්න තියෙන දෙයක්. සමහර අය විද්‍යාවයි කර්මයයි ඔක්කොම පටලාගෙන අවුලෙන් අව්ලට ගිහිල්ල. එක එක වාද කරුණු අරගෙන තර්ක කරන්න එනවා. එහෙම අය දැන ගත යුතුයි    කර්මය ගැන , කර්ම විෂය ගැන  සම්පුර්ණයෙන් පිරිසිඳ දැන  ගැනීම ලොවුතුරා බුදු කෙනෙක් ට පමණක් කල හැකි දෙයක් ලෙස. පසේ බුදු වරයෙකුට වත් , නුවනින් අග තැන්පත් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමකට වත් කර්මය ගැන  කර්ම විෂය ගැන සම්පුර්ණ අවබෝධයක් නැහැ. තම ශ්‍රාවකයන්ට  බුදු රජාණන් වහන්සේ උපදෙස් දී තිබෙන්නේත් කර්මය හා   කර්ම විෂය ගැන දීර්ඝව සිතන්න එපා කියා. නුවන මද සත්වයෙකු අතිශයින් පිඩාවට , වෙහෙසට  හෝ උමතු බවට පත්විමටම එය ප්‍රමාණවත්. 

එහෙමයි කියල කර්මය ගැන  කර්ම විෂය ගැන නුවනින් යුතුව තම නැණ පමණට කල්පනා කිරීම , දැන ගැනීම නැවැත්විය යුත් නැහැ. ලෝකයේ සිදුවෙන සාමාන්‍ය දෙනාට පුදුම සිතෙන  බොහෝ දේවල් , ජෝතිෂය , ගුප්ත විද්‍යා , විචිත්‍ර අමනුෂ්‍ය ලෝකය , පුද්ගල සබඳතා , පුනර්භවය , මනුෂ්‍ය ගති  ස්වභාව වැනි දේවල් අධ්‍යයනය  කිරීමේදී කර්මය සම්බන්ධ පිරිසිදු ගැඹුරු දැනුමක් තිබීම අතිශයින් ප්‍රයෝජනවත්.  හරියට නිකං ඉංජිනේරු ශිෂ්‍යයෙකුට කලනය ගැන පිරිසිදු පැහැදිලි දැනුමක් තියෙන්න ඕනේ වගේ.... ඒ නිසා කර්මය ගැන මට තේරෙන ස්වල්පයෙනුත් ස්වල්පයක්  විමති දුරුවෙන පරිදි දක්වන්නයි මේක ලියන්න හිතුනේ.

මා මෙතන කර්මය සම්බන්ධයෙන් කියවෙන බොහෝ ජනප්‍රිය කරුණු , ප්‍රශ්න , හැම තැනම හෝද හෝද මඩේ දාන කරුණු ඇදල ගන්න අදහස් කරන්නේ නැහැ.  කර්මය ගැන සාමාන්‍යයෙන් ජහමනයාට ඇති වන සාම්ප්‍රදායික ප්‍රශ්න  බොහොවකට පිළිතුරු ප්‍රශ්නොතර වශයෙන් , රේරුකානේ හාමුදුරුවන් ගේ ධර්ම විනිෂ්ශය  පොතේ පිටු අංක 95 සිට 169 දක්වා කොටසේ සඳහන් වෙනවා. මං  ඕක ආයි කොපි කරලා මෙතන දාන එකේ තේරුම මොකද්ද ? ඕන කෙනෙක් ට බලාගන්න හෝ මිලදී ගන්න මෙන්න ලින්ක් එක. 


දැන් අපි විමසා බලමු සමාජයේ ඇති,   අතන නැති කර්මය හා කර්ම විෂය සම්බන්ධ  විවිධ මතිමතාන්තර ... 
එයින් පලවෙනි එක .... 

අපල කියන්නේ මොනවාද ?
ඔයි කිලෝමීටර් කෝටි  ගානක් ඈත ඉන්න ග්‍රහයන්ට මිනිස්සුන්ට අපල/වින  කරන්න පුලුවන්ද ?
බෝධි පූජා  තියල තියෙන ඔක්කොම අපල ජාති නැති කරන්න පුලුවන්ද ?

බොහොම විවාදාත්මක මාතෘකාවක්. වැරදුනොත් කුණු බැනුම් අවලාද අහන්නත් බැරි වෙන එකක් නැහැ. එත් ඉතින් මොනවා කරන්නද. දන්නා දේ කියල දාමු නේද ? 

බෝධි පුජා කියන්නේ හරියට සැදැහැ සිතින් , අවබෝධයෙන් කලොත් කරන තැනැත්තාට , අනුමෝදන් වෙන තැනැත්තාට   අනන්ත  අප්‍රමාණ විපාක ලැබෙන අතිශයින් බලවත් කුසල කර්මයක්. නමුත් වෛරස ලෙඩක් හැදිච්ච ලෙඩෙක් කොච්චර බලවත් ප්‍රතිජීවක බිව්වත් ගුණයක් නොලබෙන්නා වගේ ලෙඩේට හරියන බේත බිව්වහමම , හරියන ලෙසට පිලිපැද්දහම   ගුණ ලබන්නා සේ , සැම අපලෙකට බෝධි පූජා  තියල ගුණ ලබන්න බැහැ. ඒ ඒ බනිස් ගෙඩියට ඒ ඒ කෙසෙල් ගෙඩිය වගේ ජිවිතයේ මුහුණ දෙන්න වෙන විවිධ කරදර , භාදක ,ලෙඩ රෝග වලට කර්මනුකුල හේතුවක් තිබේ නම් ....  එහෙම කියුවේ හැම දෙකටම කර්මය බල නොපාන හින්ද. නිති පතා  කුණුවෙන්න ගහල හදා ගත්ත සිරෝසිස් වලට හේතුව  මොන කර්මේද ? මොලේ නැති කම ඇරෙන්න!  ... ඒ කය වැරදි ලෙස පරිහරණය කිරීමෙන් වෙන විපාක... කර්ම විපාක නෙවෙයි...

හරි , පිටපැන්නා..   ආයි ට්‍රැක් එකට එමු.  එහෙම කර්මානුකුල  හේතුවක් තිබේ නම් එය පරිවර්තනය කල හැක්කේ එයට ප්‍රතිවිරුද්ධ කර්මයන් රැස් කිරීමෙන් පමණයි. එයද බොහෝ විට ඒ උපද්‍රවයන්ට මුහුණ  දෙන තැනැත්තා විසින්ම කල යුතුයි. මොකද කර්මය රැස් කලෙත් තමන්ම නිසා. එහෙම බලනකොට අරයට මෙයාට අපල දුරු වෙන්න කියල වෙන අය කරන බෝධි පුජා වලින් කිසි පලක් නොවෙන බව තේරුම් යාවි.

ඉස්සර කාලේ බෝධි පුජා කල කට්ටිය ඒක කලේ ඕල් රවුන්ඩ් , ගොඩක් දේවල් කවර් වෙන විදියට. දැන් නම් එහෙම කරන කට්ටිය නැති ගානයි. පුජාවට කලින් බෝ මළුව හා වට පිටාව ඇමද , පිරිසිදු කිරීම.  මල් , සුවඳ දුම් , දැහැත් පුජාව. ආලෝක පුජාව , බෙහෙත් ගිලන් පස පුජාව ඉන්පසු බුද්ධ වන්දනාව , බෝධි වන්දනාව  වගේ මේ කි නොකී බොහෝ දේවල් සෑහෙන වෙලාවක් අරගෙන ඉමහත් ශ්‍රද්ධාවෙන් , අවබෝධයෙන් කරපු දෙයක් තමයි ඉස්සර තිබ්බේ. දැන් නම් පැය බාගෙන් වගේ ඉවරයි නේ. සිං සිං ගාල හරියට නිකං ඇපේකින් බේරෙන්න වගේ නේ ඒක කරන්නේ. හැබැයි පුජාව අන්තිම ජරා විදියට කලත් යාදින්න වගේ කන්නලුව්ව නම් තියෙනවා තමන්ගේ වැඩේ කරගන්න.

හරි හරි , කොහොමින් කොහොම හරි , අපල කියන්නේ  තමන්ගේ පස්සෙන් ගවයාගේ පස්සේ එන රිය සක වගේ එන සංසාරේ කරන ලද  පවු.  ඇයි පවු විතරද එන්නේ ? නැහැ පිනුත් එනවා. නමුත් කුසල කර්මයක් පල දීල සැප විඳිනකොට එකේ වගක් නැහැ නේ. හිතන්නේ ඒක අහසින් කඩන් වැටිච්චි එකක් කියල. නිකං ඉබේ ලැබිච්චි එකක් කියල නේ. පවක් පටිසන් දෙනකොට තමයි කාල ඉන්න අමාරු වෙලා අපල තියෙනවද කියල හොයා හොයා ජෝතිෂ්‍ය ඇදුරෝ ගානෙයි , බෝධි පුජා කර කර පන්සල් ගානෙයි දුවන්නේ.

කොහොමින් කොහොම හරි , කෙලින් ම කියනවා නම් , බෝධිපුජා කරලා ඕන අපලයක් නැති කරන්න පුලුවන්ද ? සරල පිළිතුර....  බැහැ.... තමන්ට තිබෙන අපලේ (බලපාන කර්ම විපාකය) හරි හැටි තේරුම් අරගෙන ඒ විපාකය මැඩ පවත්වන්න හෝ අහෝසි කර දමන්න පුළුවන් විදියේ පිළිවෙතක් පිලිපැදීමෙන් තමයි සාර්ථකත්වය ලැබෙන්නේ.

උදාහරණ , උදාහරණ .. හැම වෙලේම උදාහරණ දෙමුකෝ....

හිරේ යන්න කර්ම සකස් වෙලා තියෙන කෙනෙක් බැලිය යුතුයි කොහොමද එහෙම වෙන්නේ කියා. මුදල් සම්බන්ධ කරුණකින්.. සරලව කියනවා නම් වංචාවකින් . අල්ලසක්  වැරදීමකින් හිරේ යන්න නියම වෙලා තිබෙනවා නම් කලයුතු හොඳම දේ එවැනි දේ වලින් වැලකි ප්‍රතිපත්ති ගරුක වීමයි. මුල්‍ය පරිහරණයේ විනිවිද භාවයක් පැවැත්වීමයි. එතකොට පෙර කර්මයේ විපාක වශයෙන් එවැනි සිද්දියකට නිවරද්දේ හසු උනත් ,පිළිවෙතේ හොඳකම නිසා , පරීක්ෂණයකින් පසු ඔබ නිදහස් වේවි. ඕකට මොන බෝධි පූජා  ද ? 

හදිසි අනතුරකින් දිවි තොරවීමට කර්ම සකස් වී ඇති පුද්ගලයෙක් කල යුත්තේ , එවැනි ලෙස හදිස්සියේ මිය යාමට සිටින පුද්ගලයන් , සත්වයන් ඉන් මුදා ලීමයි.  ඔවුනට ජීවිතය ලබා දීමයි. මුස්ලිම් කට්ටිය   නම් ගෙදර දරු උපතක් උනාම එළුවෙක් මරල ඔප්පු කරනවා.. අනේ මන්ද .. උපතයි මරණයයි ඔවුන් එකට ගලප ගත්තේ කොහොමද කියල ... :)

මරණයට කැප වුනු සත්වයන් ට අභය දීම , ලේ දන් දීම , ශරීර අවයව දන් දීම , හදිසි අනතුරු වලට ලක් වූ පුද්ගලයන්  සිට් එකේ ලේ තැවරෙයි කියා කන් කෙඳිරි නොගා , කරුණාවෙන් යුතුව  ප්‍රවාහනය කර දීම වගේ ගොඩක් දේවල් තියෙනවා නේ ඕන නම් කරන්න  ... තමන්ගේ බුද්ධි ප්‍රමාණයට ගැලපෙන ,අවබෝධයෙන් , කර්ම කර්ම ඵල සලකාගෙන , තමන්ගේ සිත සතුටු වෙන ඒ වගේ ඕනෑම දෙයක් කිරීම මහා බලසපන්න කුසල කර්මයක් වනවා පමණක් නෙවෙයි වෙන්න තියෙන දේහි විපාකත් අඩු කරන්න අනිවාර්යයෙන් හේතු වේවි.


එතකොට අපල කියන්නේ තමන් පෙර හා මේ ආත්ම භාවයේ කරන ලදුව  පටිසන් දෙන කර්ම නම් ,මොකද මේ ග්‍රහයෝ ටිකක් අල්ලගෙන දඟලන්නේ?

ඒක මෙහෙමයි. ටිකක් විස්තර කරන්න අමාරුයි. නමුත් උත්සාහ කරන්නම්. තේරුං නැත්නම් බනින්න එපා.

විද්‍යාත්මක  උදාහරණයක් ගන්න. අපේ සෞරග්ග්‍රහ මණ්ඩලේ තියෙනවා නේ. අපි ඉස්කෝලේ ඉගෙන ගෙන තියෙන්නේ ඕකේ ඉන්න ග්‍රහයෝ ඉලිප්සාකාර  පථ  වල  සූර්යයා වටේ බ්‍රමණය  වෙනවා කියලනේ. නමුත් ඒක හරි වගේම වැරදියි. ග්‍රහයන් වෙත බලපාන එකම බලය සෞරග්ග්‍රහ මණ්ඩලේ කේන්ද්‍රය වෙත යොමු වෙච්චි සුර්යයාගේ ගුරුත්වයෙන් ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය නම් .. හරියටම කියනවා නම් සුර්යයාගේ ස්කන්ධය නිසා එය අවට අවකාශයේ හා කාලයේ ඇති කරන වීකුර්තිය විතරක් නම්     , මේ ග්‍රහයෝ බොහෝ විට ඉලිප්සාකාර පථ වල ගමන් කරාවි. නමුත් ඇත්ත  තත්වය නම් ඒ ඒ ග්‍රහයන් මත අනිකුත් ග්‍රහයන් මගින් ගුරුත්වාකර්ෂණ බලපෑම් ඇති කරනවා. එපමණක් නොව වායු ග්‍රහයන් ගේ tidle forces මගින් ඒවගේ බ්‍රමනයට ඇතිකරන බලපෑම.  අසල තිබෙන අනිකුත් තාරකා මගින් මෙන්ම , ක්ෂීරපථයේ     මධ්‍යයේ තිබෙන super massive black hole  එක මගිනුත් ඉතා කුඩා නමුත් ගුරුත්ව බලයක්  සියලු ග්‍රහයන්  මත  නොනවත්වා යොමු කරනවා. මේ සියල්ලේම හේතුව නිසා අපි ස්ථිර  පථ වල බොහෝ කාලයක් ගමන් කරනවා කියල සිතන් ඉන්න ග්‍රහයන් ගේ සත්‍ය පථ  එයට සහමුලින්ම වෙනස්.

ග්‍රහයන්ගේ පථ සම්බන්ධයෙන් , ඒවාට බලපාන  සියලුම ආකාරයේ විචල්‍ය බලයන්  සැලකිල්ලට ගෙන  සකස්  කරන ලස පරිඝනක simulations වලින් පෙන්වන්නේ , ස්ථිර ලෙස පෙනෙන ග්‍රහලෝක පථයන් එසේ නොවන බවත් වසර මිලියන  ගණනක් අනාගතයේදී ඒවා ගමන් කරන පථයන් නිර්ණය කිරීම කිසිසේත්ම කල නොහැකි දෙයක් බවත්ය. මතක තියා  ගන්න විශ්වයේ වයසත් එක්ක බලනකොට වසර මිලියන කීපයක්  කියන්නේ සොච්චම් කාලයක්.

එනමුත් අපගේ එදිනෙදා වැඩ වලදී මේ සම්බන්ධයෙන් එතරම් සිත කරදර කර ගැනීමට අවශ්‍ය නැහැ. චන්ද්‍රිකාවක කක්ෂය ගණනය කිරීම වගේ දෙයකදී,  ග්‍රහයන්ට හා එයට  බලපාන සියලු කුඩා බලයන් තමන්ගේ ගණනය  කිරීම් වලට ඇතුල් කිරීමට අවශ්‍ය නැහැ. දැන් මොකද්ද   මේ මං කියන්න හදන්නේ? අපි අපගේ එදිනෙදා වැඩ වලදී ප්‍රයෝජනයට ගන්නේ සෞරග්ග්‍රහ මණ්ඩලේ approximate model එකක් කියලයි මට පෙන්වා දෙන්න ඕන උනේ. එය 100% නිවැරදි නැහැ. නමුත් එහෙමයි කියල එදිනෙදා  වැඩ කරගන්න එයින් බාදාවකුත් නැහැ. 

හරි දැන් මොකද්ද මේකයි,  ජෝතිශයයි , කර්මයයි අතර තියෙන සම්බන්ධෙ? ගෙඩිය පිටින්ම කියල දානවා  නම් කර්මයේ ක්‍රියාකාරීත්වය හා ඒවායින් මිනිසා හා අනෙකුත් සත්වයන් වෙත වන බලපෑම තේරුම් ගැනීම සඳහා පෙර විසු තුන් කල්  පිරිසිඳ නොදත්  බ්‍රාහ්මණයන් විසින් සෑදු  approximate model එකක් තමා මේ ග්‍රහයෝ ඉන්න ජොතිශය. ග්‍රහයන්ගේ චලනය හා ක්‍රියාකාරීත්වය , කර්මයේ ක්‍රියාකාරිත්වයට ආදේශ කරලා , ඉතා සංකීර්ණ ක්‍රියාදාමයක් ... සංකීර්ණ වෙන්න එපයි , කර්මය කියන්නේ ඉතාමත් සංකීර්ණ විෂයක් නේ...   සරලව දැක්වීමට කරපු විශිෂ්ට උත්සහයක් තමයි ජොතිශය කියන්නේ. නමුත් සිතට ගත යුතුයි ,  කලින් කියුව උදාහරණය වගේම මේකත් 100% නිවැරදි නැහැ. නමුත් එහෙමයි කියල ඔය පොඩි පොඩි වැඩ කර ගැනීමට මේ මොඩලය පාවිච්චි කිරීමේ  බාදාවකුත් නැහැ. ඒක නිසා ජොතිශය දෙස අවඥාවෙන් බලා සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප නොකර , එහි සිමා මායිම් හඳුනාගෙන , එය tool එකක් ලෙස භාවිතා කිරීම කිසිසේත්  වැරදියි කියා කිව නොහැකියි.

මේක හරියට නිවුටන්ගේ ගුර්ත්වාකර්ශන නියම සුත්‍රය එදිනෙදා වැඩ වලදී   භාවිතා කරනවා වගේ. එය 100% නිවැරදි නොවන බව අයින්ස්ටයින් අවුරුදු 100 කට කලින් පෙන්වා දුන්න නෙව. නමුත් පාසල් පොත් වල තාමත් නිවුටන්ගේ ගුර්ත්වාකර්ශන නියමය තියෙනවා. ඉස්කෝල වල උගන්වනවා. ලේසියෙන්   වැඩේ කරගන්න පුළුවන් නම් 100% හරි වෙන්නම් ඕනේ නැහැ කියන මතේ තමයි විද්‍යාඥයෝ ඉන්නේ. ඉතින් අපිත් එහෙම හිතුවම  මොකෝ. අපේ සමහර අයියල නම් විද්‍යාඥයන්ටත් වඩා විද්‍යාඥයෝ වෙන්නනේ යන්නේ.

එතකොට ඔය ග්‍රහයෝ ඇත ඉඳන් කිරණ නිකුත් කරලා මිනිස්සුන්ට අපල කරනෙන් නැද්ද ?

අනේ මන්ද ඔය වගේ එව්වා කියන්න ගිහිල්ල තමයි මේ වැඩකට ගන්න පුළුවන්  පෞරාණික ශාස්ත්‍රය ක් මිනිස්සුන්ගේ හිනාවට භාජනය වෙලා තියෙන්නේ. දැන් හෙනහුරා කළු , කකුල නොන්ඩි , නාකි නපුරු හිඟන්නෙක් උනෙත් , බ්‍රහස්පති තලෙළු , මහත බඩ තියෙන , කරුණාවත් , බොහොම උගත් , වයසක බ්‍රාහ්මණ පණ්ඩිතයෙක් උනෙත් කොහොමද ? ... ඒක තමා modeling කියන්නේ. 

මගේ පෞද්ගලික අදහස නම් එක් එක් පෘතුවි යුග වලදී .. දැන් යන්නේ කලියුගය .. හොඳේ ... සත්වයාට බලපාන කර්ම හා ඒ බලපාන විදියේ යම්කිසි consistency එකක්, එහෙමත් නැත්නම් pattern එකක් එහෙමත් නැත්නම් predictability and recurrence එකක් තියෙන බවයි. අනේ මෙව්වට සිංහල වචන නම් නොදනිමි. සමා වෙන්න ඕනේ... කර්ම එහෙන් මෙහෙන් ඇවිල්ල randomly සත්වයන් මත බල නොපාන බවයි මගේ නම් අදහස. ඒ ආකාරයේ consistant pattern එකක් තිබෙන නිසා තමයි ජෝතිෂය මගින් යම් යම් කරුණු දැක්වීම තරමක සාර්ථකත්වයකින් යුතුව කරන්න පුළුවන් වෙලා තියෙන්නෙත් , ඒ සම්බන්ධයෙන් මිනිස්සුන්ගේ යම්කිසි විශ්වාසයක් තිබෙන්නේත්. 

නමුත් දැන් වර්තමානයේ කියන අනාවැකි එතරම් සාර්ථක නැහැ නේද ? ඉස්සර ජෝතිෂ ඇදුරන් තිතට අනාවැකි කිව්වත් දැන් එහෙම කියන්නේ නැහැ , දැන් එහෙම කියන්න බැහැ කියල බොහෝ දෙනෙක් කියනවා නේද ?

ඇත්ත තමයි.  අවුරුදු දහස් ගණනකට කලින්  හදපු මොඩලය පවතින කාලයට , පවතින තත්වයට අනුව  වෙනස් නොකර ඒ විදියටම පාවිච්චි කරන ගියහම වරදින්නේ නැද්ද ? අනිත්‍ය සියල්ලටම පොදු නම් , ජෝතිශයට , ඒ සම්බන්ධ ගණනය කිරීම්  වලට , ග්‍රහ පථ යනාදියත් කාලයත් සමග වෙනස් වනවා නේද ? යුගයෙන් යුගයට සත්වය මත බලපාන කර්මයන් හා ඒවායේ ස්වභාවයත් වෙනස් වනවා නේද ?

එහෙම තියෙද්දී පරණ මොඩලය ඒ තත්වයන්ට අනුව පිළිසකර නොකර ඒ තිබිච්චි විදියටම පාවිච්චි කරන්න යෑම නිකං හරියට ටොලමිගේ පෘථිවි කේන්ද්‍රීය මොඩලය භාවිතා කරලා අඟහරුට රොකට් යවන්න පථ (trajectory) ගණනය කරන්න හදනවා වගේ වැඩක් නෙව. ඉස්සර මිනිස්සු ඕක පවතින තත්ත්ව වලට අනුකුලව වත ගහල ගත්ත. දැන් එහෙම නොකරන නිසා එන්න එන්න අනාගතයේදී එමගින් දක්වන්න පුළුවන් අනාවැකි නිවැරදි නොවෙනවා වගේම , ඒ නිසා මිනිස්සුන්ගේ ඇතිවන අවිශ්වාසය වැඩි වීමෙන් කාලයක් යනකොට සම්පුර්ණයෙන්ම මේ ශාස්ත්‍රය මිනිසුන් අතරින් නැති වී යාවි.

දෙයියනේ මේක නිකං මාගල වගේ වෙලා දැන්.. ඇති ඇති...  අදට ඇති ... 

4 comments:

  1. අපි කොච්චර කිව්වත් මට හිතෙන්නේ අපිට නොපෙනෙන බලවේග විශාල ප්‍රමාණයක් තියෙනවා කියල. නිකමට හිතල බලන්න කොහෙද පව් පින් ලියල තියෙන්නේ. කොච්චර පව් කලාද පින් කලාද , කොහොමද ඒවා පටිසන් දෙන්නේ. හරියට නිකන් නත්තල් සීයාගේ හොඳ ළමයි සහ නරක ළමයි ලිස්ට් එක වගේ.

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි මහත්මයා.. මේක ටිකක් මං අර කලින් කියුව හැමෝම ඇදල ගන්න ජනප්‍රිය ප්‍රශ්නයක් .. මගේ නැණ පමණට උත්තරයක් දෙන්න බලන්නම් එන ලිපියකින් ...
      :)

      Delete
    2. ඔබට තුති මෙපමණ හෝ අපව දැනුවත් කිරීම.

      Delete
  2. ඉතුරු ටිකත් ඉක්මනටම ඕනේ...

    ReplyDelete